පින්වතුනේ, පින්වත් දරුවනේ,
බුදුරජාණන් වහන්සේගේ කාලයේ වයසක බමුණෙක් හිටියා. එයාට පුතෙක් හිටියා. එ් පුතා මැරුණා. ඉතින් මෙයා හැමදාම එ් සොහොනට ගිහිල්ලා කොණ්ඩෙ කඩාගෙන, කබ කඳුළු පෙරාගෙන අඬනවා. දවසක් මෙයාට බුදුරජාණන් වහන්සේව මුණගැහුණා.
‘‘ආ… බමුණ, මොකද මේ අඬන්නේ?”
‘‘අනේ ස්වාමීනී, මගේ එක ම පුතා මැරුණා. මම පුතාගේ සොහොන ළඟ ඉඳලයි එන්නේ…”
‘‘පුතාට බොහොම ආදරෙයි වගේ…”
‘‘අනේ ස්වාමීනී, මට හරිම ප‍්‍රියයි…”
‘‘බමුණ, ප‍්‍රිය දේවල් නිසා තමයි දුක උපදින්නේ”
එතකොට සාවධානව සවන් දෙන කෙනෙක් නම් කියන්නේ ‘‘ස්වාමීනී, මට එ්ක අර්ථ වශයෙන් තෝරලා දෙන්න” කියලනේ. මේ මෝඩයා එ්ක කිව්වේ නැහැ. අන්න බලන්න, එහෙම නම් එයාට සාවධානව සවන් දෙන්න හැකියාවක් තිබුණේ නෑ. එයා කියනවා,
‘‘මොන පිස්සු ද, ප‍්‍රිය දේවල්වලින් කොහොම ද දුක උපදින්නේ?”
මෙයා දැන් අඬ අඬානේ ඉන්නේ. එ්ත් සාවධානව අහන්න හැකියාවක් නැති නිසා ප‍්‍රිය දේවල් නිසයි අඬන්නේ කියන එක බුදු මුවින් අහලත් තේරුම් ගන්න බැරි වුණා.
‘‘ප‍්‍රිය දේවල්වලින් සතුටක්, ප‍්‍රීතියක් ම යි උපදින්නේ…” කියලා එයා බුදුරජාණන් වහන්සේටත් ගස්සගෙන යන්න ගියා.
අන්න බලන්න, බුදුරජාණන් වහන්සේනමක් මුණගැහුණා. ඇස් දෙකෙන් දැක්කා. බණ පදයකුත් ඇසුවා. නමුත් සාවධානව සවන් දීමේ හැකියාව නැති අවාසනාවන්තයෙක් වුණා. ඊට පස්සේ ඔහු එතැනින් කඩපිළට ගියා. කඩපිළේ බූරුවා ගහමින් කොල්ලෝ ටිකක් ඉන්නවා. මෙයා එ් කොල්ලන්ට කියනවා,
‘‘මං අද ශ‍්‍රමණ ගෞතමයන්ට හොඳවයින් දෙකක් කිව්වා.”
මෙයා දැන් මේ යන්නේ බුදුරජාණන් වහන්සේගේ අදහසට එකඟ නො වී, මහා ජයග‍්‍රහණයක් කළා කියලයි. අන්න දැක්ක ද මෝඩයන්ගේ තරම.
‘‘ඇයි මොකක්ද වුණේ…?”
‘‘මේ ශ‍්‍රමණ ගෞතමයන් සෙල්ලම් කතා කියනවා.”
‘‘මොකක්ද?”
‘‘ශ‍්‍රමණ ගෞතමයන් ප‍්‍රිය වූ දේවල් නිසා දුක උපදිනවා කියලා කියන්නේ.”
‘‘ඉතින් තමුසේ මොකද කිව්වේ..?”
‘‘මං කිව්වා ප‍්‍රිය වූ දේවල් නිසා උපදින්නේ සතුටක් ම යි කියලා.”
බූරුවා ගහපු කොල්ලෝ ටික අත්පුඩි ගහලා එ් කතාව හරියට ම හරි කියලා කිව්වා.
එතකොට බලන්න, එ් පුද්ගලයාට සවන් දීමේ හැකියාවක් තිබුණා නම් එයා ධර්මය දකිනවා. එහෙම නම් සවන් දීමේ හැකියාව තමන් ළඟ තියෙන්න ඕන. සවන් දීමේ හැකියාව තියෙන කෙනා එ්ක තමන්ට ගළපා බලන්න ඕන. අර මනුස්සයාට සවන් දෙන්න බැරිවුණේ එයා එකපාරට ම කලබල වුණා. එ් මතය ප‍්‍රතික්‍ෂේප කළා. එ්කයි එ්ක අහුවුණේ නැත්තේ.
අපි මේ සසරේ ඇවිල්ලා තියෙන දුර සුළුපටු දුරක් නෙවෙයි. මේ දුර නවත්වන දර්ශනය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. දර්ශනය කියන්නේ අවබෝධයට. එ් අවබෝධය අපි ඇතිකර ගන්න ඕන.

මේ දහම් කරුණු ඔබ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

මහාමේඝ 2015 බක් කලාපය
WWW.MAHAMEGHA.LK