රතන සූත්‍රයේ සඳහන් එම ගාථා රත්නය සහ එහි අර්ථය මෙයයි.
සහාවස්ස දස්සන සම්පදාය – තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච – සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායේහි ච විප්පමුත්තෝ – ඡචාභිඨානානි අභබ්බෝ කාතුං
ඉදම්පි සංඝේ රතනං පණීතං – ඒතේන සච්චේන සුවත්ථි හෝතු
‘ඒ ශ්රාවකයා තුළ චතුරාර්ය සත්‍යය පිළිබඳව සත්‍ය ඤාණයට පැමිණීමත් සමඟ ම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා හා මිථ්‍යා සීලව්රත කියන මේ සංයෝජන තුන දුරුවෙලා යනවා. ඔහු සතර අපායෙන් මැනවින් ම නිදහස් වෙනවා. (ආනන්තරීය පාප කර්ම 5ත්, නියත මිථ්‍යාදෘෂ්ටියත් යන) මේ පව් හය ඔහුගේ අතින් කෙරෙන්නේ නෑ. ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානර්ඝ මාණික්‍ය රත්නය නම් මෙය යි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!’
සෝතාපන්න ශ්රාවකයා දුගතිගාමී රාග, ද්වේෂ, මෝහ ප්රහාණය කළ කෙනෙක් බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. එම නිසා පහත දැක්වෙන කර්ම හය සෝතාපන්න ශ්‍රාවකයෙකු අතින් කිසිදිනක සිදුවන්නේ නැහැ.
■ මව මැරීම
■ පියා මැරීම
■ රහතුන් ඝාතනය
■ සංඝ භේදය
■ දුෂ්ට සිතින් බුදුරදුන්ගේ ලේ සෙලවීම
■ නියත මිථ්‍යාදෘෂ්ටික වීම
ඉහත ගාථා රත්නයේ ‘නොකරයි සය තැනක කර්ම වැටෙන අපායට’ යනුවෙන් සඳහන් වන්නේ ධර්මාවබෝධ කළ ශ්රාවකයෙකුට ලැබෙන එම උතුම් රැකවරණය ගැනයි.
Recent Comments