පින්වතුනේ, පින්වත් දරුවනේ,

ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ මගධ රට ‘මාතුල’ කියන නගරයේ. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා රැස්කරලා මෙන්න මෙහෙම අවවාදයක් කළා, ‘‘(අත්තදීපා භික්ඛවේ විහරථ අත්ත සරණා අනඤ්ඤ සරණා) මහණෙනි, වාසය කළ යුත්තේ තමාව ද්වීපය කරගෙනයි. තමාව පිහිට කරගෙනයි. ඒ වගේම තමාව සරණ කරගෙනයි වාසය කළ යුත්තේ. වෙන බාහිර පුද්ගලයෙක් පිහිට කරගෙන නෙවෙයි. මේකෙන් අදහස් කරන්නේ සතර අපායෙන් මිදීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ වැඩපිළිවෙල තමන්ම වීරියෙන් අනුගමනය කරන්න කියන එක. තමන් සීලය තුළ පිහිටලා ඉන්නවා නම්, අන්න තමා තමාව පිළිසරණ කරගත්තා. තමන්ගේ සිතේ ඇතිවෙන අකුසල් දුරුකරන්න තමන් මහන්සි ගන්නවා නම්, අන්න තමන් තමාව පිළිසරණ කරගත්තා. ඒකට තමයි තමා තමාව පිහිට කරගන්නවා කියන්නේ.

(ධම්මදීපා ධම්ම සරණා අනඤ්ඤ සරණා) මෙතැනදී ‘දීප’ කියන්නේ පහන නෙවෙයි. පහනට කියන්නේ ‘පදීප’. දීප කියන්නේ දිවයිනට. වතුරට යට වෙන්නේ නැති දූපත. ධර්මය තුළින් මේ දූපත ගොඩනගා ගන්න. (ධම්ම සරණා) ධර්මය පිහිට කරගන්න. (අනඤ්ඤ සරණා) වෙන දෙයක් පිහිට කරගන්න එපා. ධර්මය පිහිට කරගන්න කෙනා ධර්මය හැටියට පිහිට කරගන්නේ මොකක්ද කියන එක මෙන්න විස්තර කරනවා. තමාව දූපතක් කරගන්නේ කොහොමද? තමාව පිළිසරණ කරගන්නේ කොහොමද? ධර්මය දූපතක් කරගන්නේ කොහොමද? ධර්මය පිළිසරණ කරගන්නේ කොහොමද?’ කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙහෙම.

“මහණෙනි, යමෙක් තමාව පිළිසරණ කරගන්නවා නම්, ධර්මය පිළිසරණ කරගන්නවා නම් එයා කරන්නේ කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කිරීමයි.” මේකයි තමාව පිළිසරණ කරගැනීම, ධර්මය පිළිසරණ කරගැනීම. ඒ වගේම තමාට ඇතිවෙන සැප-දුක් විඳීම් ගැන වේදනානුපස්සනාවෙන් වාසය කිරීමයි. සිත ගැන චිත්තානුපස්සනාවෙන් වාසය කිරීමයි. පංච උපාදාන ස්කන්ධ, ආයතන, ධාතු, ආර්ය සත්‍ය ආදී ධර්මයන් ගැන නුවණින් විමසමින් ධම්මානුපස්සනාවෙන් වාසය කිරීමයි. එහෙනම් තමාව පිළිසරණ කරගන්නවා, ධර්මය පිළිසරණ කරගන්නවා’ කියලා කියන්නේ මොකක්ද? සතර සතිපට්ඨානය තුළ වාසය කිරීමට කියන නමක්. හරිම පැහැදිලියි.

එතකොට කෙනෙක් කායානුපස්සනාවේ, වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ යෙදෙන්නට මහන්සියක් ගන්නේ නැත්නම් එයා තමාව පිළිසරණ කරගෙන නෑ. එයා ධර්මය පිළිසරණ කරගෙනත් නෑ. කොහොමද එයා මේ සතර සතිපට්ඨානය තුළ වාසය කරන්නේ? (ආතාපී) ආසාවන් මැඬලන වීරියෙන් යුක්තව. (කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව)

අපේ හිතේ හටගන්නා වූ හැඟීම් හඳුනාගන්නේ නැතුව, පාලනයක් නැතුව ඒවාට ඉඩදෙන්න ගියොත්, බොහෝවිට නවතින්න වෙන්නේ නිරයේ. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ එහෙම නොවෙයි. කෙලෙස් තවන වීර්යය. කෙලෙස් තවන වීර්යය කියලා කියන්නේ මේකයි. ඔන්න එකපාරට අපේ හිතේ යම්කිසි ආශාවක් හටගන්නවා කියමු. එතකොට ඒ ආශාව කැමැත්තත් එක්කනේ තියෙන්නේ. ඒ කැමැත්ත මැඬලන්න වීර්යයක් ඕන. ඒකයි කෙලෙස් තවන වීරිය කියලා කියන්නේ. වීර්යයෙන් හා නුවණින් ඇලීම් ගැටීම් දෙක දුරුකොට තමයි මේ සතර සතිපට්ඨානය පුරුදු කරන්නට තියෙන්නේ.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘ඒ නිසා මහණෙනි, (ගෝචරේ භික්ඛවේ චරථ සකේ පෙත්තිකේ විසේ) පියාගේ උරුමයෙන් ලැබුණු භූමියේ හැසිරෙන්න” කියලා. පියාගේ උරුමයෙන් ලැබුණු භූමිය මොකක්ද? සතර සතිපට්ඨානය. අපි සියලූ දෙනාම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක දරුවන්. අපි ඔක්කොම එකතු වෙලා තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වටා. අපගේ ශාස්තෘ වූ ඒ උතුම් පියාණන් කවුද? ගෞතම බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදුරජාණන් වහන්සේ ගෙන් උරුම වූ භූමිය මොකක්ද? සතර සතිපට්ඨානය. බලන්න කොච්චර ලස්සනට විස්තර කරනවාද?

ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, ‘‘මහණෙනි, තමන්ගේ පිය පරපුරෙන් උරුම වුණු භූමිය තුළ ඔබ ඉන්නවා නම්, (න ලච්ඡති මාරෝ ඕතාරං, න ලච්ඡුති මාරෝ ආරම්මණං) මාරයාට නුඹව අරමුණු වෙන්නේ නෑ. ‘ආ… මෙන්න ගොදුරක්’ කියලා මාරයාට අරමුණු වෙන්නේ නෑ. මාරයාට හොයාගන්න බෑ. පිය පරපුරෙන් ලැබුණු භූමිය තුළ වාසය කරනවා නම් මාරයාට සිදුරක්වත් ලැබෙන්නේ නෑ. (කුසලානං භික්ඛවේ ධම්මානං සමාදානහේතු ඒවමිදං පුඤ්ඤං පවඞ්ඪති) මහණෙනි, ඔය විදිහට කුසල ධර්මයන් සමාදන් වෙනකොට පින් වැඩෙනවා.” අපට ලැබුණු මේ මනුස්ස ජීවිතයේදී පින් එකතු කරගැනීම වැදගත් නැද්ද? ඉතාමත්ම වැදගත් දෙයක්. මොකද හේතුව? මනුෂ්‍ය ජීවිතය අපට ලැබිලා තියෙන්නේ බොහෝම සුළු කාලයකටයි.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !