යෝග වූ කලී කායික මානසික වශයෙන් සෞඛ්‍ය සම්පන්න වූ ජීවන ක‍්‍රමයක් පිළිබඳ කලාවක් ලෙසත් යෝගාසන එහිලා අනුගමනය කෙරෙන විද්‍යාත්මක කි‍්‍රයාවලිය ලෙසත් ඒ පිළිබඳ තතු දන්නා විද්වතුන් පෙන්වා දෙයි. එනම්, යෝගාසන පුහුණු කිරීමෙන් කායික, මානසික සුවතාවය ඇති වන බව සඳහන් ය.

ආසන ලෙස අදහස් කරනුයේ පහසු හා නිවැරදි ලෙසත් ඍජු ලෙසත් ශරීරය තබා ගනිමින් වාඩි වීමේ ඉරියව් කීපයකි. ආසන පිළිබඳ ක‍්‍රමික අභ්‍යාසයෙන් රුධිර නාල හා ස්නායුන්ගේ ක‍්‍රියාකාරීත්වය විධිමත් වන අතර කායික සුවතාවය වර්ධනය කෙරේ. ආසන වර්ග දෙකකි. එනම් භාවනාව සඳහා යොදා ගැනෙන පද්මාසන, සිද්ධාසන, ස්වස්ථිකාසන ආදිය එක් වර්ගයකි. දෙවන වර්ගයේ ආසන කායික සුවතාවය වර්ධනය කෙරෙනු සඳහා උපයෝගී වේ. එනම්, භූජංගාසන, චක‍්‍රාසන යනාදිය යි. ආසන සිය ගණනක් පැරණි සෘෂිවරුන් විසින් දක්වනු ලැබ ඇත.

පද්මාසනයේ දී පාද තබා ගනු ලබන ඉරියව්ව නෙළුමක පෙනුම ගෙන දෙයි. එම අර්ථය ඇති ව කමලාසන ලෙස ද හැඳින්වේ. පළමු ව තමාගේ සිරුර කෙරෙහි මනා අවධානයක් යොමු කළ යුතු අතර තමා පුහුණු වීමට නියමිත ඉරියව්ව කෙරෙහි පැහැදිලි වැටහීමක් තිබිය යුතු යි. මෙමඟින් මනස සුදානම් කිරීමක් සිදු වේ. යමකු නිවරදි ඉරියව්වක පැමිණි විට, දෑස් පියාගෙන සිරුර දෙස මනා අවධානයක් සිටිය යුතු යි. මෙම ආසනයේ සිටින අයෙකුට පාද පොළොවෙහි ස්පර්ෂ වෙනු දැනෙයි. මින් පසු ව ආශ්වාස ප‍්‍රශ්වාස වෙත අවධානය යොමු කළ හැකි යි.

මෙහි දී පළමු ව පා දිගු කර ගෙන පොළොව මත වාඩි විය යුතු ය. ඉන්පසු දකුණු පාදය වම් කළවය සහ වම් පාදය දකුණු කළවය මතත් තබා දෑත් දණහිස් මත තබා ගත යුතු යි. මෙම ඉරියව්වෙන් වාඩි වන විට පිටිපතුල් දෙක ඔබේ කළවා මත පිහිටන අතර පාද දෙකෙහි විලූඹ එකිනෙක හා ගැටෙන සේ පිහිටයි. ඉන්පසු කොන්ද, බෙල්ල හොඳින් දිග හැර කෙළින් තබා ගත යුතු යි. බද්ධ පර්යංකය නමින් හැඳින්වන්නේත් මෙම ආසනය යි.

ප‍්‍රයෝජන
1 සමාධිය වැඩි දියුණු කර ගැනීමට උපකාර වෙයි.
2 සිරුරේ වැදගත් තරල (රුධිරය ආදී) නියමිත පරිදි පවතවා ගැනීමට උපකාර කරයි.
3 උදරයේ රෝග, ස්තී‍්‍රන්ගේ ප‍්‍රජනන පද්ධතිය හා සම්බන්ධ සංකූලතා දුරු කරයි.
4 සිරුරේ සුවපත්භාවය ඇති වේ.
5 ආහාර ජීර්ණ පද්ධතිය සහ බහිස‍්‍රාවීය පද්ධතිය නිසි පරිදි කි‍්‍රයා කිරීමට උපකාර වෙයි.
පද්මාසන පුහුණුවට පෙර අර්ධ පද්මාසන පුහුණුව සුදුසු යි. එක් පාදයක් අනෙක් පාදයේ කළවය මත තැබීමෙන් අනතුරු ව අනෙක් පාදය සම්පුර්ණයෙන් අනෙක් කළවය මත තබන්නට නො හැකි නම් ඒ සඳහා විශේෂ උත්සාහයක් නො කළ යුතු යි.

සීමාවන්:
1 කල්පවත්නා දණහිස් වේදනා ඇති අය මෙම ආසනය පුහුණුව නුසුදුසු යි.
2 මස් පිඩු වේදනා, කෙණ්ඩ පෙරලීම් සහිත අය පුහුණු කිරීමේ දී ප‍්‍රවේශමෙන් සිදු කළ යුතු යි.

මහාමේඝ 2011 මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
පියුම්නිල් ගමගෙදර