අවුරුදු දෙදහස් පන්සියයක ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන සිංහල භාෂා සාහිත්‍යයේ ආකර්ෂණීය අංශය වනුයේ පද්‍ය සාහිත්‍යය යි. කාව්‍යමය ගුණයෙන් අනූන හෙළ බස සමකාලීන භාරතීය ආර්ය භාෂාවන්හි ආභාසය ලබමින් පෝෂණය වූ බව අභිලේඛනමය හා පුස්තකාරූඪ සාහිත්‍යයෙන් හෙළි වෙයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ ධර්ම දේශනා කිරීම සඳහා උන්වහන්සේ භාවිත කරන ලද්දේ දඹදිව පැවති භාෂා අතුරෙන් එදවස පොදු ජනකාය වැහැරූ බස වන අර්ධ මාගධී ප‍්‍රාකෘතය හෙවත් පාළි භාෂාව යි. අතිශය සුඛ නම්‍ය දේහයකින් හා මධුර ලාලිත්‍යයෙන් අසන්නන් ගේ සිත් සුනිශිත කරවන පාළි බස ඇසුරින් ශ‍්‍රී ලාංකේය ජන වහර මුල සිට ම පෝෂණය විය. මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ලංකා ගමනයෙන් පසු ව පාළි භාෂාවේ සුඛනම්‍ය රීතිය හෙළ බස සමග මුසු වී දනන් තුඩ තුඩ පැතිරෙන්නට වී ය.

පාළි භාෂාවෙන් පැවත ආ බුද්ධ භාෂිතය ලක් වැසියන් ගේ හුරුපුරුදු භාෂාවට නැඟීමත් සමඟ ම පාළි ගාථාවන්හි පවත්නා හෘදය ගෝචර කාව්‍යමය සන්දර්භය සිංහල ගද්‍ය, පද්‍ය සාහිත්‍යයේ වර්ධනයට බෙහෙවින් බලපෑවේ ය. ව්‍යවහාර වර්ෂ දසවැනි සියවසේ දී පස් වැනි කාශ්‍යප රජතුමා ලියූ ‘ධම්පියා අටුවා ගැටපදයේ’ සඳහන් වන ‘මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි අටුවා හෙළදිව අජුරෝ’ හෙළ බසින් තැබූහ යන යෙදුමෙන් එය වඩාත් තහවුරු වෙයි. සිංහලට නගන ලද පාළි ගාථාවන් ඇසුරු කොට ගෙන ලියැවුණු කවි සිංහල සාහිත්‍යයේ පියුම් ලකුණ වූ බව එනමින් අනුරාධපුර යුගයේ දී කල්‍යාණ මිත‍්‍ර වියත් හිමියන් (කලණ මිත වියතුන්) විසින් රචිත සදැස් පිළිබඳ ග‍්‍රන්ථය අනුව සිතා ගත හැකි ය. ‘පියුම් ලකුණ’ ග‍්‍රන්ථය ගැන ෂ වන සේන රජතුමා ගේ කාව්‍යදර්ශයේ සඳහන් වෙයි.

දැනට විද්‍යමාන පැරණි ම ලේඛන සාහිත්‍යය වන බ‍්‍රාහ්මී අක්‍ෂරයෙන් රචිත ලෙන් ලිපි පරීක්‍ෂා කර බැලීමේ දී එහි කාව්‍යමය නැඹුරුව වඩාත් පැහැදිලි වෙයි. රජුන්, මැති ඇමතිවරුන්, ප‍්‍රභූන් ඇතුළු රටේ සියලූ වැසියන් බුදු සමය වැළඳ ගැනීම පිළිබඳ ව කියැවෙන එම කාව්‍යමය සෙල්ලිපි විවිධ ගී වෘත්තවලින් ලියා ඇතැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දුන්නේ ය. ව්‍යවහාර වර්ෂ පූර්ව තුන්වැනි සියවසට අයත් යැයි නිගමනය කොට ඇති අනුරාධපුරයේ මරදන්කඩවල ප‍්‍රදේශයෙන් සොයා ගත් ලෙන් ලිපිය, රජ බිසවක් විසින් විහාරයක් ඉදිකොට පූජා කළ බව සඳහන් වන්නකි.

එම ලිපිය මෙසේ ය.
‘මහරඣහ ගමිණි
අබයහ දෙවනපියශ
රමණි බරිය මිලකතිශ
විහරෙ කාරිතෙ කතිය’
‘දෙවියනට ප‍්‍රිය වූ ගාමිණී අභය රජතුමන් ගේ රම්‍ය වූ භාර්යාව වන කතිය විසින් මිලාකතිස්ස විහාරය කරවන ලදී’ යන්න එහි භාවය යි. මෙය ලියා ඇත්තේ යාගී විරිතෙනි.
තමන් එතෙක් ඇදහූ මිථ්‍යා දෘෂ්ටිය අතහැර මහත් ශ‍්‍රද්ධා ගෞරවයෙන් යුතු ව බුදු සසුන වැළඳ ගත් ‘නාග නම් වූ උපරජතුමා විසින් රචිත සෙල්ලිපි දෙකක් කිරින්ද හා තිස්සමහාරාම ප‍්‍රදේශවලින් සොයා ගෙන තිබේ. යාගී, උද්ගීත වෘත්තවලින් පබැඳුණු කවි යුගල බැගින් ඇති මෙම සෙල්ලිපි අතුරෙන් කිරින්ද ලිපියේ දැක්වෙන කවි දෙක මෙසේ ය.

‘අපරිමිත ලොකෙහි බුධ
සමෙනති අඨාන පරම දුලබෙ
සමඤුුත පතෙ අනුතර සථෙ
මහසරණෙ ලොකවක බුධ නම සම්භූ’
මෙගලහි විහරෙ නක
උවරජ නම බුධ සරණ ගතෙ
මිචදිධික බිදිය
යහ මග පරයණ භූතෙ’
තදාසන්න කාලයේ හා ඉන් පසු ව දිවයින පුරා විසිර පවත්නා ලෙන් ලිපිවල කාව්‍යමය භාෂාවෙන් රචිත වාසගම්වලින් පැවසෙන්නේ සිව් දිගින් වැඩි නො වැඩි මහා සංඝයා වහන්සේලා උදෙසා ලෙන් සකස් කොට පිදූ බව ය. (අගත අනගත චතුදිශ ශගශ දිතෙ)

මෙසේ රාජකීයයන් කවි පබඳමින් තෙරුවනට සිය ශ‍්‍රද්ධා ගෞරවය පිදූ අතර සාමාන්‍ය ජනතාව ද වන්දනා කවි කියමින් සිය සැදැහැ බැති පෙම පළ කළ බවට බෞද්ධ සාහිත්‍යයේ ග‍්‍රන්ථාගත තොරතුරුවලින් හෙළි වෙයි. හෙළටුවා පාළි බසට නැඟූ බුදුගොස් හිමියන් ලියූ ‘පරමත්ථ ජෝතිකා’ අට්ඨ කථාවේ එන සදහනක දුටුගැමුණු රජ සමයේ දී ඇල්කෙත් රකිමින් සිටි, ගැමි ලියන් කියූ බුදු ගුණ මිශ‍්‍රිත කවි ගායනා අසා සඟ සැට නමක් රහත් වූ බව පැවසෙයි. පුරාතනයේ ගැමි ව්‍යවහාරයේ පැවති ජන කවි ගැන ද අවබෝධයක් ඉන් ලබා ගත හැකි ය.

බුදු සමය මෙරට ස්ථාපිත වීමෙන් පසු ව රජ දරුවන් ගේ අනුග‍්‍රහයෙන් දිවයිනේ නොයෙක් තැන්වල ඉදි කරන ලද සිද්ධස්ථානයන් වැඳ පුදා ගැනීම සඳහා ජනකාය ඇදී එන්නට විය. එසේ වන්දනාවේ යාම මහා පින්කමක් සේ ම විවේකාස්වාදය සැලසෙන සාමූහික චාරිකාවක් ලෙස ද පුරාණ ගැමියන් සැලකූහ. බුදු දහමින් පෝෂිත කෘෂි කාර්මික ශිෂ්ටාචාරයේ යහ පැවැත්ම විසින් ආගමික කටයුතුවල යෙදීම සඳහා වුවමනා විශ‍්‍රාමය ඔවුන්ට සලසනු ලැබී ය. සිය ඇඟ වැර සිඳ වෙහෙසුන ජනතාව විවේක අවස්ථාවන්හි දී අපමණ ආස්වාදයක් ලැබුවේ කාණ්ඩ වශයෙන් සැදී වන්දනාවේ යාමෙනි.

අතීත යුගයේ දී වෙහෙර විහාර වන්දනා කිරීම සඳහා සැතපුම් සිය ගණන් දුෂ්කර මඟ ගෙවා ගෙන වන ගහන මැදින්, කාණ්ඩ වශයෙන් සැදී ජනතාව පයින් ම ගමන් කළහ. එසේ ගිය ඔවුන් සිය වෙහෙස සංසිඳුවා ගැනීම සඳහා කවි ගායනා කළ බව දැනට ශේෂ ව පවත්නා වන්දනා කවි සාහිත්‍යයෙන් වටහා ගත හැකි ය. මේ වන්දනා කවි සියල්ල ම ජනකවියන් විසින් පබඳනු ලදු ව පරම්පරාගත ව පැවතගෙන ආ ඒවා ය. දැනට ග‍්‍රන්ථාගත සාහිත්‍යයට එක් වී නැති පැරණි යුගයේ සිට ම සම්භාවිත වන්දනා කවි රැසක් අභාවයට යන්නට ඇතුවාට සැක නැත. මීට දශක හත අටකට ඉහත දී සැදැහැති සාහිත්‍යකාමීන් විසින් එක් රැස් කොට ගෙන කුඩා පොත්වලට ඇතුළත් කොට ඇති වන්දනා කාව්‍ය සංග‍්‍රහ අතර ‘පුරාණ හිමගත වර්ණනාව’, ‘තුන්සරණය’, ‘ශ‍්‍රී පාද වන්දනා ගමන’, ‘සමනොල විස්තරය’, ‘වන්දනා මාලය’, ජය මහා බෝධි වන්දනාව, බෝ මැඩ අලංකාරය, චේතියාලංකාරය යනා දී වන්දනා කවි මෙරට බෞද්ධ ජනතාව අතර මෑතක් වනතුරු ම බෙහෙවින් ජනප‍්‍රිය ව තිබිණ.

සම්බුදු සසුන තිරසර ලෙස මෙරට පිහිට වීමෙන් අනතුරු ව වසර දෙදෙහසකට අධික කාලයක් මුළුල්ලේ වන්දනා කවි ගායනා කරමින් බුද්ධාලම්භන ප‍්‍රීතිය විඳි ජනකායක් වර්තමානය වන විට කෙතරම් පරිහානියකට පත්ව සිටින්නේ ද? වන්දනා කවි කීම අද අප රට ගැමි ජනකාය වෙතින් පවා තුරන් වී ගොස් තිබේ. තුන් සරණේ කවි, පුරාණ හිමගත වරුණේ කවි තාලයට ගායනා කරමින් රටවටා වන්දනාවේ ගිය සැදැහැවතුන්ට අද කුමක් වූයේ ද? ඉඳහිට වන්දනා නඩයකට සහභාගී වන පිරිසකගෙන් හෝ වන්දනා කවියක් ගායනා කරනු අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.

සියවස් ගණනාවක් මෙරට ජනකාය ගේ අධ්‍යාත්මය ගුණ නුවණින් පෝෂණය කළ වන්දනා කවි ඇතුළු ජනකවි ඔවුන්ගේ භාවිතයෙන් තුරන් වී යාම නූතන යුගයේ මහා ඛේදවාචකයක් ලෙස සැලකිය හැකි වේ. මේ පිරිහීම ආරම්භ වූයේ හැටේ දශකයේ අග භාගයේ දී සිට යැයි සිතමි. ජන කවියට හා ජන ගායනාවට හිමි ව තිබූ තැන ගුවන් විදුලි සංගීතය හා චිත‍්‍රපට ගීත විසින් අත්පත් කර ගැනිණි. නව තාක්‍ෂණයේ කඩිනම් හා විසිතුරු ක‍්‍රියාවලිය හමුවේ සාම්ප‍්‍රදායික ගැමි ජීවන වටිනාකම් බෙලහීන වීමත් නාගරීකරණය වේගවත් වීමත් නිසා පාරම්පරික ජන විඥානය යටපත් වී ගියේ ය. බුදු සමය විසින් දෙදහස් වසරක මුළුල්ලේ පෝෂිත ජන සංස්කෘතික උරුමයේ කොඳු නාරටිය බවට පත්ව තිිබූ සාමූහික ජීවන රටාව දෙදරා යන්ට පටන් ගැනිණි. ‘අත්තම’ , ‘කයිය’ නමින් හැඳින්වුණු සාම්ප‍්‍රදායික ශ‍්‍රම හුවමාරුව, මුදලට හා යන්ත‍්‍රවලට හසුවී සුන්බුන් විය. අඬහැරයන් ඕසයෙන් නෙළුම් කවියෙන් නින්නාද වූ කෙත් යායවල් මිනිස් කටහඬින් තොර පාළු පිටි බවට හැරිණ. ජන කවියෙන්, සීපදයෙන් ආස්වාදයක් ලැබූ ජනතාව මේ සියලූ විපරයාසයන් හමුවේ දුර්මුඛ වූහ. කුඹුරේ දී නෙළුම් කවියක්, සිව්පදයක් අසන්නට නො ලැබුණ ජනතාවට වන්දනා ගමනක දී පවා තුන්සරණේ කවියක් අසන්නට නො ලැබීම අධ්‍යාත්ම විපතක් බඳු විය.
වන්දනා ගමන්වලට සහභාගී වුණු දෙවැනි තුන්වැනි පරපුරුවල කොලූ කුරුට්ටෝ ගුවන් විදුලි ගීත හා චිත‍්‍රපට ගීත ගයන්නට වූහ. ඔවුන් ගැයූ ‘චූඩ මාණිකේ බලාල යනවා මේ අපි’ වැනි ගීත ද විකෘති ස්වර හා පදමාලාවලින් යුතු විය. ‘ඇරපිය ලූසියෝ දොර – මාළු කඬේ තෝරා මම’ යනා දී පහත් පෙළේ බයිලාවලින් පටන්ගෙන කුණු හරුපවලින් කෙළවර වන ගෝට්ටියට මැදි වූ තලතුනා වන්දනාකරුවෝ කන්වල ඇගිලි ගසාගෙන, ගමනාන්තය දක්වා කරබාගෙන ගියහ. කල්යත් ම වන්දනාවේ යාම වැඩිහිටි ගැමි ජනකායට එපා වී ගියේ ය.

මේ වූ කලී අප රට බොදු ජන සමාජය ගොරතර අගාධයකට ඇද දමන මහා නස්පැත්තියක ආරම්භයක් විය. කුඩා වියේ සිට මහලූ විය දක්වා තෙරුවන් ගුණ සිරස දරා, සිත පහදා ගෙන කටයුතු කළ සැදහැති ජනකායක් අද වන විට සිය දෛනික දිවි පෙවෙත සැලසුම් කොටගෙන ඇත්තේ කෙසේ ද? ගුණ, නැණ, තෙදබල වැඩූ දරු නැළවිලි ගීය වෙනුවට ඔද තෙද සිදුණු, අරුත් සුන් ගී ගැයෙන කැසට් වාදන යන්ත‍්‍රයක් බිළිදාගේ තොටිල්ල අසල තැබිණ. කුඹුරේ, හේනේ, වැඩපලේ, නියර උඩ හා පලංචි මත එෆ්.එම්. නාලිකාවකින් නිකුත් වන ගී මර ළතෝනි තොර තොන්චියක් නැතිව ඇසේ. වන්දනා ගමන විනෝද සවාරියක් බවට පත් විය. කන්අඩි පුපුරුවන මෙගා බ්ලාස්ට් සංගීතයෙන් මඟුල්, සැනකෙළි හා බස් මගී රිය ගිඟුම් දෙන්නට විණ. මළ ගෙවල් ප‍්‍රදර්ශන සැණකෙළි බවට පත්කර ගෙන ඇත. කාන්තාවන්, දැරියන්, කුඩා දරුවන් තුළ අපුල දනවන බේබදුකම මේ හැම අවස්ථාවක ම පාහේ ඉහවහා ගොස් තිබේ.

දෙදහස් පන්සිය වසරක් මුළුල්ලේ කලින් කල අප රටට එලඹි උපද්‍රවයන් පිළිබඳ ව මෙනෙහි කොට බැලූව හොත් අද තරම් බිහිසුණු අධ්‍යාත්ම පරිහානියක් කවර ම යුගයක වත් සිදු නො වූ විරූ ය. මේ යථාර්ථය සිංහල බෞද්ධ ජනකාය දැන්වත් වටහා ගත යුතු ය. ඒ සඳහා උචිත හොඳ ම මඟ වූ කලී අපේ පාරම්පරික සිංහල බෞද්ධ උරුමය ගැබ් වී තිබෙන ධර්ම කාව්‍ය සාහිත්‍යය මූලික වශයෙන් හැදෑරීම ය. එය හෘදයංගම වූත් ආස්වාද ජනක වූත් සරල අධ්‍යාපන මාර්ගයක් ද වෙයි. තිරසර ලෙස තිසරණයේ පිහිටීමේ වැදගත්කම තරුණ පරපුරට කෙමෙන් අවබෝධ වී ගෙන එන මෙකල ඔවුන්ට ඒ සඳහා වඩාත් අනුබල දීම ආගමික ආයතනයන් වෙතින් ඉටු විය යුතු කාලීන අවශ්‍යතාවක් වන්නේ ය.

මහාමේඝ 2011 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

ප‍්‍රවීන ලේඛක
– දයාපාල ජයනෙත්ති-