33 පරිච්ඡේදය

රජවරුන් දස දෙනා

01. ගාමණී අභය රජුගේ රාජ්‍යයෙහි ජනයා සතුටු සිතැත්තෝ වූහ. සාලියරාජ කුමරු යැයි ප්‍රසිද්ධ වූ පුතෙකු ඒ රජු හට වී ය.

02. අතිශයින් වාසනාවන්ත වූයේ (ඔහු) සෑම කල්හි ම පින්කම්හි ඇලුනේ ය. ඔහු ඉතා සොඳුරු රූ ඇති චණ්ඩාල සත්‍රියක් කෙරෙහි ද ඇලුනේ ය.

03. පෙර අත් භවයේ සම්බන්ධ වූ ඒ අශෝකමාලා දේවිය රූපත් නිසාවෙන් (ඇය ව) ප්‍රිය කරන්නේ (හේ) රාජ්‍යය නො පැතී ය.

04. එනිසා ගාමණී අභය රජුගේ මලණුවන් වූ සද්ධාතිස්ස කුමරු ඔහුගේ ඇවෑමෙන් අභිෂේක කරන ලද්දේ අවුරුදු දහ අටක් රාජ්‍යය කර වී ය.

05. සැදැහැති හෙයින් ම කරන ලද සද්ධාතිස්ස යැයි නම් ඇති හෙතෙමේ මහා සෑයේ සැත් කම් ද හුණු පිරියම් කිරීම් ද ඇත් පවුර ද කර වී ය.

06. ලෝවාමහාපාය ගිනිගෙන දැවුනෙන් නැවත සත්මහල් කොට ලෝවාමහාපාය මනා කොට කරවන ලද්දේ ය.

07. එකල්හී ඒ පහය අනූ ලක්ෂයක් අගනේ වී ය. (ඒ රජ තෙමේ) දක්ෂිණගිරි විහාරය ද කල්ලක ලෙණ ද

08. කුළුඹල විහාරය ද එසේ ම පෙතඟවැලි විහාරය ද වෙළඟවැටිය, දුහුල්වෑතිස්ස විහාරය

09. දුරතිස්ස වැව, එසේ ම මාතු විහාරය දීඝවාපිය දක්වා යොදුනෙන් යොදුන විහාර ද කර වී ය.

10. දීඝවාපි විහාරය ද සෑයක් සහිත ව කරවන ලද්දේ ය. නොයෙක් නොයෙක් මැණික්වලින් කරවන ලද කංචුකයක් ඒ සෑය වසා කර වී ය.

11. රිය සකක් පමණ ඇති මනෝරම්‍ය රන් මල් කරවා එහි සන්ධියක් සන්ධියක් පාසා ඇමිණවී ය.

12. (ඒ රජ තෙමේ) සුවාසූදහසක් වූ ධර්මස්කන්ධය නමින් සුවාසූදහසක් පූජාවන් ද කර වී ය.

13. මෙසේ නොයෙක් අයුරින් පින් කළ ඒ රජ තෙමේ කය බිඳී යාමෙන් පසු තුසිත දෙවියන් අතර උපන්නේ ය.

14. සද්ධාතිස්ස මහ රජු දීඝවාපියේ වාසය කරන කල්හි ලජ්ජතිස්ස නම් වැඩිමහල් පුතු ගිරිකුම්බිල නම් වූ

15. රම්‍ය විහාරය කරවන ලද්දේ ය. ඔහුගේ බාල පුතු වූ ථුල්ලත්ථන තෙමේ කන්දර විහාරය කරවූයේ ය.

16. ථුල්ලත්ථන කුමරු සහෝදරයා වූ ගාමණී අභය රජු වෙත එන පියාණන් සමඟ ම ස්වකීය විහාරය සංඝයාට පරිභෝජනය කරවීම පිණිස ආවේ ය.

17. සද්ධාතිස්ස මහ රජු මරණයට පත් වූ කල සියලු ඇමතිවරු ථූපාරාමයේ රැස් වී සියලු භික්ෂු සංඝයා රැස් කරවා

18. රට රකිනු පිණිස ථුල්ලත්ථන කුමර තෙමේ සංඝයාගේ අනුමැතියෙන් අභිෂේක කරවන ලද්දේ ය. එය ඇසූ ලජ්ජතිස්ස තෙමේ

19. මෙහි (අනුරාධපුරයට) පැමිණ ඔහු අල්ලාගෙන තමන් රාජ්‍යය කර වී ය. ථුල්ලත්ථන රජ තෙමේ එක් මස් එක් දිනයක් (රාජ්‍යය කළේ) ය.

20. ලජ්ජතිස්ස රජ තෙමේ තුන් අවුරුද්දක් ම සංඝයා කෙරෙහි ගෞරව නැති ව, “වැඩිමහලු පිළිවෙළ නො දන්නෝ ය.” යැයි ඒ සංඝයා වහන්සේලාට පරිභව කළේ ය.

21. පසුව රජ තෙමේ සංඝයා කමා කරවා දඬුවම් පිණිස (කහවණු) තුන් ලක්ෂයක් දී මහා සෑයේ

22. සෙල්මුවා මල් ආසන තුනක් කර වී ය. (ඒ රජ තෙමේ කහවණු) ලක්ෂයකින්, අතරමැදක පිහිටි

23. ථූපාරාමය ද මහා සෑය ද (යා වුණ) භූමිය සම කොට උස් කරවන ලද්දේ ය. උතුම් ථූපාරාම සෑයට සෛලමය කංචුකයක් ද කර වී ය.

24. ථූපාරාමයට නැගෙනහිරින් ගල් දාගැබ ද ලජ්ජක (නම් තමා) නමින් භික්ෂු සංඝයාට ආසන ශාලා ද කරවන ලද්දේ ය.

25. (කහවණු) ලක්ෂයක් දී සෑගිරි වෙහෙර කණ්ඨක චෛත්‍යයේ සෛලමය කංචුකයක් ද කර වී ය.

26. ගිරිකුම්බිල නම් විහාර පූජාවේ සැට දහසක් භික්ෂූන්ට ඒ රජ තෙමේ තුන් සිවුරු දුන්නේ ය.

27. රිටිගල විහාරය, එමෙන් ම කන්දරහීනක විහාරය ද කර වී ය. ග්‍රාමවාසී භික්ෂූන්ට බෙහෙත් ඖෂධ දෙන ලද්දේ ය.

28. කුමක් කැමතිදැයි විචාරා භික්ෂුණීන් වහන්සේලාට කැමති දේ ද සහල් ද දුන්නේ ය. ඒ රජ තෙමේ මෙහි නව අවුරුදු අට මසක් රජකම් කළේ ය.

29. ලජ්ජතිස්ස රජු මරණයට පත් වූ කල්හි ඔහුගේ මලණු වූ ඛල්ලාටනාග නම් රජු සය අවුරුද්දක් ම රජකම් කළේ ය.

30. (මේ රජ තෙමේ) ලෝවාමහාපාය සිසාරා ඉතා මනරම් වූ පහයන් දෙතිසක් ලෝවාමහාපායේ අලංකාරය පිණිස කරවන ලද්දේ ය.

31. මනෝරම්‍ය වූ ස්වර්ණමාලි නම් මහා සෑය හාත්පස වැලි මළු සීමාවේ ප්‍රාකාරයන් ද කර වී ය.

32. ඒ තෙමේ ම කුරුන්දපාසක නම් විහාරය ද කර වී ය. මේ රජ තෙමේ අන්‍ය වූ පින්කම් ද කරන ලද්දේ ය.

33. මහා රත්තක නම් වූ සෙනෙවි තෙමේ ඛල්ලානාග රජු ව නුවර දී ම අල්ලා ගත්තේ ය.

34. ඒ රජුගේ මලණුවන් වූ වට්ඨගාමණී අභය නම් කුමරු ඒ දුෂ්ට සෙන්පතියා නසා රජය කර වී ය.

35. (ඒ රජ තෙමේ) ස්වකීය සොහොයුරු වූ ඛල්ලාටනාග රජුගේ පත් වූ මහාචූල නම් කුමරු පුත්‍ර තනතුරේ තබන ලද්දේ ය.

36. ඒ කුමරුගේ මෑණියන් වූ අනුලා දේවිය බිසොව කොට ගත්තේ ය. මේ කුමරුට පිය තනතුරේ හුන් නිසා (වැසියෝ) පියරජු යැයි වහරන ලද්දෝ ය.

37. මෙසේ අභිෂේක කරවන ලද ඔහුගේ රාජ්‍යයේ පස්වන මාසයේ දී රුහුණේ නකුල නගරයේ එක් බමුණු චේටකයෙක්

38. තිස්ස නම් බමුණෙකුගේ වචන අසා අනුවණ වූයේ දාමරික වූයේ ය. ඔහුට මහත් පිරිවර ද වී ය.

39. සේනා සහිත දමිළයන් සත් දෙනෙක් මහා තිත්ථයට ගොඩ බසින ලද්දෝ ය. එකල තිස්ස බමුණාත්, ඒ දමිළයන් සත් දෙනාත්

40. ඡත්‍රය පිණිස රජු වෙත ලියුම් එවූහ. නීති දත් රජ තෙමේ තිස්ස බ්‍රාහ්මණයා හට ලියුමක් යැවී ය.

41. “දැන් ම රජය ඔබගේ ය. ඔබ ගොස් දමිළයන් (අල්ලා) ගනුව.” හෙතෙමේ “මැනවි” යි කියා දමිළයන් හා යුද කළේ ය.

42. ඉක්බිති ඒ දමිළයෝ කොළඹෑළ සමීපයේ දී රජු හා යුද කළෝ ය. යුද්ධයේ දී රජ තෙමේ පැරදුනේ ය.

43. (හෙතෙමේ) රියට නැගී තීර්ථකයන්ගේ ආරාම දොරටුවෙන් පළා යන්නේ ය. ඒ තීර්ථක ආරාමය පණ්ඩුකාභය රජ දවස කරවන ලද්දේ රජුන් විසි එක් දෙනෙකුගේ දවස තිබෙන ලද්දේ විය.

44. පළා යන ඔහු දැක ගිරි නම් වූ නිගණ්ඨ තෙමේ “මහා කළු සිංහලයා පළා යන්නේ ය.” කියා මහත් හඬ නැංවී ය.

45. එය ඇසූ මහ රජ තෙමේ ‘මගේ සිතෙහි කැමැත්ත මුදුන්පත් වූ කල්හි මෙහි පැමිණ වෙහෙරක් කරවන්නෙමි.’ යි සිතන ලද්දේ ය.

46. ගර්භිණී වූ අනුලා දේවිය ආරක්ෂා කළ යුතු යැයි (තමන් හා යාමට) භාර ගත්තේ ය. එසේ ම රැකිය යුතු යැයි කියා මහාචූල, මහානාග කුමරුන් දෙදෙනා ද ගත්තේ ය.

47. රථයේ සැහැල්ලුව පිණිස චූඩාමාණික්‍යයක් දී රජ තෙමේ සෝමා දේවිය ඇයගේ අනුමැතිය පිට (රථයෙන්) බැස්සවී ය.

48. යුද්ධය පිණිස ගමනේ දී ම පරාජය ගැන සංකා ඇත්තේ පුතුන් දෙදෙනා ද දේවිය ද ගෙන්වාගෙන නික්මුණේ ය.

49. බුදුරජාණන් වහන්සේ (දන්) වැළඳූ ඒ පාත්‍රය ගෙන්වා ගන්නට අසමත් වූයේ පළා ගොස් වෙස්සගිරිය විහාරබද වනයේ ඔහු සැඟවුණේ ය.

50. එහි දී කුත්ථිකකුල තිස්ස මහා ස්ථවිරයන් වහන්සේ ඒ රජු දැක ඇල්ලිය නො හැකි පිණ්ඩපාත දානය හැර ආහාර දුන්නේ ය.

51. ඉන් පසු පහන් සිත් ඇති රජ තෙමේ වැටකේපතක ලියා ඒ විහාරයට සංඝභෝගය දුන්නේ ය.

52. එයින් ගොස් ගල්හෙබකඩ විසුවේ ය. එයින් ද පළා ගොස් සල්ගල සමීපයේ මාතුවෙළඟෙහි විසී ය.

53. එහි දී රජ තෙමේ පෙර දුටු (කුත්ථිකකුල තිස්ස) ස්ථවිරයන් වහන්සේ උපස්ථායක වූ තනසීව හට රජු ව තරයේ භාර කළේ ය.

54. ඒ රජු එරට නායක වූ තනසීව සමීපයේ ඔහු විසින් උපස්ථාන කරන ලද්දේ දහතුන් අවුරුද්දක් (එහි) විසී ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ රජවරුන් දස දෙනා නම් වූ තිස් තුන්වන පරිච්ඡේදයේ කොටසකි.)