පරිපූර්ණ ඉරියව්ව (Perfect pose) හෝ විශාරද ඉරියව්ව (Accomplished pose) ලෙසින් ද හඳුන්වන සිද්ධාසනය, භාවනාවේ යෙදෙන අයට උචිත ඉරියව්වකි. සිරුර ඍජු ව තබන අසුනක් බැවින් ආනාපාන සති භාවනාවේ යෙදීමට ද යෝග්‍ය ආසනයකි. එසේ ම මෙම අසුන මහත කලවා සහිත තරබාරු පුද්ගලයන්ට පවා පුහුණු කළ හැකි ය.

ක‍්‍රමය:

1. සමතලා බිමක ඉඳ ගන්න. දෙපා ඉදිරියට විහිදුවා ඍජු ව තබා ගන්න.

2. දණහිසින් වම් පාදය නවන්න. දෑතින් ම ඔසවා වම් කකුලේ විළුඹ යටි උදරය අසලට ම ගෙනෙන්න. යටි පතුලේ උඩ කොටස දකුණු කලවයට ස්පර්ශ වන ලෙස තබන්න.

3. දැන් දකුණු පය දණහිසින් නමා වම් වළලූකර මත දකුණු පය තබන්න. දැන් දකුණු විළුඹ යටි උදරයේ පහළ ම පෙදෙසට ස්පර්ශ ව තබන්න.

4. දකුණු පාදයේ යටි පතුල වම් පයේ කලවා සහ කෙණ්ඩා අතර තබා ගන්න.

5. විළුඹ හෝ යටි පතුල් පොළොවේ ස්පර්ශ නො විය යුතු යි.

6. දෑත ඉදිරියට විහිදුවා අත්වල පිටුපස දණහිස් මත තබන්න. දෙඅත්ල උඩු අතට හරවා තබන්න. මාපටඟිල්ල දබරැඟිල්ලට එකතු කර අනෙක් අතැඟිලි විහිදුවා ගන්න.

7. මෙම ඉරියව්වෙන් ඔබට හැකි කාල වෙලාවක් රැඳී ඉන්න. මෙහි දී හිස හා ගෙල ඍජු ව ම රඳවා ගත යුතු ම ය.

8. දෙපා ලිහිල් කර මඳක් විවේක ගන්න. ආසනය යළිත් වරක් පිහිටුවා එම කාල වේලාව ම හිඳින්න.

සැලසෙන වාසි:

ශාරීරික වශයෙන් ලැබෙන ප‍්‍රතිලාභයන් ලෙස වළලූකර හා දණහිස්වල ඇති තද ගතිය පහව යාම දැක්විය හැකි ය. එසේ ම මෙම අසුනේ දී උදර අවයව, කොඳු නාරටිය හා තුනටිය පිටුපස පෙදෙසට මනා ව රුධිර සංසරණය ලබා දෙයි. සිරුරේ විශේෂයෙන් උදර ප‍්‍රදේශයේ මේදය අඩු කර ගැනීමට උපකාර වෙයි. තව ද දණහිස්වල, වළලූකර සහ පිටකොන්දේ වේදනා සුව කර ගැනීමට උපකාර වෙයි. එමෙන් ම යටි උදර ප‍්‍රදේශයට සුවය ගෙන දෙයි.

එලෙස ම සිද්ධාසනය භාවනා පුහුණු වීමට ඉතාමත් යෝග්‍ය අසුනකි.

මහාමේඝ 2011 නිකිණි කලාපය
WWW.MAHAMEGHA.LK

යෝගාසන සටහන
පියුම්නිල් ගමගෙදර