පින් තියෙන අයගේ ජීවිතවලට තමයි සෞභාග්‍යය උදා වෙන්නේ. වාසනාව උපදින්නෙත් පින්වන්තයින්ට තමයි. පින් කරපු උතුමන්ගේ එ් පින විසින් ධර්මාවබෝධය පිණිස අවස්ථාව උපදවා දෙන විදිය හරිම පුදුමයි. ටික ටික පින් රැස් කරපු කෙනෙකුගේ පින මුහුකුරා යද්දී එ්කට අකුල් හෙළලා නවත්තන්ට කිසි කෙනෙකුට පුළුවන්කමක් නෑ.
මීට කල්ප ලක්ෂයකට පෙර මේ ලෝකයට මහා කාරුණික පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වී වදාළා. එකල හංසවතී නමින් හැඳින්වූ නගරයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩි වශයෙන් වැඩ සිටියේ. ඔය කාලයේ එක්තරා සිටු කුමාරයෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට ලැබුණාග එදා පටන් ඔහු තෙරුවන් සරණ ගියාග නිතර නිතර ධර්මය ශ‍්‍රවණය කළා. එ් බුදුරජාණන් වහන්සේගේ කාලයේ බොහෝ පින් රැස්කර ගත්තා. එ් වගේ ම තවත් විශේෂ දෙයකට මේ තරුණයාගේ හිත ඇදිලා ගියා.

දවසක් ධර්මය දේශනා කළ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දේශනාව අවසන් කළා ම එක ස්වාමීන් වහන්සේනමක් ආසනයෙන් නැගී සිටියා. සිවුර එ්කාංශ කර ගත්තා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගෙන ‘‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සල මට කාරණයක් වැටහෙනවා. ස්වාමීනී, සුගතයන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා” කියලා පවසා සිටියා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එ් ස්වාමීන් වහන්සේට අවසර දුන්නාට පස්සේ ඉතා ම ලස්සන ගාථා කිහිපයකින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කැටි කරලා පැවසුවා. ඉතිං හැමෝම හරි ම සතුටින් එ් ගාථාවන් අනුමෝදන් වුණා.

එ් වෙලාවේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ‘‘පින්වත් මහණෙනි, මාගේ ශාසනයේ පටිභාන හැකියාවෙන් අග‍්‍ර ම භික්ෂුව වන්නේ මේ භික්ෂුවයි” කියා අග තනතුර පවසා වදාළා. සිටු කුමාරයාගේ හිත පිනා ගියා. අනේ මටත් බුදු සසුනක පටිභාන හැකියාවෙන් අග තැන්පත් භික්ෂුව වෙලා ධර්මාවබෝධ කරන්ට ඇත්නම්’ කියලා හිතුණා. මේ තරුණයාගේ සිතුවිල්ල දැකපු පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ඔහු දෙස බලා ‘‘පින්වත් තරුණයල ඔබට ඇති වූ උතුම් අදහස මතු සම්බුදු බවට පත්වන ගෞතම බුදුරජුන්ගේ සසුනේ සඵල වෙනවා. එ් නිසා අප‍්‍රමාදීව කුසල් වඩන්න” කියා පවසා වදාළා. බුදු සසුන හරිම ආශ්චර්යවත්නේ’ කියලා මේ තරුණයාට හරි සතුටුයි. එ් සතුටු සිතින් ඔහු දාන සීල භාවනා වශයෙන් බොහෝ පින් රැස්කර ගත්තා.

සංසාර ගමනේ යන සත්වයන්ට දුගතියේ උපදින්නට ලැබීම මහා අවාසනාවක්. බොහෝ කොට පින් රැස් කරපු හින්දා මේ තරුණයා එ් අවාසනාවට වැටුණේ නෑ. මරණින් මත්තේ සුගති ජීවිත ලබමින් ඇවිත් මේ මහා භද්‍ර කල්පයේ සැවැත් නුවර උපන්නා. එ් වෙනකොට සැවැත් නුවර තිලොව දිනූ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. පින විසින් එ් සුදුසු පෙදෙසට ම ඔහුගේ උපත සකස් කරලා දුන්නා. පින් රැස්කර ගන්න එක කොයිතරම් වටිනව ද?

සැවැත් නුවර ධනවත් බමුණෙකුගේ පුත‍්‍රයා විදියට උපන්න මොහුගේ නම වංගීස. හරී ම ඥනවන්තයි. යාන්තම් තරුණ වයසට එනකොට බමුණන්ගේ වේද තුන ම හදාරලා අවසන් කළා. ඔය බමුණන්ගේ පරම්පරාවෙන් එන ප‍්‍රගුණ කරන්නට අමාරු ශාස්ත‍්‍රයක් තිබ්බා ජවසීස මන්තරේ කියලා. එ් මන්තරේ දන්න අයට මැරුණ කෙනෙකුගේ හිස් කබලට තට්ටු කරලා උපන්න තැන කියන්න පුළුවනි. හදාරන්ට අමාරු හින්දම බමුණන් අතරින් මඟහැරී යමින් තිබුණ මේ ජවසීස මන්තරේ නුවණැති වංගීස කුමාරයා අගේට ප‍්‍රගුණ කළා.

මේක ආරංචි වෙලා මහා බමුණන්ගේ ඉඳලා පොඩි බමුණන්ට යනකං බමුණො හැමෝටම හරි සතුටුයි. මොකද අනේපිඬු සිටුවරයා ජේත කුමරයාගේ සුන්දර උද්‍යානයේ සුවිසල් ආරාමයක් තනවලා බුද්ධ ප‍්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළාට පස්සේ දිනපතා ම මිනිස්සු බුදුබණ අහන්ට ජේතවනාරාමෙට එන්ට පටන් ගත්තා. බණ අහද්දී මිනිස්සුන්ගේ හිත පැහැදුණා. බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් හරි ම ආසාවෙන් උපස්ථාන කරන්ට පටන් ගත්තා. ඉතින් එතකොට බමුණන්ගේ ආරාම මිනිස්සුන්ගෙන් හිස් වුණා. ලාභ සත්කාර නැතුව ගියාග බමුණෝ හිටියේ මේ ගැන හරි ම කේන්තියෙන් වංගීස කුමාරයාගේ දක්ෂකම් ලෝකෙටම පෙන්නන්ට ඕන කියලා බමුණෝ එකතුවෙලා ලස්සන දෝලාවක් හැදුවා. වංගීස කුමාරයාව එකේ ඉන්දවාගෙන ගමක් ගමක් පාසාල නගරයක් නගරයක් පාසා අරගෙන ගියා. හන්දියක දෝලාව නවත්තලා මිනිස්සුන්ට මහ හඬින් මෙහෙම කියනවා.” ඕන්න උඹලාගේ මැරිච්ච උන් ගියපු තැන් කියන්ට පුළුවන් බමුණු සාස්තර ප‍්‍රගුණ කරාපු ජගතෙක් මේ දෝලාවේ ඉන්නේ. උඹලාගේ මැරිච්ච අම්මලා අප්පලා ගැනල ගෑනිලා මිනිහලා ගැනල දරු මල්ලෝ ගැන දැනගන්ට ඕනනං ඉක්මන් කොරලා සොහොනට ගිහිං ඔළු කට්ට හොයං වරෙල්ලා. අපිට පරක්කු වෙනවා. වැඩි වෙලා මෙහේ රැඳෙන්ට පුළුවන්කමක් නෑ”. ඉතිං මිනිස්සු සොහොනට ගිහිං ඥතීන්ගේ ඔළුකට්ට අරගෙන එනවා. වංගීස කුමාරයා අවුරුදු ගණන් ගත වෙච්චි ඔළු කටුවලටත් තට්ටු කරලා උපන්න තැන කියනවා.

මේක වේගෙන් ප‍්‍රසිද්ධ වුණා. බමුණන්ගේ සත්කාරත් වැඩි වුණා. ඔය අතරේ එක ජනපදයකට යද්දී ඊට පෙර දිනයේ බුදුරජාණන් වහන්සේ එ් ජනපදයට වැඩම කරලා ධර්මය දේශනා කරලා. එ් නිසා මිනිස්සු මේ වංගීසගේ මන්තරේ ගණන් ගත්තේ නෑ. වංගීසගේ හිතට මහා මදිකමක් දැනිලා ඇහුවා ‘‘මොකෝ මේ සෙනඟ අඩු?” කියලා. දැනගත්තා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හින්දයි මේ. වංගීස ඥානවන්ත නිසා පුළුල්ව කල්පනා කළා.  බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මොකක් හරි සුවිශේෂී අසිරියක් තියෙන්ට ම ඕන. නැත්නං මිනිස්සු මොකද එයට මෙච්චර ප‍්‍රිය කරන්නේ. මාත් එ් බුදුරජාණන් වහන්සේව හමුවෙන්නට යන්ට ඕන’ කියලා හිතලා ආචාර්ය බමුණා ළඟට ගියා. වන්දනා කරලා මෙහෙම කිව්වා. ”ආචාර්යතුමනි, ගහක වුණත් හොඳට ඵල හටගත්තාමයි සත්තු එ් ගස කරා යන්නේ. ගොයම වුණත් කරල් වැදුණාමයි කුරුල්ලෝ ගොයමට එන්නේ. එ් වගේ ගෞතම ශ‍්‍රමණයන් වහන්සේගේ ධර්මයේ එ්කාන්තයෙන් ම ඵල සහිත බවක් ඇති කියලයි මට හැෙඟන්නේ. එ් හින්දාමයි මෙතරම් පිරිසක් උන්වහන්සේ වටා එක් වී ඉන්නේ. ආචාර්යතුමනි, මාත් එ් ගෞතමයන් වහන්සේ හමුවී කතාබස් කරන්නට ආසයි. මට එ් සඳහා අවසර දෙනු මැනවි.”

‘‘උඹට විකාර ද දරුවෝ ඔය ශ‍්‍රමණ ගෞතමයන් හරී මායාකාරයා. මායාවෙන් තමයි ඔය මිනිස්සු රවට්ටගන්නේ. උඹත් එතනට ගිහිං එ් මායාවේ හිරවේවි. ශ‍්‍රමණ ගෞතමයන් හමුවට යන්ට මගේ අවසරයනං ආයේ ඉල්ලන්ට එපා”

ආචාර්ය බමුණාගේ අවසරය කිහිප විටක් ම ඉල්ලාත් නො ලැබුණ හින්දා වංගීස තනි තීරණයක් ගත්තා. කාටත් හොරා බුදුරජාණන් වහන්සේ හමුවීමට සැවැත් නුවර ජේතවනාරාමයට ගියා. භාග්‍යවතුන් වහන්සේ දැකීමෙන් ම වංගීසගේ පින්බර සිත පිනා ගියා. පිළිසඳර කතාබහේ යෙදී අවසානයේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් මෙසේ විමසා වදාළා.

‘‘වංගීසය, ඔබ ජනයා මවිතවන විශේෂ ශිල්පයකට ප‍්‍රසිද්ධයි නේ ද?”

‘‘එසේ ය, භවත් ගෞතමයාණෙනි, මාගේ ශිල්පය ජවසීස මන්ත‍්‍රයයි. වසර තුන හතරකට පෙර මිය ගිය කෙනෙකුගේ හෝ උපන් ස්ථානය මට ඉතා පහසුවෙන් කිව හැකියි.”

‘‘වංගීසය, ඔබට මා ඉදිරියේත් එය පෙන්විය හැකි ද?”

‘‘හැකියි භවත් ගෞතමයාණෙනි”

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් පිරිසක් සොහොනට පිටත් කොට හිස්කබල් කිහිපයක් අහුලාගෙන එන්නට සලස්වා ආරාමයේ තිබූ පිරිනිවන් පෑ රහතන් වහන්සේනමකගේ හිස්කබලක් ද ගෙන්වාගෙන වංගීසගේ මන්තරයට සූදානම් කොට වදාළා. ඉන් එක හිස්කබලක අයිතිකාරයා මේ වෙනකොට නිරයේ බව මහා නුවණැති බුදුරජාණන් වහන්සේ තට්ටු නො කර ම දන්නවා. උන්වහන්සේ වංගීසයන්ට එම හිස් කබල දී ”ඈ වංගීසය, මේ මනුස්සයා මීට තුන් අවුරුද්දකට පෙරයි මිය ගියේ. දැන් මොහු ඉන්නේ කොහේද?” යි විමසා වදාළා.

හිස් කබලට තුන් වරක් නිය පිටින් තට්ටු කල වංගීස ‘‘ගෞතමයාණෙනි, දැන් මොහු ඉපදී සිටින්නේ නිරයේ.” යි කියා සිටියා.

‘‘හරි අගෙයි වංගීසය ඔබ හරියට ම පිළිතුරු දුන්නා.”යි පැවසූ අපගේ බුදුරජාණන් වහන්සේ මේ ක‍්‍රමයෙන් අවසානයේ රහතන් වහන්සේගේ හිස්කබල වංගීසට යොමු කළා. වංගීස සැහැල්ලූවෙන් එයට නියපිටින් තට්ටු කළා. මන්තරේට අනුව මොකුත් වැටහෙන්නේ නැතුව ගියා. මේ තමයි වංගීසට වැරදුණු පළමු වතාව. ඔහු නැවත නැවත උත්සාහ කළත් කිසිවක් ම වැටහුනේ නෑ. වංගීස මේ මොකක්ද බොලේ මගේ ශිල්පෙට වුණේ’ කියලා හීන් දාඩිය දැම්මා.”අනේ ස්වාමීනී, ගෞතමයන් වහන්ස, මින් පෙර මට මෙවැන්නක් සිදු වී නෑ. මොහුගේ උපත ගැන මට හැෙඟන්නේ නෑ. ඔබ වහන්සේ මොහුගේ උපත ගැන කීමට දන්නවා ද?”

‘‘එසේ ය වංගීසය මම එය මනාව දනිමි. ඊට වැඩි ශිල්පයන් ද මනාව දනිමි.” යි බුදුරජාණන් වහන්සේ පවසා වදාළා.

එ් මොහොතේ ම ඇදිළි බැඳ වන්දනා කර ගත් වංගීසයන් ‘‘අනේ ස්වාමීනී, එ් ශිල්පය මටත් ලබා දෙන සේක්වා” යි ඉල්ලා සිටියා.

‘‘වංගීසය, එය මාගේ සසුනේ පැවිදි ස්වරූප ඇතියන්ට පමණයි මා කියා දෙන්නේ.

‘‘එසේ නම් ස්වාමීනී, මාව පැවිදි කරන සේක්වා”

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වංගීසයන්ට පැවිද්දත් උපසම්පදාවත් ලබා දුන්නා. පැවිදි උපසම්පදාව ලද වංගීස ස්වාමීන් වහන්සේ මනා වත පිළිවෙතින් යුතු වුණාග හොඳින් ධර්ම විනය උගෙන වදාළා. පින විසින් කලණමිතුරු ඇසුර, ධර්මශ‍්‍රවණය, දහම් පිළිසඳර ලබා දෙද්දී පින්වන්ත වංගීසයන් වහන්සේ අමා නිවන සාක්ෂාත් කරමින් පරිපූර්ණ සෞභාග්‍යවත් ජීවිතය නොබෝ කලකින් ම උපදවා ගත්තා. උන්වහන්සේ උතුම් මහරහතන් වහන්සේනමක් බවට පත් වී වදාළා.

ඉතින් මේ වංගීස ස්වාමීන් වහන්සේ සඟ පිරිස මධ්‍යයේ බුදුරජාණන් වහන්සේව වර්ණනා කරමින්, ධර්මයේ ගුණ ඉස්මතු කරමින් ඒ  වගේ ම මහානුභාව සම්පන්න රහතන් වහන්සේලාගේ ගුණ වර්ණනා කරමින් හරි ම ලස්සන ගාථා දේශනා කරනවා. පසුකලෙක අපගේ බුදුරජාණන් වහන්සේ ‘‘පින්වත් මහණෙනි, මාගේ ශ‍්‍රාවක වූ භික්ෂූන් අතර මේ පින්වත් වංගීසයන් වනාහී පටිභාන හැකියාවෙන් යුතු භික්ෂූන්ගෙන් අග තැන්පත් වන්නේ ය.” යි සම්බුදු මුව මඬලින් වංගීස මහරහතන් වහන්සේගේ ගුණ ඉස්මතු කොට වදාළා.
රැස් කරන ලද පින් බලයෙන් මේ උතුමන්ගේ ජීවිත කෙතරම් සුන්දරත්වයට පත් වුණා ද? එ් නිසා අපිත් තණ අග රැඳි පිනි බිඳක් බඳු මේ දිවිය මිනිස් ලොව නම් වූ සුගතියෙන් අහිමි වී යන්නට මත්තෙන් අප‍්‍රමාදීව පුණ්‍යධර්මයන් රැස් කිරීමට මහන්සි ගනිමු.

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන්වහන්සේනමක් විසින් සම්පාදිතයි