අනුරාධපුර මහමෙව්නාව උයනේ වැඩ සිටින ජයසිරිමහ බෝ රජාණන් වහන්සේ උදෙසා නිර්මාණය වී ඇති ගීත සාහිත්‍යයට ඇතුළත් ඉතා වටිනා ගීතයක අර්ථාන්විත විමසුමකට අප අවධානය යොමු වූයේ එහි ඇතුළත් අනුවේදනීය පසුබිම් වෘතාන්තය නිසා ය. ගීයේ රස භාව විඳුමට පෙර එම පසුබිම් වත ගැන අවබෝධයක් ලබා ගැනීම වටනේ ය.
මීට අවුරුදු දෙදහස් හයසිය හතළිස් තුනකට පෙර තුසිත දෙව්ලොවින් මනුලොවට වැඩි සිදුහත් බෝසත් කුමරුන් ලුම්බිනි සල් උයනේ ජන්මලාභය ලැබූ දිනයේ දී ම නේරංජරා නදිය අසබඩ ගයා ශීර්ෂයේ පැන නැගුණු ඇසතු ශාක අංකුරය වැඩී ගොස් ඉන් වසර තිස් පහකට පසු උතුම් සම්බෝධිය සාක්ෂාත් කොට වදාළ බුදුරජාණන් වහන්සේට සෙවණ සැලසූ නිසාවෙන් ඒ උතුම් වෘක්ෂය ‘ශ්‍රී මහා බෝධීන් වහන්සේ’ ලෙසින් විරුදාවලී ලැබී ය. ඉන් අවුරුදු තුන්සිය විසිහතකට පසුව, නැතහොත් මීට වර්ෂ දෙදහස් තුන්සිය දාසයකට පෙර දඹදිව අශෝක මහාධිරාජයාගේ කාලයේ දී ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවන ලදුව අනුරාධපුරයේ මහමෙව්නා උයනේ රෝපණය කරන ලදී.
ධර්මාශෝක රජතුමා ජයසිරිමා බෝධීන් වහන්සේ වෙත කොතරම් ගෞරවාදරයක් දැක්වූවේ ද යත් තම දියණිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ අත ම බෝධි ශාඛාව එවා, එම උතුම් ජීවමාන පූජනීය වස්තුවේ ආරක්ෂාව රාජ කුමාරවරුන් අට දෙනෙකුට පවරා, ඔවුන් පිරිවර වශයෙන් එවන ලදී. එම කුමාරවරු අශෝක අධිරාජයාගේ මෙහෙසියක වූ ශාක්‍ය වංශික වේදිසා දේවියගේ සහෝදරවරු වූහ. බෝධිගුප්ත, සුමිත්ත, චන්ද්‍රගුප්ත, දේවගුප්ත, ධර්ම ගුප්ත, සූරිය ගුප්ත, ගෝතම හා ජුතින්දර යන නම්වලින් හැඳින්වූ එම කුමරුන්ගේ ප්‍රධානියා බෝධිගුප්ත විය.
ශ්‍රී මහා බෝධි ශාඛාව පිළිබඳ භාරකාරත්වය බෝධිගුප්ත කුමාරයාට පැවරූ ධර්මාශෝක රජතුමා ඒ පූජනීය වස්තුව අරභයා කළ යුතු පුද පූජා හා රැකවරණ සැලසීම ආදී උපදෙස් ලබා දී ඊට අවශ්‍ය පිරිස් හා උපකරණ පිරිනැමූ බව බෝධිවංශයේ කියැවෙයි. ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවාගෙන ලක්දිවට ගොඩබට සංඝමිත්තා මෙහෙණින් වහන්සේ හා බෝධි ආරක්ෂක කුමාරවරුන් ඇතුළු පිරිස ඉමහත් ගෞරවාදරයෙන් පිළිගත් දේවානම්පියතිස්ස රජතුමා ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධ තනතුරු ඒ කුමාරවරුන් ඇතුළු පිරිසට පැවරුවේ අශෝක අධිරාජයා දුන් උපදෙස් පරිදි ය.
දේවානම්පියතිස්ස රජතුමා, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිළිබඳ මහාර්ඝ වගකීම බෝධිගුප්ත කුමාරයා හට පවරා දීම් වශයෙන් ‘ජයමහලේනා’ තනතුර ප්රදානය කළ බව වංශ කථාවන්හි සඳහන් ය. එය කොතරම් ගරු සම්මාන ඇතිව පැවරුවේ ද යත් බෝධිගුප්ත කුමරුට ඔටුනු පලඳවා ඇතු පිටින් නුවර පැදකුණු කරවූයේ තනතුරට අදාළ ගෞරවය ලබාදීම සඳහා ය. ශ්‍රී මහා බෝධි ආරක්ෂක පරම්පරාව ඉදිරි අනාගතයට ද බලපාන පරිදි පවත්වාගෙන යාම සඳහා කටයුතු සැලසුම් කළ දේවානම්පියතිස්ස රජතුමා බෝධිගුප්ත කුමාරයා හට සමකුල කුමාරියක් සරණ පාවා දීමට ද කටයුතු සැලැස්වී ය.
සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමඟ ලක්දිවට වැඩම කළ ශාක්‍ය වංශීය බෝධිමිත්තා තෙරණියට සුනන්දා නම් නැගණියක් වූවා ය. සාමණේරියක ව සිටි ඈ සිවුරු අරවා බෝධිගුප්ත කුමරුන්ට සරණ පාවා දුන්නේ උතුම් පූජනීය මෙහෙවරක් සඳහා සුදුසු පරපුරක් අනාගතයට දායාද කිරීම අරමුණු කොටගෙන ය. බෝධිගුප්ත – සුනන්දා යුවළට දාව උපන් කුමරුන් දෙදෙනා අතුරෙන් මහින්ද කුමරාට ‘ජයමහලේනා’ තනතුර ද ඔහුගේ මල් විදුරින්ද කුමරාට ‘ලක්දිව් පිරිසිඳුනා’ තනතුර ද පිරිනැමූ බව බෝධිවංශයේ සඳහන් වෙයි.
එදවස සිට බෝධිගුප්ත පරපුරෙන් පැවත එන්නෝ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව හා ඊට වත්පිළිවෙත් සැලසීම නොපිරිහෙලා ඉටු කළහ. බුදුරජාණන් වහන්සේට නෑකම් කියන ශාක්‍ය වංශයෙන් පැවත එන තවත් පරපුරක් ලමැනිහොත් හෙවත් ලම්භකර්ණ ගෝත්‍රිකයන් වශයෙන් අනුරපුර යුගයේ දී හැඳින්විණ. දඹදෙණියේ තුන්වැනි විජයබා රජු හැඳින්වෙන්නේ “මහබෝ, වඩා ආ සිරිසඟබෝ වංශයෙන් පැවත එන්නකු” ලෙස යි.
දකුණු ඉන්දීය ආක්‍රමණ නිසා අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පසුව පොළොන්නරු රාජධානි සමය පැවතුණේ ටික කලකි. ඉන් පසුව රජරට සිංහල රාජධානි පාළුවට ගියේ ය. දන්ත ධාතූන් වහන්සේ රාජධානියෙන් රාජධානියට වැඩමවා දළදා මාලිගා ඉදිකරවා රැකවරණ සැලසූ නමුදු ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඍජු රාජ්යාරක්ෂාව නොමැති විය. මේ කාලයේ පරසතුරු උවදුරින් හා වන ගහනයෙන් මෙන් ම වන සතුන්ගෙන් ද පැමිණෙන පීඩා වළකා ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැක ගත්තේ බෝධිගුප්ත පරපුරෙන් පැවත ආ දරමිටි පූජා ගැමි බලකාය විසිනි. එම පරපුර මහනුවර යුගයේ දී හැඳින්වුණේ ‘නුවර වැව පවුල’ නමිනි.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා අතීතයේ සිට පවත්වාගෙන එනු ලැබූ පුද පූජා හා ආවතේව කටයුතු එම අතිශය දුෂ්කර සමයේ දී වුව ද නොපිරිහෙලා ඉටු කිරීමට මහා බෝධි ආරක්ෂක පරපුරේ ඇත්තෝ කටයුතු කළහ. බෝධි වන්දනාව සඳහා යොදා ගත් තෙල් – මල් – පහන් හැරුණු විට ඔවුහු දරමිටි ද රැගෙන පැමිණියහ. දර අවශ්‍ය වූයේ රාත්‍රී කාලයේ දී පැමිණිය හැකි පරසතුරු උවදුරුවලින් සහ දලු කඩා කෑමට එන වන අලින්ගෙන් හා වෙනත් වන සතුන්ගෙන් වන හානි වළකා ගැනීම සඳහා ගිනි මැල ගසා ආලෝකය පතුරුවා හැරීමට ය. ඒ අනුව එම අඳුරු සමයේ දරමිටිය ද පූජා භාණ්ඩයක් වී ය. වන්දනාවේ එන සැදැහැවතුන් දරමිටියක් බැගින් රැගෙන ඒම සිරිතක් බවට පත් වී පසුව එය ‘දරමිටි පෙරහැර’ නමින් හැඳින්විණ. එය කොතරම් අත්‍යවශ්‍ය පූජාවක් වී ද යත් “දරමිටි පෝය” නමින් පොහොය දිනයක් ද හඳුන්වා දී තිබිණ.
දරමිටි රැගෙන විත් ගිනිමැල ගසාගෙන මුළු රැය පුරා නිදි වරා රැකගත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තවමත් දිවි දෙවෙනි කොට ආරක්ෂා කරමින් අප්‍රකට ව වුව ද පුද පූජා පවත්වන්නේ ශ්‍රී මහා බෝධී මෙහෙණවර පරපුරෙන් පැවත එන ‘ජය මහ ලේනා’ හෙවත් ‘විල්ලිගර’ පරපුරේ ඇත්තෝ ය. මොවුහු දැනට අනුරාධපුරයේ විහාරගම් නවයෙහි ජීවත් වෙති. පෙර ඔවුන්ට විහාරගම් තිස්හතක් අයත්ව තිබුණ බැව් කියැවේ. නූතන යුගයේ වෙසෙන බොහෝ දෙනෙකු නොදන්නා එකී පින්වත් සත්පුරුෂ පරපුරේ නිස්සරණාධ්‍යාශ පරිශ්රමය, සුභාවිත බොදු බැති ගීතයක් ලෙසින් රැව් දෙමින් සිරිලක් දෙරණ වාගැබ සිසාරා පැතිර යන්නේ එකී සත්පුරුෂයන්ගේ අධ්‍යාත්ම දෝංකාරයක් පරිද්දෙනි.
“ජය සිරිමා හාමුදුරුවනේ…
දරමිටි බැන්දා – රෑ නිදි වැරුවා
ගිනිමැල ගහගෙන රැක සිටියා…
එහෙව් අපට අද එන්ඩ තහංචි ද
ජය සිරිමා බෝ හාමුදුරුවනේ…
වැලිමළුවේ හිඳ සාදු කියනකොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
ඉස්සර වාගෙම දාඩිය මුසු වුණු
අපේ බාර පිළිගන්ඩ හොඳයි
ජය සිරිමා හාමුදුරුවනේ…
රන්වැට පාමුල සාදු කියනකොට
ළෙන්ගතුකම් නොහිතන්ඩ හොඳයි
බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්න හොඳයි
ජය සිරිමා හාමුදුරුවනේ…”
රජමැති ඇමතිවරුන් හා වෙනත් ප්‍රභූවරුන් නොපැමිණි සමයේ හුදෙකලා ව වැඩ සිටි ජය සිරිමා බෝ සමිඳුන්ට සිය දිවි දෙවෙනි කොට රැකවරණ සලසා ආවතේව කළා වූ ඒ උදාර පරපුරේ පරිශ්රමය පිළිබඳ අනුවේදනීය කතා පුවත ගී පද වැලකට අමුණන ලද්දේ රජරට අභිමානයට උරුමකම් කියන, වැවුතාවුලුවල ඇවිද ගිය ගුරු පියවරු ගැන ලියන මහින්ද චන්ද්‍රසේකර සුළවතාණන් විසිනි. විසාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ශිල්පිනිය ශ්‍රාවක හද මඬල සසල කරවන මියුරු ස්වරයෙන් ඒ උදාර මිනිසුන්ගේ අධ්‍යාත්ම සැමරුම ජාතියට දායාද කළා ය.
ගීතයේ ආරම්භක ස්ථායි කොටස ජය සිරිමා බෝ සමිඳුන් ආරක්ෂා කර ගැනීමට, උඩමළුව හා ඒ අවට සමීපාශ්‍රයේ ගැවසුණ ගැමි ජනකාය දිවා රෑ දැරූ අප්‍රමාණ පරිශ්‍රමයත්, වර්තමානයේ ඒ අසලටවත් ළං විය නො දී ඔවුන් නොතකා හැර ඇති අයුරුත් අතිශය දුක්බර ස්වරයෙන්, හඬ නොනඟා පළ කරන අධ්‍යාත්ම නෝක්කාඩුවක් වැන්න.
“දර මිටි බැන්දා – රෑ නිදි වැරුවා
ගිනිමැල ගහගෙන රැක සිටියා…”
ජය සිරිමා බෝධීන් වහන්සේ දලුලන කාලයට අලි ඇතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට බොහෝ වෙහෙසක් දැරීමට සිදු වූ බැව් පැවසේ. බෝධි ආරක්ෂාවට කැප වී සිටි සියලු දෙනා එක් වී බෝ මළුව වටා ඈත සිට ගිනිමැල ගහගෙන රෑ නිදි වරාගෙන බෝධීන් වහන්සේ රැක ගත්තේ තම පරපුරේ වගකීම් භාරය ඉටුකිරීමට සේ ම ඉමහත් සැදැහැයෙන් ද යුතු ව ය. එහෙත් අද ඔවුන්ට උඩමළුව අසලට ළං වීමටවත් අවසර නැත. “එහෙව් අපට අද එන්ඩ තහංචි ද” යන වදන් කැටියේ දැවටී ඇත්තේ වදනින් පැවසිය නොහැකි තරම් දුක් වේදනාවකි. පරම්පරා ගණනක් දාඩිය මුගුරු හළමින් වෙහෙස මහන්සි වී රැකගෙන ආ උතුම් පූජනීය වස්තුව අද ඔවුන් වෙතින් දුරස්ත ව වැඩ වෙසෙති.
“වැලි මළුවේ සිට සාදු කියනකොට
අහිතක් නොසිතා ඉන්ඩ හොඳයි”
ජය සිරිමා බෝධි වැලි මළුවේ සිට පසෙකට වී සාදුකාර දී වැඳ පුදා ගැනීමෙන් පමණක් සෑහීමට පත් වීමට තරම් පිටස්තරයන් පිරිසක් බවට අද ඔවුහු පත්ව සිටිති. තමන් වෙහෙස මහන්සි වී උපයා ගන්නා දෙයින් පිරිනමන දාන මානාදිය දැන් පිළිගැන්වීමට සිදු වී ඇත්තේ දුරින් හිඳගෙන ය.
“ඉස්සර වාගෙ ම දාඩිය මුසු වුණු
අපේ බාර පිළිගන්ඩ හොඳයි”
ජය සිරිමා බෝධීන් වහන්සේ තමන් දෙස ඉමහත් ළෙන්ගතුකමින් යුතුව ප්‍රතිචාර දක්වන බව ඔවුන්ගේ මුවින් පිටවන සුසුම්වැල් බඳු වදන් නඟන ධ්වනියෙන් හැඟවෙයි.
ශ්‍රී මහා බෝධීන් වහන්සේට සමීප වෙමින් චිරාත් කාලයක සිට ආවතේව කරමින් වන්දනා කළ බෝධි ආරක්ෂක ගැමි ජනතාව වර්තමානයේ දී අපමණ සැදැහැයෙන් යුතුව රන්වැට පාමුලට වී සුසුම්ලනුයේ, ආගන්තුක ප්‍රභූන්, වරප්‍රසාද ලද්දන් උඩමළුවේ රැස්ව සිවුරු පොරවමින් නළල තබා වඳිමින් පුද පූජා පවත්වන අයුරු නරඹමිනි. තෙරපෙන බැතිමතුන් අතර සිට පා ඇඟිලි තුඩින් නැගී කර ඔසවා බැලුව ද සිරිමහ බෝධි මූලය ඔවුන්ගේ දෑසට හසු නො වේ.
“රන්වැට පාමුල සාදු කියන කොට
ළෙන්ගතුකම් නොසිතන්ට හොඳයි
බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි
දුක උහුලා වැඩ ඉන්ට හොඳයි…”
සිය දහස් වසරක් මුළුල්ලේ වැඳුම් පිදුම් කරමින් රෑ නිදි වරමින් පරසතුරන්ගෙන් හා වනසතුන්ගෙන් ආරක්ෂා කර ගත් පූජනීය වස්තුව දැන් ඔවුන් වෙතින් දුරස්ත ව වැඩ වෙසෙති. “රන්වැට පාමුල සාදු කියන කොට” යන ගී පද වැල අතරින් නැඟී එන්නේ ඔවුන් හෙළන දුක් සුසුම් වැල්වල රාව භාවය යි. අහසට නැඟී මඳ පවනේ ලෙලෙන රන් බෝපත් නඟන රාවයට සවන් යොමන සැදැහැවතුනට සිහිපත් වන්නේ බුදුරජාණන් වහන්සේ ය. එසැණින් ඔවුන්ගේ මතකයට නැගෙන්නේ තම පරපුර සියවස් ගණනාවක් තිස්සේ රැකබලාගත් උතුම් පූජනීය වස්තුවේ මහානීය බවයි. දෙදහස් තුන්සිය වසරක ඉතිහාසය මුළුල්ලේ දැයට සෙත සලසමින් උඩමළුවේ වැඩ සිටින ජය සිරිමා බෝ රජාණන් වහන්සේ අනාගතයේ ද සිරි ලක්දිව ජනතාවගේ හිත සුව පිණිස ම වැඩ වෙසෙනවා ඇත.
“දුක ඉවසා වැඩ ඉන්න හොඳයි…!”
සටහන – දයාපාල ජයනෙත්ති
Recent Comments