බෙහෙත්වල සැර නිසා ම දාඩියෙන් පෙඟුන ශරීරයට සිසිලසක් දෙන්න වාට්ටුවෙන් එළියට ආවා. හිස් බැල්මෙන් වලාකුළු නැති අහස දෙස බැලූනේ ඉබේටමයි. සාදු.. සාදු.. සාදු..!!! දළදා වහන්සේ වැඩ සිටින දිසාවට නෙත් යොමා ගෙන වැඩ සිටින බහිරව කන්ද බුද්ධ ප‍්‍රතිමා වහන්සේ දුටු විට සිතට දැනුනේ මහා අස්වැසිල්ලක්; සැනසීමක්.

ඇතැම් විට මා මේ ගෙවන්නේ මගේ ජීවිතයේ අවසාන දින කිහිපය වන්නට පුළුවනි. එ් දින කිහිපයේ දී මට පුළුවනි ඔබ වහන්සේ දෙස බලාගෙන බුදුගුණ සිහි කරන්නට. උතුම් බුදුගුණ සිතන විට ශරීරයේ ඇති වන තියුණු වේදනාවන් සිතින් බැහැර වෙලා යනවා. සිතට ප‍්‍රීතියක්, සැහැල්ලූවක් ඇති වෙනවා.

කයට වෙහෙසක් දැනෙන වේලාවට මං කරන්නේ ඇඳට ගොස් හාන්සි වෙලා ඉන්න ගමන් මෙත් සිත පතුරුවන එකයි.

රෝගී තත්ත්වය නිසා ම සදහම් කරුණු ඇතුළත් පොත් වහන්සේලා කියවන්නත් අමාරුයි. එ් වගේ වේලාවට රෝගී වන්නට පෙර කියවූ, ඇසූ සදහම් කරුණු සිතින් මෙනෙහි කරමින් උතුම් ධර්ම රත්නය ගැන ශ‍්‍රද්ධාව ඇති කර ගන්නවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්ම කාරණා කෙතරම් සත්‍යයක් ද? ඔව්, මං මේ අත් විඳින්නේ එ් සත්‍යය යි. ඉපදුණ සත්වයා හට උරුම ව ඇත්තේ ජරාවත්, ව්‍යාධියත්, මරණයත් පමණයි. ඇත්තෙන්ම අපට සතුට සදා දෙන දෑ, මුදල්, බඩු බාහිරාදිය, ඉඩකඩම් ආදිය රැුස් කර ගන්නේ මොන තරම් වෑයමකින් ද? සතුටක් සොයා ගන්නට කෙතරම් දුක් විඳිනව ද? ජිවිතයට එන පුංචි පුංචි කරදර කෙසේ හෝ ඉවසා ගත්තත්, ලෙඩ රෝග ප‍්‍රතිකාර නිසා සුව කර ගත්තත් සුව කිරීමට අපහසු පිළිකා රෝගයක් වැනි දරුණු රෝගයක් හට ගත් විට කෙතරම් ප‍්‍රතිකාර කළත් මරණය බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. පෙර පරිදි ම තරහව, ක්‍රෝධය, පසුතැවීම, භය, මෝහය ආදි අකුසල් හිතෙහි හට ගන්නවා.

ගෞතම බුදු සසුනේ තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවකයෙකු නොවෙයි නම් රෝග පීඩා ආදිය ඉපදීම නිසා නිරායාසයෙන් ම අප ලැබු දායාදයන් බව තේරුම් ගන්නට නො හැකි වෙනවා. සිත, කය, වචනය සංවර කර ගන්නට නො හැකි වෙනවා.

‘‘පරිඡිණ්ණමිදං රූපං
– රෝග නිඞ්ඪං පභංගුරං
භිජ්ජති පූතිසන්දේහෝ
– මරණන්තං හි ජීවිතං”

‘‘සතර මහා ධාතුන්ගෙන් හට ගත් මේ රූපය ජරාජීර්ණ වෙලා අවසන් වෙනවා. රෝගවලට කූඩුවක් වගේ. වහා බිඳී යනවා. දොරටු නවයකින් අසුචි වැගිරෙනවා. මේ ජීවිතය බිඳිලා මරණයෙන් අවසන් වෙනවා.” (ධම්ම පදය – ජරා වර්ගය)

ගෞතම බුදු සසුනෙහි උතුම් ධර්මය ඉස්මතු වු යුගයක තරුණ වියෙහි දී ධර්මයේ හැසිරෙන්නට පුළුවන් වුණේ පෙර පින් නිසා ම වන්නට ඇති. දන් දීම, සීලය සිදුරු නැතිව ආරක්ෂා කර ගැනීම, භාවනා වැඞීම, ධර්ම කාරණා, ගාථා, දේශනා කියවන්නට ලැබීම, මතකයෙන් දරා ගන්නට ලැබීම කෙතරම් භාග්‍යයක් ද?

වැළඳුනු රෝගයෙන් පීඩා විඳිමින් සිටින විට මවුපියන් නෑදෑ හිතමිතුරන් සිහිවන විට දුකක් දැනුනත් ප‍්‍රියයන්ගෙන් වෙන් වීමේ දුකින් සිත පෙලී යන්නට පෙර තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවකයෙකු වන්නට ලැබීමේ සතුටත්, නිහතමානීව සිදුකර ගත් පින්කම් පිළිබඳවත් මතක් කර ගන්නවා. එවිට ඇතිවන සතුටින් කය සැහැල්ලූ වෙලා යනවා. ශරීරයට ලබා දෙන ඖෂධ බිංදුවෙන් බිංදුව වෑස්සෙන අයුරින් ම මාගේ ජීවිතයත් මොහොතින් මොහොත මරණය කරා ළඟා වෙනවා කියලා මට දැනෙනවා.

‘‘කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
– කිච්ඡුං මච්ඡාන ජීවිතං
කිච්ඡුං සද්ධම්මසවනං
– කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ”

“මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම දුෂ්කරයි. එ් මනුෂ්‍යයන්ට ජීවත් වීමෙදි දුෂ්කරතා ඇති වෙනවා. පිරිසිදු සද්ධර්මය අසන්ට ලැබීමත් ඉතා දුර්ලභයි. බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම එ් හැමට ම වඩා දුර්ලභයි.”
(ධම්ම පදය – බුද්ධ වර්ගය)

මේ මනුෂ්‍ය ජීවිතය මට ලැබුණේ ඉතාමත් ම දුෂ්කරව බවට සැක නැහැ. ජීවත් වීමේ දී ඇති වන දුෂ්කරතා මොන තරම් ද? මේ රෝග පීඩාදිය පවා කටුක, දුෂ්කර බවක් ම යි ඇති කරවන්නේ. හැම ජීවිතයක් ම වෙළා ගත්ත මේ ඇත්ත පෙන්වා දෙන පිරිසිදු ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබීම කියන ඉතා දුර්ලභ කාරණයත් මට මුණ ගැසුණා. එ් උත්තම ලාභයට මුල් වුණේ මේ හැමට ම වඩා දුර්ලභ වුණ බුද්ධෝත්පාද කාලයක මනුසත් ජීවිතයක් ලබන්නට මට පින් තිබුණ එකයි. අනේ සාදු සාදු! එ් බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන්න මටත් වාසනාව ලැබුණා.

මේ වගේ රෝග පීඩාදියෙන් ජීවිතයට ද දුෂ්කරතා ඇති වුණ පළමු වතාව මෙය නෙවෙයි. මෙයින් ම වුණත් මගේ මරණය සිදු වෙන්න පුළුවන් කියන කාරණය මං පුරුදු කරගෙනයි තියෙන්නේ. ඉතින් මේ මරණය මට අනපේක්ෂිත දෙයක් නෙමෙයි. මගේ මරණය විය හැකි විවිධ විවිධ ආකාරවලින් එක ම එකක් විතරයි මේ. එ් මරණය සිද්ධ වෙද්දි මගේ හිතේ රාග ද්වේෂ මෝහ නො තිබුණොත් විතරයි ආයෙ ආයෙමත් මේ ලෙඩ රෝග පැටව් ගහන ශරීර කූඩුවකට උරුමකම් කියන එකෙන් ගැලවෙන්න ඉඩ ලැබෙන්නේ. මේ රෝගය නිසාත්, සැර ඖෂධ නිසාත් කය දුර්වල වුණාවේ. එ්ත් මම හිත නම් ලෙඩ කර ගන්නෙ නෑ. මම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක්… උන් වහන්සේ වදාළේ නො මියෙන ධර්මයක්. මම එ් නො මියෙන දහම තුළ මළකඳක් නෙවේ…!

සම්බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අප දෙස කාරුණික නෙත් හෙළමින් බහිරව කන්දේ වැඩ සිටිනවා. ඉපදෙන, මැරෙන ලෝකයෙන් සදහට ම නිදහස් වන මග කියූ එ් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

මහාමේඝ 2015 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
නදුනි උත්පලා