මේ මහා භද්‍ර කල්පයේ ලෝකයේ බිහි වු අති උතුම් මනුෂ්‍ය රත්නය වන බුදුරජාණන් වහන්සේගේ මුවින් ගලා ගිය අමා දම් ගඟුලේ සුවාසු දහසක් රළ පතරින් යුත් ත‍්‍රිපිටක ධර්ම කාව්‍යය නමැති මහ සයුරේ අන්තර්ගත සාහිත්‍ය රසයෙන් බිඳක් විමසා බැලීම මේ ලිපියේ අරමුණ වෙයි. මින් අවුරුදු දෙදහස් හයසියකට තරම් ඉහත කාලයක දී බිහි වූ ත‍්‍රිපිටක ධර්මය පුරා විසිරී පවත්නේ ලෝකයේ එතෙක් මෙතෙක් කිසිදු කාලයක කවර ම හෝ සාහිත්‍යධරයෙකු විසින් නිර්මාණය නො කළ විරූ අති විශිෂ්ට සාහිත්‍යයකි. මේ උතුම් සාහිත්‍යයේ නිර්මාතෘවරයා, මුඛ්‍ය දේශකයා, පුරෝගාමියා හා මාර්ගෝපදේශකවරයා වන්නේ ගෞතම ශාක්‍ය මහා මුනින්ද්‍රයාණන් වහන්සේ ය. උන් වහන්සේ දේශනා කොට වදාළ ත‍්‍රිපිටක ධර්මයෙහි දේශනාවන් තුළ මතු කෙරෙන පාරිසරික වර්ණනා, සෞන්දර්ය චමත්කාරයන් පිළිබඳව ඇගයීමක් කළ හැක්කේ ත‍්‍රිපිටකය හා සමාන පොත් පෙළක් රචනා කිරීමෙනි. පෙර දැක්වූ පරිදි මේ ලිපියේ අවධානය යොමු කෙරෙනුයේ සම්බුද්ධ දේශනා තුළ විවරණිත සාහිත්‍ය රසයෙන් බිඳක් මතුකර දැක්වීමට ය.
පසුකාලීන යුගයන්හි නවකථා, කෙටිකථා, ජනකාව්‍ය, ජනශ‍්‍රැති, නාට්‍යය, ගායනය, සංගීතය ආදි වශයෙන් බෙදා දක්වන ලද කලා විෂයන්ට අයත් මාධ්‍යයන් සියල්ල සාහිත්‍ය වශයෙන් සලකනු ලැබේ. මේ සියලූ මාධ්‍යන්හි අරමුණ වනුයේ රස සමාහිත චමත්කාරයක්, ශ‍්‍රාවක, පාඨක, පේ‍්‍රක්ෂක ජනයා තුළ ඇති කිරීමයි. සාහිත්‍ය කලා මාධ්‍යන්ගෙන් ලෞකික ජීවිතයේ අප බලාපොරොත්තු වන්නේ පසිඳුරන් කුල්මත් කරවන, රසභාවයන් ජනනය කරන ලෞකික වූ රසාස්වාදයකි. මෙම සෞන්දර්ය වාදය රස නවයකට බෙදා වර්ග කොට හඳුන්වා දෙනු ලැබුවේ බුදුරජාණන් වහන්සේට පසූ කාලයක විසූ භාරතීය රසවාදීන් විසිනි.
‘රස’ ශබ්දය ත‍්‍රිපිටකයේ විවිධ අයුරින් විවරණය කොට ඇත. සුත්ත නිපාතයේ හිරි සූත‍්‍රයේත්, ධම්මපදයේත් දක්නට ලැබෙන පහත සඳහන් ගාථාව මෙහි දී පළමුවෙන් අවධානයට යොමු කිරීම වටනේ ය:
‘පවිවේක රසං පීත්වා
– රසං උපසමස්ස ච
නිද්දරෝ හෝති නිප්පාපෝ
– ධම්මපීති රසං පිවන්ති’
මේ ගාථාව ඉදිරිපත් කරන රස තුන නම් පවිවේක රසය, උපසම රසය සහ ධම්ම පිතී රසය යි. ධම්ම පිතී රසය පානය කරන්නා විවේක රසය ද උපසම රසය ද පානය කොට කෙලෙස් නැති පව් බැහැර කළ කෙනෙකු වන බව ඉහත සඳහන් ගාථාවේ අරුතයි.
අංගුත්තර නිකාය, චුල්ලවග්ග, පටිසම්භිදාමග්ග යන ග‍්‍රන්ථයන්හි රස ශබ්දය විවරණය කොට ඇත්තේ විමුක්ති රසය කුළු ගැන්වෙන අයුරිනි. සමුදුරෙහි ජලය කොතනින් ගත්තත් එක ම ලූණු රසය දැනෙනා සේ තමන් වහන්සේගේ ධර්මය පුරා පැතිර පවතින්නේ විමුක්ති රසය බව පහාරාද සුත‍්‍රයෙහි ලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. තව ද අංගුත්තර නිකාය, හා පටිසම්භිදාමග්ග යන ග‍්‍රන්ථවල තවත් රස තුනක් හඳුන්වා දී තිබේ. එනම් ‘අත්ථ රස, ධම්ම රස, විමුක්ති රස’ යනුවෙනි. අත්ථ රසය නම් ත‍්‍රිපිටක ධර්මයේ පවත්නා අර්ථ පූර්ණ භාවය යි. ධම්ම රසය නම් එහි ගැබ් වී පවත්නා යථාවාදී බව හෙවත් සත්‍ය සූචක භාවය යි. විමුක්ති රසය නම් නිර්වාණාවබෝධය හෙවත් සසර දුකින් නිදහස් වීමේ පරම ආස්වාදය යි. මේ අනුව බුදු දහමින් ආර්ය ශ‍්‍රාවකයෙකු ලබන ආස්වාදය හැඳින්වීමට පවිවේක රස, උපසම රස, ධම්ම පිති රස, අත්ථ රස, විමුක්ති රස වැනි පද ත‍්‍රිපිටකයේ යෙදී ඇති බව කිය යුතුයි.
ලොව පවත්නා සෞන්දර්ය වස්තූන් කාමය මතු කරන නිමිති ලෙස සලකන්නට පටන් ගැනුණේ පශ්චාත් කාලීන විවරණයන්ගේ ඵල වශයෙනියි සිතමි. රසවාදයේ පියා වශයෙන් සැලකෙන භරත මුනිවරයාගේ යුගයට අවුරුදු තුන් හාරසියයකට පෙර භාරතයේ උපත ලද ලොව ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය වන ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ප‍්‍රකාශිත මධුර සුත‍්‍ර දේශනා සජ්ඣායනාවන්හි අන්තර්ගතව ඇත්තේ සොබාදහම විසින් ලොවට දායාද කොට දී ඇති ජීවී හා අජීවී අප‍්‍රමාණ සෞන්දර්ය වස්තූන් හා නො ගැටී යථාභූත ඥානයෙන් වින්දනය කළ යුතු නිෂ්කාමී රසාස්වාදයකි.
‘න තේ කාමා යානි චිත‍්‍රානි ලෝකේ
– සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ
තිට්ඨන්ති චිත‍්‍රානි තථේව ලෝකේ
– අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං’
‘ලොව පවත්නා විශේෂ වස්තූන් කාමය නො වේ. කාමය වු කලී මිනිසාගේ සිතේ ඇතිවන රාග කල්පනාවන් ය. ලෝකයේ හටගෙන තිබෙන සෑම විචිත‍්‍ර දැයක් ම එසේ ම නො වෙනස්ව පවතී. නුවණැත්තෝ එ් කෙරෙහි ඇති වන ඡන්ද රාගය හෙවත් ඇල්ම දුරු කරති.’
මෙපරිද්දෙන් ත‍්‍රිපිටක ග‍්‍රන්ථයන්හි බොහෝ තැන්වල දැක්වෙන සෞන්දර්ය වර්ණනාවන්ගෙන් පැහැදිලි වන්නේ නිකෙලෙස් මනසින් යුතු ආර්ය ශ‍්‍රාවකයන්ට මෙලොව සොබා දහම විසින් දායාද කොට දී ඇති අප‍්‍රමාණ වූ සෞන්දර්ය වස්තූන් යථා ස්වරූපයෙන් ම නිෂ්කාමීව දැකීමේ අපූරු හැකියාව ඇති බව ය.
බුදුරජාණන් වහන්සේ හා ආර්ය ශ‍්‍රාවකයන් වහන්සේලා විසින් ලොවට හඳුන්වා දෙන ලද්දේ එ් ආකාර වූ අති උතුම් සාහිත්‍ය සම්ප‍්‍රදායකි. එයින් ආස්වාදය ලබා ඊට ලෞකිකවූත්, කාමාශක්තවූත් අර්ථ ගන්වන ලද්දේ බුද්ධ කාලීන යුගයට වසර තුන්හාරසියයකට පසුව විසූ රසවාදීන් විසිනි.
රසය ආත්ම කොට ඇති වැකිය කාව්‍යය ලෙස භරත මුනිවරයා පැවසුවා සේ ම රසයේ සාරය චමත්කාරය යයි විශ්වනාථ ආචාර්ය පාදයෝ සැලකූහ. මේ සියලූ රසයන් පහළ වන්නේ අපූර්ව වස්තු නිර්මාණයෙනි. අපූර්ව වස්තු නිර්මාණයනට අවශ්‍ය වනුයේ ප‍්‍රතිභාව බව ආනන්ද වර්ධන පැවසී ය. ‘ප‍්‍රතිභා අපූර්ව වස්තු නිර්මාණාක්ෂ්මා ප‍්‍රඥා: තස්‍යා විශේෂා රසාවේශ වෛශාදයා සෞන්දර්ය කාව්‍ය නිර්මාණාක්ෂ්මත්වම්.’ අලංකාරවාදීන්ගේ මෙම විවරණ ඉදිරිපත් කිරීමට බොහෝ කලකට පෙර ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් කාව්‍ය නිර්මාණ විෂයෙහි ලා ප‍්‍රතිභා සංකල්පය හඳුන්වා දෙන ලද්දේ ලෞකික සෞන්දර්ය ඉක්මවා ගිය ආධ්‍යාත්මික සෞන්දර්යයක් වෙත ශ‍්‍රාවක ජනයා යොමු කරවනු පිණිස ය.
භාරතීය සම්ප‍්‍රදාය තුළ මතු නොව විශ්ව සම්ප‍්‍රදාය තුළ ම සාහිත්‍ය නිර්මාණ විෂයෙහි පුරාණතම කාව්‍ය වර්ගීකරණය දක්නට ලැබෙන්නේ පාලි ත‍්‍රිපිටක ග‍්‍රන්ථයන්හි ය. අංගුත්තර නිකායේ කවි සූත‍්‍රය මීට හොඳ ම නිදර්ශනය යි. එහි කවියන් සිව් දෙනෙකු ගැන කියැවේ. ඔවුන් නම් චින්තා කවි, සුත කවි, අත්ථ කවි, පටිභාන කවි යන අයයි. මේ කවීන් සතර වර්ගයාගේ ගති ස්වභාව ගැන බුදුරජාණන් වහන්සේ විශේෂ පැහැදිලි කිරීමක් දේශනා කොට නැතත් අංගුත්තර නිකායේ මනෝරථපූරණී අට්ඨ කථාවේ බුද්ධ වචනයේ අදහස පිළිබඳ වැඩිදුර විස්තරයක් ඉදිරිපත් කොට තිබේ. එ් මෙසේ ය:
‘යෝ චින්තෙත්වා කාව්‍යං කරෝති අයං චින්තා කවි’
සිතා කවි කරන්නා චින්තා කවියා ය. මොහුගේ නිර්මාණවලට පාදක වන්නේ සමාජ විෂයෙහි අත්දැකීම් ය.
‘යෝ සුත්වා කාව්‍යං කරෝති අයං සුත කවි’
අසා කවි නිර්මාණය කරන්නා සුත කවියා ය. ස්ව පරිකල්පනය අනුව තමා දැන සිටින දේ අන් අයට කියා දීම මේ කවියාගේ ලක්ෂණය යි.
‘යෝ එ්කං අත්ථං නිස්සාය කාව්‍යං කරෝති අයං අත්ථ කවි’
එක් අරුතක් ගැන සිතා කවි කරන්නා අත්ථ කවියා වෙයි.
‘යෝ තං ඛණේයේව අත්තනෝ පටිභානේන කාව්‍යං කරෝති අයං පටිභාන කවි’
එකෙණෙහි ම ක්ෂණයකින් (හිටිවනම) ගොතා කවි කරන්නා පටිභාණ කවියා ය.
කවි සුත‍්‍රය අරභයා අගනා විවරණයක් ඉදිරිපත් කළ සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ මේ කවියන් හතරදෙනා අතුරෙන් විශිෂ්ටතමයා පටිභාණ කවියා බව ය. එතුමාගේ අරුත් දැක්වීමට අනුව ‘චින්තා’ වදනින් අදහස් කරන්නේ සෑම කවියෙකුට ම තිබිය යුතු පරිකල්පන ශක්තිය යි. එසේ නම් චින්තා කවියාට ඇත්තේ පරිකල්පන හැකියාව පමණකි. පරිකල්පන ශක්තියත්, පාණ්ඩිත්‍යයත් සුත කවියා සතුව පවතී. පරිකල්පන හැකියාවත්, නිශ්චිත පරමාර්ථයකුත් ඇත්තා අත්ථ කවියා ය. පරිකල්පන ශක්තියත්, උචිතානුචිත විවේක බුද්ධියත් (වහා වැටහෙන නුවණක්) පටිභාණ කවියා සතුව පවතී.
සාහිත්‍ය රසඥතාව මෙන් ම කවීත්වය ද උපරිම වශයෙන් ඵල දරන්නේ ප‍්‍රතිභාව තුළිනි. එ් සඳහා දැක්විය හැකි අපමණ නිදසුන් නොයෙක් සුත‍්‍රවලින් හමුවෙයි. වංගීස තෙරුන් වහන්සේ මෙන් ස්වප‍්‍රතිභාණයෙන් කවි කරන්නා ප‍්‍රතිභාණ කවියා යයි මනෝරථපූරණී අටුවාව කියයි. වංගීස තෙරණුවන් ගිහි කල කවි මතින් මත්ව (කාවෙය්‍ය මත්තං) කවි කියමින් ගම් දනව් පුරා සැරි සෑරූ අයුරු උන් වහන්සේ පවසා තිබේ. ප‍්‍රතිභා ශක්තිය ඇත්තන් අතුරෙන් වංගීස රහතන් වහන්සේ අග‍්‍ර බව අංගුත්තර නිකායේ එ්තදග්ග පාළියේ දැක්වෙයි. සුත්ත නිපාතයේ සුභාසිත සුත‍්‍රයේ ද උන් වහන්සේගේ කවි ශක්තිය වර්ණනා කොට තිබේ.
බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන දහම් දෙසන අසිරිමත් අවස්ථාවක් කවියට නැගීමට සිතූ වංගීස රහතන් වහන්සේ එ් සඳහා බුදුරජාණන් වහන්සේගේ අවසරය ඉල්ලා සිටි පුවතක් වංගීස සංයුත්තයේ ඇතුළත් වෙයි. බුදුරජාණන් වහන්සේගේ අවසරය ලැබූ වංගීස තෙරණුවෝ ධර්ම සංවේගය දැනවෙන මනරම් ගාථාවන්ගෙන් එ් මොහොත වර්ණනා කළහ. මේ ගාථා කලින් සිතා කවි කළ එ්වා ද එසේ නොමැති නම් එ් මොහොතේ ම (හිටිවන ම) පබැඳු එ්වාදැයි බුදුරජාණන් වහන්සේ විමසා සිටි කල්හි එ් ගාථා හිටිවන ම ගොතා එ් මොහොත උදෙසා ම ගැයූ ගාථා බව වංගීස තෙරුන් වහන්සේ පවසා සිටියහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වංගීස තෙරණුවන් පසසා වදාළේ මෙපරිද්දෙනි:
‘තේන හි තං වංගීස භියේයා්සෝමත්තාය පුබ්බේ අපරිවිතක්තිකා ගාථායෝ පටිභන්තූති. එවං භන්තේති ඛෝ ආයස්මා වංගීසෝ භගවතෝ පටිස්සුත්වා භියේයා්සෝමත්තාය
භවන්තං පුබ්බේ අපරිවිතක්කාහි ගාථාහි අභිත්ථවි’
(පරෝසහස්ස සුත‍්‍රය – සංයුත්ත නිකාය)
‘එසේ නම් පින්වත් වංගීස, ඔබට හිටිවන කවි තව තවත් වැටහේවා’ යනුවෙන් බුදුරජාණන් වහ්න්සේ වංගීස තෙරණුවන්ගේ කවි ශක්තිය පසසා වදාළහ. නිර්වාණය අරමුණු කොට කරන පටිසංයුක්ත ගාථා නිර්මාණය ආර්යයන් වහන්සේලාට කැප බව මෙයින් සනාථ වෙයි. එබඳු ගාථා නිර්මාණය කිරීමට හා ගායනා කිරීමට අනුමැතියක් ලැබීම ම (අනුජනාමි භික්ඛවේ සරභඤ්ඤං) කාව්‍යයේ සෞන්දර්යය බුදුරජාණන් වහන්සේ ඉවසා වදාළ බවට දැක්විය හැකි හොඳ ම නිදසුනකි.
බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් විශේෂයෙන් කවි සූත‍්‍රය, සුභාෂිත සූත‍්‍රය විමසා බලන කල්හි ලෝකයට සාහිත්‍ය රස වින්දනය හඳුන්වා දුන් පුරෝගාමී මහා සාහිත්‍යධරයාණෝ උන් වහන්සේ ම බව පැහැදිලි ය. එ් අති උතුම් සාහිත්‍ය මෙහෙවර ලෞකික රසවින්දනයට නොව ලෝකෝත්තර විමුක්ති සුවය උදෙසා ය යන්න ත‍්‍රිපිටකය පුරා ම දකින්නට ලැබෙන නිදසුන්වලින් ප‍්‍රත්‍යක්ෂ වෙයි. ලොව පවත්නා ප‍්‍රකෘති සෞන්දර්යය කාමය නොවන බවත්, එය මිනිසා විසින් සිත මුල් කොට උපදවා ගන්නා දෙයක් බවත් අංගුත්තර නිකායේ නිබ්බේධික සූත‍්‍රයේ ද ධම්මපදයේ ද පැහැදිලි කොට දී තිබේ.
මහාමේඝ 2015 අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK
සටහන
මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති
Recent Comments