ඒ කෙසේ ද යත්…
ඕ සිටියේ සී මැදුරු කවුළුවෙන් ඈත බලාගෙන. මැදුර බොහෝ සෙයින් නිසොල්මන්. සුදොවුන් රජ මාළිගයත් එසේ ම යි. ආනන්ද, නන්ද, රාහුල රජ කුමාරවරුන් නික්ම ගිය මොහොතේවත් නො දැනුණු හිස් බවක් ඇයි මේ දැන් දැනෙන්නෙ…? ඕ සිතන්නට පටන් ගත්තා.

‘සැබැවින් ම මේ ගිහි ගෙය නම් ගිනි ගෙයක් ම යි. මා පුත් රාහුල, මා සොයුරු ආනන්ද, නන්ද හැම දෙනා ම ඒ සම්බුදුරජාණන්ගේ සරණයේ පිහිටියා. ඒ විමුක්තිය සාක්ෂාත් කළා. අනේ..! ඒ සම්බුද්ධ ශාසනය අපට අකැප ද? කසාවත දරා, හිස මුඩු කර, හැම බැඳුම් සිඳලූ හස්තිරාජයන් මෙන් වඩිනා ඒ මුනිවරුන්ගේ විජය භූමිය අපට උරුම නැති ද?’

‘‘දේවියනි, ගෝතමී දේවිය මෙහි සැපත් වෙනවා.”

සේවිකාවගේ හඬින් යශෝධරාවගේ දැහැන බිඳී ගියා. ඕ යුහුසුළුව පෙර ගමන් කළේ ගෝතමී දේවියගෙ පා වන්දනා කොට පිළිගන්න යි. දෙදෙනා ම මන්දිරයට පැමිණ අසුන් ගත්තා.

‘‘මෑණියනි, මේ වෙලාවේ ඔබ පැමිණේ ය කියා මම සිතුවේ නැහැ.”

‘‘ඔව් දියණිය, හුරුපුරුදු වෙලාවක් නම් නො වෙයි තමා. එහෙත් තවත් අප ප‍්‍රමාද විය යුතු නැහැ කියලා මට හිතුණා.”

‘‘කිමෙක් ද මෑණියනි, අප කළ යුතු දේ කිමෙක් ද?”

යශෝධරා සැණෙකින් විමසුවා. ඒ ක්ෂණයට ඇය ගෝතමියගේ සුදුවන් කෙස් කළඹ දුටුවා. යම්කිසි බියකින් සිත ඇළලෙන අයුරකුයි ඇයට දැනුණේ.

‘මෑණියන් වයසට ගොසින්. අහෝ! අප ඉක්මනින් පිළිසරණ සදා ගත යුතු ම යි.’ ඕ කල්පනා කළා.

‘‘දියණිය, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත යමු. ඒ සුන්දර වූ, ප‍්‍රණීත වූ නිවන් රසය වළඳන්නට අපටත් වුවමනා බව කියමු. කෙලෙස් වසඟයෙන් අප මුදවන ඒ සුන්දර බුද්ධ ශාසනය හැර අන් කිසිවක් අපට වුවමනා නැති බව එක හෙළා කියා සිටිමු. මම… මම උන්වහන්සේ ව කිරි පොවා හැදූ මෑණියන්. උන්වහන්සේ අප ව යළිත් නම් ප‍්‍රතික්ෂේප නො කරන බව නිසැකයි දියණිය….”

‘‘එසේ ය, එසේ ය මෑණියනි. උන්වහන්සේ අපට පිහිට වන බව නිසැකයි. මොහොතකට පෙර කවුළුව අසල හිඳ මා කල්පනා කළෙත් එය ම යි. අනිත්‍ය වූ, දුක් සහිත වූ, අනාත්ම වූ මේ සසර ගමනේ තවත් අප පමා වන්නේ කුමට ද? මෑණියනි, මේ බ‍්‍රාහ්මණ සමාජයේ හිඳ දුක් විඳිනා කාන්තාවන්ට සරණ විය හැක්කේ ඒ සම්බුදුරජාණන් වහන්සේට ම පමණයි.”

‘‘දියණිය, මා දැන සිටියා ඔබත් මේ අසරණ ස්ත‍්‍රී ස්වභාවය ගැන කලකිරීමෙන් පසුවන බව.”

‘‘එසේ ය මෑණියනි…”

යශෝධරා ඇය දුටු බමුණු සමාජය ගැන කියන්නට පටන් ගත්තා.

‘‘ඔවුන් කියා සිටින්නේ ස්ත‍්‍රිය උපතින් ම ලාමක, බුද්ධි හීන කෙනෙක් කියලයි. ස්ත‍්‍රී උපත නින්දිතයිලූ. කුඩා කාලයේ පියා යටතේත්, විවාහයෙන් පසු ස්වාමියා යටතේත්, මහලූ වියේ දී පිරිමි දරුවන් යටතේත් ජීවත් වීම හැර ස්වාධීන වීමක් ඇයට අයිති නැතිලූ. ස්වාමියාගේ චිතකයට පැන පති පූජා පැවැත්වීම හැර ඇයට අයත් දෙයක් නැහැ මෑණියනි.”

‘‘එසේ ය දියණිය, මහා අවාසනාවක්. ආගමික සිද්ධස්ථානයකට යෑමටවත් ස්තී‍්‍රන්ට අවසර නැහැ. දැකීම පවා සිහි විකල් කරන දසුනක් බවයි කියන්නේ..”

දෙදෙනා ම මොහොතකට නිහඬ වුණා. දියණියකගේ උපත පරපුරට අසුභ නිමිත්තක් යැයි සලකන, ඒ නිසා උපන් මොහොතේ ම දිවි තොර කරලන හෝ කසල ගොඩකට ඇද දමන බමුණු සමාජයේ කුරිරුකම් ඔවුන්ට මතක් වුණා. වේද, මන්ත‍්‍ර ආදි කිසිවක් ඉගෙන ගන්නට ඔවුන්ට අවසර නැහැ. උපතින් ම පහත් හා දූෂිත යැයි සැලකුණු ස්ත‍්‍රීන් මේ බමුණු මත අතරේ මොන තරම් අසරණ වෙලා ද? දෑඟුලක පමණ නුවණක් ඇතැයි කියමින් ඔවුන් ස්තී‍්‍රන්ට නගන නින්දා…

‘‘දියණිය, සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ම අපට පිහිට වේවි. උන්වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේ වැඩ සිටින තැනකට ගොසින් අපිත් ඒ උතුම් පැවිදි භාවය ම ඉල්ලා සිටිමු.”

‘‘එසේ ය මෑණියනි, බමුණන් වසලවාදයෙන් අමතන නීච කුල පුරුෂයන් පවා ඒ උතුම් අරහත් ධජය දිනා විමුක්ති සුව වළඳනවා. උන්වහන්සේගේ ශාසනයේ සියල්ලන් ම සම තැනකයි තැබෙන්නේ. එසේ තිබිය දී ඒ නිවන් මඟ ගමන් කරන්නට මේ ස්තී‍්‍රත්වය බාධාවක් වන්නේ කෙසේ ද මෑණියනි? අපි වහ වහා යමු. ගොසින් මා පුත් රාහුලයන් ද ලද්දා වූ ඒ උත්තම දායාද අපටත් ඉල්වා ගනිමු මෑණියනි…”

ගෝතමී මඳක් යශෝධරා දෙස බලා සිටියා. සම්බුදු පා කමලින් මේ මන්දිරය පූජනීය වුණ දවසේ සුදොවුන් රජුට උන්වහන්සේ වදාළ දේ ඇයට ආයෙමත් මතක් වුණා.

‘‘පින්වත් මහරජ, ස්වාමියාට දිවි පුදා ඈ පෙම් කළේ මෙකල පමණක් නො වෙයි. ඕ අනන්ත සසරේත් එසේ ම යි.”

සඳ කිඳුරියක ව ඉපිද සිටිය දී පවා බෝසතුන්ට ඈ පෙම් කළ තරම්….

‘‘කිම ද මෑණියනි, කිමෙක් ද කල්පනාව?”

‘‘නැහැ… නැහැ දියණිය, උන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටින්නට අප තරම් උරුමකම් ඇති අන් ස්ත‍්‍රීන් නම් නැහැ. අප උපන් ශාක්‍ය වංශයේ සිළුමිණ වූ උන්වහන්සේගෙන්, සියලූ ස්ත‍්‍රී වර්ගයා වෙනුවෙන් අප එය ඉල්ලා සිටිය යුතු ම යි යශෝධරා…”

‘‘එසේ ය මෑණියනි, අසරණ යැයි කියන එ් සියලූ ස්ත‍්‍රීන්ගේ ඒකාන්ත පිළිසරණ පිණිස, ඒකාන්ත විමුක්තිය පිණිස අපි එය ඉල්ලා සිටිමු.”

ගෝතමියගේත්, යශෝධරාවගේත් තීරණය ඇසූ ශාක්‍ය වංශික කුලංගනාවෝ සුදොවුන් මැදුර පුරා රැස් වුණා. ඒ බොහොමයකගේ ස්වාමිවරුන් ද යොවුන් පුතුන් ද අරහත් ධජයේ උරුමකරුවන් බවට පත් වී අවසන්. ඒ ශ‍්‍රමණ ශ‍්‍රාවකයන් ගත් මඟ ගැනීමටයි ඔවුනුත් නො ඉවසිල්ලෙන් බලා සිටියේ. එනිසා විමුක්තිය සොයා ඉගිල යන්නට ඔවුන් රොක් වුණේ ඉමහත් කැමැත්තෙන්. කනේරුකා නම් හස්ති රාජිනියන් හිමවතේ සුගන්ධිකා පොකුණෙහි වැද, ලා නෙළුම් දඬු පාගා සුණු විසුණු කරන ලෙසට ම සියලූ ආශා රැහැන් බිඳ හෙළන අටියෙන් ඔවුන් සිනිඳු පටපිලී අතහැර කහවත් දරා ගත්තා.

සියලූ අබරණ ගලවා දැමුවා. අභිනීල කේශ කලාපයන් කපා දැමුවා. මිණි නූපුර ගලවා දමා පා යුග සුන්දර කළ, සුවඳවත් කළ ලාක්ෂා සෝදා දැමුවා. මැටි පාත‍්‍ර අතට අරගෙන ඒ පන්සියයක් කුල කතුන් විමුක්ති මඟට පිවිසුණා.

සිනිඳු මල් පෙති වන් වූ දෙපා සැඩ සූර්ය තාපයෙන් දැවී ගියා. ස්වර්ණ වර්ණ වූ ඡවි කල්‍යාණය පිළිස්සී ගියා. කිඹුල්වත් පුර සිට සැවැත් නුවරට පා ගමනින් ම පැමිණෙද්දි දුටු දුටුවන් ඒ දෙස විමතියෙන්, සංවේගයෙන් බලා සිටියා. එහෙත් විමුක්ති සුව සදා ගැනීම පිණිස වූ ඒ උතුම් අරමුණ කිසි ලෙසකින්වත් සිඳී ගියේ නෑ.

විල්ලූද අතුල සුව පහසු අශ්ව යානාවල ගමන් කළ, සිනිඳු පිහාටුයෙන් කළ මුදු මොළොක් යහනයන්හි සයනය කළ, රජ බොජුන් වැළඳු ඒ සුරූපිනියන් වහන් පවා නො ලෑ පයින් මේ සා දුරක් ඇවිද පැමිණ ඉමහත් වෙහෙසකට පත් වුණා. ග‍්‍රීෂ්මයේ සැඩ බවින් ඔවුන්ගේ සියුමැලි පා යුග තැලී, පිපිරී ලේ ගලන්නට වුණා. දුහුවිලි වැකුණු ඒ කසාවත් දුඹුරු පැහැයට හැරුණා.

ඒ සා වෙහෙස දරාගෙන සැවතට පැමිණියත් සම්බුදුරජාණන් වහන්සේ එහි වැඩ සිටියේ නැහැ. එවර ඔවුන් රජගහනුවරට පා ගමනින් ම ඇවිද ආවේ සම්බුදු රුව දකින අටියෙන්. එහෙත්… උන්වහන්සේ රජගහනුවර වැඩ සිටියෙත් නෑ. විශාලා මහනුවර කූටාගාර ශාලාවේ උන්වහන්සේ වැඩ වෙසෙන බව ඇසූ ඔවුන් වෙහෙස නො බලා ම විශාලාව බලා පිටත් වුණා.

මේ සා විසල් දුක්ඛ පීඩාවන් විඳ දරාගෙන, විමුක්ති සුවය ම අරමුණු කර ගනිමින් පැමිණි ඔවුන් මඟ කිසිදු තැනෙක හඬා නො වැළපුණත්, සම්බුදු සුවඳ රැඳුණු විශාලාවේ කූටාගාර ශාලාවට සමීප වූ ඇසිල්ලේ ඒ සියලූ දුක්ඛ දෝමනස්සයන් නෙත් ඉවුරු සිඳ බිඳ වාන් දමන්නට වුණා. සම්බුදු පා මුල වැඳ වැටෙමින් ඔවුන් පැවිදි බව ඉල්ලා හඬා වැළපුණා.

එහෙත්… තුන්කල් දක්නා සම්බුදුරජාණන් වහන්සේ යළිත් එය ප‍්‍රතික්ෂේප කොට වදාළා.

‘‘පින්වත් මාතාවෙනි, මෙය නො කළ යුත්තකි. ශ‍්‍රමණ ජීවිතය නිදහස් නමුදු, පිවිතුරු නමුදු, සැනසිලිදායක නමුදු ඉතා ම දුෂ්කර ය. පාරිශුද්ධ බඹසර සුරැකිය යුත්තේ බලවත් අදිටනින් ද නො මඳ කැපවීමෙන් ද යුතු ව යි. පුරුෂයන්ට පවා එය සුරැුකීම පහසු නො වේ. ආපසු ඔබ මැදුරු බලා යෑම මැනවි.”

ඒ ඇසූ ගෝතමීය ක්ලාන්ත ව ගියා. මේ සා දුරක්, මේ සා වෙහෙසක් දරාගෙන අපේක්ෂා කළ ඉලක්කය නො සැපිරෙන අයුරුයි… ඔවුන් කූටාගාර ශාලාවේ ද්වාරය අභියස හිඳ වැළපෙන්නට වුණා.

ආනන්ද තෙරුන් වහන්සේ මේ සියල්ල බලා සිටියා. උන්වහන්සේට ඇති වුණේ මහත් සංවේගයක්. ගෝතමී දේවිය ඇතුළු පිරිස සනසවා සම්බුදුරජාණන් වහන්සේ අභිමුවට වැඩම කළා. ඔවුන් උදෙසා පැවිද්ද ඉල්ලා සිටියා. දෙවරක් ම තථාගතයන් වහන්සේ එය පිළිගත්තේ නැහැ. එවර ආනන්ද තෙරණුවෝ මෙසේ විමසා සිටියා.

‘‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, යම් වීර්යවත්, ගුණවත්, නැණවත් කාන්තාවක් සත්‍යයට දිවි පුදා බඹසර සුරකිමින්, සසුන් පිළිවෙත් පුරයි නම්, ඕ ඒ පරම ශාන්ත විමුක්තිය උදා කරගන්ට අසමත් වන්නී ද?”

‘‘පින්වත් ආනන්ද, එය එසේ නො වේ. යම් කාන්තාවක් අකලංක සිතින් මේ සසුන් බඹසර හැසිරෙන්නී නම් ඒකාන්තයෙන් ම ඕ තොමෝ ඒ සදාතනික අමා නිවන සාක්ෂාත් කරන්නී ය.”

අනඳ තෙරුන් ප‍්‍රීතියෙන් ඉපිළ ගියා. දොහොත් මුදුනේ තබා මෙලෙස ආයාචනා කළා.

‘‘එසේ වී නම් භාග්‍යවතුන් වහන්ස, මේ ගෞතමී ඔබ වහන්සේගේ කිරි මාතාවෝ ය. මව් බිසව් නැති අඩුව නො දැනෙන්නට මව් සෙනෙහස නො අඩුව දුන්නා ය. දැන් ඔබ වහන්සේ තිලොවට ම මෑණියන් වන සේක. ඒ කිරි මව් හට අමාකිරි ලබා දෙන සේක්වා! ඒ කාන්තාවෝ ද මේ පිවිතුරු බඹසර හැසිර මේ දුක් සයුර තරණය කරත්වා!”

අනඳ තෙරුන් කියූ පුවත ඇසූ ඔවුන් ප‍්‍රමුදිත සිතින් නැගී සිටියා. සියලූ වෙහෙස සැණෙකින් දුරු වුණා. දුක් සන්සිඳුණා. ඔවුන් සිරිපා මුල වැඳ වැටුණා. තථාගතයන් වහන්සේ ඔවුන්ගේ පැවිද්ද අනුදැන වදාළා.

‘‘පින්වත් මාතාවෙනි, ඔබලා ඒ තථාගත ශ‍්‍රාවිකා භික්ෂුණීන් වන්නෝ ය. අකලංක සිතින් බඹසර හැසිර, මානස විල අතැර පියඹා යන හංස රාජිනියන් සේ ඔබ ද මේ භව පැවැත්ම නම් මායාකාරී විලෙන් නිදහස් ව, එය අත්හැර අමා නිවන පිරි විමුක්තියේ අහස් තලයට නැඟෙන්න. සියලූ දුක් නසා සුවපත් වන්න.”

උතුම් බිනර පුන් පොහෝ දිනයක මෙසේ විමුක්තියේ අරහත් ධජ දරා උතුම් නිවනින් නිවී සැනසුණ ගෞතම දියණිවරුන් හට අපගේ ශීර්ෂ නමස්කාරය වේවා!!!

ඇසුර : ‘ඒ අමා ගීතය’
පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ