නාමයන්ට විඤ්ඤාණය අයිති නැත්තේ ඇයි…? 

අපේ පුද්ගලික විග‍්‍රහයන් ගන්නේ නැතුව බුද්ධ වචනය ම ගමු. ඔය ගැන සංයුත්ත නිකාය දෙවන පොත් වහන්සේ තුළ ‘පටිච්චසමුප්පාද විභංග’ කියලා සූත‍්‍ර දේශනාවක් තියෙනවා. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ඔය ඔක්කොම වචන අපට කියලා අර්ථ විස්තර කරලා දීලා තියෙන්නේ. උන් වහන්සේ එහි දී ‘නාමරූප’ පිළිබඳව මනාව විස්තර කරනවා. ‘මහණෙනි, රූප කියන්නේ සතරමහා ධාතුත්, සතරමහා ධාතූන් නිසා හටගන්නා දේත්. එ් වගේ ම නාම කියන්නේ වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර.’ එ් තමයි නිවැරදි බුද්ධ වචනය. කෙනෙක් එ්කට විඤ්ඤාණය දැම්මොත් එ්ක එයා අතින් දාන එකක්. එ් බුද්ධ වචනය නෙවෙයි. බුද්ධ වචනය තුළ තියෙන්නේ ‘නාමරූප ප‍්‍රත්‍යයෙන් විඤ්ඤාණය හටගන්නවා’ කියලයි.

‘මහානිදාන සූත‍්‍රයේ’ සඳහන් වෙනවා, ‘(නාමරූප පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං) විඤ්ඤාණය නාමරූපයට උදව් කරනවා. නාමරූපය විඤ්ඤාණයට උදව්කරනවා’ කියලා. එතකොට එ්ක අන්‍යෝන්‍ය උදව්වක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක තැනක දී එ් කාරණය බටමිටි දෙකක උපමාවකින් ලස්සනට විස්තර කළා. එ්කේ තියෙන්නේ බටමිටි දෙකක් එකකට එකක් හේත්තු කරලා තියෙනවා. මේ බටමිටි දෙක එ් විදිහට එකට එක හේත්තු කරලා තියෙන තාක් වැටෙන්නේ නෑ. එ් වගේ තමයි විඤ්ඤාණය නාමරූපයට උපකාර වෙනවා. නාමරූපය විඤ්ඤාණයට උපකාර වෙනවා. යම් වෙලාවක මේ එකක් අවබෝධ වුණොත් අනෙක වැටෙනවා කියනවා. එ් කියන්නේ අවබෝධ නොවෙන තුරු තමයි මෙහෙම තියෙන්නේ. එහෙම නම් භාග්‍යවතුන් වහන්සේ වදාළේ වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර නාම කියා යි. කවුරුහරි එ්කට විඤ්ඤාණය දැම්මොත් එ්ක අතින් දාන එකක්. අපි එ්ක එ් විදිහට තේරුම් ගත්තාම හරි.

අපි ගති නිමිත්ත ගැනනේ කතා කරමින් හිටියේ. එතකොට ගති නිමිත්ත කියන එක සාමාන්‍ය මනුෂ්‍යයාට නිරන්තරයෙන් ම බලපවත්වන දෙයක්. යම් කෙනෙකුගේ පින දුර්වල නම් එ්කට අහුවෙන්න, එ් කියන්නේ දුක්ඛිත ආත්මයකට අහුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් එ් නිසා අපි භයවෙන්න ඕන ගති නිමිත්තට නෙවෙයි, පින දුර්වල කරගැනීමටයි. අපි පින ප‍්‍රබල කරගත්තොත් එ් ගති නිමිත්ත හේතු වෙන්නේ හොඳ උපතක් කරා යන්නයි. එ් විදිහට උපතක් කරා යන්න හොඳ අරමුණක් ඇතිවෙනවා නම්, එ්කට පින්බලය උපකාරී වෙනවා. එ් නිසා අපි පින දියුණු කරගන්න ඕන. එ් විදිහට පින දියුණු කරගත්තොත්, මං හිතනවා ඉෂ්ට දේවතාවුන්ගේ උදව්ව, තමන්ගේ පින් බලය එ් හැම දෙයක් ම උපකාරී වෙනවා. පින්බලය දුර්වල නම්.. එයා තමන්ගේ පින වනසාගෙන නම්.. එ් පින ඉවර වෙලා නම්.. අපට කොච්ච්ර කතා කළත් වැඩක් නෑ. මොකද පින කියන්නේ විපාක දීලා ඉවර වෙන එකක්නේ.

පින මෙන්න මේ වගේ දෙයක්…

මට පින ගැන උපමාවක් මතක් වුණා. එ්ක අපේ උපමාවක්. එ් කියන්නේ අපි තේරුම් ගන්න කියන එකක්. අපි වතුර ටැංකියක් ගැන ගනිමු. ඔන්න අපි ටැංකියකට වතුර ගැහුවා. ටැංකියකට වතුර ගැහුවට පස්සේ අපි එ්කට ටැප් ලයින් එකක් දානවා. අපි කියමු ටොයිලට් එකට, නාන තැනට, කුස්සියට, මල් පාත්තියට කරාම දාලා තියෙනවා කියලා. අපි මේ හැම එකකට ම පාවිච්චි කරන්නේ එක තැනක තියෙන වතුර ප‍්‍රමාණයක් නේ ද? එ් වතුර ප‍්‍රමාණයෙන් අපි කුස්සියට ගන්නවා. රෙදි හෝදන්න ගන්නවා. නාන්න ගන්නවා. මල්වලට දාන්න ගන්නවා. හැබැයි, අපි දන්නවා එ්කට ගහපු වතුර තියෙන්නේ කියලා. එ් වගේ ම මේ වතුර ඉවර වෙනවා කියලත් දන්නවා. එ් විදිහට දැනගෙන හිටියත් වතුර ඉවර වෙන්න ඉස්සර වෙලා අපට නැවත වතුර ගහන්න අමතක වෙන්න පුළුවන්නේ. එතකොට සමහර විට අපි නාන්න ගිහිල්ලා සබන් ගාලා පයිප්පේ අරිනවා. වතුර නෑ. එතකොට අපි සබන් පිටින් ම මෝටරය ස්ටාර්ට් කරන්න දුවනවා. එ් කියන්නේ වතුර ටික පුරව ගන්න දුවනවා. එ් විදිහට ආයෙම පුරව ගත්තොත් තමයි වතුර තියෙන්නේ. මේ රැුස්කරන්නාවූ පිනත් එ් වගේ එකක්. සාමාන්‍ය මනුෂ්‍යයා පින ගැන දන්නේ නැතුව හරියට පින රැස් නො කළොත් රැස් වූ පින දන්නේ ම නැතුව ඉවර වෙන්න පුළුවන්.

එ්කයි බුදුරජාණන් වහන්සේ වදාළේ, (පුඤ්ඤං චේ පුරිසෝ කයිරා, කයිරාථේතං පුනප්පුනං) කවුරුහරි කෙනෙක් යම් පිනක් කරනවා ද, එ් පින ආයේ ආයෙමත් කරන්න’ කියලා. ‘පුඤ්ඤාභිසන්ද සූත‍්‍රය’ කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. පුඤ්ඤාභිසන්ද කියන්නේ පින් ගඟුල, නැත්නම් පින් උල්පත. එ් කියන්නේ ටැංකියකට වතුර පුරවා ගන්න ලැබෙන්නේ අපි උල්පතක් තියෙන තැනක් හාරගත්තොත්නේ. එතකොට නිරන්තරයෙන් ම වතුර ගලනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘මහණෙනි, යමෙක් අවබෝධයෙන් ම භාග්‍යවතුන් වහන්සේව සරණ යයි ද, ධර්මය සරණ යයි ද, ශ‍්‍රාවක සංඝයා සරණ යයි ද, ඔහු පින් ගඟුලක් උදාකර ගත්තෙකි’ කියලා. මොකද එයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්ම මනසිකාරය කරනවා නම්, එ් වගේ ම ධර්මය සරණ ගියා නම්, ශ‍්‍රාවක සංඝයා සරණ ගියා නම් ඔහුගේ ජීවිතය පිනෙන් පිරෙන්න පටන් අරන්. අපි කලින් කිව්ව විදිහට එයාට ‘මේ කාලයේ මාර්ගඵල ලබන්න පුළුවන් ද..? අරක ද..? මේක ද..?’ ඔය වගේ බාල ගණයේ ප‍්‍රශ්න හටගන්නේ නෑ. මේ විදිහේ බාල ගණයේ ප‍්‍රශ්න හටගන්නේ ම බාල සිතුවිලිත් එක්ක.

නමුත් තිසරණ සරණ ලද කෙනා පණ්ඩිතයෙක්්. එ් කියන්නේ නැණවතෙක්. යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නෙක්. එයා හැමතිස්සේ ම බලන්නේ පින ඉවර වෙන්න ඉස්සර වෙලා පින රැුස්කර ගන්නයි. මාර්ගය වඩාගන්නයි. කොහොම හරි ජීවිතය අවබෝධයක් කරා ගෙනයන්නයි. මොකද, එයා සරණ ගියපු ධර්මයේ විග‍්‍රහයත් එක්ක එයා දන්නවා මේකේ ප‍්‍රමාද වුණොත් අනතුරක් තියෙනවා කියලා. එතකොට එයා අප‍්‍රමාදී වෙන්න කල්පනා කරනවා. එතකොට අපට පැහැදිලියි, අපේ පින ඉවර වුණොත් ගති නිමිත්ත පිළිබඳ ප‍්‍රශ්නය අපට සම්පූර්ණයෙන් ම බලපානවා.

අප දකින ලෝකය මරණය ඉදිරියේ මායාවක් විතරයි…

අපි කලින් කතා කළ සිද්ධියේ දී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මිත‍්‍රයා සාරිපුත්තයන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් හිටියා. එ් නිසා අවසන් මොහොතේ හරි ගිහිල්ලා හිත පහදවා ගන්න පුළුවන් වුණා. මට එක දවසක් එ් වගේ අකරතැබ්බයක් වුණා. එ්ක සිද්ධවුණේ මම ඉස්සර කොළඹ ඉන්න කාලයේ. මම දවසක් ලෙඩෙක් බලන්න ගියා. එයා මරණාසන්න වෙලත් නෙවෙයි, නිකම් ලෙඩවෙලා හිටියා. ඉතින් මම ගිහිල්ලා පිරිත් කිව්වා. මෙයා මහා උගතෙක්. නමුත් දැන් ඇඳේ වැටිලා ඉන්නවා. නැගිටින්න, ඔළුව උස්සන්න මොකුත් බෑ. ඇස් දෙක අරිනවා වහනවා විතරයි. ඉතින් මමයි, තව ස්වාමීන් වහන්සේලා දෙනමකුයි පිරිත් කිව්වා. එ් වෙලාවේ මෙයාගේ ළඟ උපස්ථාන කරන කෙනෙකුත් හිටියා. මෙයාගේ කටින් සෙම වැක්කෙරෙන කොට එ් කෙනා පිහිදනවා. ඉතින් පිරිත් කියලා ඉවරවුණාට පස්සේ මෙයා අර උපස්ථායකට කතාකරලා යමක් කිව්වා. මං හිතුවේ මෙයාට මොකක් හරි කාරණයක් අහන්න තියෙනව ද දන්නේ නෑ කියලයි. ඉතින් මං ඇහුවා මොකක්ද කිව්වේ කියලා. ‘‘නෑ.. නෑ.. මොකුත් නෑ..” කිව්වා. බැලින්නම් මෙයා අහලා තියෙන්නේ ‘‘විකට් කීය ද?” කියලා. මොකද මෙයා අසනීප වෙලා තියෙන්නේ මැච් එක බලමින් ඉඳිද්දී. එ් නිසා පිරිත් කියන කොට මෙයාට ඇහෙන්නේ මැච් එකේ ඝෝෂාව වගේ.

එතකොට බලන්න, මේ තියෙන රටාව තුළ එයාගේ පරලොව ජීවිතය පත්වෙන්නේ කොච්චර අවාසනාවන්ත ඉරණමකට ද? අපට පේන මේ ලෝකයේ තියෙන එළිය.. මේ සුන්දරත්වය.. මේ යාන වාහන.. මේ සියල්ල මරණය ඉදිරියේ මායාවක් විතරයිනේ. එයාගේ ඊළඟ උපත කොයිතරම් ශෝචනීය ද? එයාව කොයිතරම් දුක්ඛාන්තයක් කරා ගෙනියනවා ද? ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් කෙනෙකුට මේ දේවල් ඡායා මාත‍්‍රයකින් හරි තේරෙනවා නම්, එයා කරන්න ඕන සානුකම්පිත සිතකින් මේකේ ඇත්ත පහදා දෙන එක ම යි. නැත්නම් අපිත් සාමාන්‍ය ලෝකයේ ම හිටියොත්.. කා තුළවත් ලෝකෝත්තර අරමුණක් පේනතෙක් මානයක නැත්නම්, මිනිස්සු අන්ධ රැළක් වගේ ඔය යන රටාවට ම යනවා මිසක් එ්කෙන් ගැලවෙන්න විදිහක් නෑ නේ ද? අඩු ගණනේ එක නැණවතෙකුටවත් මේක තේරුම් ගන්න නම්, නැණවතෙකුට ගෝචර වෙන විෂයක් අපි කතා කරන්න ඕන නේ ද? එහෙම නැතුව අපි බලන්න ඕන මිනිස්සුන්ගේ ඉල්ලූම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් මිනිස්සුන්ගේ ඉල්ලූම බැලූවේ නෑ. උන් වහන්සේ දේශනා කළේ ‘‘මහණෙනි, ගිහින් ධර්මය දේශනා කරන්න. (සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා* මහණෙනි, අල්පරජස්ක, එ් කියන්නේ කෙලෙස් අඩු මනුෂ්‍යයන් ඉන්නවා. (අස්සවණතා ධම්මස්ස පරිහායන්ති) මේ ධර්මය අහන්න නො ලැබුණොත් එ් අය පිරිහෙනවා. (භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ) මේ ධර්මය ලැබුණොත් ධර්මය අවබෝධ කරගන්න අය බිහිවෙනවා” කියලනේ.

අදත් මනුෂ්‍ය ලෝකයේ වුණත් අතරින් පතරින් හරි ඉන්න පුළුවන්, යමක් තේරුම් අරගෙන ‘මේක අවබෝධ කරගන්න ඕන’ කියන අදහසට එන්න හැකියාව තියෙන කෙනා. හැබැයි, එයාට එ්ක ඇතිවෙන්නේ ධර්මය ඇහුණොත් විතරයි. ඇහුණේ නැත්නම් කැමැත්ත කොහොම ඇතිවෙන්න ද? මොකද මේ දේවල් සිද්ධ වෙන්නේ ප‍්‍රත්‍යයකින්නේ. එ්කට කියන්නේ පරතෝඝෝෂ ප‍්‍රත්‍යය කියලා. පරතෝඝෝෂ ප‍්‍රත්‍යය කියන්නේ බාහිරින් එන හඬෙන් ලැබෙන උපකාරය. එතකොට බාහිරින් එන එ් හඬ නැත්නම් පරතෝඝෝෂ ප‍්‍රත්‍ය නෑ. පරතෝඝෝෂ ප‍්‍රත්‍යය නැත්නම් යෝනිසෝ මනසිකාරය උපදින්නේ නෑ.

උපතින් ලද උරුමය ආරක්ෂා කරගන්න

පින්වතුනි, මේ ගෞතම බුද්ධ ශාසනය කියන්නේ සිංහල බෞද්ධ අපට උපතින් ලැබුණු උරුමයක්. එ් උපතින් ලද උරුමය අපි හරි විදිහට පාවිච්චි කළේ නැත්නම් එ්ක අපට අහිමි වෙලා යනවා. අපි කියමු, ඔන්න මනුෂ්‍යයෙක් ඉඩමක් ගන්නවා. එ් ඉඩමේ මැණික් ඉල්ලමක් තියෙනවා කියලා. නමුත් මැණික් ඉල්ලමක් ඉඩමේ තිබුණාට එයා එ් ගැන දන්නේ නැත්නම්, එ් වගේ ම වටේ පිටේ ඉන්න අනිත් අයත් ‘‘මොන මැණික් ද ඕකේ?” කියලා කියනවා නම් එයා එ්ක මතුකර ගන්න මහන්සි ගන්නේ නෑනේ. අනිත් අය කියන්න පුළුවන් ”අනේ ඕක හාර හාර ඉන්න එපා. ඔය වෙලාවේ ගිහින් කුළී වැඩක් කරපන්..” කියලා. ඔන්න එයත් ‘‘ඇත්ත තමයි, ඕවා හාරලා කාට ද හරියන්නේ?” කියලා ගිහිල්ලා කුළී වැඩක් කරනවා. ඔහොම කියන්න කියන්න එයාට එ් මැණික්වලින් ප‍්‍රයෝජනයක් ගන්න හම්බ වෙන්නේ නෑ. ඊට පස්සේ එයා මැරෙනවා කියමු. මැරිලා කරමැටි පසක් තියෙන ඉඩමක උපදිනවා කියමු. එ්කේ මැණික් නෑ. නමුත් එ්කෙදී කට්ටිය උනන්දු කරවනවා, ‘‘මැණික් තියෙන්න පුළුවන් හාරපන්..” කියලා. නමුත් කොච්චර හෑරුවත් මැණික් නෑ. මොකද, කලින් එයා මැණික් තියෙන එක අත්හැරියා. එ් වගේ එකක් තමයි, අද මේ ලංකාවේ මනුෂ්‍යයන්ට වෙලා තියෙන්නේ.

ඉතින් එ් නිසා මේ සඳහා පරතෝඝෝෂ ප‍්‍රත්‍යය හරි උපකාරයි. ධර්මය හරි විදිහට ශ‍්‍රවණය කළා නම් ලෝකෝත්තර අපේක්ෂාව කියන එක අපි හිතාමතා ඇතිකරන්න ඕන එකක් නෙවෙයි. එ්ක බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් සරණ ගියපු කෙනාට පිහිටන එකක්. යම් කෙනෙක් ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් එයාට ගෞතම බුද්ධ ශාසනය තුළ අපේක්ෂාවක් තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් නැත්නම් අපේක්ෂාවක් නෑ. එතකොට යම් කෙනෙක් ගෞතම බුද්ධ ශාසනය තුළ සරණ ගිහිල්ලා නැත්නම් එ් විදිහට අපේක්ෂාවක් නැති කෙනෙකුගෙන් බාහිර කෙනෙකුට අපේක්ෂාවක් කොහොම ලැබෙන්න ද?
ඉතින් එ් නිසා අපි ගෞතම බුදුරජාණන් වහන්සේව ‘‘බුද්ධං සරණං ගච්ඡුාමි” කියලා සරණ යන්නේ ගෞතම බුද්ධ ශාසනයේ සරණක් අපේක්ෂාවෙන්නේ. එ් වගේ ම ධර්මය සරණ යන්නේ ගෞතම බුද්ධ ශාසනය තුළ ධර්මය පිළිසරණ කරගැනීමේ අපේක්ෂාවෙන්. එ් වගේ ම සංඝයා සරණ යන්නෙත් එ් අපේක්ෂාවෙන්.

සාදු! සාදු!! සාදු!!!