අන් අයගේ කායික මානසික පීඩාවන් කෙරෙහි ඇතිවන අනුකම්පාව කරුණාව යි (පරදුක්ඛේ හදයං කම්පතී ති කරුණා). මිනිස් ලෝකයේ ජීවත්වන අප සියලූ දෙනාම සෑම මොහොතක ම විවිධ දුක් කරදර පීඩාවන්ගෙන් දුක් විඳිනවා. ලෙඩ දුක් කරදර, හදිසි ස්වභාවික විපත් ආදියේ දී බොහෝ දෙනා කායිකවත්, මානසිකවත් පීඩා විඳිනවා. එ් ආකාරයෙන් අසරණ භාවයට පත්වූ අය දෙස අනුකම්පාවෙන් බැලීමේ දී ඇතිවන්නේ කරුණාව යි. කරුණාවන්ත කෙනා එවැනි අවස්ථාවන්හි අනුකම්පාවෙන් යුතුව එ් අසරණ වූවන්ට පිහිට වීමට ඉදිරිපත් වෙනවා. ආහාරපාන, ඇඳුම් පැලඳුම්, වාසස්ථාන ආදිය ලබාදෙනවා. එ් වගේ ම අන් අය කෙරෙහි අනුකම්පා සහගත කෙනා තමන්ගේ ක‍්‍රියාවක් නිසා හෝ වචනයක් නිසා අනුන්ව කායික මානසික පිඩාවට පත් කරවන්නේ නැහැ. මිනිසුන්ට වගේ ම සතුන්ට පවා අනුකම්පාවෙන් සලකනවා. ගිලානෝපස්ථානයේ යෙදෙනවා. සමාජ සුභසාධන කටයුතු සිදුකරනවා.

‘මිත්ත’ කියන සූත‍්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ අයුරින් වදාළා. ‘‘පින්වත් ආනන්ද, ඔබ ඔබේ දෙමාපියන්ට, සහෝදර ඤාතී හිත මිත‍්‍රාදීන්ට සැබෑ කරුණාවක් මෛත‍්‍රියක් ඇත් ද එ් අයව තිසරණය තුළ ම සමාදන් කරවන්න. චතුරාර්ය සත්‍ය ධර්මය ම ඔවුන්ට කියාදෙන්න. සීලාදී සේඛ බල ධර්මයන්හි පිහිටුවන්න.” කියා. එම නිසා අන් අය සතර අපා දුකට පත්වනවාට අකමැති, සසර දුකෙන් මිදෙනවාට කැමති කෙනා අනුකම්පාවෙන් යුතුව ඔවුන්ව ධර්මයට පමුණුවා ගන්නවා. මේ ආකාරයට එදිනෙදා ජීවිතය තුළ සිත, කය, වචනයෙන් කරුණාවන්ත බව දියුණු කරන කෙනාට එය භාවනාවක් වශයෙන් ප‍්‍රගුණ කරන්නත් පුළුවනි. කරුණා චේතෝ විමුක්තිය කියා එය හඳුන්වනවා.

කරුණා චේතෝ විමුක්තියත් මහග්ගත, අප්පමාණ යන ආකාර දෙකෙන් ම දියුණු කර ගත හැකියි. කරුණා චේතෝ විමුක්තිය වඩන ශ‍්‍රාවකයාට චිත්ත සන්තානයෙන් හිංසාව ප‍්‍රහාණය කළ හැකි බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා (නිස්සරණං හේතං ආවුසෝ විහේසා යදිදං කරුණා චේතෝ විමුක්ති). කරුණා භාවනාව වඩන ශ‍්‍රාවකයාට එ් අරමුණ තුළ ම සිත එකඟ වෙනවා. ධර්මය – අර්ථ වැටහෙනවා. ප‍්‍රමුදිත භවයත් නිරාමිස ප‍්‍රීතියත් හටගන්නවා. කායික මානසික සැහැල්ලූව හෙවත් පස්සද්දිය හටගන්නවා. සැපවත් වු සිතේ චිත්ත සමාධිය ඇති වෙනවා. එ් කරුණා චේතෝ විමුක්තිය තුළ පිහිටා විදර්ශනා වැඞීමෙන් ආශ‍්‍රව ක්ෂය කිරීමට හෙවත් මඟ ඵල නිවන් පසක් කිරීමට අවස්ථාව උදාකර ගත හැකි බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. තතිය පුද්ගල සුත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයෙන් ද දේශනා කොට තිබෙනවා.

‘‘මහණෙනි, ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවකයා කරුණා සහගත සිත දස දිසාවට ම පතුරුවා වාසය කරනවා. සියලූ සත්වයන් කෙරෙහි, සකල ලෝකයා කෙරෙහි කරුණා සහගත සිතින් විපුල වූ, මහග්ගත වූ, අප‍්‍රමාණ වූ, වෛර නැති, තරහ නැති කරුණා සිත පතුරුවා වාසය කරනවා. ඔහු එ් කරුණා සැපය ආස්වාදනය කරමින්, එයට ම කැමති වෙමින්, එයින් ම සන්තෝෂයට පත්වෙමින්, එ් ධ්‍යානය තුළ ම සිටිමින්, එහි ම බැස ගනිමින්, එහි ම බහුලව වසමින්, නො පිරිහුන ධ්‍යානයෙන් යුතුව කළුරිය කොට ආභස්සර බ‍්‍රහ්ම ලෝකයේ උපදින්නේ වේ. කල්ප දෙකක් ආයුෂ ඇති එ් බඹ ලොව දී සීල, සමාධි, ප‍්‍රඥා පරිපූර්ණ කරගෙන ආයු අවසානයේ දී පිරිනිවන් පාන්නේ වේ.”

එම නිසා මෙලොව යහපත උදාකරන, පරලොව සුගතිගාමී කරන, අමා මහ නිවන පිණිස පවතින්නා වූ කරුණා භාවනාව අපි මෙලෙසින් පුරුදු කර ගනිමු.

කරුණා භාවනාව වඩන හැටි

මහග්ගත කරුණා චේතෝ විමුක්තිය වඩන හැටි

1. මම කායික පීඩා නැත්තෙක් වෙම්වා! මානසික පීඩා නැත්තෙක් වෙම්වා! කායික සුවයෙන් සුවපත් වෙම්වා! මානසික සුවයෙන් සුවපත් වෙම්වා! සුවසේ ජීවත් වෙම්වා!

2. මා මෙන් ම මේ නිවසේ සිටින සියලූ දෙනා ම…

3. මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…

4. මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…

5. මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…

6. මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…

7. මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…

8. මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම කායික පීඩා නැත්තෝ වෙත්වා! මානසික පීඩා නැත්තෝ වෙත්වා! කායික සුවයෙන් සුවපත් වෙත්වා! මානසික සුවයෙන් සුවපත් වෙත්වා! සුවසේ ජීවත් වෙත්වා!

අප්පමාණ කරුණා චේතෝ විමුක්තිය වඩන හැටි…

1. මම කායික පීඩා නැත්තෙක් වෙම්වා! මානසික පීඩා නැත්තෙක් වෙම්වා! කායික සුවයෙන් සුවපත් වෙම්වා! මානසික සුවයෙන් සුවපත් වෙම්වා! සුවසේ ජීවත් වෙම්වා!
2. උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
3. උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
4. නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
5. නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
6. දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
7. දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
8. බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
9. බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
10. උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…
11. යට දිශාවේ සිටින සියලූ සත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා! මානසික පීඩා නැත්තෝ වෙත්වා! කායික සුවයෙන් සුවපත් වෙත්වා! මානසික සුවයෙන් සුවපත් වෙත්වා! සුවසේ ජීවත් වෙත්වා!

 

මහාමේඝ 2015 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත සිතට සුව දෙන භාවනා සදහම් ග‍්‍රන්ථය ඇසුරෙනි.

මහමෙව්නාව භාවනා අසපුවාසී
ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.