තෙළෙස් ධුතාංගයන් සම්බන්ධයෙන් මේ ලිපි පෙළ රචනා කරන ලද්දේ, අප කවුරුත් මහත් සේ ආදරය කරන පරමෝත්තම මහා කස්සප මහර්ෂීන් වහන්සේ ඇතුළු පිළිවෙත් සරු නිමල සඟරුවනට උපහාර පූජාවක් වශයෙන් ය.
මේ සඳහා උපකාරී වූ ග්‍රන්ථයන් පිළිබඳ ව මෙහිලා සඳහන් කළ යුතු ම වෙයි. මේ ලිපි පෙළ සැකසීමේ දී මූලික වශයෙන් මා හට උපකාර වූයේ, මාතර ශ්‍රී ධම්මවංශ මාහිමියන් වහන්සේ විසින් ඉතා මනරම් ලෙස හෙළ බසට පරිවර්තනය කරන ලද විසුද්ධි මාර්ගය යි.
එයට අමතර ව අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් හෙළ බසට පරිවර්තනය කරන ලද මජ්ක්‍ධිම නිකාය 1, 2, අංගුත්තර නිකාය 2, 3, 5 සහ ථේරථේරී ගාථා යන උතුම් ත්‍රිපිටක පොත් වහන්සේලා මෙහිලා උපස්ථම්භක වූහ. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මිළිඳු රාජ ප්‍රශ්නය 4 සහ සත්‍යය සොයා යාම නම් වූ ග්‍රන්ථ ද උපකාරී විය.
එමෙන් ම අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහානායක මාහිමියන් වහන්සේගේ අටුවා පරීක්‍ෂණය සහ අටුවා කතා වස්තු යන ග්‍රන්ථය ද මහාචාර්ය රේරුකානේ ශ්‍රී චන්දවිමල මහානායක මාහිමියන් වහන්සේගේ පොහොය දිනය, විනය කර්ම පොත, ශාසනාවතරණය, උභය ප්‍රාතිමෝක්‍ෂය යන ග්‍රන්ථයෝ ද මෙහිලා උපකාරී වූහ.
තව ද නාඋයනේ අරියධම්ම අනුනායක මාහිමියන් වහන්සේගේ මහා ආර්යවංශ දේශනාව නම් කෘතිය ද පරමත්ථදීපනී නම් වූ ථේරගාථා අටුවාව ද බොහෝ සෙයින් උපකාරී වූයේ ය. මේ ග්‍රන්ථ රචනා කළ ඒ සියලු සංඝ නේතෘන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා!
අප සැමට ම මේ පින් අනුමෝදන් වීමෙන් මේ ගෞතම සසුනේ දී ම සුගත සම්බුදුරජුන්ගේ සදාතනික පිළිසරණ ලැබීමේ වාසනාව උදා වේවා!
ධුතාංග
සීත හිමගිරි මුදුනෙහි සුපුෂ්පිත කිණිහිර කුසුමක් සෙයින් ස්වර්ණවර්ණ දේහ විලාසයෙන් ශෝභමාන වූ පරම පූජනීය මහා කස්සප මහ රහතන් වහන්සේ ධුතාංගධාරී භික්‍ෂූන් අතර අග්‍රභාවයට පත් ව වැඩ සිටි සේක. උන් වහන්සේ ඇතුළු සුපිළිපන් මහ සඟ රුවනෙන් විහිද ගියේ බාහිර අලංකාරයේ සාටෝප බව නො ව, සම්බුදු සසුනක පමණක් අත් විඳිය හැකි අහිංසක අධ්‍යාත්මික ගුණ සුවඳෙහි සුමිහිරි බව යි. උතුම් පැවිදි බව ලැබ, කය සහ ජීවිතය යන දෙක්හි අපේක්‍ෂා විරහිත වැ අමා නිවන නැමැති එක ම අරමුණ ඔස්සේ වැඩම කළ මහෝත්තමයන් වහන්සේලා දෙව් ලොවෙහි ද බඹ ලොවෙහි ද නො වූහ. එහෙත් බුදුසසුන් පෙත් මගෙහි නම්, කෙලෙස් කම්පා කළ නිමල රහතුන්ගේ පිය සටහන් ඇඳී තිබෙනු දැක ගත හැකි වූයේ ය.
උන්වහන්සේලාගේ අසිරිමත් ගුණ සම්පත් අබියස ක්ලේෂයෝ ප්‍රකම්පිත වැ ගියාහු, ළහිරු කිරණ මාත්‍රයක් දැක සැණෙකින් නො පෙනී යන පිනි බිඳු පරිද්දෙනි. සකල ලෝකයට මුදුනින්, දෙව් බඹුන්ගේ ප්‍රභාවත් මිණි කිරුළු මත සිය පා දුහුවිලි හෙළමින්, සියලු ලෙව් සතුන්ගේ වැඳුමන්ට සුදුසු වූ මහ සඟ රුවන වැඩ සිටියේ ඒ මහා ගුණ කඳ නිසා ම ය. උන් වහන්සේලා තුළ දිස් වූ අති ගම්භීර ගුණයන් පිළිබඳ නැවත නැවත ඇසීම, මහ සඟ රුවන විෂයෙහි අපගේ සිත් නිරායාසයෙන් ම සුපහන් කරවයි. සිහි කිරීම් මාත්‍රයකින් සුගති උපත සැලසෙන මහ සඟරුවන ගැන සුපහන් සිතින් සිටීම කළ යුතු දෙයක් ම ය!
මෙතැන් සිට අපි විස්තර වශයෙන් ඉගෙන ගන්නට යන්නේ, පරම පූජනීය මහා කස්සප මහ රහත් මුනිඳුන් ප්‍රධාන පිළිවෙත් සරු මහ සඟ රුවන දරා වැඩ සිටි උතුම් ධුත ගුණයන් පිළිබඳව යි. ඉතා අසිරිමත් වූ ධුත ගුණ පිළිබඳ ඉගෙන ගනිමින් උතුම් සඟ සරණ පිළිබඳ ඔබට බලවත් ව සිත පහදවාගත හැකි යි. කියවා බලන්න. මේ අයුරින් සුපිරිසිදු, සුදෝසුදු බ්‍රහ්මචර්යාවක් පනවා වදාළේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ම මිස වෙන කවුරුදැයි ඔබට සිතේවි!
“උපශාන්ත වෙලා, වරදින් වැළකිලා, නුවණින් විමසා කටයුතු කරන, උඩඟු නැති භික්‍ෂුව තමයි පාපී දේවල් ඉවත් කරන්නේ. සුළං හමලා ගහක කොළයක් ගැලවිලා යනවා වගෙයි.”
– සාරිපුත්ත ථේර ගාථා
ඒ අයුරින් මහා මාරුතයක් පැමිණ ගසක පත්‍රයක් ගලවා දමන්නා සේ, පාපී කෙලෙස් නැමැති පත්‍ර ගලවා දමන මහා මාරුතය වන්නේ ධුතාංග ධර්මයන් ය. පිළිවෙත් පිරීම මගින් කෙලෙසුන් කම්පා කර හරින භික්‍ෂුව ‘ධුත’ යන නාමයට සුදුසු වන සේක.
එමෙන් ම කෙලෙසුන් ප්‍රහාණය කිරීමට උපකාර වනුයේ, සීලය හා සමාධිය ඔස්සේ ප්‍රගුණ කර ගත් ප්‍රඥාව යි. ප්‍රඥාව තුළින් ද කෙලෙසුන් කම්පිත වැ යන බැවින්, ප්‍රඥාව ද ධුත යන නාමයට සුදුසු වේ. සියලු ධුතාංග ධර්මයෝ ප්‍රඥාවට අනුකූල වෙති. එබැවින් නුවණ මුල් කර ගත් මෙම වත් පිළිවෙත් ‘ප්‍රඥාවෙහි අංග’ යන අරුතින් ‘ධුතාංග’ නම් වෙයි.
තෘෂ්ණාව මුල් කර ගත් කාමයෙහි ලොල් බව ප්‍රහාණය කිරීම උදෙසා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම ධුතාංගයෝ පනවන ලද්දාහු ය. ඒවා පනවන ලද්දේ, නිවන පිණිස දිවි පුදා කැපවෙන්නවුන් උදෙසා ය. එබඳු වූ ධුතංගයෝ 13ක් වෙති. ඒවා නම්,
01. පංසුකූලිකංගය
02. තේචීවරිකංගය
03. පිණ්ඩපාතිකංගය
04. සපදානචාරිකංගය
05. ඒකාසනිකංගය
06. පත්තපිණ්ඩිකංගය
07. ඛලුපච්ඡාභක්තිකංගය
08. ආරඤ්ඤකංගය
09. රුක්ඛමූලිකංගය
10. අබ්භෝකාසිකංගය
11. සෝසානිකංගය
12. යථාසන්ථතිකංගය
13. නේසජ්ජිකංගය
මහාමේඝ නිකිණි කලාපයේ සිට පිළිවෙළින් විස්තර වන්නේ එම අසිරිමත් ධර්මයන් 13 ගැන යි. පිළිවෙත් සරු ශ්‍රාවක සඟරුවන මහත් ගෞරවයෙන් යුතුව දරා වැඩ සිටි ඒ උතුම් ධුතාංග ධර්මයන් ගැන දැනගෙන ඒ උතුම් බුද්ධ ශ්‍රාවකයන්ගේ ඇවැතුම් පැවැතුම් කෙරෙහි සිත් පහදවා ගැනීමේ දුර්ලභ භාග්‍යය අප සියලු දෙනාටම උදා වේවා!
සටහන – රවීන් කෝදාගොඩ
Recent Comments