අකුසල් කරමින් ජීවිතය පවත්වා ගැනීමට හුරු පුරුදුව සිටින බොහෝ පිරිස් කුසලයට නිග්‍රහ කරති. වෙනත් පිරිසක් කරන පිනක් හෝ අනුමෝදන් වීමට මැලිවන ඔවුන් යමෙකු ඒ සඳහා උනන්දු කළ ද එවිට එම පිනට නිග්‍රහ කරති. තම පුද්ගලික මතයක් ඉස්මතු කරමින් තම මතය ම සාධාරණය කිරීමට පෙළඹෙති. කාමයේ වරදවා හැසිරීම තම ජීවිකාව කරගත් මසුරු තරුණියක මරණයෙන් මතු විරූපී ප්‍රේත උපතක් ලැබූ අයුරු මෙම ‘සෙරිණි’ කථා පුවතෙන් විස්තර වෙයි.
භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කලෙක සේරිණි නම් ප්‍රේතියක අරභයා මෙම දේශනාව වදාළ සේක. කුරු රට හස්තිනී නමින් හැඳින්වූ නුවර සෙරිණි නම් ඇති වෛශ්‍යා ස්ත්‍රියක් වාසය කළා ය. එම නගරයට පොහොය කිරීම සඳහා මහා භික්ෂු පිරිසක් රැස් වූහ. එය දුටු නගරයේ වාසය කළ මිනිසුන් නොයෙක් අයුරින් දන් පැන් සකසා ගෙනවුත් මහ දන් පැවැත්වූහ.
කිසිදු දනක් පිනක් නොකර වාසය කරන වෛශ්‍ය ස්ත්‍රිය දුටු මිනිසුන් “මෙහි පැමිණ මෙම දානය නුඹත් අනුමෝදන් වන්න.” යැයි පවසමින් ඇය පිනට උත්සාහවත් කළ නමුදු ඇය “හිස මුඩු මහණුන්ට දන් දීමෙන් කවර නම් ප්රයෝජනයක ද?” යැයි කියමින් ඇය තම අකමැත්ත ම පළ කර සිටියා ය. ඉතා කුඩා දාන වස්තුවක් හෝ පූජා කිරීමෙන් පිනක් රැස්කර ගැනීමට ඇය අපොහොසත් වූවා ය.
පසු කලෙක ඇය මිය ගොස් එක්තරා ප්‍රාදේශීය නුවරක අගලක් මතුපිට ප්‍රේතියක් ව උපත ලැබුවා ය. දිනක් හස්තිනීපුර වාසය කළ උපාසකයෙක් වෙළඳාම සඳහා එම නුවරට ගොස් අළුයම් කාලයෙහි යම් උවමනාවක් සඳහා අගල මතට ගියේ ය. එම ප්‍රේතිය ඔහු දැක හැඳිනගෙන නිරුවත් ඇට සහ සම පමණක් ඉතිරිව පවතින ඉතාමත් බියකරු වූ තම සිරුර උපාසකයා හට පෙනෙන්නට සැලැස්වූවා ය.
එවිට ඇය දුටු උපාසකතුමා “ප්‍රේතිය, සිත කය වචනයෙන් කවර අකුසල කර්මයක් කරන ලද්දේ ද? කවර අකුසලයක විපාකයක් හේතුවෙන් මිනිස් ලොවින් චුතව මෙම ප්‍රේත උපත ලැබුවේ ද?” යනුවෙන් විමසා සිටියේ ය.
“මිනිසුන් ජල ස්නානය කරන ගංගා ඇළ දොළ ආශ්‍රිතව කරන ලද තොටුපළ ස්ථානයන්හි මිනිසුන්ට අමතක ව දමා ගිය යම්කිසි දෙයක් ඇත්නම් එය ලබාගනිමි’යි සිතා ආශාවෙන් අඩමසක් පමණ කාලයක් ආහාර සොයමින් ඇවිද්දෙමි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණි විට ඔවුන්ට කිසිවක් නොදෙමින් බලවත් ලෝභයෙන් යුතුව අඩමස්සත් එකතු කළෙමි. දානයට වස්තුව තිබියදීත් පරලොවට පිහිට වන, සැප ලබා දෙන පිනක් නොකළෙමි.
පැන් පිපාසයෙන් පීඩාවට පත් මා පැන් බීමට ගඟක් කරා ගියේ නම් කවුඩන් විසින් ඉවුරේ සිට පානය කළ හැකි අයුරින් ජලය පිරී ඉතිරී ගලා බැස්ස ද ඒ ගංගාව ද මාගේ පාප කර්මයේ බලවත් බව හේතුවෙන් ම දිය හිස් වී වැලි පමණක් ඉතිරි වෙයි. උෂ්ණ කාලයෙහි මම සෙවණ ඇති තැනකට ගමන් කරමි. මා එතැනට පැමිණි කල්හි එම ස්ථානයට අව්ව වැටෙයි. සිහිල් වාතය යමෙකුගේ සිරුරෙහි හැපුණ විට සිසිලක් දැනවූව ද එම සිහිල් සුළඟ ම මා ගතෙහි ස්පර්ශ වූ විට ගින්දර හා සමාන ව තාපයෙන් වියළවමින් සිරුර දවාලයි. මෙම කියන ලද දුක්වලට අමතරව ඊටත් වඩා දරුණු දුක් විඳීමට ද මම සුදුසු වෙමි. කුමක් නිසා ද බොහෝ නින්දිත පව්කම් කළ නිසාවෙනි.
උපාසකතුමනි, ඔබ හස්තිනී පුරයට ගොස් මාගේ මවට මෙසේ කියනු මැනවි.
‘ඔබගේ දියණිය අකුසල කර්මයන් සිදුකොට යම ලෝකය යැයි කියනු ලබන ප්‍රේත අපායෙහි ඉපදී දුක් විඳින අයුරු මම දැකගත්තෙමි.’
පෙර මනුලොව සිටිය දී මා නිදාගත් සයනය යට මා විසින් තබන ලද හාරලක්ෂයක ධනය ඇත. මා විසින් එය කිසිවෙකුට පවසා නොමැත. ඒ ධනය රැගෙන එයින් ස්වල්පයක් මා උදෙසා දන් දෙත්වා. ඉතිරිය මාගේ මවගේ ජීවත් වීම උදෙසා වේවා. මාගේ මෑණියන් දන් දී මට දක්ෂිණාව දුන්නේ නම් එවිට මම සියලු කාම සැපතින් සමෘද්ධිමත් ව සැප ඇත්තියක් බවට පත්වෙමි.”
මෙසේ ප්‍රේතිය විසින් ගාථාවකින් තමන් ප්‍රේත දුකින් නිදහස් වීම පිණිස කළ යුතු වැඩ පවසා සිටියා ය.
උපාසකතුමා ඇගේ වචනය පිළිගෙන තම කටයුතු නිමවා හස්තිනීපුරයට ගොස් ඇගේ මවට එම කාරණය පවසා සිටියේ ය.
මව්තුමිය එම ධනය රැගෙන භික්ෂූ සංඝයා හට දන් දී එම පින ප්‍රේත උපත ලබා සිටින තම දියණියට අනුමෝදන් කළා ය. ප්‍රේතිය එම පිනෙන් සුවපත් විය. ශරීරයේ බියකරු පෙනුම පහව ගොස් දැකුම්කළු විය. ඉන් පසු ඇය තම දිව්‍යමය සිරුර තම මවට පෙන්වා සිටියා ය. මෑණියන් එම සිදුවීම භික්ෂූන් වහන්සේලාට සැල කළා ය. භික්ෂූන් වහන්සේලා පසුව එම පුවත බුදුරජාණන් වහන්සේට සැල කර සිටියෝ ය. භාග්‍යවතුන් වහන්සේ එම පුවත අර්ථය ලෙස ගෙන මහජනතාවට හිත සුව පිණිස ධර්මය දේශනා කළ සේක. එම ධර්මය දෙව් මිනිසුන්ට බොහෝ යහපත පිණිස ම විය.
සටහන – හර්ෂ නිලංක පෙරේරා
ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව
Recent Comments