highlights of the week
Home » NEW ARTICLES » එනු ඉදිරියට පුත පැරකුම් දුටුගැමුණු…!

එනු ඉදිරියට පුත පැරකුම් දුටුගැමුණු…!

මිනිස් ලෝකයේ අප ලද මේ උපතත් සමඟින් උරුම වූ දායාදයන් අප හැම දෙනාටම තිබෙනවා. මේ ජීවිතයට තාවකාලික ව ලැබුණු අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, නමක්, ගමක්, රටක් ආදි සියල්ල අපට හිමි වුණේ උපතත් සමඟින්. අපට පමණක් නෙමෙයි; මේ ලෝකයේ ඉපදී සිටින සෑම මනුෂ්‍ය වර්ගයාට ම මේ කාරණය පොදුයි. නමුත්, ඒ පොදු කාරණය තුළ වුවත් අප එකිනෙකා සතු අගයන් එකිනෙකාට වෙනස්…

රටින් රටට වෙනස් ශිෂ්ටාචාරයන්, සංස්කෘතීන්, සමාජයීය වටපිටාවන් අපට ලොව නන් දෙසින් මුණගැසෙනවා. ඒ සියලු ශිෂ්ටාචාරයන්, සංස්කෘතීන්, සමාජයීය වටපිටාවන් විසින් ආගමික විශ්වාසයන් ලෙස යම්තාක් කාරණාවන් ගෙනහැර දක්වනු ලබනවා ද ඒ සියල්ල දැක ගනිමින්, දැන ගනිමින්, ඒ දැක ගැනීමට හෝ දැන ගැනීමට හෝ නො බැඳී ඒ සියල්ලෙන් ම නිදහස් ව, සියලු දෘෂ්ටීන් ඉක්මවාලූ යම් ශාස්තෘවරයෙකු ලොව පහළ වූවා නම් මේ සිංහල රටේ උපන් අපට සරණ යන්නට ලැබුණේ ඒ ශාස්තෘන් වහන්සේ ව යි…!

සිංහනාද කළ මහ මුනිඳාණන්…

ලෝක සත්වයන් පැටලී යන දෘෂ්ටි ජාලාවන්ගේ ස්වභාවය හෙළිදරව් කරමින් අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනුත්තර සංග්‍රාම විජය වූ බ්‍රහ්මජාලය දේශනා කරන කල්හි ධරණිමාතාව කම්පා වුණා. එදා ආනන්දයන් වහන්සේ ඉදිරිපිට හැට දෙකක් වූ මිථ්‍යාදෘෂ්ටීන් හෙළිදරව් කරමින් සම්බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ඒ ආකාරයන්ගෙන් හැර අන් කිසිදු අයුරකින් ලෝකය තුළ දෘෂ්ටීන් නොපවත්නා බවයි. විසාරද ව දෙව් මිනිස් ලෝකය හමුවේ එසේ සිංහනාද කළ අනුත්තර මුනිරජාණන් වහන්සේව යි අපට සරණ යන්නට ලැබුණේ… ඒ සරණ අපට හිමි වුණේ අප මේ සිංහලද්වීපයේ උපන් නිසයි. මේ වගේ රටක උපදින්න ලැබුණේ අපේ වාසනාවකින් නෙමෙයි ද?

පින්බිමක අසිරිය…

සුවිසල් මහද්වීපයන්ගෙන් වෙන් ව මහා සාගරය මැද හාත්පස මුහුදින් වට වී පවත්නා මේ පුංචි රට මේ අතිශය වාසනාවන්ත වූ සොඳුරු කල්පයේ පහළ වූ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ධර්මද්වීපය බවට පත් වූවා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන මේ භද්‍ර කල්පයේ පෙර පහළ වූ සම්මා සම්බුදුවරුන්ගේ සහ අප ආදරයෙන් සරණ ගිය ගෞතම සම්මා සම්බුදුරජුන්ගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වඩා හිඳුවා මහා සෑය ඉදිකෙරුණේ මේ දිවයිනේ යි. ඒ අද්විතීය වූ හිමිකමට සාක්ෂි කියමින් අදත් ස්වර්ණමාලී මහා සෑ රජුන් ඒ සියලු සම්බුදුවරුන්ගේ මහා සෑයන් ඉදි වූ සුපූජනීය බිම්කඩෙහි අප ගෞතම සම්මා සම්බුදුරජුන්ගේ ද්‍රෝණයක් මුනි ධාතු සුරකිමින් සුව සේ වැඩ වෙසෙනවා.

ඒ සතර සම්මා සම්බුදුවරුන් හට දහම් ඇස පහළ වූ, ඤාණය පහළ වූ, විද්‍යාව පහළ වූ, ප්‍රඥාව පහළ වූ, ආලෝකය පහළ වූ උතුම් මොහොතේ සෙවණ සලසාලූ බෝධි වෘක්ෂයන්ගේ දක්ෂිණ ශාඛා වහන්සේ රෝපණය වූයේ මේ රටේ ම යි, එක ම ස්ථානයේ ම යි, එතැන යි අප විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ සුව සේ වැඩ වෙසෙන්නේ…

පින්කෙත හෙළ රන් දෙරණේ…

මතු සම්බුද්ධත්වය සාක්ෂාත් කරනා මෛත්‍රී සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ මහා සෑය ඉදි වන්නේ මෙහි ම යි, දක්ෂිණ බෝධි ශාඛාව රෝපණය වන්නේත් මෙහි ම යි… ඒ සියලු සම්මා සම්බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලබන්නටත්, සමාධි සමාපත්තීන් තුළ වැඩ වාසය කරන ඒ සම්මා සම්බුදුවරුන්ගේ සමවත් සුවය දරා ගන්නටත් මේ බිම්කඩ වාසනාවන්ත වුණා.
සම්බුදුවරුන්ගේ පහළ වීම වාසනාවන්ත උරුමයක් කර ගත් ජම්බුද්වීපයට ඒ ධර්ම පර්යායන් චිරාත් කාලයක් දරා ගැනීමේ වාසනාව අහිමි වද්දී මේ පුංචි රට ඒ ථේරවාදී සම්බුදු දහමේ ධර්ම භාණ්ඩාගාරය බවට පත් වුණා. ඒ නිසයි සිංහලය උප්පත්ති ස්ථානය කරගෙන අප මේ ජීවිතයේ උපත ලබද්දී අපට තිසරණ සරණයේ පිහිටා වැඩෙන්නට ලොව අන් කිසිවෙකුට හිමි නො වූ පුළුල් වටපිටාවක් බිහි වී තිබුණේ.

මේ මහා භද්‍ර කල්පයේ පළමු සම්බුද්ධ රාජ්‍යයේ පටන් සිව්වැන්න දක්වා ම මේ රටට හිමි වී තිබෙන සුවිශේෂත්වය සුළුපටු එකක් නම් නො වෙයි. පිරිනිවන් මංචකයේ වැඩ සිටිය දී සම්බුදු සසුන් හිතැති දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු අමතා අපගේ ශාස්තෘන් වහන්සේ “අනාගතයේ මාගේ ශාසනය පිහිටන ලංකාද්වීපය මැනැවින් රකින්න.” කියා වදාළේ තුන්කල් විනිවිද දුටු අසිරිමත් බුදු නුවණින් මේ සිංහලද්වීපය තුන්ලොවට ම දහම්ද්වීපය වන බව දුටු නිසාවෙන්.

බුදු නෙතින් දුටු සුපින්බිම

අපගේ මහා බෝසතාණන් වහන්සේ පාරමිතා සම්පූර්ණ කරමින් සම්මා සම්බුද්ධත්වය පිණිස දූරපණිදානයන් ඇතිව කුසලයේ හැසිරෙද්දී ඒ බෝසතාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය පිණිස විවරණ දෙමින් පෙර විසූ සම්බුදුරජාණන් වහන්සේලා “මේ පුරුෂ තෙමේ මෙයින් මෙතරම් කාලයකට පසු ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ ය.” කියා වදාරද්දී අප මේ ජීවත් වන අසිරිමත් යුගය උන්වහන්සේලා විසින් පාරිශුද්ධ දිවැස් නුවණින් දකිනු ලැබුවා. ඒ සියලු සම්මා සම්බුදුවරුන් දිවැසින් දුටු යුගයක යි අප ජීවත් වන්නේ. එසේ සම්මා සම්බුදුවරුන් විසින් දක්නා ලැබූ, විස්තර කරනා ලැබූ යුගයක මෙසේ මිනිස් ජීවිතයක් ලබාගෙන සම්බුද්ධ රාජ්‍යයේ කේන්ද්‍රස්ථානය බවට පත් වූ සීහලද්වීපයේ උපදින්නට අප ලැබූ භාග්‍යය කිසිසේත් ම සුළු කොට දක්වන්නට නම් බැහැ…

කකුසඳ සම්බුද්ධ රාජ්‍යයේ දී ඕජදීපය නම් වූ, කෝණාගමන සම්බුද්ධ රාජ්‍යයේ දී වරදීපය නම් වූ, කාශ්‍යප සම්බුද්ධ රාජ්‍යයේ දී මණ්ඩදීපය නම් වූ, අපගේ ශාස්තෘවර ගෞතම සම්මා සම්බුදුරජුන්ගේ සම්බුද්ධ රාජ්‍යයේ දී හෙළදීපය නමින් පිදුම් වූ අප දිනූ මේ පින්බිම අපට වාසනාවක්…!

ගෞතම සසුනේ පළමු සෑ රජුන්

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කොට සත්වන සතිය ගෙවී යද්දී උන්වහන්සේ වෙත එළඹි තපස්සු සහ භල්ලුක යන වෙළෙන්දන් වූ දෙසොහොයුරන් සම්බුදුරජුන්ගේ පළමු ද්වේවාචික උපාසකයන් බවට පත් වුණා. ඒ දෙදෙනා විසින් උන්වහන්සේගෙන් පූජා වස්තු ඉල්වා සිටි මොහොතේ බුදු සිරස පිරිමැද අක්බමරු අභිනීල කේශ ධාතු මිටක් සුරතින් ගත් සම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ඒ ධාතුන් වහන්සේලා ලබා දුන්නා.

ඒ කේශ ධාතුන් වහන්සේලා සහිත වූ කරඬුව නිධන් කොට හෙළදිව ගිරිහඬු සෑය ඉදි කරවනු ලැබුණේ ඒ වෙළඳ දෙබෑයන් විසිනුයි. ජීවමාන සම්බුදුරජුන්ගෙන් ලෝකයට ලැබුණු පළමු ශාරීරික ධාතුන් වහන්සේලා වඩා හිඳුවා එසේ ගෞතම සම්මා සම්බුදු සසුනේ පළමු සෑ රජාණන් වහන්සේ ඉදි කරනු ලැබුයේ ද මේ පින්බිමේ වීම අප අභිමානයෙන් සිහි කළ යුතු දෙයක් ම යි.

මුනි සිරිපා සිඹිමින්නේ…

සම්මා සම්බුද්ධත්වයෙන් අට මසක් ගෙවී යද්දී සම්බුදුරජාණන් වහන්සේ මේ බිමට වැඩම කරනු ලැබුවා. ස්වකීය ඥාති වර්ගයා වෙසෙන කපිලවස්තුවට වැඩම කිරීමටත් පෙර… තමන් වහන්සේගේ මව වූ මහමායා දේවිය මාතෘ දිව්‍යරාජයා ව උපත ලබා සිටි තව්තිසාවට වැඩම කිරීමටත් පෙර… සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම් දම් සපුරා පිහිටවූ සම්බුද්ධ රාජ්‍යය මතු පිහිටන හෙළදිව ශාසනික චිරස්ථිතිය පිණිස අත්‍යන්තයෙන් ම සුදුසු වූ පින්බිමක් බවට පත් කරලමින් උන්වහන්සේ මෙබිමට වැඩම කොට වදාළා.

ඒ උතුම් දුරුතු පුන් පොහොය දිනයේ මෙබිම වැඩ වෙසෙමින් දේව සමූහයාට තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කොට වදාළේ යම් තැනක ද එතැන්හිදී ම ඒ දහම් අසා දහම් ඇස උපදවාගෙන සතර අපා දුකින් මිදුනු සුමන සමන් දෙවිඳුන් විසින් ඉල්වා ගත් පූජා වස්තුව වූ අභිනීල කේශ ධාතුන් වහන්සේලා වඩා හිඳුවා නීල මාණික්‍යයෙන් ඒ දෙවිඳුන් විසින් කරවූ සෑය මතයි අද අපට දකින්නට ලැබෙන මහියංගණයේ කංචුක සෑය ඉදි වී තිබෙන්නේ. දෙවි කෙනෙකුගේ මූලිකත්වයෙන් ගෞතම සම්බුද්ධ ශාසනයට පූජා කෙරෙමින් සම්බුදුරජුන් ජීවමාන කල්හි ම මිනිස් ලොව ඉදි වුණු එක ම සෑ රජුන් මේ පින්බිමේ ම ඉදි වීම අපට අභිමානයට කරුණක් ම යි…!

මේ පින්බිම තුන්වරක් ම සම්බුදුරජුන්ගේ පා පහස ලබන්නට වාසනාවන්ත වුණා. මේ පින්බිම පුරා සම්බුදුරජුන් සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයන් මුණගැසෙනවා. ඒ සම්බුදුරජුන්ගේ ශාරීරික ධාතුන් වහන්සේනමක් වැඩ නොසිටින, පාරිභෝගික ධාතුන් වහන්සේනමක් වැඩ නොසිටින, උද්දේසික ධාතුන් වහන්සේනමක් වැඩ නොසිටින ඉසව්වක් මේ බිමේ සොයා ගන්නට නො හැකි වුණේ දුරාතීතයේ පටන් ම යි. අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් සහ එයට ම සාක්ෂි දෙමින් නැගී සිටින භෞතික වස්තූන් සම්භාරයක් උරුමය කොටගෙන අද පවා මේ බිමේ උපදින හෙළ බොදු දරුවන්ට ඉතිහාසයේ අරුණෝදයේ පටන් අප ඒ සම්බුදුරජුන්ගේ නෑකමින් බැඳී ගිය බව සැක රහිතව ම දැනගන්නටත්, දැකගන්නටත් ලැබීම වාසනාවක් ම යි…!

අපි ශාක්‍යයෝ…!

ඒ සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිමින් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් හට හෙළදිව බාර කළ දිනයේ ම ලාට රටින් පැමිණි විජය කුමරු සත්සියයක් පිරිවර සමඟින් මෙබිමට ගොඩබැස්සා. ඔහු සමඟ පැමිණි පිරිස කෘෂිකාර්මික දිවි පෙවතක් අරඹමින් ජලාශ්‍රිත ශිෂ්ටාචාර බිහි කරන්නට වූවා. විජය රජුගේ මලණුවන්ගේ පුතු වූ පණ්ඩුවාසදේවයන් ශාක්‍ය වංශික භද්දකච්චායනා කුමරිය මහේෂිකාව කර ගැනීමෙන් පසු හෙළයේ රාජ වංශය ඇරඹුණ බවයි වංශකථාවන් පෙන්වා දෙන්නේ. ඒ ඥාතීත්වය නිසයි මෙබිමේ උපදින හෙළ බොදුනුවන් මව් පාර්ශවයේ නෑකමින් සම්බුදුරජුන් උපන් ශාක්‍ය වංශයට බැඳී යන්නේ. ලේ නෑකමින් ද අප සම්බුදුරජුන්ගේ පහළ වීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වූ ශාක්‍ය පරපුරට නෑදෑයන් වීම අභිමානයට කරුණක් ම යි…!

ගෞතම සසුනේ ධාතු ගර්භය

සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් සත්වන දිනයේ ශ්‍රී දේහය සඳුන් දර සෑයේ දැවෙමින් තිබිය දී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යවර සරභූ මහරහතන් වහන්සේ විසින් වෙන් කර ගන්නා ලද ග්‍රීවාස්ථි ධාතුන් වහන්සේලා මහියංගණ මහා සෑයේ කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින රන් කරඬුවේ ම වඩා හිඳුවා ඒ මහරහතන් වහන්සේ නීලමාණික්‍යමය සෑය වසා මේදවර්ණ පාෂාණයෙන් කංචුක සෑයක් කරවනු ලැබුවා. ගෞතම සම්බුදු සසුනේ මහරහතන් වහන්සේනමක් විසින් කරවනු ලැබූ එක ම සෑය මේ පින්බිමේ පිහිටා තිබීම අපට අභිමානයට කරුණක් ම යි…!

ඒ සම්බුදු චිතකයෙන් ඛේම මහරහතන් වහන්සේ විසින් වෙන් කර ගනු ලැබූ වම් දළදා වහන්සේ අද වැඩ සිටින්නේ සෙංකඩගල දළදා මැදුරේ. සම්බුදු සිරුරේ නොවිසිරුනු ධාතුන් වහන්සේලා අතරින් සතරනමක් ම, එනම්, සේරුවිල මංගල මහා සෑයේ වැඩ සිටිනා ලලාට ධාතුන් වහන්සේ, ථූපාරාම සෑයේ වැඩ සිටිනා දකුණු අකු ධාතූන් වහන්සේ, සෝමාවතී සෑයේ වැඩ සිටිනා දකුණු දළදා වහන්සේ, සෙංකඩගල දළදා මැදුරේ වැඩ සිටිනා වම් දළදා වහන්සේ යන සතරනම සේ ම ද්‍රෝණ අටකට වෙන් වූ සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් සම්පූර්ණ ද්‍රෝණයක් ම දරා වැඩ සිටිනා ස්වර්ණමාලි මහ සෑ රජාණන් වහන්සේ අපට සම්බුදු සසුන් කෙතට ඇති බැඳීම තව තවත් තීව්‍ර කරවනු ලබනවා. සම්බුදු සසුනේ වැඩිම සම්බුදු ධාතුන් වහන්සේලා පුද දෙමින් සිද්ධස්ථාන ඉදි වූ රට තමයි අප උපන් මේ පින්බිම. සම්බුදුරජුන්ගේ ධාතු සුරකින එක ම පින් පිඬක් බඳු මේ රටේ උපදින්නට ලැබීම ම අප ලද වාසනාවක් ම යි…!

අපේ සරණ ඔබ ම යි සමිඳාණෙනි…!

ගස් ගල් පර්වත වන්දනා කළ, දිය කෙළියේ ද නැකැත් කෙළියේ ද දඩ කෙළියේ ද යෙදුණ ජනකායක් කසාවත දරා ගත් මුනිවරයෙකු ඉදිරියේ දමනය වී එක මොහොතින් ලෝකයේ ප්‍රඥාවන්තයන් උදෙසා දේශිත ධර්මයක අනුගාමිකයන් බවට පත්ව සියවස් විසි තුනකට අධික කාලයක් පුරා ඒ උරුමය රැකගෙන පැමිණීම යන අතිශයින් පුදුම සහගත කරුණ මුණගැසෙන්නේ මෙරටේ ඉතිහාස කථාව තුළ පමණයි.

සේන ගුත්තික අශ්ව වෙළෙඳුන් මෙරට යටත්විජිතයක් කොට ගැනීමෙන් පසු ඔවුනගේ වසර විසි දෙකක පාලනය බිඳ හෙළා පාලනය සියතට ගත් අසේල රජුගේ රාජ්‍ය පාලනය නිමා කෙරුණේ එළාරගේ ආක්‍රමණයෙන්. කුරා කුහුඹුවෙකුට වුව ද හානියක් වේ යැයි සිතා එය වළකන්නට උණු පැන් බිඳ පවා නිවෙන්නට දී මිස බිමට නොහෙළුෑ අවිහිංසක චින්තන රටාවකින් හෙබියා වූ දැහැමි හෙළයිනට එළාරගේ රණකාමීත්වය හමුවේ අවි ඔසවා පහරට පහර ගැසීමේ රණකාමීත්වයක් තිබුණේ නැහැ. එහෙත්… යුද්ධයකට නුසූදානම් ජනකායක් පරදවා පහසුවෙන් ජය ලැබූ එළාරට එතරම් පහසුවෙන් ඒ අහිංසක ජනකායගේ චින්තන රටාව දිනා ගන්නට හැකි වූයේ නම් නැහැ.

නිතර සිනහමුසු ව ප්‍රිය වචන තෙපළන සිංහල ජනකායගේ පරම ගෞරවය දිනා හුන්නේ එළාරගේ ඇදහීමට බඳුන් වූ දෙවිවරුනගේ ආධිපත්‍යයන් ඉක්මවා ගිය දේවාතිදේව වූ, බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. සම්බුදුරජුන් සරණ ගිය සිංහලයේ රජුන්, ගොවියන්, වෙළෙඳුන් පමණක් නොව අතිශය දිළින්දන් පවා අපේක්ෂා කළේ රජ සිටු මැති තනතුරු නො වෙයි, වෙනෙකක් තබා දිව්‍ය බ්‍රහ්ම පදවිවත් නො වෙයි. ඒ සියල්ල අතික්‍රමණය කළ සම්බුදුරජුන්ගේ මාර්ග ඵලලාභී ශ්‍රාවකත්වයයි ඔවුන්ට වුවමනා වුණේ. එවන් අදීන චින්තනයකින් හෙබි ජනකායකගේ සිත් සතන් තුළ නවාතැන් ගන්නට එළාරගේ දෙවියන්ට හැකි වුණේ නැහැ. එළාර ඇතුළු පිරිවර මෙහි නැවතී සිටින්නට සමත් වුණත් එළාරගේ දෙවිවරු මෙබිමේ අතරමං වුණේ ඒ නිසයි…!

දිවි පුදා රැක ගත් තිසරණය

අනුරාධපුර යුගයේ දී සිරිනාග බ්‍රාහ්මණයා ආක්‍රමණික ව රජ බවට පත් වුණා. ඒ අරගලයේ දී ස්වකීය සේනාව වෙනුවෙන් පඩිනඩි ගෙවන්නට වත්කමක් නො වූ නිසා ඔහු සම්බුදුරජුන් උදෙසා පිදුම් වූ දක්ඛිණගිරි වෙහෙර බිඳ දමා එහි නිදන් ව තිබෙන වස්තුව කොල්ල කන්නට තීරණය කළා. රන් රිදී මුතු මැණික් පවා සම්බුදුරජුන් කෙරෙහි වූ ශ්‍රද්ධාව අබිමුවේ අඩු වටිනාකමකින් සලකන්නට තරම් බලවත් ශ්‍රද්ධාවකින් හෙබියා වූ හෙළයන්ගේ ඉහළ තාක්ෂණික ශිල්පීය ඤාණයෙන් ගොඩනැගූ වෙහෙර බිඳ දමන්නට සමතෙක් සිරිනාගගේ සේනාවේ සිටියේ නැහැ. මේ වෙහෙරේ බිඳුම දන්නා කෙනෙකු පිළිබඳ සොයා බැලූ සිරිනාග හට දැනගන්නට ලැබුණේ හීන කුලයක උපන් බහුලා නම් සැඩොල් මිනිසා ඒ ගැන දන්නා බවයි. ඔහු ව එහි ගෙන එනු ලැබුවා. වෙහෙර බිඳින්නට කියා ඔහුට කියද්දී සැණෙකින් ඔහුට සිහිපත් වූයේ තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේ ව යි.

“අනේ ස්වාමීනි, තුන්ලෝකාග්‍ර ශාස්තෘන් වහන්සේ ව මං සරණ ගියා. මේ සෑය ඉදි කෙරුවේ අපගේ ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් නෙව. මං උන්වහන්සේගේ උපාසකයෙක්. මේ සෑය නම් බිඳින්ට බෑ.”

සිරිනාග කිපුණා. ඔහු ව උල තබන්නට නියෝග කළා. උල හිඳුවන්නට ගෙන යද්දීවත් බහුලාගේ සිත වෙනස් වූයේ නැහැ. සරණ ගිය ශාස්තෘත්වය සිහි කරමින් ම ඔහු දඬුවමට යටත් වුණා.

ඒ ආකාරයෙන් ම බහුලාගේ පුතුන් සත් දෙනාවත් ගෙන්වා වෙහෙර බිඳින උපාය සිරිනාග විසින් විමසා සිටියත් ඔවුන් ද සරණ මෙනෙහි කළා මිස වෙහෙර බිඳින්නට ඉදිරිපත් වූයේ නැහැ. පුතුනුත්, බහුලාත් යන අට දෙනා ම උල හිඳුවා මරණයට පත් කෙරෙද්දී දෙව්ලොවින් ආ දෙවිවරු ජනයාට පෙනි පෙනී ම ඔවුන් ව දිව්‍ය යානාවන්ගේ නංවාගෙන තුසිත දෙව්ලොවට ගෙන ගියා.

මරණය ඉදිරියේ හෝ රජුන් ඉදිරියේ හෝ තිසරණය කිලිටි කර නො ගත්, දිවි දෙවැනි කොට තිසරණය රැක ගත් අභිමානවත් පරපුරක් ඒ. ඔවුන්ගේ සනුහරයේ උපදින්නට ලැබීම අපට වාසනාවක් ම යි.

දහදිය හෙළා දන් පිදූ හෙළයෝ

ඇතත් දන් දුන්, නැතත් දන් දුන් පරපුරක් ඒ කාලයේ හෙළදිව සිටියා. කිරුළු පලන් රජෙකු ව රාජ්‍යය කරවූ සද්ධාතිස්ස රජු තමන් වෙහෙස මහන්සි වී කුලී වැඩ කොට උපයා ගත් සහලින් දානය පිළියෙල කරවා රහතන් වහන්සේලා විෂයෙහි පුද දුන්නා. ජනයාගේ අය බදුවලින් නො ව තම දෑතේ දෙපයේ මහන්සියෙන් උපයා ගන්නා දෙයින් දන් දෙන්නට ඔහුට සිත් පහළ වූයේ කාය බලයෙන් ද තිසරණය පුද දීම සෑම කල්හි ම සිංහලයන් විසින් උතුම් කොට සැලකූ නිසයි.

දාරුභණ්ඩිකතිස්ස නම් දිළිඳු මිනිසාත්, ඔහුගේ භාර්යාවත් ස්වාමීන් වහන්සේලාට ප්‍රණීත ලෙස දන් පුද දීමේ අටියෙන් කිරි ලබා දෙන කිරි එළදෙනක ලබා ගැනීම පිණිස ස්වකීය එක ම දියණිය නිවසක මෙහෙකාර සේවයට පිටත් කරනු ලැබුවා. දියණිය වෙනුවෙන් ලද මුදලින් කිරි එළදෙනක මිලට ගෙන ඔවුන් පස්ගෝරසයෙන් සුසැදුන ප්‍රණීත දන් සකසා සංඝයාට දන් දුන්නා. සය මසක් පුරා කුලී වැඩ කිරීමෙන් දියණිය ව මෙහෙකාරකමින් නිදහස් කර ගැනීම පිණිස කහවණු fදාළහක මුදල උපයා ගත් තිස්ස ඒ මුදල ද ගෙන නිවස බලා යමින් සිටිය දී දානය නො ලබා ම මාගම බලා වැඩම කරමින් සිටි පිණ්ඩපාතිකතිස්ස ස්වාමීන් වහන්සේ ව මුණගැසුනා. ධර්ම කථාවේ යෙදෙමින් ගමන සිදු වුණා.

දාන වේලාව ළං වුණා. දානය පිණිස දෙන්නට යමක් තිස්ස සතුව නැහැ. ඔහු පාරේ ගිය මගියෙකුගෙන් කහවණුවකට බත් මුලක් ඉල්ලා සිටියා. එතරම් නොවටිනා බත්මුලට කහවණුවක් ගෙවන්නට හදන තිස්ස දුටු මගියා බත්මුලේ ගණන වැඩි කළා. අවසානයේ, දියණියට හිලව් වශයෙන් ඉපැයූ මුළු මුදල ම වියදම් කොට බත්පත ලබා ගත් තිස්ස ඒ බත්පත ස්වාමීන් වහන්සේට පූජා කළා. දූ දරුවන් පවා දන් දෙමින් බෝසත් පාරමී සපිරූ අප ශාස්තෘන් වහන්සේගේ සරණයේ පිහිටි ඒ උපාසකවරු පිනට කිසිවිටක පැකිළුනේ නැහැ…

ඒ දානය පිදූ ඔහුගේ සතුට දුටු ස්වාමීන් වහන්සේ ඒ තරම් සතුටු වන්නට හේතුව විමසා සිටි විට තිස්ස සම්පූර්ණ පුවත ම උන්වහන්සේට පවසා සිටියා. ඒ සා ගෞරවාභිමානයෙන් පිදූ දානය නිෂ්ඵල වන්නට නො දෙමි යි අධිෂ්ඨාන කර ගත් ස්වාමීන් වහන්සේ පධන් වෙර වඩා සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්ව වදාළා. මෙබිමේ උපන් සංඝයා ණය රහිත ව දන් වළඳමින් ඒ ආකාරයෙනුයි සසුන් පිළිවෙත් පූරණය කර ගනු ලැබුවේ.

පෙරදිග මුතු ඇටය යි මේ…!

නිති පන්සිල් පොහොය අටසිල් සුරකිමින් ධර්මයේ හැසිරුණ ඒ ජනකාය පිටරැටියනට ධන ධාන්‍යය යැවූ ස්වයංපෝෂිත ආර්ථික රටාවක් බිහි කරනු ලැබුවා. එයින් සියවස් ගණනාවක් ඉක්ම ගිය අද පවා ලෝවැසියන් විස්මයට පත් කරලන යෝධ දාගැබ්, ගෘහ නිර්මාණ, වාරි නිර්මාණ බිහි කළා. තම රාජ නියෝජිතයන් රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙස අනෙක් රටවල රාජ සභාවන්ට පිටත් කොට හැරි රාජ්‍ය සම්ප්‍රදායක් එකල තිබුණා. ඒ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට තිබුණේ ඉහළ පිළිගැනීමක්. විශේෂ ආරාධනාවන් ඔස්සේ තමන් වෙත ගෙන්වා ගත යුතු අන්දමේ වටිනාකමක් ඒ රාජ්‍ය නියෝජිතයන්ට හිමිව තිබුණා.

සුදු හමැති පිටරැටියන් වෙරළට පැමිණ වයින් සහ පාන් ආහාරයට ගනිද්දී තිරුවානා ගල් කන, ලේ බොන ප්‍රජාවක් ලෙස ඔවුන්ගේ ශිෂ්ටත්වය විමසුමට ලක් කළ ශිෂ්ට සම්පන්න බවක් අපට තිබුණා…

එවන් අපමණ අගයන් ලද රටක… එවන් සමාජයීය වටිනාකම් උපදවා ගත් රටක… එවන් සසුන් පිළිවෙත් සුරක්ෂිත කළා වූ රටක… අද තත්ත්වය ගැන අපට කියන්නට තිබෙන්නේ මොනවා ද?

අභිමානයක මළගම

කුරා කුහුඹුවෙකුගේ ප්‍රාණය පවා තොර නො කළ ජනයාගේ නූතන පරපුර මහමග බල්ලන්, බළලුන් ගාණට මිනිසුන් මරා දමමින් කෘර චර්යාවන් පෙන්වන්නේ ඇයි?
අන් සතු වූ දෙය සොර සිතින් ගන්නට සිතක්වත් නූපදවූ – මැණිකක් අතින් ගත් තරුණ කතකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට පා ගමනින් ගිය ද කිසිදු අවහිරයක්, කරදයක් සිදුවන්නට ඉඩ නොදුන් ජනයාගේ නූතන පරපුර තුළ මහලු කතකට තනි ව නිවසක සිටින්නට නො හැකි වටපිටාවක්, බාලිකා පාසලකට කඩා වැදී මත්පැනින් විකල් වූ මනසින් විකෘති හැසිරීම් රටා පෙන්වන පාසල් ළමුන් සිටින වටපිටාවක් බිහි වුණේ ඇයි?

අනුන්ගෙන් ණයට ගත් සම්ප්‍රදායයන් තම චාරිත්‍ර වාරිත්‍ර බවට පත් කොටගෙන ඒ අරුත්සුන් අංගයන් වෙනුවෙන් ‘හොඳ ම’ බොරුකාරයන් තෝරන, ‘හොඳ ම’ හැඬීම තෝරන, ‘හොඳ ම’ විහිළුව තෝරන පිරිහුණු මානසික රටාවන් බිහි වුණේ ඇයි?

මත්පැනට රතු ලේ කියා කියූ ජනකායක් විසූ රටකට ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය වැඩි ම රටක් යන කුප්‍රකට බව ලැබුණේ ඇයි? දරුවන් කුස දරා වදන, කිරි පොවා දරුවන් හදන, දරුවන්ගේ දෑස් පාදවන්නට ආදරණීය බැඳීමකට වැඩි ම දායකත්වයක් දරන ආදරණීය අම්මලා සිටි රටක දරුවන්, ස්වාමියා, නෑදෑ පරපුර, සභ්‍යත්වය, සදාචාරය යන කිසිවක් නොතකමින් මත්පැනින් සිහි විකල් ව තමන් සතු උත්තරීතරත්වයන් තමන් විසින් ම කෙලෙසා දමන මව්වරු, කාන්තාවන් බිහි වුණේ ඇයි?

මේ විදිහට ‘ඇයි?’ කියන ප්‍රශ්නය අප අපෙන් ම විමසා සිටියත් තව බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් අපට අසන්නට වන්නේ එය ම යි. මේ සියල්ලෙන් පැහැදිලි ව ම පෙනී යන්නේ අපට වැරදුන තැනක් තිබෙන බවයි.

සැබැවින් ම අපට වැරදුනේ කොතැන ද???

ඉතිහාසය තමයි සෑම විට ම වැරදි නිවැරදි කර ගනිමින්, නිවැරදි භාවයන් පවත්වා ගනිමින් රටක්, ජාතියක්, මිනිසෙක් ලෙස නැගී සිටින්නට උපකාරී වන්නේ. ශ්‍රේෂ්ඨත්වය සොයා යන ලෝකය බොහෝ විට උත්සාහ කරන්නේ විශිෂ්ට ඉතිහාසයක් සහිත වූ බව ඔප්පු කරන්නටයි. අපට සෙසු ලෝකයාට මෙන් අමුතුවෙන් ඉතිහාසයක් නිර්මාණය කරවා අප ශ්‍රේෂ්ඨයන් බව පෙන්වන්නට වුවමනා නො වන්නේ මේ රටේ මේ ජාතියේ සමාරම්භය ම මෙලොවත්, පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන ධර්මයක් විසින් සනිටුහන් කර තිබෙන නිසයි. ඒ ධර්මය පිළිපදිනු ලබන්නේ කවර රටක කවර ජනකායක් වේවා ඔවුන් ශ්‍රේෂ්ඨ රටක ශ්‍රේෂ්ඨ වැසියන් වීම වළක්වන්නට ද නො හැකියි.

එසේ නම්, අපට වැරදී තිබෙන්නේ ම ශ්‍රේෂ්ඨ වූ ධර්මය මත ගොඩනැගුනු ජීවන සම්ප්‍රදායක තතු අඛණ්ඩ ප්‍රවාහයක් ලෙස නූතනය වෙත ගෙන එන්නට අප අසමත් වූ නිසාවෙන්… ධර්මය විසින් ලොව ශ්‍රේෂ්ඨ ජනකායක් බිහි කරලූ ඉතිහාස පාඩම අපි අපේ පෙළ පොතෙන් පවා ඉවත් කරද්දී ඒ ඉතිහාසය නොදත් පරපුර ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයන්ගේ යාවජීව සාමාජිකයන් ව, හොඳ නරක තෝරා බේරා ගන්නට අසමත් ව, කෙලෙස් ගොහොරුවේ ගිලෙමින් යාන්තමින් පණ ගැට ගසා ගන්නා පිරිසක් වීම හැර අන් කවරක් අප බලාපොරොත්තු විය යුතු ද?

ශ්‍රාවකයන්ගේ සිංහනාදය

කලින් කලට ආ ආක්‍රමණ හමුවේ ධර්මයෙන් ගොඩනගා ගත් අදීන නිවහල් මානසිකත්වය වෙනස් වූයේ ද ධර්ම මාර්ගයේ මනා කොට ගමන් කරන්නට අපට නො හැකි වුණ නිසයි. නැති නම්, ජීවිතය ගිය ද තිසරණය කිලිටි කරනොගන්නා පරම ශ්‍රාවකත්වයක් ඒ බුද්ධ ශ්‍රාවක පරපුරට තිබුණා. අද තිසරණය පෙරටු කර ගන්නා ශ්‍රාවකයන් සොයන එක කළුනික සොයනවා වැනි කාර්යයක් වෙලා. ඒ කියන්නේ අද කාලයේ මේ දේ කරන්න බැරුවාවත් ද???

කිසිසේත් ම නැහැ. අද වුණත් මෙය කළ හැකියි. උපන් රටේ පවා බලවත් සහයෝගයක් නො ලැබෙද්දී, ඇණුම් බැණුම් දෝෂාරෝපණ අඩු නැතිව ලැබෙද්දී සම්බුදුරජුන් ලොව පහළ වූ වජිරාසන පින්බිම ලෝවැසි බොදුනුවන්ගේ උරුමයක් බවට පත් කරලන්නට ඉන්දියානු රජයත්, අන්තගාමී ආගමික කල්ලිත් සමඟ මහා සටනක් කළ; ඒ සටන දිනවා වජිරාසන පුණ්‍යභූමිය බෞද්ධයන්ගේ උරුමයක් කළ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් පහළ වුණේ වැඩි ඈතක නො වෙයි… අනුන්ගේ රටකට ගොස් ඒ රට හමුවේ තිසරණය උදෙසා අභීත ව හඬ නැගූ ඒ විරුවා අපේ පරපුරටයි අයිති. එතුමා නො වන්නට අද අපට බොදු බැතියෙන් සිත් සතන් පුරවා ගනිමින්, නළල තබා වන්දනා කරන්නට වජිරාසන පින්බිමක් නැහැ…අපට වුවමනා එවැනි සුජාත දූ පුතුන්… ධර්මය රකින්නට, ධර්මයෙන් අභිෂේක ලද රට ජාතිය රකින්නට දිවි හිමියෙන් තිසරණයේ පිහිටා කටයුතු කරන උතුම් දූ පුතුන්…

වීර විකුම් පෑ හෙළ දරුවෝ

මේ බිමේ උපන් අප අයිති රාජ්‍යත්වය වෙනුවට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මනුෂ්‍යත්වයේ ධජ පෙරටු කොටගෙන ආක්‍රමණිකයා පලවා හරින්නට පෙරටුවට ආ දුටුගැමුණු පරපුරට…
මේ බිමේ උපන් අප අයිති ආක්‍රමණිකයන් පලවා හැර සමුදුරු පරයන මහා වැව් නිමවා රට බතින් බුලතින් සශ්‍රීකවත් කළ පැරකුම් පරපුරට…
මේ බිමේ උපන් අප අයිති කුසගින්නේ ක්ලාන්ත ව වැටෙද්දී පවා වැටකෙයියා යුෂයෙන් යැපෙමින් සිහි නුවණ රැකගෙන මතු පරම්පරා ගණනාවක් වෙනුවෙන් උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව රැකගත් පරමෝත්තම යතිවරුන්ගේ පරපුරට…
මේ බිමේ උපන් අප අයිති වසර දෙදහස් තුන්සිය ගණනක් මුළුල්ලේ පණ පුදා විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැක ගත් හෙළ පරපුරට…
මේ බිමේ උපන් අප අයිති එවැනි ම දීර්ඝ කාලයක් පුරා සියලු උවදුරු ගැහැට හමුවේ නො සැලී වාම ශ්‍රී දළදා වහන්සේ ව දිවි පුදා රැකගත් උත්තම පරපුරට…
මේ බිමේ උපන් අප අයිති අන්‍ය දේශයක, අන්‍යාගමික බලපෑම් බහුල වූ තැනක පවා සම්බුදුරජුන්ගේ පාරිශුද්ධ පුණ්‍ය ක්ෂේත්‍රය බොදුනුවන් වෙනුවෙන් රකින්නට අකම්පිත ව පෙරට ආ ධර්මපාල පරපුරට…

ඉතින් අපි වාසනාවන්ත නැති ද???

කල්‍යාණ වැට නොසිඳිමු

ඒ පාරම්පරික උරුමය අරුත් නංවමින් අද අප කටයුතු නො කළහොත් සිදුවන්නේ…, අප සම්බුදුරජුන්ගේ අටෝරාශියක් මඟුල් ලකුණින් විසිතුරු වූ සිරිපා සටහන පිහිටුවා වදහළ යෝනක පුරයේ ඉදි කළා වූ මකුලාන මහා විහාරය අද බොදුනුවනට කිසිදු අයුරකින් වන්දනාමාන කරන්නට ඉඩක් නො වන මක්කම බවට පත් වූ අයුරින් ම අපට අභිමානය ගෙන ආ ඉතිහාසයේ සාධක අන්‍ය ජාතියක් විසින් නිර්මාණය කරනු ලබන අමුතු ඉතිහාසයකට යටත් වීම පමණයි…

අපි ජීවත්වන මේ යුගයේ අපට ගෞතම සම්මා සම්බුදුරජුන්ගේ පිරිසිදු ධර්ම පර්යායන් තේරුම් ගත හැකි ආකාරයට ඇසෙනවා. සතර සතිපට්ඨානය නම් වූ පිය උරුමයට අපත් උරුමකරුවන්. මහා පිනකින් මනුලොවේ උපත ලැබුණු අප හිස් අතින් මිය නො යා යුතු යි. ඒ වගේ ම, මේ කල්‍යාණ වූ ධර්ම මාර්ගයේ අවසන් පුද්ගලයා බවටත් අප පත් නො විය යුතුයි…

සාදු සාදු අපි ගෞතම මුනිඳු සරණ යන්නේ

ඒ කියන්නේ… ධර්මයත්, ධර්මයෙන් ගොඩනැගුන පරපුරේ අභිමානයත් සුරක්ෂිත කරවමින්… ඒ ධර්ම මාර්ගය තුළ අප්‍රමාදී ව පිළිසරණ සලසා ගනිමින් අප සිංහලයේ ලේ උරුමය රකින උත්තම පරපුර බවට පත් විය යුතු යි…

අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා හමුවේ විසාරද ව ධර්මය දේශනා කරද්දී නුවණැති දෙව් මිනිසුන් දමනය වූවා. ඒ දුටු ඇතැම් පිරිස් අපගේ ශාස්තෘන් වහන්සේට කිව්වේ ‘මායාකාරයා’ කියලයි… ඇත්ත… උන්වහන්සේ සොඳුරු මායාකාරයෙක්. ඒ ‘සොඳුරු මායාවට’ හසු වෙලා දමනය වූ, සන්සිඳුනු අතීත පරපුරේ පිය සටහන් මතින් ඇවිද යන අපත් ඒ මායාවට හසු වෙත්වා! අපගේ ඤාති පරම්පරාවන් ද ඒ මායාවට ම හසු වෙත්වා! ජාති ජරා ව්‍යාධි මරණ දුකින් පිරුණ, ප්‍රිය විප්පයෝග – අප්‍රිය සම්පයෝග දුකින් පිරුණ, කැමති වූ යම් දෙයක් වේ ද එය නොලැබීමේ දුකින් පිරුණ මේ සසරින් අප නිදහස් කරන්නේ ඒ මායාව යි.

ආයෙමත් මේ දුක්ඛිත සංසාරෙට නොඑන්න, මේ කටුක සසර ගමනින් එතෙර වෙන්න, අභිමානනීය වංශකතාවකින් ම සම්බුදු සසුනට නෑකම් කී මේ පින්බිමේ ඉපදුණු මේ ජීවිතයට වඩා වෙනත් ජීවිතයක් අපට මේ බුද්ධ ශාසනයේ දී මුණගැසෙන එකක් නැහැ… ඒ නිසා, සියල්ලෝ අප්‍රමාදී ව ඒ උතුම් පරපුරේ අභිමානය සුරකිමින් ධර්මය පිළිසරණ කර ගනිත්වා!
තෙරුවන් සරණයි!

(ශ්‍රී බුද්ධ වර්ෂ 2561 වෙසක් පුන් පොහොය නිමිත්තෙන් කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුව මඟින් මුද්‍රිත විශේෂ වෙසක් පණිවිඩය යි.)

3 comments

  1. saadu…….saadu…….saadu……nmoo buddaaya

  2. lasantha pradeep

    සාදු,,,,,,,,,,සාදු,,,,,,,,,සාදු,……නමෝබුද්දාය.

Leave a Reply to lasantha pradeep Cancel reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අසිරිමත් මහා කරුණාව ( 1 වන කොටස)

ඒ සිතුවිල්ල හට ගත්තේ සියලු ලෝසතුන් මේ ජරා දුකින් බේරා ගන්න, මේ රෝග පීඩා වැළඳීමේ දුකින් බේරා ගන්න, මේ මරණ දුකින් බේරා ගන්න. ඒත් සමඟ ම උන්වහන්සේට කල්පනා වුණා,