ශාන්ත සුන්දර පරිසරය නෙතට රසඳුනකි. බමර මීමැසි කැළ ගැවසී දසත සුවඳවත් කරන දෑසමන්, බෝලිද්ද ආදි පුෂ්පයන්ගෙන් පිරුණ මල් ගොමුව දෑසට මිහිරකි. මිහිරි හඬ නගන කොවුල්, සැළලිහිණින් සැරිසරන වැල, වරකා, පේර, බෙලි, අනෝදා ඈ නොයෙක් පලතුරින් පිරී ගත් විසිතුරු උයන් වතු දකින්නන්ගේ සිත් වශී කරවන සුලූ ය.

එමෙන් යහපත් ගුණ දමින් පෝෂිත මනු කැළක් වෙසෙන යම් පෙදෙසක් වෙත් ද මහේශාක්‍ය දෙවියන්, දිව්‍ය අප්සරාවන් පවා එ් ප‍්‍රදේශවලට ඇලූම් කරති. මිනිස් සත්වගට ඇති සොම්නස කෙසේ පවසම් ද?
එවන් අසිරියක සිරි විඳින්නට යමෙකුට අවකාශ ලැබෙත් ද එ් තුන් ලොවක් සනසාලමින් අමා දම් රස වගුරුවන උතුම් සම්බුදුරජාණන් වහන්සේනමකගේ පහළවීම සිදුවූ අතිශයින් ම දුර්ලභ වූ කාල වකවානුවක දී පමණ ම ය.

ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, මාන්නාදී නොයෙක් අකුසල ධර්මයන්ගේ ආදීනවයන් ද මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බඹ විහරණ ධර්මයන්ගේ ආනිශංසයන් ද දෙව් මිනිස් ලෝකයා වෙත අවබෝධයෙන් ම මනා කොට දැනගෙන දැකගෙන දේශනා කොට ලෝකයා යහමගට පමුණුවන අන් කිසිවෙකු කිසි කලෙක ලොව පහළ නොවන්නේ ම ය.

එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ දී නොයෙක් ආකාර අදහස් ඇති අය අප හා ඇසුරට පත්වෙති. උසස් වූ මනසක් ඇති සත්ව කොට්ඨාසයක් වශයෙන් අප එ් සැවොම සමගින් සුහදව විසිය යුතු ය. විශේෂයෙන් ම පවුල් පරිසරය තුළ ජීවත්වන විට අපේ සාමාජිකයන් වෙතින් සමහරවිට දෝෂාරෝපණ ලැබෙන්නට පුළුවන. එවන් සැම අවස්ථාවක ම අපේ සිත නොමනා ලෙස ගැටෙන්න ඉඩ නො තබා සිත සන්සුන්ව තබා ගන්නට වෑයම් කළ යුතු වේ. අපට යම් ආකාරයක නින්දා අපහාස ලැබෙන විට මේ සිත සන්සුන් කර ගැනීම එතරම් පහසු කටයුත්තක් නො වේ. එහෙත් අප ආවේගශීලි ලෙස කතා කරන්නට, ක‍්‍රියා කරන්නට ගියහොත් අපටත්, අන් අයටත් පීඩාවක් වනු එ්කාන්ත ය.

එවිට මුළු පවුල් පරිසරය තුළ ම අසහනකාරී බවක් ඇතිවනු ඇත. එවැනි අවස්ථාවක අපට චිත්ත පීඩා ඇති කළ තැනැත්තාගේ යහපත් ගති සිහිපත් කළ යුතු වෙයි. කෙනෙකුගේ හොඳ ගුණයක් සිහි කරන විට කිසිසේ්ත් ම ක්‍රෝධ සිතක්, වෛර සිතක් ඇති නො වේ. ක්‍රෝධ සිතක්, වෛර සිතක් නැති විට උපදින්නේ මෛත‍්‍රී සහගත සිතුවිලි ය. මෛත‍්‍රී සහගත සිතක කිසිදු පීඩාවක් නැත. එ් සිත සැබැවින් ම සැනසිලිදායක ය. ආවේගශීලි බවක් කොහෙත්ම නැත. අනිවාර්යයෙන් ම එ් සිත පිබිදුණූ සතුටු සිතකි.

අපි මෙහෙම හිතමු. නිවසක අම්මා කෙනෙක් ස්වභාවයෙන් ම සැර පරුෂ ය. බොහෝ විට කරණු නො විමසා ආක්‍රෝෂ පරිභව කරන්නී ය. නිරතුරු ආරවුල් ඇතිකර ගන්නී ය. මෙවැනි පවුලක දරුවකු තුළ නිතර ගැටුණු සිතක් ඇති විය හැකි ය. එවැනි අවස්ථාවක මේ විදියට හිතුවොත්, ‘අනේ… මේ පින්වත් අම්මා පුංචි කාලෙ ඉඳල ලේ ටික කිරි කරල බොන්න දීල ලොකු මහත් කළා. අමාරුවෙන් නමුත් විය පැහැදම් කරන ශිල්ප ශාස්ත‍්‍ර ලබා දුන්න. රෝග පීඩා හැදුණු වෙලාවෙදි වෙහෙස මහන්සි වෙලා සනීප කළා. අද මම මේ වගේ තත්්ත්වයකට පැමිණිලා ඉන්නෙ එ් පින්වත් අම්මාගෙ නොපසුබට උත්සාහය නිසා නේ ද?’ මෙහෙම හිතුවොත් හිත කලබල වෙන්නෙ නෑ නේ ද?

එහෙමත් නැත්නම් ‘අනේ මේ ඉපදි ඉපදි මැරි මැරි යන දුක්ඛිත සංසාර ගමන කෙළවර කරන උතුම් දහමක් කතා කරන මේ වගේ කාලෙක මේ පින්වත් අම්මගෙ කුස පිළිසිඳ ගත් වෙලාවෙ කරදරයි කියල හිතල ගැබ විනාශ නො කර මේ උතුම් මනුලොවට පය තියන්න ඉඩ දුන්නු එක ම කොයි තරම් ලාභයක් ද?’ කියා සිතන්නට පුළුවනි. මේ විදියට අගුණයක් ගැන නො සිතා ගුණයන් ගැන ම සිහි කළොත් අපේ හිත කොච්චර සන්සුන් වෙනව ද? මොනතරම් සතුටක් හිතෙනව ද?

එමෙන් ම අනෙක් අය අප වෙනුවෙන් කැපවුණු ආකාරය, උදව් උපකාර කළ ආකාරය සිහි කරන විට කෙසේ නම් අමනාප සිතක් ඇතිවන්න ද? සැනසුණු සිතක්, සංවර සිතක්, පිබිදුණු සිතක් ඇතිවනු එ්කාන්ත ය. එකල්හි නිරන්තරයෙන් ම අපේ සිතින් ද්වේෂය දුරු වේ, වෛරය දුරු වේ. එකටෙක කරන සිතක් ඇති නො වේ. පළිගැනීමේ සිතක් කොහෙත්ම ඇති නො වේ. මේ ජීවිතයේදීත්, පරලොව ජීවිතයේදීත් සතුටින් සොම්නසින් පිබිදුණු සිතින් වාසය කළ හැකි වෙයි.

ගෞතම සසුනේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කොට වදාළ ආඝාත පටිවිනය සූත‍්‍ර දේශනය තුළ අගුණ දැක දැකත් සතුටු සිතක් ඇති කර ගැනීම පිණිස ගුණ සිහි කරන ආකාරය සවිස්තරව, උපමා සහිතව මැනවින් දේශනා කර තිබේ.

අප අධ්‍යාපනය හදාරන කාල වකවානුව තුළ දීත් නොයෙකුත් ප‍්‍රශ්නවලට මුහුණපෑමට සිදු වේ. විශේෂයෙන් ම ගුරුවරුන් සමග කටයුතු කරන කල්හි ද සිත සන්සුන් කර ගැනීමට සිදු වේ. එ් එ් විෂයන්ට අදාළ යමක් එ්්ත්තු ගැන්වීම සඳහා දවසේ බොහෝ වේලාවක් වචන හසුරුවමින් වෙහෙසට පත්වන ආකාරය, කරුණාවෙන් තේරුම් කරන ආකාරය, නැවත නැවත අවධානය යොමුකරවන ආකාරය සිහිකරන විට ගුරුවරයා කෙරෙහි ගෞරවනීය හැඟීමක් ම ඇතිවෙයි. ඇසුරු කරන මිතුරු මිතුරියන් පිළිබඳව ද යහපත් ගුණයක් ඇත්නම් එය ම සිහි කරන්නේ නම් කිසිවෙකු කෙරෙහි අප‍්‍රසාද සිතක් ඇති නො වේ. ප‍්‍රසාදජනක සිතක් ම ඇති වේ.
සමහර විට අප ජීවත්වන සමාජයේ නිතර ඇසුරු කරන පැවිදි උතුමන් වහන්සේලාගේ විවිධ හැසිරීම් අපේ සිත් විපිළිසර කරවන්නට ඉඩ ඇත. එහෙත් අප එවැන්නකට සිතට ඉඩ නො දී සඟරුවන සතු මහානීය ගුණ සිහිපත් කළ යුතු ම ය.

‘අනේ…මේ පින්වතුන් වහන්සේලා මෙවැනි සංකීර්ණ සමාජ රටාවක් තුළදීත් ගිහි ගෙවල් අතහැර පැවිදි ජීවිතයක් ගත කරනවා නො වේ ද? විවිධාකාර ඇඳුම් විලාසිතාවන්ගෙන් පිරිපුන් සමාජයක සසුන් කෙතේ අස්වනු අපේක්ෂාවෙන් කාෂාය වස්ත‍්‍ර දරනවා නො වේ ද? ගිහි භවතුන්ට පින් රැුස් කර ගැනීම පිණිස වෙහෙර විහාර, දාගැබ්, පිළිම වහන්සේ, බෝ සමිඳුන් වහන්සේ මනා කොට සුරකිනවා නො වේ ද?’ මේ ආකාරයට අපේ සිතිවිලි ගොනු කළහොත් අභාග්‍ය සම්පන්න පීඩාවන්ගෙන් අපේ සිත පෙලෙන්නේ නැහැ නේ ද? ඇත්තෙන් ම සතුටු සිතක් උපදිනවා ම යි.

එ් වගේ ම රැුකියා කටයුතුවල දී ද සේව්‍ය සේවක දෙපක්ෂය අතර මනා කොට බැඳුණු අන්‍යොන්‍ය සුහදතාවයකින් කටයුතු කිරීමට හැකිවනු ඇත. පොදුවේ මුළු මහත් ලෝකය හා සමග වුව ද ගැටුමකින් තොරව ඔවුනොවුනට උපකාර කර ගනිමින් මහත් සොම්නසකින් යුතුව ම ඇසුරු කරන්නට අවකාශ ලැබෙනු ඇත.

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ චූල ගෝසිංහ සූත‍්‍ර දේශනාවේ (මූල පණ්ණාසකය – ම. නි.) අනුරුද්ධ, නන්දිය, කිම්බිල යන උතුම් රහතන් වහන්සේලා සමඟියෙන්, සතුටින් වාද විවාද රහිතව, කිරියි වතුරයි එකතු වූ සෙයින් එකිනෙකා කෙරෙහි ප‍්‍රිය ඇසින් බලමින් වැඩ විසූ අයුරු පැහැදිලිව පෙනේ. එ් උතුමන් වහන්සේලාගේ යහපත් පැවැත්ම පිළිබඳ කීර්ති ඝෝෂාව පොළොවවාසී දෙවියන්ගේ පටන් බඹලොව දක්වා පැතිර ගිය ආකාරය ද උන් වහන්සේලා පමණ කළ නො හැකි සතුටකින් වැඩ විසූ ආකාරය ද මැනැවින් පිළිබිඹු වේ.

එවන් උතුමන් පිළිබඳව සිහිපත් කිරීම පවා සියලූ ලෝ සතුනට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතින බව ද සම්බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.

ඔබ අප සියලූ දෙනාට ද මේ උතුම් පොසොන් සමයේ අනුන්ගේ ගුණ පමණක් ම දකිමින් නිරතුරුව පිබිදුණු සිතින් යුතුව දහම තුළ අප‍්‍රමාදී වන්නට තුනුරුවනේ අනන්ත ආශීර්වාදය ලැබේවා!

මහාමේඝ 2015 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.

සටහන
ඊරියකැලේ උත්තරා මෙහෙණින් වහන්සේ