මේ මොහොත වන විට ලෝකයේ කවර හෝ තැනක යුද උණුසුමක් ඇති බව නිසැක ය. රුසියාව, තුර්කිය, සිරියාව, ඉරාකය, ඇමෙරිකාව, ඊශ‍්‍රායලය, පලස්තීනය ආදි රටවල් ගැන කියැවෙන ප‍්‍රවෘත්තීන් අපට අසන්නට ලැබෙන්නේ බොහෝ විට යුද්ධයක සම්බන්ධයක් ඇතිව ය. වරින් වර එක් එක් රටවල් අතර මෙසේ යුදමය වාතාවරණයන් පැන නැගෙන අතර මෑතක දී වාර්තා වූ සමීපතම සිද්ධිය වූයේ රුසියාවත්, තුර්කියත් අතර ගැටුමයි.

2010 වර්ෂාවසානයේ සිට ලෝකයේ නොයෙක් රටවල අභ්‍යන්තර පාලනයට ජාත්‍යන්තර අත පෙවීම් සිදු වීම හරහා ලෝක යුද්ධයක් දක්වා වුව ද දරුණු වන්නට හැකි සිද්ධි දාමයක් දක්නට ලැබිණ. අරාබි වසන්තය ලෙස හැඳින්වූ එ් යුද කෝලාහල පසුබිම් කරගෙන ලෝකය දෙපසකට බෙදී එකිනෙකාට ඇඟිලි දිගුකර ගත් අතර කවර මොහොතක හෝ මේ ගැටීම් තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය වනු ඇති බවට සැක සංකා ද ඇති විය. නැවතත්, තුර්කිය හා රුසියාව අතර ඇති මේ ගැටීම තුන්වන ලෝක යුද්ධයට පාර කපන්නට ඉඩ තිබෙන බව දේශපාලන විචාරකයන්ගේ මතයකි.

ලෝක සාමය ඇති කරලීම අරමුණු කර ගනිමින් 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වූයේ දෙවන ලෝක යුද්ධයේ අති මහත් විනාශයෙන් පසුව ය. යළි යුද ගැටුම් ඇති ලෝකයක් එදා හුන් සියල්ලෝ එක හෙළා ප‍්‍රතික්ෂේප කළහ. එ් වෙනුවෙන් සියලූ රටවල සහභාගීත්වය ඇතිව, එක්සත් ව මෙසේ අන්තර්ජාතික සංවිධානයන් ද බිහි වූ නමුත් එයින් පසුව අද දක්වා ම නොයෙක් රටවල අභ්‍යන්තරික ගැටුම් සේ ම රට රටවල් අතර ගැටුම් ද අඛණ්ඩ ව දක්නට ලැබිණි. පීඩාවන් නොමැති ව, දඬුවම් නොමැති ව, දුක් නොමැති ව, වෛර නොමැති ව දිවි ගෙවීම යහපත් යැයි සිතා මෙසේ නොයෙක් නිර්ණායකයන් සලසා ගත්ත ද ලෝකයේ එ් කිසිවක අඩුවක් නැත. එසේ වන්නේ ඇයි?

මේ පැනය ම සක් දෙවිඳු විසින් වරෙක භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන ලද්දේ ය.

‘‘නිදුකාණන් වහන්ස, දෙවියෝත් මිනිස්සුත් අසුරයෝත් නාගයෝත් ගාන්ධර්වයෝත් අන්‍ය වූ යම් බොහෝ දෙනෙකුත් ‘වෛරයෙන් තොර ව, දඬුවම්වලින් තොර ව, සතුරු බවින් තොර ව, නිදුකින් ව, අවෛරී ව වසන්නෙමු’ යි මෙබඳු අදහසක් ඇත්තෝ වෙති. එනමුත් වෛර සහිත ව, දඬුවම් සහිත ව, සතුරන් සහිත ව, දුකින් යුතුව, වෛරී ව වාසය කරති. ඔවුන් එසේ වසන්නේ කවර දෙයකට බැඳී යාම නිසා ද?’’
(සක්කපඤ්හ සූත‍්‍රය – දී. නි.)

භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වූයේ මේ සියලූ දෙනා ඊර්ෂ්‍යාවටත්, මසුරුකමටත් බැඳී ගිය හෙයින් ඔවුන් ‘වෛරයෙන් තොර ව, දඬුවම්වලින් තොර ව, සතුරු බවින් තොර ව, නිදුකින් ව, අවෛරී ව වසන්නෙමු’ යි සිතන නමුත් වෛර සහිත ව, දඬුවම් සහිත ව, සතුරන් සහිත ව, දුකින් යුතුව, වෛරී ව වාසය කරන බවයි.

ඊර්ෂ්‍යාව හා මසුරුකම පසුබිම් කොට ඇත්තේ ප‍්‍රිය අප‍්‍රිය ස්වභාවය බවත්, ප‍්‍රිය අප‍්‍රිය බව කැමැත්ත පසුබිම් කොට ඇති බවත්, කැමැත්ත පවතින්නේ කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම හෙවත් ප‍්‍රපංච නිසා බවත් සම්බුදුරජාණන් වහන්සේ මෙහි දී වදාළ සේක.

එක් එක් සිතෙහි හට ගන්නා මේ අර්බුදය දුරු කරන්නට කළ යුත්තේ අකුසල් ප‍්‍රහාණය වන අයුරින්, කුසල් උපදනා අයුරින් යෝනිසෝ මනසිකාරයේ යෙදීම ය. රුසියාවට, තුර්කියට පමණක් නො ව එය අපට ද පොදු වූ ධර්මතාවයක් බව සිහි තබා ගත යුතු ම ය.

මහාමේඝ 2016 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

– මහාමේඝ –