32 වන පරිච්ඡේදය
තුසිතපුරයට සැපත් වීම
26. (පින් පොත කියවන්නා) “මහරජු විසින් විහාර අනූනවයක් කරවන ලද්දේ ය. එයින් මිරිසවැටි විහාරය පමණක් ම දහනව කෝටියක් වූයේ ය.
27. උතුම් වූ ලෝවාමහාපාය කෝටි තිහක් වැය කොට නිමවන ලද්දේ ය. මහා සෑයේ ඇතුළත කරවන ලද ගණනින් කිව නො හැකි විසි හතරක් වූ දෑ හැර,
28. මහරජාණෙනි, මහා බුද්ධි ඇති ඔබ විසින් කරවන ලද මහා සෑයේ සෙසු කටයුතු කෝටි දහසක් අගනා වී ය.” යැයි කීවේ ය.
29. “කොට්ඨ නම් මලය රට බුළු කෑ සාගතයේ දී මහානර්ඝ වූ මිණි කොඩොල් සඟල විකුණා මුදල් ගෙන
30. පන්සියයක් වූ ඛීණාස්රව මහ තෙරුන් වහන්සේලාට පහන් සිතින් යුතු ව උතුම් වූ ඇඹුල් සහිත තණ සහල් බත් දෙවන ලද්දේ ය.
31. චූළංගණී යුද්ධයේ දී පැරදී පලා යද්දී කාලඝෝෂා කරවා, අහසින් වැඩම කළා වූ
32. ඛීණාස්රව යතිවරයාණන් වහන්සේට තමා අනුභව නො කොට රන් තැටියේ බත් දෙන ලද්දේ ය.” මෙසේ කී කල රජ තෙමේ,
33. “වෙහෙර පෙළහර සතියෙහි ද එසේ ම (ලෝවාමහා) ප්‍රාසාද පූජා සතියෙහි ද මහා සෑ ආරම්භ සතියෙහි ද එසේ ම ධාතු නිධානෝත්සවයෙහි ද
34. සිව්දිගින් වැඩම කළා වූ (භික්ෂු භික්ෂුණී යන) උභය සංඝයා වහන්සේලාට මා විසින් මාහැඟි වූ අවිශේෂ මහදන් පවත්වන ලද්දේ ය.
35. මහා වෙසක් පූජාවන් විසි හතරක් ද කරවන ලද්දේ ය. ලක්දිව සියලු සංඝයා වහන්සේලාට තුන්වරක් තුන්සිවුරු පූජා කරවීමි.
36. තුටු සිත් ඇති මම දින සත සත බැගින් ලක්දිව මේ රජය පස්වරක් ශාසනයට දුන්නෙමි.
37. සත්වරක් fදාළොස් මහා ස්ථානයන්හි පිරිසිදු මැටියෙන්, ගිතෙලින් ම සුගතයාණන් වහන්සේ ව පුද දෙමින් පහන් දහසක් දැල්වීමි.
38. තව ද මම නිරන්තරයෙන් දහ අට තැනක වෙදැදුරන් විසින් නියම කරන ලද ගිලන් බත් හා බෙහෙත් ගිලනුන්ට දුන්නෙමි.
39. හතළිස් හතර තැනක සකස් කරන ලද මී පැණි මුසු බත් ද එපමණ තැන්හි ම තෙල් කැවුම් ද
40. එතෙක් තැන්හි ම ගිතෙලින් බැදි මහදැල් කැවුම් ද එසේ ම බත් සමඟ මම නිතින් දුන්නෙමි.
41. මාසයක් පාසා උපෝසථ දිනයේ දී ලක්දිව අටමහ වෙහෙරෙහි තෙල් ද පහන් ද දුන්නෙමි.
42. ආමිස දානයට වඩා ධර්ම දානය මහත් යැයි අසා ලෝවාමහාපායේ යට මහලේ සංඝයා වහන්සේලා මධ්‍යයේ අසුන් ගත් මම
43. ‘මහා මංගල සූත්‍රය අද සංඝයා වහන්සේලාට දෙසන්නෙමි.’ යි (සිතා) සංඝ ගෞරවය නිසා අස්සවන්නට නො හැකි වීමි.
44. එතැන් පටන් ලක්දිව ඒ ඒ තැන විහාරයන්හි ධර්ම දේශකයන්ට සත්කාර කරවා ධර්ම දේශනා කරවූයෙමි.
45. ධර්ම කථික එක් එක් ස්වාමීන් වහන්සේනමකට ගිතෙල් හා හකුරු නැළිය නැළිය බැගින් ද දුන්නෙමි. දුන් දේවල් අතර අඟල් සතරක් දිග වූ
46. වැල්මී මිට මිට ද වී ය. එසේ ම වස්ත්‍ර සඟලක් ද දුන්නෙමි. මේ කියන ලද ඉසුරුමත් භාවයට පත් ව සිටිය දී දුන් සියලු දාන මෙතරම් මා සිත නො පහදවයි.
47. දිවි නො බලා දුෂ්කරව ම මා විසින් දෙන ලද යම් දානයන් දෙකක් වේ නම් එය ම මා සිත පහදවයි.” (යැයි කීවේ ය.)
48. ඒ ඇසූ අභය ස්ථවිරයන් වහන්සේ රජුගේ චිත්ත ප්‍රසාදය පිණිස ඒ දාන ද්විත්වය ම නොයෙක් ආකාරයෙන් වර්ණනා කරන සේක.
49. “ඒ ස්ථවිරයන් වහන්සේලා පස් දෙනෙකු අතරින් ඇඹුල් සහිත තණ සහල් බත් පිළිගත් මලියදේව මහා ස්ථවිරයන් වහන්සේ සුමනකූට පර්වතයේ
50. නවසියයක් භික්ෂූන් වහන්සේලා ද වැළඳවූ සේක. මහපොළව සොලවාලන ධර්මසුත්ත ස්ථවිරයන් වහන්සේ ඒ පිණ්ඩපාතය
51. කැලණි විහාරයේ පන්සියයක් භික්ෂු සංඝයා සමඟ බෙදාගෙන තමන් වහන්සේ ද වැළඳූ සේක.
52. තලඟුරවාසී ධම්මදින්න ස්ථවිරයන් වහන්සේ පුවඟු දිවයිනේ දස දහසක් භික්ෂූන් වහන්සේලාට බෙදා දී එය වැළඳූ සේක.
53. මංගණවාසී, මහත් ඍද්ධි ඇති ඛුද්දතිස්ස ස්ථවිරයන් වහන්සේ කෛලාශ විහාරයේ සැටදහසක් (සංඝයා වහන්සේලාට) බෙදා දී වැළඳූ සේක.
54. උක්කනුවර විහාරයේ මහාබ්යග්ඝ ස්ථවිරයන් වහන්සේ සත්සියයක් භික්ෂූන් වහන්සේලාට දී උන්වහන්සේ ද වැළඳූ සේක.
55. රන් තැටියේ බත ගත් පුවඟු දිවයින ස්ථවිරයන් වහන්සේ දොළොස් දහසක් භික්ෂූන් වහන්සේලාට දී එය වැළඳූ සේක.”
56. අභය ස්ථවිරයන් වහන්සේ මෙසේ කියා රජුගේ සිත පහන් කරවූ සේක. රජ තෙමේ සිත පහදවාගෙන ඒ ස්ථවිරයන් වහන්සේට මෙසේ සැල කළේ ය.
57. “විසි හතර වසරක් මුළුල්ලේ සංඝයා වහන්සේලාට උපකාරක වූයෙමි. මෙම කය ද සංඝයා වහන්සේලාට උපකාරක වේවා!
58. මහා සෑයට පෙනෙන්නා වූ ස්ථානයේ සංඝයා වහන්සේලාගේ කර්ම මාලකයේ සංඝදාස වූ මාගේ සිරුර ආදාහනය කළ මැනව.” (යි) මෙසේ (කියා සිය)
59. මලණුවන්ට “තිස්ස, ඔබ මහා සෑයේ අවසන් නො වූ සියලු කර්මාන්තය මැනවින් නිම කරන්න.
60. උදය කාලයේ ද සවස් කාලයේ ද මහා සෑයේ මල් පුදන්න. මහා සෑයට (දිනකට) තුන්වරක් පෙරහර කරවන්න.
61. මා විසින් සුගත ශාසනයේ යම් වතක් පිළියෙල කරවන ලද්දේ ද ඒ වත් සියල්ල නොපිරිහෙලා පවත්වන්න.
62. තව ද හැමකල්හි සංඝයා වහන්සේලාගේ කටයුතුවල මරණයෙන් (පමණක්) ප්‍රමාද වන්න.” රජ තෙමේ ඔහුට මෙසේ අනුශාසනා කොට නිහඬ වූයේ ය.
63. ඒ ක්ෂණයේ සංඝයා වහන්සේලා සමූහ සජ්ඣායනා කළ සේක. දෙවියෝ සදෙව් ලොවෙන් යානා හයක් (එහි) පැමිණවූහ.
64. යානාවල සිටියා වූ ඒ දෙවියෝ වෙන් වෙන් ව රජු හට, “මහරජාණෙනි, මනෝරම්‍ය වූ අපගේ දෙව්ලොවට ඔබ ආව මැනව.” (යි කීහ.)
65. ඔවුන්ගේ ඒ වචන ඇසූ රජ තෙමේ “මම යම්තාක් ධර්මය අසයි ද ඒතාක් ඉවසන්න.” යැයි හස්ත සංඥාවෙන් වැළැකුවේ ය.
66. භික්ෂූන් වහන්සේලා රජ තෙමේ සමූහ සජ්ඣායනාව වළක්වන්නේ යැයි සිතා දේශනාව නැවැත්වූහ. රජ තෙමේ ඒ නැවැත්වීමට හේතු විමසුවේ ය.
67. ඒ (සංඝයා වහන්සේලා) “නවත්වන්න යැයි සංඥා කළ නිසා.” යැයි වදාළහ. රජ තෙමේ, “ස්වාමීනි, එය එසේ නො වේ.” යි කියා දෙවියන්ට දැන්වූ බව කීවේ ය.
68. ඒ අසා ඇතැම් ජනයා, ‘මරණ බියෙන් භය වූ මේ (රජ) තෙමේ වැළපෙන්නේ ය.’ යැයි සිතූහ. ඔවුන්ගේ සැකය දුරලනු පිණිස
69. ඒ අභය ස්ථවිරයන් වහන්සේ රජු හට (මෙසේ) වදාරණ සේක. “(මහරජ, ඔබ හට) යානා පමුණුවන ලදැයි කෙසේ දැන්විය හැකි ද?”
70. නුවණැති රජ තෙමේ මල් දම් අහසෙහි දැම්මවී ය. ඒ මල් දම් වෙන් වෙන් ව රිය හිසෙහි රැඳී එල්ලුනේ ය.
71. මහජනයා අහසෙහි එල්ලෙන්නා වූ ඒ (මල් මාලා) දැක සැක දුරු කළහ. රජ තෙමේ ඒ (අභය) ස්ථවිරයන් වහන්සේ ව අමතා
72. “ස්වාමීනි, කවර දෙව්ලොවක් රමණීය වන්නේ ද?” යැයි ඇසී ය. උන්වහන්සේ මෙසේ වදාළහ. “මහරජතුමනි, තුසිතපුරය රමණීය වන්නේ ය. එය සත්පුරුෂයන් විසින් අනුමත ද වන්නේ ය.
73. මහා දයා ඇති මෛත්‍රී බෝසතාණන් වහන්සේ ද බුද්ධත්වය පිණිස කල් බලමින් තුසිතපුර වාසය කරන්නේ ය.”
74. මහා නැණවත් වූ රජ තෙමේ තෙරුන් වහන්සේගේ බස් අසා මහා සෑය දෙස බලමින් ම හුන්නේ දෑස පියා ගත්තේ ය.
75. ඒ ක්ෂණයෙහි ම මෙයින් චුත වී තුසිතපුරයෙන් පමුණුවාලූ රථයේ ඉපිද සිට ගත්තේ ය. දිව්‍ය දේහය ඇත්තේ,
76. කළ පුණ්යකර්මයන්හි ඵල දක්නා ලද්දේ ය. මැනැවින් සැරසුනා වූ තමා මහජනයාට දක්වනු වස්
77. රථයෙහි සිටගෙන ම මහා සෑය තුන්වරක් ප්රදක්ෂිණා කොට සෑය ද සංඝයා වහන්සේලා ද වන්දනා කොට තුසිතපුරයට ගියේ ය.
78. නාටිකාංගණාවෝ එහි පැමිණ යම් තැනක දී (මිය ගිය රජුගේ) ඔටුන්න ගැලවූවෝ ද එහි කළ මේ ශාලාව ‘මකුටමුක්ත ශාලාව’ නම් විය.
79. රජුගේ සිරුර දර සෑයේ තැබූ කල්හි මහජනයා යම් තැනක හඬා වැළපුණෝ ද එහි ශාලාව ‘රාමවර්තී ශාලාව’ නම් විය.
80. යම් සීමා මාලකයක රජුගේ සිරුර දවන ලද්දේ ද ඒ මාලකය ‘රාජ මාලක’ යැයි කියනු ලබන්නේ ය.
81. ‘රාජ’ නාමයට හොබනා වූ ඒ ගාමණී අභය මහරජ තෙමේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වන්නේ ය.
82. රජුගේ පියරජ තෙමේ ඒ බුදුරජාණන් වහන්සේගේ පියාණන් ද (රජුගේ) මව් දේවි තොමෝ ඒ බුදුරජාණන් වහන්සේගේ මෑණියන් ද වන්නේ ය. (රජුගේ) මලණුවන් වූ සද්ධාතිස්ස තෙමේ දුතිය ශ්‍රාවක වන්නේ ය.
83. ඒ (ගාමණී අභය) රජ පුත් සාලියකුමාර තෙමේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා වන්නේ ය.
84. යමෙක් මේ ආකාරයෙන් කුසල් ම උතුම් යැයි සිතාගෙන පුණ්‍යකර්මයන් කරයි නම් ඒ තෙමේ බොහෝ අන්‍ය පාපයන් වසා ස්වකීය ගෘහයට (යන) අයුරින් දෙව්ලොව යයි. එහෙයින් නුවණැත්තෝ පුණ්යකර්මයන්හි සිත් ඇලුනා වන්නෝ ය.
(හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘තුසිතපුරයට සැපත් වීම’ නම් වූ තිස් දෙවන පරිච්ඡේදය නිම විය.)
Recent Comments