මිලක්ඛතිස්ස මහරහතන් වහන්සේ

සංසාර ගමනේ සැරිසරා යන අයෙකුට මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනුයේ ඉතාමත් කලාතුරකිනි. ඒ මනුෂ්‍ය ජීවිතයට බුදු කෙනෙකුගේ දහමක් මුණගැසෙන්නේ ඊටත් වඩා කලාතුරකිනි. මේ දෙක ම එකට එක් වූ කල එයට ‘ක්ෂණ සම්පත්තිය’ යැයි කියනු ලබයි. ඒ ක්ෂණ සම්පත්තිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළේ “(ඛණෝ වෝ මා උපච්චගා) මේ ක්ෂණ සම්පත්තිය ඔබව ඉක්ම නොයාවා. (ඛණාතීතා හි සෝචන්ති නිරයම්හි සමප්පිතා) ක්ෂණය අහිමි වූ අය නිරයේ ඉපදී ශෝක කරත්.” යනුවෙනි.

නමුත් ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගැනීමට බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ නැත. ක්ෂණ සම්පත්තිය ලැබී තිබෙද්දිත් ඇතැම් අය පව් කරමින් ජීවිතය ගත කරන විට, වාසනාවට සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීම නිසා නිරයට නැඹුරු වී තිබුණ ජීවිත අමා මහ නිවන කරා ගිය අයුරු විස්මිත ය. එයට බොහෝ ලෙස උපකාරී වූයේ නොපසුබස්නා උත්සාහය යි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි කාලයේ ධර්මාවබෝධයට වාසනාව තිබූ බොහෝ ප්‍රඥාවන්ත මිනිස්සු ඉපදී සිටියහ. බුදුරජාණන් වහන්සේ විසින් ඉතා දුෂ්කර ලෙස ස්වයංභූ ඥානයෙන් අවබෝධ කොට වදාළ ඉපදීම, වයසට යාම, ලෙඩ වීම, මරණය, ශෝක වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම්වලට ඒකායන විසඳුම වූ අමා මහ නිවන ගැන දෙව් මිනිසුන්ට මනාකොට පහදා දුන් සේක.

නිවන පතාගෙන සසරේ බොහෝ කලක් පිරූ මහා පින් ඇති ප්‍රඥාවන්ත මිනිසුන් ඒ අමා මහ නිවන අවබෝධ කර ගැනීම පිණිස ගත් වීර්යය ඉතා ආශ්චර්ය ය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ පමණක් නොව, ඉන් පසුවත් පින් ඇති මිනිස්සු මේ ධර්ම මාර්ගයේ ගමන් කොට නිවන අවබෝධ කළහ. ලංකාදීපයට බුදු කෙනෙක් බඳු වූ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ශාසන දායාදය ලබා දුන් පසුව ද ලක්දිව්වැසි පින් ඇති ප්‍රඥාවන්ත මිනිස්සු අමා මහ නිවන අවබෝධ කළහ.

දහස් ගණනින්, ලක්ෂ ගණනින් මේ ලංකා ධරණීතලයෙහි ද මහරහතන් වහන්සේලා බිහි වූහ. උන්වහන්සේලා ඒ නිවන පතා තමන්ගේ ජීවිතය කැප කළ අයුරු ඉතා විස්මිත ය. අසීමිත වීර්යයකින් ධර්මයේ හැසිර, ඒ පරම සුන්දර නිවන අවබෝධ කොට සතර අපායේ දොරටු සදහට ම වසා දැමූ, නිවන් දොරටුව විවර කර ගත් මිලක්ඛතිස්ස නම් මහරහතන් ගැන කියැවෙන මෙම සටහන කියවා අපි ද සිත පහදවා ගනිමු.

************************************************

රුහුණු රටේ ගාමෙණ්ඩවාල මහා විහාරයට නුදුරු ගමක මිලක්ඛතිස්ස නම් තරුණයෙක් සිටියේ ය. මොහුගේ ජීවනෝපාය වූයේ දඩයම් කිරීම යි. ඔහු කැලයේ උගුල් සියයක් ද මලපුඩු සියයක් ද අටවමින් සතුන් මරා ජීවිකාව කළේ ය. එක් දිනක් මුවෙකු මරා මස් පුළුස්සා කා පිපාසිත ව ගාමෙණ්ඩවාල විහාරයට ගියේ ය. එහි තිබූ කළ දහයක ම පැන් නොදැක, මෙපමණ භික්ෂූන් වසන තැන කළවල බීමට පැන් ටිකක් නැතැයි භික්ෂූන්ට දොස් නැගී ය. චුල්ලපිණ්ඩපාතික තිස්ස මහ තෙරුන් වහන්සේට ඔහුගේ කථාව ඇසී, පැන් හලට ගොස් පැන් කළ දහය ම ජලයෙන් පිරී තිබෙනු දැක ‘මොහු ජීවමාන ප්‍රේතයක් වී ය’ යයි සිතා, “උපාසකය, ඉදින් පැන් බොනු කැමැත්තේ නම් බොව.” යි කියා කළය ඔසවා ඔහුගේ අත්ලට ජලය වත් කළේ ය. ඔහුගේ අකුසල කර්මය නිසා මුළු කළයක වතුර බිව්වත් පිපාසය නොසන්සිඳුනි. ඉතිරි කළවල ජලය බොන්ට දුන් නමුත් එයිනුත් ඔහුගේ පවස නොසන්සිඳුනේ ය. ඒ තෙර නම “උපාසකය, ඔබගේ කර්මය ඉතා බලවත් ය. මෙලොව දී ම ප්‍රේතයෙක් විය. පරලොව දී ලබන දුක් කෙතරම් වෙත් ද?” යැයි කී ය.

එයින් සංවේගයට පත් හෙතෙමේ තෙරුන් වැඳ ගොස්, උගුල් ආදිය විනාශ කොට ඉක්මනින් ම ගෙදර ගොස් සිර කළ සතුන් ද මුදා හැර තෙරුන් වෙත යළි එළඹ පැවිද්ද ඉල්ලී ය. තෙරනම අනුකම්පාවෙන් ඔහු පැවිදි කරවී ය. අප්‍රමාදී ව වත් පිළිවෙත් කරන මිලක්ඛතිස්ස තෙරුන් වහන්සේ ධර්මය ද ඉගෙන ගත්තේ ය. නමුත් ටික කාලයක් යන විට තමන් මැරූ සතුන් සිහි වේ, මර උගුල් සිහි වේ, යොදන ලද ආයුධ සිහිවේ. උන්වහන්සේගේ සිරුරින් ඩාබිඳු වැගිරේ. කුළුගොනෙක් මෙන් කමටහනෙහි සිත නොපිහිටයි. උන්වහන්සේ පැවිද්දෙහි නොඇළුණු සිත් ඇතිව වේදනාවෙන් වාසය කළේ ය.

එක් දවසක් දේවදූත සූත්‍රය ඉගෙනගෙන “ස්වාමීනී, මහා නරකය නම් ඉතා භයානක තැනෙක.” යැයි කී ය. “එසේය ඇවැත්නි.” යි තෙරුන් කී විට “ස්වාමීනී, එය බැලිය හැකි ද?” යැයි ඇසී ය. “එය බැලිය නොහැක. එහි දරුණු බව ප්‍රත්‍යක්ෂ කර ගත හැකි වන සේ එක් කාරණයක් පෙන්විය හැකි ය.” යි කියූ තෙරනම අමු දර ගොඩක් ගොඩ ගසන්නැයි පවසා එය පිළියෙල කළ පසු මට දැනුම් දෙන්නැයි කීවේ ය. හේ ඉඹුල් ආදී අමු ගස් කපා ගොඩ ගසා දැන් කුමක් කරම් දැයි ඇසී ය. ඒවා දවන්නැයි තෙරුන් පැවසී ය. හතරවටින් ම දැවීමට උත්සාහ කර අසමත් වී හේ තෙරුන්ට ඒ බව දැන්වී ය. තෙරුන් වහන්සේ, “එසේ නම් ඉවත් වෙන්න.” යැයි පවසා මහ පොළොව දෙබෑ කර අවීචියෙන් කණාමැදිරියෙකු පමණ ගිනි පුපුරක් රැගෙන දරගොඩට දැමූහ. එවිට ක්ෂණයෙන් වියළි කොළ ගොඩක් මෙන් අමු දර ගොඩ දැවී ගියේ ය. තෙරුන් වහන්සේ මිලක්ඛතිස්ස තෙරුන්ට නිරයේ බරපතළකම පෙන්වා “මිලක්ඛතිස්සය, මහණකම නොකළොත් ඔබට දුක් විඳින්නට වෙන්නේ නිරයේ තමයි.” කියා සංවේගය ඉපැදවී ය.

එයින් සංවේගයට පත් මිලක්ඛතිස්ස තෙරුන් එතැන් සිට මහණදම් පුරයි, වෑයම් කරයි, වත්පිළිවෙත් කරයි. සිතුල්පව්ව මහා විහාරයේ ද ගාමෙණ්ඩාවල මහා විහාරයේ ද කතරගම මහා විහාරයේ ද උන්වහන්සේ වතාවත් කළේ ය. නොපසුබටව භාවනාවෙහි ද යෙදුණේ ය. නිදිමතින් බාධා ඇති කරන විට තෙත් වූ පිදුරු මිටියක් හිස තබාගෙන, පා දෙක ගල් පොකුණක ඔබාගෙන නිදිමත දුරු කළේ ය. එක් දිනක් සාමණේරනමක්,

“උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ,
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ,
අප්පමත්තස්ස යසෝභිවඞ්ඩති”

(නැගී සිටින වීරියෙන් යුක්ත නම්, හොඳින් සිහිය පවත්වනවා නම්, පිරිසිදු ක්‍රියාවෙන් යුක්ත නම්, නුවණින් විමසා බලා කටයුතු කරනවා නම්, සංවර නම්, ධාර්මික ජීවිතයක් ගත කරනවා නම්, අන්න ඒ අප්‍රමාදී පුද්ගලයාගේ කීර්ති රාවය ඉහළින් ම පැතිරෙනවා) යන ධම්මපදයේ, අප්පමාද වර්ගයේ සඳහන් ගාථාව කියනු ඇසී, ඒකාන්තයෙන් ම මා වැනි වීර්යවත් භික්ෂුවක් උදෙසා බුදුරදුන් විසින් මේ ගාථාව දෙසන ලදැයි ප්‍රීති උපදවා ධ්‍යාන වඩා එය පාදක කොට රහත් ඵලය ලැබී ය. මිලක්ඛතිස්ස මහරහතන් වහන්සේ පිරිනිවෙන කල්හි භික්ෂූන් විසින් රහත් වූ සැටි විචාල විට තමන් තෙත පිදුරු මිටියක් හිසින් ගෙන වීර්යය වැඩූ ආකාරය විස්තර කරමින් ප්‍රීති වාක්‍ය පහළ කළ සේක.

************************************************

අහෝ කොතරම් අසිරිමත් ද..! නිරයට කැපවී තිබුණු ජීවිතය සදහටම දුකෙන් නිදහස් කර ගත් අයුරු…! සම්බුද්ධ ශාසනයෙන් මනුෂ්‍යයාට කොතරම් යහපතක් සලසනවා ද! අප භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙහි උපන් ඒ ධර්මය කොතරම් නම් දුක් විඳින සත්වයන් ව සසරින් නිදහස් කරනවා ද! මේ ශ්‍රී ලංකාද්වීපයෙහි අතීතයේ කී දෙනෙක් නම් සසරින් නිදහස් වෙන්නට ඇත්ද? මේ දුක් විඳින සසරින් නිදහස් වෙන්ට උන්වහන්සේලා ගත් අපරිමිත වීර්යයට අපගේ නමස්කාරය වේවා! බුදුරජාණන් වහන්සේගේ හද මඬලින් උපන්, අසීමිත, අප්‍රමාණ වීරියකින් අමා මහ නිවන් අවබෝධ කළ, පිරිනිවන් පා වදාළ මහෝත්තම මිලක්ඛතිස්ස මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

අටුවා ග්‍රන්ථ ඇසුරිනි

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි.