සම්බුද්ධ දේශනාවල පෙන්වා දෙන ආකාරයට සසරේ ගමන් කරන සත්වයා කර්මානුරූපවයි සැප දුක් විඳින්නේ. ඒ අනුව පෙර ජීවිතවල දී වැරදි කාම සේවනයේ යෙදී තිබීමත්, අඹු සැමියන්ගේ සමඟිය බිඳවීම පිණිස කේළාම් කීමත් කර්මානුරූපව ආදරය නොලැබීමටත්, විවාහ ප්‍රමාදවීමටත්, විහාහ ජීවිත අසාර්ථක වීමටත් හේතුවිය හැකියි. නමුත් කර්මය පවා අනිත්‍ය ධර්මතාවයට අයත් නිසා කුසල ධර්මයන් උපදවාගෙන, රැස්වූ අකුසල ධර්මයන් මැඩ පැවැත්විය හැකි බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. (යස්ස පාපං කතං කම්මං – කුසලේන පිථීයතී.) එමෙන් ම ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු කර්ම ක්ෂය කරන ප්‍රතිපදාව බවයි දේශනා කොට වදාළේ. එම නිසා අප සිදුකළ යුත්තේ ගුණ දැනගෙන මුළු හදවතින් ම තෙරුවන් සරණ ගොස් උතුම් සිල්පද මනාකොට සුරැකීමයි. එමෙන් ම උපෝසථ දිනවල දී උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් අෂ්ටාංග උපෝසථ සීලය ආරක්ෂා කරමින් බුද්ධානුස්සති භාවනාව ආදි කුසල මනසිකාරයන් පුරුදු කිරීමයි. නිරන්තරයෙන් ම පරිත්‍යාගශීලී ගුණය දියුණු කර ගැනීමයි. කරුණා – මෛත්‍රීයාදී උතුම් ගුණධර්ම ජීවිතයට පුරුදු පුහුණු කර ගැනීමයි. සමඟිය පිණිස පවතින වචන කථාබස් කරමින් අන් අයගේ යහපත – සැපත දැක සතුටුවීම යි. ශ්‍රද්ධා – සීල – සුත – ත්‍යාග – ප්‍රඥා යන සේඛ බල දියුණු කර ගනිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නට උත්සාහවත් වීමයි. එවිට අප බලාපොරොත්තු වන මෙලොව යහපත අභිවෘද්ධිය ද පරලොව සුගතිය ද උතුම් ධර්මාවබෝධය ද ලැබීම පිණිස හේතු සකස් වේවි.