උතුම් ධුතාංග ධර්මයන් පිළිබඳ ලිපි පෙළේ අවසානයට දැන් අපි පැමිණ තිබෙනවා. මේ විවරණය කිරීමට සූදානම් වන්නේ, දහතුන් වැනි ධුතාංගය වූ නේසජ්ජිකංගය පිළිබඳ ව යි. මෙතෙක් අපි ඉගෙනගත්තේ, භික්ෂූන් වහන්සේලා පරිහරණය කරන සිව්පසයට අදාළ වූ ධුතාංගයන් ගැන යි. එම ධුතාංගයන් ප්‍රත්‍ය සන්නිශ්‍රිත ධුතාංග යන පොදු නමකින් හැඳින්වෙනවා. එබඳු ධුතාංග 12ක් මේ දක්වා අපි ඉගෙනගත්තා.
නමුත්, දැන් මේ ඉගෙනගන්නට යන නේසජ්ජිකංගය සිව්පසය ඇසුරු කරගත්තක් නො වෙයි. එය මහත් වීර්යයකින් ප්‍රගුණ කළ යුතු බැවින් වීර්යය ම ඇසුරු කරගෙන පවතිනවා. එබැවින් මෙය වීර්ය සන්නිශ්‍රිත ධුතාංග යනුවෙන් හැඳින්වෙන එක ම ධුතාංගය බවට පත් වෙනවා. ගෞතම බුදු සසුනේ මහා වීර්යවන්ත උත්තමයන් වහන්සේලා මෙම ධුතාංගය සම්පූර්ණ කළා. පින් ඇති, වීර්යය ඇති භික්ෂු, භික්ෂුණී, සාමණේර, සාමණේරී යන සියලු ම පැවිදි පිරිසට මෙම ධුතාංගය රැකගන්නට පුළුවනි. ගිහි උදවියට නම් මෙය රැකගැනීම ඉතා අපහසු යි.
අපගේ ශාස්තෘන් වහන්සේ විසින් මේ ශාසනයේ පැවිදි බව ලබා නිවන් මග වඩන භික්ෂුවක් ව පුහුණු කරවන අනුපිළිවෙළ ප්රතිපදාවෙහිදී ප්රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්රිය සංවරය, නුවණින් සලකා දන් වැළඳීම යන කරුණු තුනෙහි මැනවින් පුහුණු වුණ භික්ෂුව අනතුරුව පුහුණු කරවන්නේ ජාගරියානුගෝයට යි. ඒ මෙසේ ය.
“පින්වත් භික්ෂුව, එන්න. නිදිවරාගෙන භාවනා කරන්න පුරුදු වෙන්න. ඒ මෙහෙම යි. දවල් කාලෙදි සක්මන් කරමින්, වාඩි වී භාවනා කරමින් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්න. රාත්‍රියේ මුල් යාමයේ දී සක්මනින් ද වාඩි වී භාවනා කිරීමෙන් ද නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්න. රෑ මැදියම් යාමේ දී දකුණු පැත්තට ඇලවෙලා දකුණු පාදය උඩින් වම් පාදය මඳක් මෑත් කොට තබාගෙන, ‘මං පාන්දරින් නැගිටිනවා’ යන අදහස දැඩිකොටගෙන හොඳ සිහි නුවණින් යුතුව සිංහ සෙය්යාවෙන් සැතපෙන්න. රාත්‍රියේ පාන්දර ජාමෙට නැගිට සක්මන් කරමිනුත්, වාඩි වී භාවනා කරමිනුත් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්න.”
(ගණක මොග්ගල්ලාන සූත්‍රය, ම. නි. 3)
එහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් මධ්‍යම රාත්‍රියෙහි දී සිහිනුවණින් යුතුව සැතපීම අනුදැන වදාරා තිබෙනවා. ඇතැම් වීරියවන්ත භික්ෂූන් තුන්යම් රැය පුරා සැතපීමේ ඉරියව්ව අත්හරිනවා. වාඩිවී සිටීම – සිටගෙන සිටීම හා සක්මන් කිරීම යන ඉරියව් තුනෙන් යුතුව දිවා රාත්‍රිය ගෙවනවා, භාවනාවට ම මුල්තැන දෙනවා. මෙය නේසජ්ජිකංගය යනුවෙන් හැඳින්වෙනවා.
බුද්ධකාලයෙහි විසූ චක්ඛුපාල මහරහතන් වහන්සේ සසරෙහි ඇති අනතුර දැක මෙම පියවර ගත් බව ඔබ දන්නවා. එම මහා වීර්යයේ මහිමයෙන් වස් තුන් මස ඇතුළත උතුම් අරහත්වය සාක්ෂාත් කරන්නට උන්වහන්සේට හැකියාව ලැබුණා. ඒ වගේ ම ලක්දිව වැඩ විසූ මහා සිව නම් මහ තෙරුන් වහන්සේ තිස් වසරක් නේසජ්ජිකංගයෙන් යුතු ව වාසය කළා. ඒ තිස් වසර ඇවෑමෙන් උන්වහන්සේටත් සසර දුකින් නිදහස් වන්නට වාසනාව ලැබුණා.
මහා පින් ඇති, මහා වීර්යවන්ත වූ උත්තමයන් වහන්සේලා වැඩ වාසය කළේ බුද්ධ කාලයේ යි. බුද්ධකාලීන උතුම් සංඝ නේතෘන් වහන්සේලා නේසජ්ජිකංගය සමාදන් ව වැඩ සිටි ආකාරය පිළිබඳ අසන විට අපට ඇති වන්නේ අසීමිත චිත්තප්‍රසාදයක් ම යි.
“සාරිපුත්තයන් වහන්සේ තිස් වසරක් ඇඳක පිට නො තැබූ සේක. මහා මොග්ගල්ලානයන් වහන්සේ ද එසේ ම ය. මහා කස්සපයන් වහන්සේ ද පැවිදි වූ දා පටන් ඇඳක පිට නො තැබූ සේක. අනුරුද්ධයන් වහන්සේ පනස් පස් වසරක් ද භද්දියයන් වහන්සේ තිස් වසරක් ද සෝණයන් වහන්සේ දහඅට වසරක් ද රට්ඨපාලයන් වහන්සේ fදාළොස් වසරක් ද ආනන්දයන් වහන්සේ පසළොස් වසරක් ද රාහුලයන් වහන්සේ fදාළොස් වසරක් ද බක්කුලයන් වහන්සේ අසූ වසරක් ද නාලකයන් වහන්සේ පිරිනිවන් පා වදාරණ තුරු ම ද ඇඳක පිට නො තැබුවාහු ය.” සක්කපඤ්හ සූත්‍ර වර්ණනාව
මෙබඳු වූ ශ්‍රේෂ්ඨ පුරුෂෝත්තමයන් වහන්සේලා විසින් මහත් ගෞරවයෙන් සේවනය කරන ලද මෙම ධුතාංගය ලිහිල් ලෙස සම්පූර්ණ කරන භික්ෂුවට කොට්ට මත වැඩ හිඳින්නට පුළුවනි. ඒ වගේ ම පාද සතරත්, පිටුපස ඇන්දත් පමණක් සහිත පඤ්චාංගය නම් පුටුවෙහි වැඩ හිඳින්නට පුළුවනි. පාද සතරත්, පිටුපස ඇන්දත්, දෑලේ ඇඳි දෙකත් සහිත සප්තාංගය නම් වූ පුටුවෙහිත් වැඩ හිඳින්නට පුළුවනි. නමුත් උත්කෘෂ්ට ආකාරයෙන් නේසජ්ජිකංගය පුරන භික්ෂුව මෙම අසුන්වත් පරිහරණය කරන්නේ නැහැ.
මේ අයුරින් සැතපීම අත්හැර භික්ෂුව රාග, ද්වේෂ, මෝහ ප්රහාණය කිරීමට වෙහෙස දරද්දී, හෙතෙම බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් තුන් කල්හි ම වර්ණනා කරන ලද භාවනාවෙහි ඇලී වාසය කිරීම නම් වූ භාවනාරාමතා ආර්යවංශ ප්‍රතිපදාවට පැමිණ වාසය කරනවා.
“තවද මහණෙනි, භික්ෂුව භාවනාවට ආශා කරන්නේ වෙයි. භාවනාවෙහි ඇලුනේ වෙයි. කෙලෙස් ප්‍රහාණයට ආශා කරන්නේ වෙයි. කෙලෙස් ප්රහාණයෙහි ඇලුණේ වෙයි. භාවනාවට ආශා කිරීම, භාවනාවෙහි ඇලී සිටීම, කෙලෙස් ප්‍රහාණයට ආශා කිරීම, කෙලෙස් ප්රහාණයෙහි ඇලී සිටීම හේතුවෙන් තමා හුවා නො දක්වන්නේ වෙයි. අනුන් හෙළා නො දකියි. ඒ භික්ෂුව එම කරුණෙහි දක්ෂ වූයේ, අලස නො වූයේ, මනා සිහියෙන් හා නුවණින් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග්‍ර දේ යයි දන්නා ලද, ආර්යවංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.”
(අරියවංස සූත්‍රය, අං. නි. 2)
මෙසේ මෙම උතුම් ධුතාංග ධර්මයන් පූර්ණත්වයට පත් කිරීම තුළින් අසිරිමත් අරියවංශ ප්‍රතිපදාවට පැමිණ වාසය කරන භික්ෂුවගේ ස්වභාවය පිළිබඳ අපගේ ශාස්තෘන් වහන්සේ මෙසේත් වදාළ සේක.
“මහණෙනි, මේ සතර අරියවංශ ධර්මයෙන් යුක්ත වූ භික්ෂුව පෙරදිග දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්ෂුව යටපත් නො කරයි. බටහිර දිශාවෙහි වාසය කරයි නම්… උතුරු දිශාවෙහි වාසය කරයි නම්… දකුණු දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්ෂුව යටපත් නො කරයි. එයට හේතුව කුමක් ද? ඒ නුවණැති භික්ෂුව භාවනාවෙහි අරතියත්, කාමයෙහි රතියත් මැඬලීමට හැකියාව ඇති නිසාවෙනි.”
(අරියවංස සූත්‍රය, අං. නි. 2)
මේ අයුරින් වීර්යය වඩන, කුසලයෙහි ඇලී වාසය කිරීම ජීවිතය කර ගත් භික්ෂුවගේ සිත කිසිවක නො බැඳී නිදහස් වීම විස්මයක් නම් නො වේ මැ යි. නමුත්, කුසීත වූ ලෝකය තුළ මෙබඳු වූ අනුත්තර ප්‍රතිපදාවක් ඉස්මතු කළ අපගේ ශාස්තෘන් වහන්සේ නම් පරම ආශ්චර්යවත් වන සේක් ම ය!
මෙහිලා විශේෂ කරුණක් සඳහන් කළ යුතු ම යි. කුමන ධුතාංගයක් සමාදන් වුව ද එම තැනැත්තා තමාගේ ගුණය සඟවාගෙන වාසය කළ යුතු වෙනවා. මේ ශ්‍රී ලංකාද්වීපයේ අතීතයේ වැඩ විසූ උතුම් ස්වාමීන් වහන්සේලා, අතරමග තැන්තැන්හි නො රැඳී මහ සයුර කරා පාවී යන දර කඳක් සේ වේගයෙන් නිවන කරා ගියේ, ඒ අල්පේච්ඡ ගුණයෙහි මහිමයෙන් ම යි.
පෙර මිහින්තලේ එක්තරා සොයුරු භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉතා ම සමඟියෙන් බණ භාවනා කරමින් වැඩ සිටියා. ඒ අතරින් වැඩිමහල් භික්ෂුව නේසජ්ජිකංගය සමාදන් වී සිටියා. දිනක් මේ දෙනම මධ්‍යම රාත්‍රියේ ගණ අඳුරේ තමන්ගේ සයනවල වැඩ හිඳ කතාබස් කරමින් සිටියා. බාල තෙරනම බොහෝ රෑ බෝ වී ඇති නිසා සැතපුනු ඉරියව්වෙනුයි වැඩ සිටියේ. සැතපෙන ඉරියව්ව නේසජ්ජිකංගය සමාදන් වූ කෙනාට නො ගැළපෙන නිසා මහ තෙරුන් පළඟක් බැඳගෙන වැඩ සිටියා. ඒ අතර විදුලියක් කෙටුවා. ඒ එළියෙන් මහ තෙරුන් වහන්සේ වැඩ හිඳින ආකාරය බාල තෙරුන් දුටුවා. මෙතරම් රෑ බෝ වී මහ තෙරුන් වහන්සේ පළඟින් වැඩ හිඳින්නේ නේසජ්ජික නිසාවත් දැයි බාලනමට සැක හිතුණා. උන්වහන්සේ ඒ පිළිබඳ මහ තෙරුන්ගෙන් විමසා සිටියා. සහෝදර භික්ෂුවටවත් තමාගේ ගුණය ඇඟවීමට කැමැති නො වූ මහතෙරුන් සැණෙකින් සැතපුණා. නමුත් උන්වහන්සේ බාල තෙරුන් නින්දට ගිය පසු නැවතත් තමන්ගේ ධුතාංගය සමාදන් වුණා. ධුතාංග පිළිබඳ පමණක් නො වේ, ඕනෑම ගුණයක් අප විසින් ඇතිකර ගැනීමේ දී ආදර්ශයක් ලබාගන්නට මෙය කදිම කතා පුවතක්.
කුසල් දහම් හි ඇලී වාසය කිරීම, අල්පේච්ඡතාව ආදී ගුණයන්ගෙන් යුතු ව නේසජ්ජිකංගය වඩන භික්ෂුව,
1. සියලු භාවනා අරමුණු වැඩීමට සුදුසු වන්නේ වෙයි.
2. අපගේ ශාස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක. “සිතේ හැදිල තියෙන තවත් බන්ධනයක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු හොඳ හැටි බඩ කට පිරෙනකම් වළඳනවා. ඊට පස්සේ ඇඳ පුටුවල පෙරළීගෙන ඉන්න සැපයට අහුවෙලා, එහාට මෙහාට පෙරළි පෙරළි හාන්සි වෙන සැපයට අහුවෙලා, නින්දෙන් ලැබෙන සැපයට අහුවෙලා වාසය කරනවා.” (චේතෝඛිල සූත්‍රය, ම. නි. 1) මෙම සිතින් සම්පූර්ණයෙන් ඉවත් නො කළ බන්ධනය එම භික්ෂුව ප්රහාණය කරයි.
3. දුටුවන්ගේ සිත් පහන් කරන ඇවතුම් පැවතුම් ඇත්තේ වේ.
4. වීර්යය පටන් ගැනීමට සුදුසු වන්නේ වෙයි.
5. යහපත් පිළිවෙතක සිටින්නේ වෙයි.
මේ වනාහි නේසජ්ජිකංගයේ පස් වැදෑරුම් ආනිශංසයෝ යි.
සම්බුදුරජුන් වැඩ සිටින කාලයේ දී ධුතාංග සමාදන් වීමට කැමති භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධුතාංග සමාදන් වූවා. ඉන් පසු ව රහතන් වහන්සේලා ආදි ගුණවත් උත්තමයන් වහන්සේලා වෙතින් ධුතාංග සමාදන් වී තිබෙනවා. එසේ ගුණවත් කෙනෙක් නො ලැබෙන්නේ නම්, සෑ මළුවක් වෙත ගොස් සෑ මළුව ඇමද, ජීවමාන බුදුරජුන් ළඟ සිටිනවා යන හැඟීමෙන් සෑය අබියස උක්කුටිකයෙන් හිඳගෙන තමා ම ධුතාංග සමාදන් විය යුතු බව සඳහන් වෙනවා. නේසජ්ජිකංගය සමාදන් වූ භික්ෂුව පිළිබඳ මහා නුවණැති බුද්ධඝෝෂ මාහිමියන් වහන්සේ මෙසේ ගාථාවන්ට නගා තිබෙනවා.
ආභුජිත්වාන පල්ලංකං – පණිධාය උජුං තනුං
නිසීදන්තෝ විකම්පේති – මාරස්ස හදයං යති
“කය ඍජු කොට පළඟ බැඳ වැඩ හිඳින භික්ෂුව දකින පාපී මාරයාගේ හදවත කම්පාව යන්නේ ය.”
සෙය්යසුඛං මිද්ධසුඛං – හිත්වා ආරද්ධවීරියෝ
නිසජ්ජාභිරතෝ භික්ඛු – සෝභයන්තෝ තපෝවනං
“ඇඳ පුටුවල පෙරලීගෙන සිටින සැපය ද නින්දෙන් ලබන සැපය ද හැර දමන, පටන්ගත් වීරිය ඇති, නේසජ්ජිකංගයෙහි ඇලී වසන භික්ෂු තෙමේ තපෝ වනය ශෝභමාන කරන්නේ ය.”
නිරාමිසං පීති සුඛං – යස්මා සමධිගච්ඡති
තස්මා සමනයුඤ්ජෙය්ය – ධීරෝ නේසජ්ජිකං වතං
“යම් හෙයකින් හෙතෙම නිරාමිස ප්‍රීති සැපය විඳියි ද එබැවින් නුවණැත්තා නේසජ්ජිකංගය මැනවින් පුරුදු කරන්නේ ය.”
නාරති සහති වීරං – නාරති වීර සංහති
ධීරෝ ච අරතිං සහති – ධීරෝ හි අරතිං සහෝ
“වීර පුද්ගලයා ව අරතිය විසින් නො මඩිනු ලැබේ. අරතිය යනු වීරයා ව යටපත් නො කරන දෙයකි. වැලිදු නුවණින් එඩිතර වූ තැනැත්තා අරතිය මැඩලයි. නුවණින් එඩිතර තැනැත්තා වනාහි අරතිය මැඩලන්නෙකි.”
සබ්බ කම්ම විහායිනං – පනුන්නං කෝ නිවාරයේ
නෙක්ඛං ජම්බෝනදස්සේව – කෝ තං නින්දිතු මරහති
දේවාපි නං පසංසන්ති – බ්රහ්මුනාපි පසංසිතෝ
“සියලු කර්මයන් අත්හැර සිටිනා කෙලෙස් දුරැලූ රහතන් වහන්සේලාගේ විමුක්තිය කවරෙක් නම් වළකයි ද? දඹ රන් නිකක් සෙයින් බබළන ඒ රහතුන් හට ගරහන්නට කවුරුන්ට හැකිවෙයි ද? දෙවියෝ පවා ඔහුට පසසත්. බ්රහ්මරාජයා විසිනුත් පසසන ලද්දේ වෙයි.”
ඉදින් අපගේ ශාස්තෘන් වහන්සේ වැඩ නො සිටි සේක් නම්, මෙබඳු වූ අතිපාරිශුද්ධ වූ, පරම පවිත්‍ර වූ, මාර්ග බ්‍රහ්මචර්යාවක් තුන් ලොවට මතු නො වේ ම ය. එබැවින් හිරුසඳු පරදවා බබළන මහා නුවණින් අපගේ යහපත පිණිස ම මේ ශ්‍රී සද්ධර්මය මහා අනුකම්පාවෙන් දේශනා කොට වදාළ, ඒ භාග්‍යවත් වූ, අරහත් වූ ශ්‍රීමත් සුගත තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!
මෙබඳු ආශ්චර්ය අද්භූත වූ ප්‍රතිපදාවෝ යම් ධර්මයක් තුළට අන්තර්ගත වෙත් ද ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ අති ගම්භීර වූ, නිර්වාණ ප්‍රතිසංයුත්ත වූ, චතුරාර්ය සත්යප්රකාශිත, සපරියාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා!
මෙබඳු වූ දුෂ්කර ප්රතිපදාවන් පවා අමා නිවන ලැබීමේ අව්‍යාජ අභිලාෂයෙන් යුතු ව සම්පූර්ණ කරමින්, සියලු කෙලෙසුන් කම්පා කොට මුළු තුන් ලෝකය බැබළවූ, ලෝකයෙහි මුදුනින් වැඩ සිටි, දෙව්මිනිසුන්ගේ පරම සාරය වූ අග්‍රධුතාංගධාරී අනුබුදු මහාකස්සප මහ රහත් මුනිඳුන් ප්‍රධාන ශාක්යසිංහරාජ වූ අප භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙහි උපන් ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!
සියල්ලෝ මේ ධුතාංග පිළිබඳ කියවමින් උතුම් තුනුරුවන ගැන සිත් පහදවා ගනිත්වා! උතුම් තුන්සරණ ගැන සතුටු සිතින් යුතු වෙත්වා! සියලු දෙනාට ම මේ ගෞතම බුදු සසුනෙහි දී ම භව සයුරින් එතෙර වීමට වාසනාව උදා වේවා!
සටහන – රවීන් කෝදාගොඩ
Recent Comments