‘සසර’ කියන්නෙ මහා දීර්ඝ ගමනක්. ‘ජීවිතය’ කියන්නෙ ඒ දිගු ගමනෙදි හමුවන හරි පුදුමාකාර නවාතැනක්…. ආශාවන්, පැතුම්, බලාපොරොත්තු ඔස්සේ තමයි මේ සසර ගොඩනැගෙන්නෙ…. ඒත් ඒ බලාපොරොත්තු සිහිනෙන් ගෑ සුවඳක් සේ වියැකී යමින්, දුකෙන් දුකට ම පත්වෙන විදියටයි මේ සසර ගමන හැඩගැහිලා තියෙන්නෙ.. දෙමාපියන්ට දරුවෙක් ලැබෙද්දි මොන තරම් බලාපොරොත්තු සිත් තුළ ගොඩනැගෙනව ද? ඒත් අවසානයේ දී කරුණු සිදුවෙන්නෙ ඒ බලාපොරොත්තු වුණ විදියට ම නෙවෙයි.. බොහෝ විට ඊට වෙනස් විදියකට..

‘මහාමායා දේවියගේ කුසේ පුංචි පුත් කුමාරයෙක් පිළිසිඳ ගත්තා’ කියන ආරංචිය දැනගත්ත දවසෙ මහාමායා දේවිය තරමට ම, සමහර විට ඊටත් වඩා සතුටු වුණ කෙනෙක් හිටියා. ඒ තමයි සුද්ධෝදන රජතුමා. ඒ මොහොතෙ එතුමන්ගේ සිතේ පැතුම් දහසක් දැල්වෙන්න ඇති.., අනාගත සිහසුනට උරුමකරුවෙක්…, මුළු ලෝකයට ම එක ම අග රජ වන සක්විති රජෙක්…..!

ඒ පැතුම් වෙනුවෙන් සුද්ධෝදන රජතුමා මොනතරම් දේවල් කළා ද? වසරෙ ඒ ඒ සෘතුවලට ගැළපෙන විදියට රම්‍ය, සුරම්‍ය, සුභ කියලා මාලිගා තුනක් කෙරෙව්වා. ජීවිතේ ගැන කලකිරෙන කිසිම දෙයක් සිදුහත් කුමාරයගේ හදවතට නො දැනෙන විදියට වසර ගණනාවක් මුළු කපිලවස්තු රාජධානිය ම හසුරුවා ගන්නවා කියන්නෙ සුළු පටු දෙයක් නෙවෙයි. ඒත් සුදොවුන් රජතුමා ඒ කැපකිරීම කළා. ඒ තමයි පිය සෙනෙහස.

බිම්බිසාර රජතුමා දන්නවා උපදින්නත් ඉස්සෙල්ල ම මේ උපදින පුතා තමයි අනාගතේ තමන්ව නසන්නෙ කියලා. ඒ නිසානේ ‘අජාත සත්ත’ කියන නම පවා වැටුණෙ. ඒත් එතුමාගේ පිය සෙනෙහස බිඳුවක්වත් අඩු වුණේ නැහැ. අපි හැමෝ ම දන්නවා කුඩා කාලේ ඇඟිල්ලක විසර ගෙඩියක් හැදිලා ඒ පුතා හඬද්දි සැරව ගෙඩිය මුව තුළ හොවාගෙන දරුවාට සහනය සලසන්න බිම්සර රජතුමා කටයුතු කළා. ඒ තමයි පිය සෙනෙහස.

සිදුහත් කුමාරයා ගැන දහසක් පැතුම් හිතේ දරාගෙන හිටියත්, සසරෙ පාරමී දම් පුරාගෙන ආව සිදුහත් කුමාරයගෙ ජීවිතය පෙළ ගැහිල තිබුණෙ වෙනස් විදියකට. එතුමා ගිහි ගෙය හැර ගියාට පස්සෙ සුදොවුන් රජතුමා හිත හදා ගත්තෙ පුංචි රාහුල කුමාරයා දිහා බලාගෙන.

ඒත් සක්විති රජ පදවිය අතහැර ගිය සිදුහත් කුමාරයා සම්බුදු රජ පදවිය ලබාගෙන ආපසු වැඩිය වේලාවෙ යසෝධරා දේවිය හරි ම ලස්සනට නරසීහ ගාථාවලින් කියලා දුන්නා, ‘‘අර වඩින නර ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ තමයි නුඹේ පියාණන්” කියලා.. ඈත වීදියේ සරා සඳක් සේ බැබළි බැබළී වැඩම කරන බුදු පියාණන්ගේ සුරතේ එල්ලූන පුංචි රාහුල කුමාරයා කිව්වෙ මොකක් ද? ”සුඛාතේ සමන ඡායා”… කියලා. ‘‘ස්වාමීනි ඔබේ සෙවනැල්ල පවා මට හරිම සුවදායකයි” කියලා.. ඒ තමයි පිය සෙනෙහස දරුවෙකුට දැනෙන විදිය.

එදා රාහුල කුමාරයත් ගිහින් පැවිදි වුණ වෙලාවෙ සුදොවුන් රජතුමාගේ මුළු ලෝකය ම කඩාගෙන වැටුණා. හැම පැතුමක් ම සුන් වුණා. බුදුරජාණන් වහන්සේ සොයාගෙන දිව්වා. ඒත් ඒ වෙනකොට රාහුල කුමාරයත් පැවිදි වෙලා. ඒ වෙලාවෙ බුදු සිරිපා ළඟ වැඳ වැටුණ සුදොවුන් රජතුමා මෙහෙම කිව්වා. ‘‘ස්වාමීනි, දරු සෙනෙහස මව්පියන්ගේ සම සිඳී.., මස සිඳී.., නහරවැල් සිඳී…, ඇට සිඳී..,. ඇට මිදුළුවල හැපී පවතී. ඒ නිසා ස්වාමීනි මින් පසුව නම් දෙමව්පියන්ගෙන් අවසර නො ගෙන දරුවන් පැවිදි නො කරන සේක්වා” කියලා ඉල්ලා සිටියා. සකල ලෝ සතුන් කෙරෙහි අපමණ දයාවෙන් වැඩසිටි බුදු පියාණන් වහන්සේ ඒ ඉල්ලීම ඉවසා වදාළා. විනය ශික්ෂා පදයක් පනවා වදාළා. ඒ තමයි බුදු පියාණන් වහන්සේ පවා පිය සෙනෙහසට ඉඩ දුන් විදිය.

දරු සෙනෙහස කියන්නෙ හරි පුදුමාකාර දෙයක්.. දෙමව්පියො හැම තිස්සෙ ම හදන්නෙ තමන්ගේ දරුවෝ තමන්ට වඩා ඉදිරියෙන් තියන්න. ඒ හින්දනේ මහා බ‍්‍රහ්මයා තුළ පවතින මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන බ‍්‍රහ්ම විහාර හතර ම දෙමව්පියන්ට තම දරුවන් කෙරෙහි පවතින බව තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ. ඒ වාගෙ ම දෙමව්පියන්ගෙ එක ම වස්තුව දරුවෝ (පුත්තා වත්ථු මනුස්සානං) කියලයි උන්වහන්සේ වදාළේ.

අමෙරිකාවෙ ටෙක්සාස්හි වෙසෙන ඉරාම් ලියොන් කියන්නෙ ශූරතා ගණනාවකට හිමිකම් ප‍්‍රසිද්ධ මැරතන් ධාවන ශූරයෙක්. වයස අවුරුදු 32 ක් වුණ ඔහුට අභියෝගයක් වෙන්න පුළුවන් කෙනෙක් මුළු ටෙක්සාස් ජනපදයේ ම හිටියෙ නෑ. ඔහුට හිටියා පුංචි දියණියක්. ඇයගෙ නම කියානා… ඇයට යන්තම් වයස අවුරුදු 6 ක් විතරයි. ඇය ඉපදුණ දවසේ ධාවන ශූර ඉරාම්ගේ හිතෙත් බලාපොරොත්තු ගොඩක් දැල්වෙන්නට ඇති. අනාගතේ ඇයත් එක්ක පුහුණු මංතීරු දිගේ දිවයන්න, ඇයවත් පියාගෙ අඩිපාරෙ යන ධාවන ශූරියක් කරන්න, අනාගත ඔලිම්පික් පදක්කමක් ඇය දිනාගන්නවා දකින්න. මේ වගේ මොනතරම් පැතුම් මාලිගා ගොඩ නැගෙන්නට ඇද්ද…? ඇය දවසින් දවස ලොකු වෙද්දි ඔහුගෙ අනාගත සිහින බලාපොරොත්තු තව තව වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ.

ඒත් අවාසනාවකට වාගේ ‘මේ ජීවිතේ කියන්නෙ තණ අග පිණි බිඳුවක් වාගේ අවිනිශ්චිත දෙයක් ය’ කියන සදහම් පණිවිඩය ලබන්න තරම් ඉරාම් වාසනාවන්ත වෙලා හිටියෙ නෑ.

වයස 32 දී ම එක්තරා දවසක ඔහුගෙ සිහින බලාපොරොත්තු මාලිගා සියල්ල ම දෑස ඉදිරියෙදි ම සුනුවිසුණු වෙලා යන පණිවිඩය ඔහුගෙ වෛද්‍යවරුන්ට ඔහුට නො කියා බැරි වුණා…. ඒ තමයි තරුණ ඉරාම්ගෙ මොළයේ පැතිරුණ පිළිකාවක් තිබෙන බව… ඔහුව සුව කළ නො හැකි බව… කෙටි කලකින් ම ඔහුට මරණය උරුම බව….!

ඔබ හිතන්න වයස 32 දී මෙබඳු ආරංචියක් ලැබුණොත් ධර්මයේ හැසිරෙන කෙනෙක් වුණත් යම් පමණකින් ඔබ සලිත වේවි. ඒත් ධර්මයේ පිහිටක් පිළිසරණක් නැති, මුළු ජීවිතය ම පැතුම් මත ගොඩනගන ඉරාම් වගේ කෙනෙකුට මේ ආරංචිය මොන වගේ එකක් වෙන්න ඇති ද..?

ඒත් තමන්ගේ අනාගත සිහින මාලිගා දෑස ඉදිරියේ බිඳ වැටෙද්දි ඉරාම් පුදුම තීරණයකට එනවා.. ඒ මෙහෙමයි.. ‘දුවේ.. මම හිටියා නම් අනාගත ධාවන ශූරියක් වෙන්න ඔයාට ගොඩාක් දේවල් කියල දෙන්න තිබුණා. ඒත් ඒ තරම් කල් මම ජීවත්වෙන්නෙ නෑ. ඔයා මේ ධාවන පථයෙ පදක්කමක් දිනනවා දකින්න මට වාසනාව නෑ. හැබැයි මා තුළ ඉතිරි වෙලා තියෙන ශක්තියෙන් ඔයාව දිනවන්න මට කරන්න පුළුවන් දේ මම කරනවා. ඒ හින්ද දුවේ ඔයාව දෝතින් අරගෙන මම ආයෙමත් මැරතන් තරගය දිනනවා..’

මේක සරල දෙයක් නෙවෙයි. කිලෝ මීටර් 26 ක් දුර පැය තුනකුත් විනාඩි හතක් හා තත්පර 35 ක් වැනි කාලයක් අඛණ්ඩව ධාවනයේ යෙදෙනවා කියන එක. හිසේ පිළිකාවක් තියාගෙන, තම අවුරුදු හයේ පුංචි කියානා දියණියත් අරගෙන…, ලෝකයේ ම අවධානය යොමු වුණ ඒ තරඟය ඔහු දිනනවා. හැබැයි දෙවෙනියා විදියට. ඔහුට තත්පර දශම කීපයකට කලින් පළමුව තරගය නිම කරන්නේ ඔහුගේ 6 හැවිරිදි දියණිය ‘පුංචි කියානා’ පියාගෙ ශක්තියෙන්… මේක තමයි පිය සෙනෙහස!

ඇත්තට ම දරුවන්ට හැ‍ඟෙනවා නම් දෙමාව්පියන් තුළ තමන් ගැන පවතින සෙනෙහස මෙබඳු එකක් ය කියලා ලෝකය මීට වඩා ටිකක් හරි සුන්දර වේවි.

සසර ගමනෙදි අපි මේ වගේ අත්දැකීම් කොයිතරම් නම් ලබන්න ඇද්ද…? ඉරාම් අධිෂ්ඨානයෙන් මැරතන් තරගය දිනුවා තමයි.. පුංචි කියානා ව සංකේතාත්මකව දිනෙව්වා තමයි. හැබැයි ඒ දෙන්නට ම මාරයා ඉදිරියෙදි නම් අත් වෙන්නෙ නිසැක පරාජයක්…!

මුළු තුන්ලෝකයට ම වඩාත් ම වඩාත් ම සෙනෙහස දක්වපු බුදු පියාණන් වහන්සේ ඒ නිසා තමයි ඉරාම්ට විතරක් නෙවෙයි, කියානාට විතරක් නෙවෙයි, මුළු තුන් ලොවට ම මාරයා සමග දුවන දිවීමෙන් දිනන මග පෙන්වා වදාළේ…

අනිත් කිසි ම ජයග‍්‍රහනයක් සැබෑ ජයග‍්‍රහනයක් වෙන්නෙ නැත්තෙ ඒ හැම ජයක් ම මරණය ඉදිරියේ පරාජය වන නිසයි.. ඉතින් අපි හැමෝට ම නො පරදින ජයක් ලබන්න අවස්ථාව උදා වෙන්නෙ බුදු පියාණන් වහන්සේගේ ළයෙහි උපන් දරුවන් වුණ දවසටයි.. මෙවැනි අනුවේදනීය සිදුවීම්වලින් පිරුණු සසර ගමනින් සදහට ම නිදහස ලබන්න ඔබටත් ගෞතම මුණිරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක දරුවන් වීමේ භාග්‍ය උදා වේවා…!

පිය සෙනෙහෙක සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ