පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේගේ කාලයේ ගත්තත් ආර්ය සත්‍යය අවබෝධ කරන්න ගියා කියලා එපමණකින්ම දුක් කරදරවලින් නිදහස් වුණේ නෑ. නොයෙක් කරදරවලට භාජනය වුණා. නොයෙක් නැති ප‍්‍රශ්නවලට පැටලූණා. ඒ කියන්නේ නොකළ වැරදිවලට අහුවුණා. නොකළ දේවල්වලට නින්දා අපහාස වින්ඳා. කායික දුක් ලැබුණා. නොයෙක් පීඩා ලැබුණා. හිංසා ලැබුණා. ඒ කියන්නේ කාටත් පොදුවේ ලැබෙන දේවල් තියෙවානේ. ජාති, කුල, ආගම්, භේදයකින් තොරව ලැබෙන පොදු දේවල් තමයි (ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච – නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං) ලාභ – අලාභ, අයස – යස, නින්දා – ප‍්‍රශංසා, සැප – දුක. ඒවා ලෝක ධර්මයන්. ඒක ලෝකයේ කාටත් පොදුවේ ලැබෙන එකක්. ඒ පොදුවේ ලැබෙන දේ තමයි කාටත් ලැබෙන්නේ. එතකොට එයා හිත ධෛර්ය කරගෙන ඉන්නවා. මොකද, ‘මේක දුකයි…’ කියලා එයා දන්න නිසා. ‘දුක හටගන්නේ මෙහෙමයි…’ කියලා දන්න නිසා. ‘දුක්ඛනිරෝධය මෙහෙමයි…’ කියලා දන්න නිසා. ‘දුක්ඛනිරෝධගාමිනී පටිපදාව මෙහෙමයි…’ කියලා දන්න නිසා.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, ‘‘එබඳු ආකාරයකට මුහුණ දීලා ඉන්න කෙනා අන්‍ය ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් කෙරෙහි, අන් අයගේ මුහුණු කටවල් බල බලා යන්නේ නෑ. ‘අනේ මෙයාට නම් අවබෝධයක් ඇති… මෙයාට නම් අවබෝධයක් ඇති…’ කියලා බාහිර ලෝකයේ එක එක්කෙනාගේ මුහුණු බල බලා යන්නේ නෑ. මොකද තමන්ට මේ ගැන වැටහීමක් තියෙන නිසා. ඒ නිසා මහණෙනි, මේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්න වීර්යය කරන්න” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න පින්වත්නි, මේ කාරණය ගැන අපි කොච්චර දත යුතුද කියලා?

ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා,

‘මහණෙනි, අපි වඩිමු ‘පටිභාණ’ කියන පර්වතය ළඟට.” එහෙම කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් සමඟ පටිභාණ පර්වතය ළඟට යද්දී භයානක ප‍්‍රපාතයක් තිබුණා. ප‍්‍රපාතය කියන්නේ හෙළක්. භයානක දරුණු හෙළක් තිබුණා. පොඩ්ඩක් ලිස්සුවොත් වැටෙන හෙලක්. ඒක බලලා භික්ෂූන් වහන්සේ නමක් කියනවා,

‘‘අනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේක හරි භයානක හෙලක් නේ.”

‘‘පින්වත් භික්ෂුව, ඔයිට වඩා භයානක හෙලවල් තියෙනවා.”

‘‘ස්වාමීනී, මීටත් වඩා භයානක හෙලවල් තියෙනවාද..?”

‘‘ඔව් භික්ෂුව, මීටත් වඩා භයානක හෙලක් තියෙනවා. භික්ෂුව, යම්කිසි කෙනෙක් දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරලා නැද්ද, දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරලා නැද්ද, දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරලා නැද්ද, දුක්ඛනිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය අවබෝධ කරලා නැද්ද, ඒ කෙනා නැවත නැවත ඉපදීමට හේතුවෙන සංස්කාරවලට ඇලී වාසය කරනවා. නැවත නැවත ජරාවට පත්වෙන්න හේතුවෙන සංස්කාරවලට ඇලී වාසය කරනවා. නැවත නැවත මරණයට පත්වෙන්න හේතුවෙන සංස්කාරවලට ඇලී වාසය කරනවා. නැවත නැවත ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම්වලට උපකාර වෙන සංස්කාරවලට ඇලී වාසය කරනවා. එසේ ඇලී වාසය කිරීම නිසා එයා නැවත නැවත උපදින්න හේතුවෙන සංස්කාර රැස් කරනවා. නැවත නැවත දිරන්න හේතුවෙන සංස්කාර රැස් කරනවා. නැවත නැවත මැරෙන්න හේතුවෙන සංස්කාර රැස් කරනවා. නැවත නැවත දුක් දොම්නස් විඳින්න හේතුවෙන සංස්කාර රැස් කරනවා. එසේ රැස් කරලා ඉපදීම නැමැති භයානක ප‍්‍රපාතයට වැටෙනවා.”

එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ඉපදීම භයානක ප‍්‍රපාතයකට වැටෙනවා වගේ කියලයි. එහෙම නම් අපි ඉපදීම නැමැති ප‍්‍රපාතයට වැටෙනවා. ජරාව නැමැති ප‍්‍රපාතයට වැටෙනවා. මරණය නැමැති ප‍්‍රපාතයට වැටෙනවා. ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් නැමැති ප‍්‍රපාතයට වැටෙනවා. කවදාවත් ඒගොල්ලන්ට ඉපදීමෙන් නම් ගැලවෙන්න හම්බවෙන්නේ නෑ. ජරා මරණවලින් ගැලවෙන්න හම්බවෙන්නේ නෑ. ශෝක, වැළපීම්, දුක්, දොම්නස්වලින් ගැලවෙන්න හම්බවෙන්නේ නෑ. දුකින් නම් නිදහස් වෙන්න ලැබෙන්නේ නෑ.

‘‘මහණෙනි, යම් දවසක ශ‍්‍රාවකයා ‘මෙය දුකයි…’ කියලා අවබෝධ කරනවාද, එතකොට එයාට මේ ප‍්‍රපාතවලින් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා. (මෙය දුකයි කියලා අවබෝධ කරන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීමෙන්. ඊළඟට ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන ආයතන හය අවබෝධ කිරීමෙන්) එතකොට මේවා දුකයි කියලා අවබෝධ වෙනවාද, ඉපදෙන්න හේතුවෙන දුක්ඛසමුදය එයාට අවබෝධ වෙනවාද, දුක්ඛනිරෝධය අවබෝධ වෙනවාද, දුක්ඛනිරෝධගාමිනී ප‍්‍රතිපදාව අවබෝධ වෙනවාද, මේ කෙනා ආයෙ ආයෙමත් දුක හැදෙන සංස්කාරයන්ට ඇලූම් කරන්න කැමති නෑ. නැවත නැවත ජරාව කරා යන සංස්කාරයන්ට ඇලූම් කරන්න කැමති නෑ.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!