highlights of the week
Home » පුණ්‍ය චාරිකා » වාරණ රජමහා විහාරය

වාරණ රජමහා විහාරය

පහන් සිතින් ඔබ වැන්දොත් වා අරණ
සහන් සුවය පැතිරෙයි දුක් නිවාරණ

සොබා දහමේ ඇතැම් නිමැවුම් පුදුමාකාර ය. සැණෙකින් සිත් සතන් නිවා සනහාලන පරිසරයක් නිර්මාණය කිරීමට සොබාදහමට හැකි ය. සුන්දර වෙල් යායකින් වටවුණ තුරුලතාවලින් සුපෝෂිත ගිරි ශිඛරයකට මෙය කදිමට කළ හැකි ය. එය සොඳුරු පුදබිමක් වන්නේ නම් මෙකරුණ වඩ වඩාත් තීව්‍ර වන්නේ ම ය. මෙවර පුණ්‍ය චාරිකාව වෙතින් ඔබ කැඳවාගෙන යන අසිරිමත් පුදබිම මෙම සියලු ම කරුණුවලින් මොනවට සමන්විත ය. ඒ වාරණ රජ මහා විහාරය යි.

කොළඹ නුවර මාර්ගයේ කි. මී. 37ක පමණ දුරකින් ඇති තිහාරිය හන්දියෙන් හැරී තවත් කිලෝ මීටර් 3ක පමණ දුරක් ගිය විට දකුණු පසින් දිස්වන කඳු මෙවුලක ඇති මෙම පුදබිම වෙත ඔබට පහසුවෙන් ළඟා විය හැකි ය.

කොළඹ නුවර මාර්ගයේ යක්කල හන්දියෙන් කිරිඳිවැල පාරට හැරී කි. මී. 6ක් පමණ ගොස් හමුවන නෙල්ලිගහමුල හන්දියෙන් වමට හැරී කි. මී. 2ක් පමණ යන විට වම්පස වෙල්යාය කෙළවරෙහි ගුවන අරා නැගි සොඳුරු කඳු පන්තියක දිස්වන කිරි බැබළෙන සෑ රදුන් ඈතට දිස්වන දසුන ඉතා චමත්කාර ය.

ස්වභාවිකව ම වෙල් යායක් වටකොට පිහිටි භූමියක් මතින් නැඟී සිටිනා ගල් පර්වතයක තල හතරකට පමණ වෙන්ව ඒ මත ගොඩනැගෙන විහාරාරාමය ස්වභාව ධර්මය තැනූ අපූර්ව නිර්මාණයක් බව නො කියා බැරි ය.

මේ පිහිටීම තුළින් ම කලබලකාරීත්වයෙන් මෙන් ම ඒකාකාරීත්වයෙන් ද පීඩාවට පත්වුණ සිත් සතන් නිවී සැනහී යන අයුරු මෙහි පැමිණෙන ඕනෑම අයෙකුට ඒ මොහොතේ දී ම හොඳින් අත්විඳිය හැකි ය.

විහාරස්ථානය වෙත පැමිණ ආවාස ගෙය වෙත යන විට සියනෑ හාපිටිගම අලුත්කූරු කෝරලයේ අධිකරණ සංඝනායක වාරණ ඓතිහාසික රජමහා විහාරයේ විහාරාධිපතින් වහන්සේ වන දොම්පේ පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ ආවාස ගෙයි ඉදිරිපස පුටුවක වාඩිවී ගිලන්පස වළඳමින් සිටියහ.

මා ආ කාරණය සැල කළ පසු උන්වහන්සේ ඉතා කරුණාවෙන් අප වෙත මේ විහාරයේ ඉතිහාසය මෙසේ පහදා වදාළහ.

“මහත්තයා මෙම විහාරයට අප වාරණ යැයි ව්‍යවහාර කළත් ඒ වගේ ගමක නමක් නම් නෑ. වාරණ කියන්නේ හස්තියාට කියන නමක්. මේ පර්වතය ඈතට හස්තියකු සේ පෙනෙන හින්දා ‘වාරණ’ කියලා පටබැඳුණා වන්නටත් පුළුවන්.
තවත් ජනප්‍රවාදයක් තමයි ‘වා’ නැමැති වෘක්ෂයන්ගෙන් බහුල වූ අරණක් වූ නිසා ‘වා අරණ’ වාරණ වූවා කියන කාරණය.”

“පින්වත් ස්වාමීන් වහන්ස, මේ විහාරයේ ආරම්භක වකවානු ගැන තරමක සඳහනක් කරන්න පුළුවන් ද?”

“මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා හමා යන මිහිරි සුවඳක් වාගේ ඒ අමා ධර්මය දේශනා කළාට පස්සේ අනුරාධපුරයේ විතරක් නෙවෙයි ඒ දම් සුවඳ මුළු රට පුරා ම පැතිරිලා ගියා. ඒ ධර්මය අසා පැවිදිවෙන ස්වාමීන් වහන්සේලාගේ පැවිදි දිවිය සුව සේ නිදහසේ ගත කරන්නට සුදුසු මේ වාගේ ආරණ්‍ය බිහිවුණා.

අනුරාධපුර යුගයේ ධර්ම ප්‍රචාරක කටයුතුවලින් පසුව දෙවනපෑතිස් රජතුමා ලක්දිව යොදුනක් යොදුනක් පාසා විහාරාරාම කරවූ බව මහාවංශයේ සඳහන් වෙනවනේ මහත්තයා. ඒ කියන්නේ සැතපුම් 16න් 16ට වශයෙන් විහාරාරාම කරවලා තියෙනවා. අනුරාධපුරයේ අට සැට ලෙන් නිර්මාණය කළා වගේ ම ඒ අතර ප්‍රධාන විහාරයක් තමයි මේ වාරණ. මහත්තයා මෙතනත් කටාරම් කොටපු ගල් ලෙන් 32ක් තියෙනවානේ.

එක තැනක මෙහෙම තියෙනවා. ‘බතමමශ බතිත බත තිශතදනෙ…’ මේ පුරාණ බ්‍රාහ්මීය අක්ෂර කියන කතාව නම් මේ ලෙන් සංකීර්ණය මජ්ඣිම ස්වාමීන් වහන්සේගේ සහෝදරයා වූ තිස්සදත්ත නම් රහතන් වහන්සේට පූජා කළ බවයි. ඒ කියන්නේ උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙහි තවත් බොහෝ භික්ෂු සංඝයා සුව සේ බවුන් වඩා සසර දාහය නිවාගන්නට ඇති.”

“ස්වාමීන් වහන්ස, මේ යුගයෙන් පස්සේ ආයෙමත් වාරණ ගැන සඳහන් වන පැහැදිලි අතීත සලකුණ මොකක් ද?”

“දෙවන යුගය එළඹෙන්නේ වළගම්බා රජතුමාගේ සම්බන්ධතාවයත් සමඟයි. ඒ කියන්නේ (ක්‍රි. පූ. 103-89) වගේ. අනුරාධපුරෙන් මායා රටට පළා ආපු වට්ඨගාමණී අභය රජතුමාට මේ ලෙන් ආශ්‍රිත ස්වභාවික පිහිටීම ආරක්ෂාවට කදිම පිළිතුරක් වුණා කියලයි මට හිතෙන්නෙ.

එතුමා වසර 13ක් තිස්සේ සැඟවෙමින් ආක්‍රමණික සතුරා පළවා හැරීමට සැලසුම් සකස් කරමින් හිටියා. මේ ගල් ලෙන් සංකීර්ණවලට එතුමා රජවීමෙන් පසුව දිය යුතු නියම කෘතවේදීත්වය ලබාදුන්නා. යුද්ධය කියන එකේ තියෙන පවිටු විපාකත්, එය මහජනයා වෙතට ගෙන එන කටුක පහසත් හොඳින් ම දැන අත්විඳ සිටි රජතුමා මේ ගල් ලෙන් තුළ රාජ්‍ය අනුග්‍රහයෙන් හැදුවේ රහසිගත බල කඳවුරු හෙම නෙවෙයි. කෙලෙස් යුද්ධයෙන් නිදහස් වී සදාතනික සැනසිලි මග අත්විඳින්නට ඉඩ සලසමින් නැවතත් මේ බිම් සංඝාවාස බවටයි පත් කළේ.

එන්නකො මහත්තයා මාත් එක්ක යන්න…”

ස්වාමීන් වහන්සේ හුනස්නෙන් නැගී සිටියහ. මම පොඩි දරුවෙකු මෙන් උන්වහන්සේ පසුපසින් වැටුනෙමි. සුවිසල් ගල් ලෙනක් අතරින් ගොස් දකුණුපසට හැරුණ විට එක එල්ලේ දිස්වන්නේ ගල මත කදිමට කපා ඇති පියගැටපෙළකි. ස්වාමීන් වහන්සේ පියගැටපෙළ තරණය කරන්නට වූහ.

“මහත්තයා… මෙතන ගල්පඩි සීයක් තියෙනවා…”

මළුවේ සිට පිය ගැට සියයක් නැග ගිය පසු හමුවන කඳු මේඛලාවේ මැද මළුවේ ඇත්තේ කටාරම් කොටා කදිමට සකසා බුදු මැදුරක් බවට පත් කරවන ලද විසල් ගල් ලෙනකි.

මැදුර තුළ ශෛලමය ප්‍රතිමා වහන්සේනමක් නිම කරවීමෙන් මෙසේ මේ ලෙන් කුටිය මැදමළුවේ විහාර මන්දිරය බවට ද වාරණ ප්‍රධාන බුද්ධ මන්දිරය නොහොත් මහා විහාර මන්දිරය බවට පත්කොට තිබේ.

මෙය අද කොටස් දෙකකින් සමන්විත ය. පළමු කොටසෙහි දහ අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටියි. දෙපස විෂ්ණු, සමන් නාථ දේව රූප මෙන් ම ආනන්ද මහරහතන් වහන්සේගේ රුව ද නිර්මාණය කර ඇත.

දෙවන කොටසෙහි වියන් සිතුවමින් අලංකාර කොට සූවිසි විවරණ සත් සති ප්‍රතිමා වහන්සේලා නෙළා ඇති අතර සම්බුදු සසුනේ භාරකාරත්වය දරන විෂ්ණු දේවරුව ද නිර්මාණය කොට ඇත.

‘අනේ… මට මල් ගොඩාක් අරන් එන්න තිබුණා… මේ පිළිම වහන්සේලාගේ මල් ආසන ඒ මලින් අලංකාර කොට හඬ නගා වන්දනා කරන්නට තිබුණා නම්…’ මේ විස්මිත ලෙන තුළ දී මගේ සිතට එවන් සිතුවිල්ලක් එකතු විය.

මේ වෙලාවේ අධ්‍යාපන චාරිකාවක පැමිණි පාසැල් ළමුන් කණ්ඩායමක් විහාරයට ඇතුළු විය. පින්වත් ස්වාමීන් වහන්සේ ඒ සියලු දරුවන්ගේ සිත් සතන් සනහාලමින් ඉතා පැහැදිලි හා කරුණාබර ස්වරයෙන් මේ විහාරයේ ඉතිහාසය කියාදෙන්නට විය.

මම උන්වහන්සේගේ පා කමල් වන්දනා කොට මැද මළුවෙන් උඩ මළුව වෙත යන්නට පියවර එසවීමි. වන වදුලක් මැදින් වැටී ඇති තවත් ගල් පඩි 125ක් පමණ තරණය කළ පසුව උඩ මළුව වෙත පිවිසිය හැකි ය.

අසිරිමත් මහ ගල යට නැගෙනහිරට වූ ලෙන් කුටිය උඩ මළුවේ විහාරය වෙයි. එය ද සිද්ධාර්ථ කතා පුවත විදහාලන සිතුවම් පෙළකින් අලංකාර වී ඇත. ඇතුළත ලෙන ඉදිරියෙන් දහ අට රියන් වූ සැතපී සැනසෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ය. දකුණින් ඔත් පිළිම වහන්සේ තෙනමකි. උතුරට මල්තොරණින් විසිතුරු වූ තවත් ඔත් පිළිම වහන්සේනමක් මෙන් ම නැඟී සිටින පිළිම වහන්සේනමකි.

වළගම්බා රජතුමාගෙන් පසුව ද වාරණට රාජ්‍ය අනුග්‍රහය අඩු නො වුණු බවට මේ උඩ මළුවේ විහාර මන්දිරය කදිම සාක්ෂියකි. පොළොන්නරුවේ රජ පැමිණි කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා රාජ්‍ය අනුග්‍රහයෙන් මෙම විහාර මන්දිරය විශාල කරවා දහ අටරියන් මහ පිළිම වහන්සේ මෙන් ම සිතුවම් ද කරවූ බව සඳහන් ව ඇත.

දඹදෙණියේ රජ පැමිණි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ අධීක්ෂණයෙන් තවත් නවකම් ද කළ බව සඳහන් වෙයි. කෝට්ටේ රාජ්‍ය සමයේ සවැනි පරාක්‍රමබාහු රජතුමා මෙහි පුනරුදයට මහත් සේ වෙහෙසී ඇත. ඒ බව සනාථ කිරීමට අල්පිටිගේ පාරම්පරික තඹ සන්නස සාක්ෂි දරයි.

අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණිය, කෝට්ටේ, මහනුවර ආදි වූ සියලු ම යුග නියෝජනයක සන්ධිස්ථානයක් වූ වාරණ රජ මහා විහාරයේ අද අපට දකින්නට ලැබෙන්නේ විශේෂයෙන් මහනුවර යුගයේ කලා සම්ප්‍රදායයේ ලක්ෂණයන් ය.

උඩ මළුවට අවට දිස්වන අයුරු මනරම් ය. නැගෙන හිරෙන් ඈත අහස් කුසේ මිහිදුම් සේලයෙන් වැසුන සමන්ගිර දිස්වන්නේ වලාවන් අතර කළ සිතුවමක් පරිද්දෙනි. හමා එන මන්ද මාරුතය ගත සිත විඩා නිවලයි. බෝපත් සිලි සිලි හඬ හැරෙන්නට උඩ මළුව නිහඬ ය, නිසංසල ය. බවුන් වඩන සිතකට මෙය නම් අසිරිමත් දායාදයක් වනවාට කිසි ම සැකයක් නැත.

මම මගේ සිතැඟි පරිදි හඬ නගා බුදු ගුණ කවි කියමින් උඩ මළුවේ සෑරජාණන් වහන්සේ පැදකුණු කරමින් වන්දනා කළෙමි. ඒ හඬ ඇසෙන්නට අද කිසිවෙකුත් මේ උඩ මළුවේ නැත… වාතලයට මුසු වූ ඒ සම්බුදු ගුණ කැටි වුණ කවිපද මේ ගිරි ගුහාවල හැපී දෝංකාර දෙමින් ඈත වාතලය පුරා පැතිරී යයි… ඒ දෝංකාරය මේ විසල් ගල් කුළුවල වැදී එහි සැඟවී තිබූ පැරණි කවියෙකුගේ කවි දෙපදක් ද සැණෙන් මා මතකයට එක් කරයි.

“පායන පුන්සඳ සේ බැබළෙන්ඩයි
වාරණ ගල යට බුදුන් වඳින්ඩයි”

චාරිකා සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

සිරි දළදා සමිඳු පුද දුන් පින් බිම ය සිත පහදා වඳිමු තැන්නේ මාලිගය

යක්කල රදාවාන පාරේ අඹගස්පිටියේ සැතපුම් තුනේ කණුව අසලින් වැටී ඇති මඟ දිගේ තවත් කි. මී. 2.4ක් පමණ පැමිණ මේ පුද බිම වෙතට ළඟා විය හැකි ය.