පිරිමියෙකු හෝ කාන්තාවක් හෝ වේවා ඇවිළුණු කෝප ගින්න නිවා ගැනීමට වෑයම් නොකිරීමෙන් සිදු වන්නේ ම නපුරකි. ව්‍යසනයකි. කෝපය නිසා ම තම නෑනණ්ඩියගේ දිවි තොර කිරීමේ වරදට වැරදිකාරියක වී මරණීය දණ්ඩනයට නියම ව දුක සේ සිරබත් කන කාන්තාවක පිළිබඳ පුවත මහාමේඝ මැදින් මස කලාපයෙන් ඔබ වෙතට ගෙන ආවෙමු. බන්ධනාගාර නිලධාරීන්ගෙන් ලද අවසරයෙන් අද අප මුණගැසෙන්නේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වී, අට අවුරුදු බරපතල වැඩ සහිත සිර දඬුවමක් අත්විඳිමින් සිටින සුමනසිරි ජයවර්ධනයි.

මොහු අතින් සැබවින් ම පුද්ගලයෙකු මරණයට පත් වුව ද, එයට පසුබිම් වූ සිද්ධිමය හා නීතිමය කරුණු පදනම් කරගෙන නඩු විභාගය අවසානයේ සුමනසිරි මිනී මැරුමක් නො ව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට ඇති බවට තීරණය වී ඇත.

නොමද පසුතැවිල්ල
මේ වන විටත් සිර දඬුවමෙන් වසර දෙකක් සිර මැදිරියේ ගත කර ඇති සුමනසිරි මොහොතක් මොහොතක් පාසා කල් ගෙවන්නේ දැඩි සිත් තැවුලෙනි. හැඬු කඳුළෙනි. මා මෙතෙක් සම්මුඛ ව සාකච්ඡා කළ සෑම සිරකරුවෙකුට ම වඩා වෙනස් ව තමා අතින් සිදු වූ මරණය ගැන සැබැවින් ම පසුතැවෙන්නා සුමනසිරි ය. කථා කරන වචන කීපයක් පාසා ම සාක්කුවෙන් ලේන්සුවක් අතට ගෙන දෑස් පිස දැමූ ඔහු දිග හුස්මක් ගෙන සුසුම් හෙළු අවස්ථා බොහෝ විය.

වෙනස්කම
පවුලේ වැඩිමහල් අක්කලා තුන් දෙනෙකු හා මල්ලී කෙනෙකු සමඟ හැදී වැඩුණු සුමනසිරිගේ වාසභූමිය වූයේ වැල්ලවාය ප‍්‍රදේශයේ ගම්මානයකි. ගොවිතැන් සහ කුලී වැඩ කරමින් තම පවුල රක්ෂා කළ සුමනසිරිගේ පියාට තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ හැකියාවක් හෝ අවබෝධයක් නොවී ය. තමාට වඩා වයසින් වැඩි සහෝදරියන් තුන් දෙනා කල් වේලා ඇති ව දීග ගිය අතර ඔවුහු වෙන් වී පවුල් ජීවිත ගත කළහ. කලකට පෙර අම්මා මිලට ගෙන තිබූ පර්චස් විස්සක තරම් ඉඩම් කැබැල්ලෙහි පැත්තක කුඩා ගේ කැබැල්ලක් සදාගෙන අම්මාත් මල්ලීත් බලාගෙන සුමනසිරි කල් ගත කළේ ය. දක්ෂ පෙදරේරුවෙකු වූ සුමනසිරිට වඩුවැඩ පිළිබඳ ව ද හොඳ හැකියාවක් තිබිණි. එනිසා ඔහු තම මල්ලීට ද මේසන් වැඩ උගන්වා දෙදෙනා ම එකට වැඩට ගියහ. කොළඹ ප‍්‍රදේශයේ නිවාස ඉදිකිරීමේ කොන්ත‍්‍රාත් භාරගත් ඔහු තම මල්ලීත් සමඟ ගොස් ඒවායේ නිරත වී මුදල් හදල් හම්බ කිරීමට දක්ෂ විය. ස්වභාවයෙන් ම නො සන්සුන් සහ සැඩපරුෂ වූ තම මල්ලී සුළු දෙයකට වුව ද ඕනෑ ම කෙනෙකු සමග කලහ කිරීමට පෙළඹීම සුමනසිරිට බොහෝ විට සිතට වදයක් විය. පිටස්තර අයත් සමග පමණක් නොව මල්ලී තමා සමගත් විශේෂයෙන් අම්මා සමගත් නිතර සණ්ඩුසරුවල් කර ගැනීම සුලභ දෙයක් විය. මේ අතරතුර සවස් වරුවට යහළුවන් සමඟ එකතු වී මත්පැන් පානයට පුරුදු වූ මල්ලීගේ ඇවතුම් පැවතුම් වෙනස් අයුරක් ගත්තේ ය. කෙසේ වෙතත් වෙලාවෙන් වෙලාවට තමාටත් දෙමාපියන්ටත් ඔහු බලවත් සේ ආදරය කළ බව ද සුමනසිරි පවසයි. තමාට වඩා අවුරුදු දෙකක් පමණක් වයසින් අඩු මල්ලී හැමවිටක දී ම ක‍්‍රියාශීලී විය. වැඩි දුර බැලීමක් නැති ව කටයුතු කරන ඔහු එන්න එන්න ම හිතුවක්කාර සහ දඩබ්බරකම් කරන්නට පටන් ගත්තේ ය.

මේ අතරතුර සුමනසිරි මේසන්වරයෙකු ලෙස මැදපෙරදිග රැකියාවකට ගියේ තම පවුලේ ආර්ථිකය යහපත් කරගෙන අම්මාගේ ඉඩමේ හොඳ ගෙයක් දොරක් හදාගෙන සුව පහසු ජීවිතයක් ගත කිරීමේ අරමුණෙනි. අම්මාගේ ඉඩම පර්චස් දහය බැගින් වූ කොටස් දෙකකට වෙන් කරනු ලැබූ අතර පරණ කුඩා ගේ කෑල්ල අයත් කොටස මල්ලීටත් හිස් ඉඩම් කොටස තමාටත් අයත් විය. විදේශ රැකියාවෙන් උපයාගත් මුදල් අම්මාට එවූ සුමනසිරි තමාට අයිති ඉඩම් කොටසේ හොඳ නිවසක් තැනීමට අවශ්‍ය කටයුතු සැලැස්වී ය. අම්මා උනන්දුවෙන් ගෙය සැදීමේ කටයුතු සොයා බැලූවත් වෙහෙස මහන්සි නො බලා මහත් කැපවීමකින් ඒ සඳහා කටයුතු කළේ මල්ලී ය. අවුරුදු දෙකක් අවසානයේ දී නිවාඩුවක් ලබාගෙන ලංකාවට පැමිණි සුමනසිරි අම්මාට මල්ලීට පමණක් නො ව නෑදෑ හිතවතුන්ට තෑගි භෝග ද ගෙනාවේ ය. තමා එවූ මුදල් අපතේ නොයවා අම්මාත්, මල්ලීත් ඉතා හොඳින් ගෙයක් සෑදීම පිළිබඳ ව මහත් සතුටට පත් වූ සුමනසිරි ගමට පැමිණ සිටි කාලය තුළ මල්ලීට ඉතා හොඳින් සැලකී ය. තෑගි බෝගවලට අමතර ව මුදල් හදල් ද නො මඳව මල්ලීට දුන්නේ ය. හවස් යාමයේ අයියාත් මල්ලීත් මත් පැන් පානය කොට සතුටු වූහ. නිවාඩුව අවසාන වී සුමනසිරි නැවත විදේශ ගත විය. කෙසේ වුවත් කල් යත් ම මල්ලී ගෙදර සමගියෙන් පසු නො වන බව ඔහුට ආරංචි වීම නිසා සිත් තැවුලෙන් පසු විය.

මේ අතරතුර මල්ලී යාබද ගමේ පවුලක මනා රූ සපුවකින් හෙබි තරුණියක් කැන්දාගෙන පැමිණ ඔහුට අයත් පර්චස් දහයේ පිහිටි පරණ කුඩා ගෙයි පදිංචි විය. වැඩිහිටියන් එකතු වී ඔහුට ඒ කාන්තාව නීත්‍යනුකූලව විවාහ කරදුන් අතර එම ගෙදර ස්ථිර පදිංචිය කර ගත්තේ ය. ඒ කටයුතුවලටත් ගේ දොර බඩුමුට්ටු ගැනීමටත් සුමනසිරි මල්ලීට ද මුදල් එවුවේ ය. මල්ලීගේ පවුලට ඉක්මනින් ම දරුවන් දෙදෙනෙකු එකතු වූ අතර ඔහුගේ සුපුරුදු දඩබ්බර ගති ගැන සුමනසිරිට ආරංචි විය. මල්ලීගේ බිරිය තම රූ සපුව හොඳින් පවත්වා ගැනීමට මහත් වෙහෙසක් සහ වියදමක් දැරූ අතර තම සැමියාට නොයෙක් කේලාම් බස් ආදිය කීම නිසාදෝ ඔහුගේ ගති පැවතුම් එන්න එන්න ම නරක් වී ඇත. සුළු සුළු දෙයට පවා ඔහු අම්මා සමඟ කලහ කරන්නට විය. මල්ලී අම්මාට හිසරදයක් වන තරමට පත් විය.

සුමනසිරි දිවයිනට පැමිණෙයි
තවත් වසර දෙකක් රැකියාව කළ සුමනසිරි නැවත මව් රටට පැමිණියේ විවාහයක් කරගෙන තැන්පත් වීමේ අදහසිනි. තම මෑණියන්ට මෙන් ම මල්ලීටත්, ඔහුගේ භාර්යාව සහ දරුවන්ටත් තෑගි බෝග ගෙන ආ ඔහු තමාගේ නිවසේ ස්ථිර පදිංචිය ගෙන විවාහයක් කරගැනීමේ බලාපොරොත්තුවෙන් පසු විය. ඔහු මල්ලීගේ දරුවන් දෙදෙනාට ද මහත් සේ ආදරයත් කරුණාවත් දැක්වී ය. තමා ගෙදර පදිංචියට ගත් පසු අම්මාට මල්ලීගේ ඇණුම් බැණුම් වැඩිවීමට පටන් ගෙන තිබුණ ද ඒවා වසන් කිරීමට ඇය වග බලා ගත්තා ය.

මේ අතර තුර දෙමවුපියන් ද සම්බන්ධ වී සුමනසිරිට විවාහයක් කර දුන් අතර ඒ කටයුතුවලට ද මල්ලීගේ සහයෝගය නො මඳ ව ලැබුණි. පර්චස් විස්සෙහි ඉඩමේ පවුල් දෙක වෙන වෙන ම කලක් ජීවත් විය. වෙනස් චරිත දෙකක් වුව ද නෑනාවරුන් අතර කලකෝලාහල නොවූණත් වැඩි කුලූපගුකමක් ද නො වී ය. සුමනසිරිගේ බිරියට ද දූ දරුවන් ලැබුණි. මල්ලී කලින් විවාහ වී කල් වේලා ඇති ව දරුවන් ද ලැබුණු නිසා ඒ දරුවන් පාසල් යන්නට ද විය. සුමනසිරි ඔවුන්ට ද ඉමහත් සේ ආදරය කරුණාව දැක්වී ය. මෙසේ කාලයක් ගෙවෙද්දී මල්ලී බීමත් ව හෝ නැති ව විශේෂයෙන් ම අම්මා සමග නිතර ආරවුල් කර ගත්තත් අම්මා හෝ තම භාර්යාව සුමනසිරිට ඒවා දැනගන්නට තැබුවේ නැත. තමා පදිංචි නිවස පිටුපස කෑමබීම පිසීම සඳහා කුඩා කුස්සියක් කලක සිට තිබුණි. එය ගෙදරටත් ආසන්න ව තිබිණි. මේ පොල් අතු කුස්සියේ හෙවිල්ල දිරා තිබුණු නිසා එහි අලූතෙන් අතු බැඳ දෙන්නයි අම්මා නිතර කියන්නට විය. වැඩකට පිටතට නො යන දිනයක පොල් අතු ටිකක් මිලට ගෙන ආ සුමනසිරි එම කුස්සි මඩුවේ අතු බඳින්නට විය. පොල් අතු පේළි තනි ව ම උඩට බඳින්නට පටන් ගත් ඔහු පැය කිහිපයකින් වැඩය සෑහෙන පමණ අවසන් කරන්නට සමත් විය. තවත් ඇත්තේ අතු පේළි දෙකක් පමණක් බඳින්නට ය. කෝපයෙන් පැමිණි මල්ලී එකවර ම පැමිණ සුමනසිරිට බණින්ට පටන් ගෙන ඇත. ‘‘උඹ මොනව ද කුස්සියේ වහලේ කරන්නේ. බැහැපන් බිමට..” කියා තමාට බැණ වැදුණේ යැයි සුමනසිරි පවසයි. ඔහු වහලයෙන් බිමට බැස ආරවුලක් ඇතිකර නො ගෙන ගෙදරට ගොස් ඇත. මල්ලී ඒ වන විටත් තදින් බීමත් ව සිටි බව පෙණිනි. කුස්සිය තමාට අවහිරයක් ලෙස මල්ලීගේ බිරිය සිතූ බවත්, එය කඩා දමන්නට වුවමනාවක් තිබී ඇති බවත් ඒ නිසා මල්ලීට ගතු කියා ඇති බවත් පසු ව ඔහුට දැනගන්නට ලැබුණි. තත්ත්වය සන්සුන් වූ පසු ව නැවත ඉතිරි පේළි දෙක බැඳ වහල සම්පූර්ණ කිරීමට සිතා සුමනසිරි වහලට නැග ඇත. නැවත කෝපාවිෂ්ඨ වී පැමිණි මල්ලී කෝලාහල කොට වහලේ බැද තිබූ පොල් අතු පේළි කිහිපයක් කඩා ඇද දැමී ය. බණිමින් අපහාස කරමින් කෝලාහල කරන්නට පටන් ගත් මල්ලී එතැනින් නො නැවතී අම්මාට පහර දෙන්නට පටන් ගත්තේ ය. මල්ලී අම්මා වෙත ගැසූ පහරක් නිසා අම්මා මල් පොච්චියක් මත ඇඳ වැටුණි. අම්මාට පහර දීම ඉවසාගත නො හැකි වූ සුමනසිරිට, මාරාවේෂ විය. අවට අත පත ගෑ ඔහුට හසුවූයේ තම මල්ලී ම ගෙනැවිත් සඟවා තිබුණු මොට්ට කඩුවකි. අයියාගේ කඩු පහරින් බෙල්ල කැපී මල්ලී එතැන ම ඇද වැටුණි. දීර්ඝ නඩු විභාගයකින් පසු ව ‘සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්’ කරන ලදැයි තීන්දු කරනු ලැබූ සුමනසිරිට මේ දිගුකාලීන සිර දඬුවම හිමි වී ඇත.

දහමේ හික්මීම ලැබුණා නම්
සුමනසිරිට හෝ මල්ලීට කුඩා කාලයේ සිට ම දහමේ සිසිලසක් දැනුණේ නැත. උපතින් බෞද්ධයන් වූ නිසා මිස පිළිවෙතින් බෞද්ධයන් වීමට ඔවුන් දෙදෙනාට දහමේ මඟ පෙන්වීමක් කුඩා කල සිට නො ලැබිණි. කෙසේ වුවත් තමා කුමන ආකාරයේ වැඩක යෙදී සිටියත් අම්මා පෝයට සිල් සමාදන් කරවීම සදහා අවශ්‍ය දෑ පිළියෙල කර දීම කලක සිට කළ බව සුමනසිරි කියයි. තවත් ඔහු කියා සිටියේ ඉදහිට මත් පැන් ටිකක් පානය කිරීම හැරුණු විට තමන් වෙනත් කිසි ම වැරදි ක‍්‍රියාවක නො යෙදුණු බවයි. දරුවන් ඇතිදැඩි කරන දෙමව්පියන් කවර ආර්ථික මට්ටම්වල සිටියත් තම දරුවන් දහමෙහි පිහිටුවා පවෙන් ඈත් කරවීමත්, කුසලට ළං කරවීමත් අත්‍යන්තයෙන් අවශ්‍ය බව මේ පුවතෙන් ගම්‍ය වේ. තම දෙමව්පියනට දොස් නොපැවරුවත් දරුවන් දහමට නැඹුරු නොකිරීමේ ඔවුන්ගේ එම අඩු ව ගැන සුමනසිරි දුකෙන් කථා කළේ ය. අක්කලා වුවත් ආත්මාර්ථකාමී ව කටයුතු කරන බවත් මල්ලී ජීවිතයෙන් වන්දි ගෙවුවේ කුඩා කල සිට පැවති කුඩුකේඩුකම් නිසා බවත් ඔහු අදහසක් ලෙස පළ කළේ ය. දරුවන් තුළ නිසි අගයන් පෝෂණය කොට සමගිය වඩාලීම දෙමාපියන්ගේ වගකීමක් නො වේ ද?

වේදනාව
සිරබත් කෑමේ නීරස බව අභිබවා සුමනසිරි මැරි මැරී උපදින්නේ තම සහෝදරයා අහිමි වීමේ වේදනාවෙනි. ඔහු සුසුම්ලමින් කියා සිටින්නේ කුඩා කල සිට එකට සෙල්ලම් කරමින්, දුක සැප බෙදා ගනිමින්, එක පැදුරේ නිදියා ගත්, එකට රක්ෂාව කළ තම බාල සහෝදරයා තමා අතින් ම මිය යෑම ගැන ව්‍යවහාරික නීතිය හෝ වෙනයම් විනිශ්චයක් හමුවේ කෙසේ උත්තර බැන්දත් ජීවිත කාලය පුරා ම තමා දුක් විඳින බවයි. මල්ලිගේ බිරිය වැන්දඹුවක් විය. දරු පැටවුන් දෙදෙනාට තමාගේ පියා අහිමි විය. අම්මාට තාත්තාට බාල පුතා අහිමි විය. තමාට ද තම දකුණු අත මෙන් සිටි තම සහෝදරයා අහිමි විය. බන්ධනාගාරය තුළ පොහොයට සිල් සමාදන් වෙමින්, භාවනාවේ යෙදෙමින් නොයෙකුත් සමාජීය කටයුතුවල යෙදෙමින් සිත සකසා ගැනීමට උත්සහ කරන සුමනසිරි අවසානයේ මට කියා සිටියේ මේ කථාව තවත් කෙනෙකු යහමඟට යැවීමට උපකාරී වන්නක් නම් මහත් කැමැත්තකින් ඒ තොරතුරු ලබා දෙන බවත් එමඟින් තමාට ද පින් සිදු වන බවත් ය.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල