1. ඉතා පිරිසිදු වූ ඔක්කාක රාජවංශයෙහි ජන්මලාභය ලද පරම පාරිශුද්ධත්වයට පත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කොට කිසි අඩුවක් නැති නොයෙක් පරිච්ජේදයෙන් යුතු මහාවංශය ඔබට පවසමි.

2. අපගේ පැරණි මුතුන්මිත්තන් විසින් කරන ලද්දේ නමුත් මෙම වංශකථාව කිසි තැනෙක්හි අධික විස්තරයෙන් යුක්තය. තව තැනෙක්හි අධික සංක්ෂේපයෙන් යුක්තය. එමෙන්ම නොයෙක් පුනරුක්ත දොස් ද ඇත.

3. එම දොස් වලින් බැහැර කොට සුවසේ ග‍්‍රහණධාරණය කරගත හැකි ලෙස ප‍්‍රසාද සංවේගය උපදවන මෙම පරම්පරානුයාත මහාවංශය පවසමි.

4. එහිලා ප‍්‍රසාදය උපදවන තන්හි ද, සංවේගය උපදවන තන්හි ද, ප‍්‍රසාදයත් සංවේගයත් ජනනය කරගනිමින් සුදනෙනි, මෙය අසව්!

5. අපගේ මහා වීරිය ඇති සර්වඥයන් වහන්සේ පෙර දීපංකර බුදුරජාණන් වහන්සේ දැක ලෝක සත්වයාගේ දුකින් මුදවනු පිණිස සම්මා සම්බෝධිය පැතූ සේක.

6. එතැන් පටන් එම සම්බුදුරජුන් ද කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද,

7. අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද,

8. සුජාත, පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී, සිද්ධත්ථ, තිස්ස, ඵුස්ස යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද,

9. විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමණ යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද,

10. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද යන සූවිසි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සතුටු කොට උන්වහන්සේලාගෙන් ලබාගන්නා ලද මෙම නියත විවරණ ඇත්තේය.

11. ‘සියලූ පාරමී ධර්මයන් පූරණය කොට උත්තම සම්මාසම්බෝධියට පැමිණෙන මෙතෙමේ ගෞතම බුද්ධ නමින් යුතුව සත්වයන් සසර දුකින් මුදවන්නේය’ යන නියත විවරණය ලද්දේය.

12. ඒ අප මහා මුනිඳාණෝ මගධ දේශයෙහි උරුවෙල් ජනපදයෙහි බෝ රුක් සෙවණෙහිදී වෙසක් පුන් පොහෝ දිනයෙහිදී උතුම් සම්බෝධියට පත් වූ සේක.

13. ඒ සර්වඥයන් වහන්සේ උතුම් අමා නිවන් විමුක්ති සැප විඳිමින් එහි මධුරත්වය මෙනෙහි කරමින් සත් සතියක් පුරාවට වැඩ සිටි සේක.

14. බෝ මැඬින් නික්ම බරණැසට වැඩම කොට උතුම් දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනාව පැවැත්වූ සේක. එහිදීම වස් කාලය ගත කරන සේක් භික්ෂූන් හැට නමක් අරහත්වයෙහිලා හික්මවූ සේක.

15. ඒ භික්ෂූන් වහන්සේලා ධර්ම දේශනාව පිණිස පිටත් කොට යවා ඉක්බිති යහළුවන් වූ භද්දවර්ගීය කුමාරවරුන් තිස් දෙනා ද උතුම් නිවන් මගෙහි හික්මවා

16. උරුවේල කාශ්‍යප ආදී දහසක් ජටිලයන් දමනය කරනු පිණිස ඔවුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් මුහුකුරුවමින් උරුවෙල් ජනපදයෙහි වැඩසිටි සේක.

17. උරුවේල කාශ්‍යප ජටිලයාගේ මහා යාගයක් එළැඹුණු කල්හී ඔහු විසින් සිතන ලද අදහස් දැනගත් අප භාග්‍යවතුන් වහන්සේ එදින එම යාගය සඳහා නොවැඩ,

18. උතුරුකුරු දිවයිනෙහි පිඬුසිඟා වැඩමකළ කෙලෙස් සතුරන් මඬින අප භාග්‍යවතුන් වහන්සේ අනවතප්ත විල් තෙර අසබඩ දන් වළඳා එදින සවස් යාමයෙහි,

19. සම්බුද්ධත්වයෙන් නව වෙනි මාසයෙහි දුරුතු පුන් පොහෝදා අනාගත බුදු සසුන පිහිටුවීම පිණිස ශ‍්‍රී ලංකාද්වීපය පිරිසිදු කරනු වස් ලක්දිවට වැඩම කොට වදාළෝ.

20. ලක්දිව වනාහී ගෞතම බුදු සසුන බබලන ද්වීපය බව දැන වදාළ අප මුනිඳාණන් වහන්සේ ලංකායෙහි පිරී සිටින යකුන් බැහැර කළ යුතු බව දුටු සේක.

21. ඒ ලංකාද්වීපය මැද මහවැලි ගංතෙර පිහිටි තුන් යොදුනක් දික් ඇති එක් යොදුනක් පළල වූ රම්‍ය වූ ප‍්‍රසිද්ධ වූ,

22. මහානාග වනෝද්‍යානය නම් වූ යක්ෂයින්ගේ සංග‍්‍රාම භූමියෙහි ලංකාද්වීපවාසී යක්ෂයින්ගේ මහා යක්ෂ සමාගමක් විය.

23. ඒ මහා යක්ෂ සමාගම පැවති දින සුගතයන් වහන්සේ එතැනට වැඩම කොට ඔවුන්ගේ සිරසට ඉහළින් එම සංග‍්‍රාම භූමිය මධ්‍යයෙහි වැඩසිට,

24. අද මහියංගණ ස්ථූපය පිහිටි තැන අහසෙහි වැඩසිටි සේක් මහා වර්ෂාවක් ද, අන්ධකාරයක් ද මවමින් ඔවුන් හට සංවේගය ඇති කළ සේක.

25. එකල්හි භයට පත් යක්ෂයෝ නිර්භය වූ සර්වඥයන් වහන්සේ දැක බියෙන් සැළෙමින් පැමිණ තමන්හට අභය දානය දෙන ලෙස ඉල්ලා සිටියහ. කුළුණු මෙත් ගුණින් අභය දානය දෙන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

26. ‘එම්බා යකුනි, තොපගේ බියත් දුකත් මම පහකර දෙමි. තෙපි සමඟි සම්පන්නව මා හට මෙහි හිඳින්නට තැනක් දෙන නොදෙන බව පවසව්.’

27. එවිට යක්ෂයෝ ‘නිදුකාණෙනි, තොපට මෙම සියලූ සකලද්වීපයම දෙමි. අප හට අභය දානය දුන මැනැවැ’යි සුගතයන් වහන්සේට පැවසූහ.

28. ඔවුන් හට පැමිණ තිබූ භයත්, ශීතලත්, අන්ධකාරයත්, නැසූ සර්වඥයන් වහන්සේ ඔවුන් විසින් දෙන ලද භූමියෙහි පත්කඩය අතුරා එහි වැඩහිඳ

29. එම පත්කඩය හාත්පසින් ගිනිගෙන දැවෙන ගිනිදැල් පතුරුවාලූහ. එම ගිනිදැල් වලින් හටගත් ග‍්‍රීස්මයෙන් හා භීතියෙන් පෙලෙමින් සිටි ඒ යකුන් මුහුදු වෙරළ තෙක් ගොස් සිටි කල්හි,

30. ලෝකනාථයන් වහන්සේ ඔවුන්ගේ වාසය පිණිස රම්‍ය වූ ගිරි දිවයින මෙහි ළඟා කළ සේක. ඒ යකුන් එම ගිරි දිවයිනට පිවිසි කල්හී එය තිබූ තැනින් තැබූ සේක.

31. ලෝකනාථයන් වහන්සේ පත්කඩය හැකිලූ සේක. එකල්හී දෙවියෝ එහි මුළුදුන්හ. එම දේවසමාගම උදෙසා ශාස්තෘන් වහන්සේ ධර්ම දේශනා කළ සේක.

32. නොයෙක් කෝටි ගණන් දෙව්බඹ පිරිස් හට ධර්මාභිසමය වී. ගණන නොකළ හැකි ඔවුහු තිසරණ සහිත සිල්හි පිහිටියහ.

33. සමන්තකූට පර්වතවාසී මහා සුමන දේවේන්ද්‍ර තෙමේ සෝවාන් ඵලයට පත්ව වැඳ පුදා ගන්නට පූජ්‍ය වස්තුවක් ඉල්ලා සිටියේය.

34. එකල්හී සර්වඥයන් වහන්සේ බුදු සිරස පිරිමැද අති නිර්මල වූ නිල් වන් කේශධාතු මිටක් පමණ වූ රොදක් ශ‍්‍රී හස්තයෙන් ගෙන දුන් සේක.

35. මහා සුමන දෙව්රජ තෙමේ ඒ කේශ ධාතූන් වහන්සේලා රනින් කරන ලද උතුම් කරඬුවකින් ගෙන ශාස්තෘන් වහන්සේ වැඩහුන් තැන අනේක මාණික්‍යරත්නයන් එක්කොට

36. සත් රියන් උස් වූ එක් විසි රියන් වට ඇති ස්ථූපයක් කොට එම කරඬුව එහි තැන්පත් කොට ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් කළ සෑයෙන් වසා වැඳුම් පිදුම් කළේය.

37. සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සරභූ නම් රහත් තෙරුන් වහන්සේ නමක් ඉර්ධිබලයෙන් එම ගිනි ඇවිලෙන චිතකයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ග‍්‍රීවා ධාතුව රැගෙන

38. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ එම ග‍්‍රීවා ධාතුව මෙහි ගෙනවුත් එම මියුගුණු සෑයෙහිම තැන්පත් කොට භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන

39. එම සෑය වසා මේදවර්ණ ගලින් වසා දොළොස් රියනක් උසට සෑය නැංවූ ඒ මහා ඉර්ධිමතුන් වහන්සේ යළි දඹදිව වැඩම කළෝ.

40. දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු උද්ධචූළාභය කුමරු මෙම අසිරිමත් වූ චෛත්‍යරාජයා දැක,

41. එම මියුගුණු සෑය වසා තිස් රියනක් උසට කැරවූයේය. දෙමළ බලය මඬිමින් සිටි දුටුගැමුණු රජතෙමේ එම චෛත්‍යස්ථානයෙහි සිටියේ,

42. එම මියුගුණු සෑය අසූ රියනක් උසට කැරවූයේය. මේ අයුරින් මහියංගණ චෛත්‍යරාජයන් වහන්සේ මැනැවින් පිහිටි සේක.

43. මෙසේ මෙම ශ‍්‍රී ලංකාද්වීපයට වැඩම කොට මනුෂ්‍ය වාසයට යෝග්‍යස්ථානයක් බවට පත් කළ නිරාකූල ප‍්‍රඥාවෙන් හා වීරපරාක‍්‍රමයෙන් අග‍්‍රප‍්‍රාප්ත මහාප‍්‍රාඥ වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙරළා උරුවෙල් දනව්වට වැඩි සේක.

– මහියංගණාගමන කථා නිම වූයේය. –