එදා අපේ ආච්චි ලස්සනට බුදුගුණ භාවනාව හඬ නඟා කීවා. අපි හැමෝ ම එය අසාගෙන සිටියේ හරීම සතුටින්. එදා ආච්චිගෙන් මං යම් කාරණාවක් අහන්ට ම යි සිතා සිටියේ. ඉතින් ආච්චිට ළං වෙලා මං මෙහෙම ඇසුවා.
“ආච්චියේ… මේ…. මං ඔයාගෙන් දහම් කරුණක් අහන්ටයි සිතා සිටියේ. දැන් ඒක ඇහුවට කමක් නැද්ද?”
“අහන්ට පුතේ…. මං දන්නා දෙයක් ඔයාලට නොකියා ඉන්නවැයි.”
“අනේ ආච්චියේ… අපරාපරිය වේදනීය කර්ම විපාක කියන්නේ මොනවාද කියා මට තේරෙන්නෑ.”
“හරි පුතේ…. ඒක ගොඩාක් ගැඹුරු කාරණාවක් තමයි. මෙහෙමනේ පුතේ. කර්ම මොනවා ද කර්ම විපාක මොනවා ද කියා මහා නුවණ තිබුණේ අපගේ භාග්‍යවතුන් වහන්සේට නොවැ. අපේ භාග්‍යවතුන් වහන්සේ තමයි අපට වදාළේ කර්ම විපාක දෙන එක්තරා විදිහක් කියා මේ අපරාපරිය වේදනීය කර්ම විපාක ගැන. ඒ කියන්නේ කෙනෙක් සංසාරේ සැරිසරා යන තාක් කල් කොයියම් ම අවස්ථාවක වුණත් තමන් කළ කර්ම විපාක දෙන එක. කොටින්ම පිරිනිවන් පාන මොහොත දක්වා ම වුණත් විපාක මතුවෙන්ට පුළුවන්කොමට තමා මේ අපරාපරිය වේදනීය විපාක කියා කියන්නේ.
මයෙ පුතේ, ඔයා අසා තියෙනවා ද අපගේ උත්තර මහරහතන් වහන්සේගේ කතාව?”
“අනේ නෑ…. ආච්චි…. අනේ… අපට ඒක කියාදෙන්ට.”
“හප්පා… හරීම පුදුමයි පුතේ ඒ කතාව. මෙහෙමයි පුතේ ඒ කතාව. මීට කල්ප තිස් දහසකට කලින් ‘සුමේධ’ නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයේ පහළ වුණා. දවසක් ඒ සුමේධ බුදුරජාණන් වහන්සේ මහා වනයක රුක් සෙවණේ වාඩි වී උන්නා. එදා පුතේ උන්නාන්සේ දිවැසින් දැක වදාරන්ට ඇති අනාගතේ නිවන් දකින්ට පින් තියෙන කෙනා ගැන. ඉතින් එදා බුදුරජාණෝ බුදුරැස් විහිදමින් වැඩ උන්නේ.
එතකොට පුතේ එක් විද්‍යාධර පුරුෂයෙක් ත්රිශූලයකුත් අතින් ඇන්න ආකහෙන් යද්දී මහවනයෙන් රැස් විහිදෙනවා දැක්කා. මේ මොකෝ වනාන්තරෙන් රැස් විහිදෙන්නේ කියා බැලින්නම් ශ්රමණයන් වහන්සේනමක් රුක් සෙවණේ භාවනානුයෝගීව ඉන්නවා. එතකොට මේ විද්යාධරයාට හරී සතුටක්, පැහැදීමක්, ගෞරවයක් ඇති වුණා. අනේ මුන්නාන්සේට මක්කවත් පූජා කොරගන්ට ඇත්නම් කියා වටපිට බලද්දී කිණිහිරි ගසක හරි අගේට මල් තුනක් පිපී තියෙනවා දැක්කා. දැකල හිටං ආකහෙන් බිමට බහිද්දී ම මල් තුන නෙළාගත්තා. පා ගමනින් ගොහින් සුමේධ භාග්‍යවතුන් වහන්සේට ඒ මල් තුන පූජා කොළා. එතකොට පුතේ, හරි ආශ්චරියක් වුණා නොවැ. ඒ මල් තුනේ නැටි උඩට හිටින්ට හැරිලා පෙති යටට හැරිලා ටිකෙන් ටික අහසට එසවුණා. සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ සිරසට උඩින් රන් ඡත්‍ර තුනක් වගේ පිහිටියා! මේ තරුණයා භාවනාවෙන් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේට අසිරිමත් විදිහට පූජාවුණ මල් තුන නිසා ගොඩාක් වෙලා වන්දනා කරගෙන සතුටින් බලා හිටියා. අන්තිමේ දී බිම දිගාවෙලා දණ්ඩ නමස්කාරයෙන් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොරලා පිටත් වුණා.
ඉතින් පුතේ ඒ කිණිහිරි මල් තුන පිදූ පිනෙන් ඒ විද්යාධරයා මරණින් මතු තව්තිසාවේ උපන්නා. ආන්න ඒ උප්පැත්තියට හේතු වුණේ ඒ මල් පූජාවේ උපපජ්ජ වේදනීය විපාකය යි. ඒ කීවේ ඊ ළඟ ආත්මයේ විපාක දුන්නා. ඊට පස්සේ පුතේ අපරාපරිය වේදනීය කර්ම විපාක වශයෙන් මේ පින් ඇති කෙනා පන්සිය වතාවක් දෙවියන් අතරේ උපන්නා. දෙව්ලොවෙත් මිනිස් ලොවෙත් තමයි දිගට ම උපන්නේ.
ඕං පුතේ බලන්ට පිනේ ආනුභාවේ. අන්තිම ආත්මේ රජගහ නුවර මහා ධනවත් බ්‍රාහ්මණ පවුලක උපන්නා. මේ කුමාරයාට උත්තර කුමාරයා කියන නම ලැබුණා. ඉතින් පුතේ මේ උත්තර කුමාරයා හොඳට ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා. දුටු දුටුවන් වසඟ වෙන කිණිහිරි මලේ ඇති රන් පැහැයෙන් බැබළුණා.
ඔය කාලේ පුතේ බිම්බිසාර රජ්ජුරුවන්ගේ මගධ මහා අමාත්‍ය තනතුරු හෙබවූයේ ‘වස්සකාර’ කියන මහා බ්‍රාහ්මණයා. එයාට ලස්සන දුවක් ඉන්නවා. එතකොට වස්සකාර බ්‍රාහ්මණයා තමන්ගේ දූ බන්දලා දෙන්ට උත්තර කුමාරයාට මංගල යෝජනා ගෙනාවා. කුමාරයා ගිහි ජීවිතේට කැමති වුණේ නෑ. ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා.
ඉතින් පුතේ, අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආස්සරේට වැටුනු කුමාරයා බුද්ධ ශාසනය ගැන ගොඩාක් පැහැදුනා. ගෙදරින් බොහොම අමාරුවෙන් අවසර අරන් පැවිදි වුණා. එතකොට උත්තර සාමණේරයෝ කියලයි උන්නාන්සේට කීවේ. ඉතින් පුතේ මේ උත්තර සාමණේරයෝ අපගේ සාරිපුත්තයන් වහන්සේට ගොඩාක් ආදරෙන් ඇප උපස්ථාන කළා.
දවසද්දා පුතේ අපගේ ධර්ම සේනාධිපතීන් වහන්සේ ගිලන් වුණා. තමන්ගේ උපාධ්‍යායන් වහන්සේගේ අසනීපයට බෙහෙත් සොයා ගන්ට ඕනෑ වෙලා මේ උත්තර සාමණේරයෝ පාන්දරින් ම පාත්තරෙත් ඇන්න පිටත් වුණා. මගධ වෙල් යාය දිගේ ගොහින් නියරක් ළඟ පාත්තරේ බිමින් තියාලා දියවළක් ළඟට ගොහින් මුහුණ සෝදමින් උන්නා.
බලන්ට පුතේ අපරාපරිය වේදනීය කර්ම විපාක ලැබෙන හැටි. මේ වෙලාවේ සොරෙක් ගෙයක් බිඳලා බඩුත් අරගෙන යන්න යද්දී මිනිස්සු දැක්කා කවුදෝ යනවා. එතකොට මිනිස්සු ‘මේං හොරෙක්… හොරෙක්….’ කියලා ඒ සොරා පිටිපස්සෙන් පන්නාගෙන ආවා. මේ හොරා මොකොද කොළේ දුවගෙන ඇවිදිල්ලා හිටං තමුන්නේ අතේ තිබ්බ පොදිය අර නියරේ තිබ්බ පාත්තරේට දමලා හැංගුනා නොවැ. හනේ හපොයි… මිනිස්සු ඇවිදිං බැලින්නං මේං බඩුයි හොරුයි අත ළඟ. හා…. මහණුන්නාන්සේ කෙනෙකුගේ වේසෙන් තෝ ගෙවල් බිඳිනවා නේ ද? වර තෝ….’ කියලා අනේ අපේ උත්තර සාමණේරයන් ව අල්ලා ගත්තා. එතන ම පෙරලාගෙන ගුටි බැට දුන්නා. දෑත පිටිපස්සට කොරලා කිටිකිටියේ ගැට ගැසුවා. රජවාසලට දක්කාගෙන ගියා.
එදා නඩු අහන්නේ වස්සකාර මහ ඇමතියා. උත්තර සාමණේරයන්ව දැක්ක ගමන් ඇඳින්නා. මෙහෙම හිතුවා. ‘හා… මේකාව නොවැ අහුවෙලා තියෙන්නේ. යසයි. එදා මං මයෙ දූ දෙන්ට යෝජනා ගෙනාවාම මට බැහ් කියලා ගොහින් මුඩු මහණුන් ළඟ මහණ වුණා. හහ්…. මං කරඤ්ඤං වැඬේ’ කියලා කිසිම නඩු ඇසීමක් නැතිව පණ පිටින් උල හිඳුවන්ට අණ දුන්නා.
හපොයි… දෙයියනේ…. ඊට පස්සේ පුතේ අපගේ උත්තර සාමණේරයන්ව රාජපුරුෂයන්ට භාර වුණා. රාජපුරුෂයෝ වධක භූමියට ගෙනිච්චා. කොහොඹ උලක් හිටෝලා ඒ උල මත ඉන්දෙව්වා. උලේ ඉන්න උත්තර සාමණේරයෝ ‘අනේ මගේ උපාධ්‍යායන් වහන්සේට බෙහෙත් සොයන්ටයි මං පාන්දරින් ආවේ. අනේ බෙහෙත් ටික කොහොම සොයා ගත්තා ද මන්දා’ කියා තමන්ගේ උපාධ්‍යාය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ම සිත සිතා උන්නා.
එතකොට අපගේ සාරිපුත්තයන් වහන්සේට මේ විපැත්තිය දැනුනා. ඉක්මනින් ගොහින් වේළුවනයේ වැඩහුන් අපගේ භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ සංඝයා පිරිවරාගෙන එතැනට වැඩියා. රජගහනුවර හිටිය මහජනකායටත් මේක ආරංචි වුණා. හැමෝම මොකක්දෑ මේ වුණේ කියා බලන්ට දුවගෙන ආවා.
අපගේ භාග්‍යවතුන් වහන්සේ උල මත උන් උත්තර සාමණේරයන්ට මෙහෙම වදාළා පුතේ.
“උත්තර…. සංසාරේ සැරිසරා යන්ට වීම නිසා ම යි මේ හැම දෙයක් ම වෙන්නේ. උත්තර, මේ ඔබේ පෙර ආත්මයක සිදුවූ වරදක විපාකයක්. කලින් ආත්මෙක මිනිස් උපතක් ලබා ඉන්නැද්දී කුඩා අවදියේ ළමයි සමග සෙල්ලම් කළා. එතකොට ඔබ මැස්සෙක් අල්ලාගෙන ‘මේ බලාපං මං මේකාට අච්චු දෙනවා’ කියා කොහොඹ කූරක මැස්සව උල ඉන්දුවා.
ඒ වගේ ම ඔබ තවත් දවසක තමන්ගේ අම්මා ගැන කේන්ති ගත්තා. ‘තෝ ව කොහොඹ උලේ හිඳුවන්ට යි වටින්නේ’ කියා මව්ට බැණ්නා.
ඔය අකුසල් දෙක නිසා මේ අනන්ත සසර ගමනේ දී ඔබ පන්සිය ආත්මභාවයක් කොහොඹ උලේ හිඳීමෙන් මැරුම් කෑවා. දැන් උත්තර ඉවසන්ට. මේ ඔබගේ අවසන් ආත්මය. දැන් හොඳින් සතිපට්ඨානය වඩන්ට” කියා භාග්‍යවතුන් වහන්සේ තමුන්නේ ශ්‍රී හස්තයෙන් සාමණේරයන්ගේ හිස අතගා වදාළා.
එතකොට පුතේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තයේ ස්පර්ශයත් සමග උත්තර සාමණේරයන්ගේ සිරුරේ ඇති සියලු වේදනා පහව ගොසින් මහා ප්‍රීතියක් සිතේ උපන්නා. නිවන් මග හොඳින් වැඩුණා. ඒ උල මත සිටිය දී ම අභිඥාලාභී මහරහතන් වහන්සේනමක් බවට පත් වුණා. එකෙණෙහි ම කොහොඹ හුලින් මිදී අහසට පැන නැගුණා. ඒ මොහොතේ ම තුවාලය නැතිවෙලා සම්පූර්ණයෙන් ම සුවපත් වුණා.
ඉතින් පුතේ විසිවසක් පිරී ගියාට පස්සේ උත්තර සාමණේරයෝ උපසම්පදාව ලබාගෙන උත්තර මහරහතන් වහන්සේ නමින් දෙව්මිනිස් ලෝකයා අතර මහත් ආදරයට ලක්වුණා. බලන්ට පුතේ මේ සසරේ භයානක බව. සුමේධ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන කිණිහිරි මල් පූජා කරගත් පිනත් පස්සෙන් ඇවිත් සැප විපාක දුන්නා. අන්තිමේ දී නිවන් අවබෝධ කර ගන්ටත් ඒ පින උදව් වුණා. ඒ වගේ ම බලන්ට පුතේ, අකුසල් විපාකත් පස්සෙන් හඹා ආ හැටි. ඒක නොවැ මයෙ පුතේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ‘කම්මවිපාකෝ අචින්තියෝ’ කියා කර්ම විපාක දෙන පිළිවෙළ අපට සිතාගන්ට බැරි දෙයක් ය කියා වදාළේ. මේ සංසාරේ දිගින් දිගට යන්ට ආසා කළොත් අපේ අතිනුත් මොන මොන වාගේ කරුම කෙරේවිදැයි කවුදෑ දන්නෙ පුතේ. ඒ නිසා අපට නම් ගෞතම බුද්ධ සෑසනේ ම යි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්ට ඕනෑ.”
(සද්ධර්මාලංකාරය ඇසුරිනි)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
Recent Comments