අහසින් වැටෙන එක දිය බිඳුවක් පවා මුහුදට යා නො දී සුරක්ෂිත කළා වූ පරපුරක සාඩම්බරය දහසක් වැව් බැඳි රටින් කිරි වැදී මාතෘභූමියට රන් අස්වනු ගෙනෙනුයේ දුරාතීතයේ පටන් ම ය. ගොවිකම ජීවිකාව කර ගත් එ් පරපුර කල් යල් බලා ගොවිතැන් කිරීමෙන් රටට බත සැදුවා මෙන් ම ගහ වැල ද සතා සිවුපාවුන් ද සුරක්ෂිත කෙරුවෝ ය.

එ් වනාහී ගොවිතැන උතුම් ම ජීවිකාව කොටගත් පරපුරක සාඩම්බර කතාවයි. එ් වනාහී ගොවිතැන දැහැමි ජීවන වෘත්තියක් කර ගත් පරපුරක අවිහිංසක කතාවයි. ඔවුන් තරම් මිහිකත් මවට ආදරය කළ දරුවන් තවත් නම් සිටියේ නැත. උණු පැන් බිඳකුදු ඔවුන් අතින් පොළොවට මුසු වූයේ නැත. එසේ වූ කල්හි ඔවුන් අතින් වස විෂක් කෙසේ නම් පොළොවට එක් වන්න ද? එය කිසි කලෙක සිදු නො වූයේ ම ය.

එහෙත් අද……

කාෂ්ඨක අව්වේ වියැළී ඉරිතැලී ගොස් තිබෙන්නේ එ් මිහිමඬල පමණක් නො වේ. වස විෂ මුසුවීමෙන් විෂ වී තිබෙන්නේ එ් මිහිමඬල පමණක් නො වේ… රටට බත සැදූ සාඩම්බර ගොවි පරපුර අද වස විෂෙන් ම ආතුර වී ගොසිනි. වකුගඩු රෝගයට ගොදුරු නො වූවෙකු සිටින ගොවි ගම් පියසක් සොයා යන අපත්, කිසිවෙකු නො මළ ගෙයකින් අබ ඇට මිටක් සොයා ගිය කිසාගෝතමියත් අතර වෙනසක් නො වේ. ඇයට මෙන් ම අපට ද සොයා යන දෙය මුණ ගැසෙන්නේ නැත… එ් ගොවිබිම් සිසාරා මාරාන්තික රකුසෙකු සෙයින් වකුගඩු රෝගය සැඟව තිබෙන්නේ ය.

එසේ වූයේ ඇයි?

රජරට ද වෙල්ලස්සේ ද දිගාමඩුල්ලේ ද ආදි වශයෙන් රට පුරා පැතිරගත් ගොවිබිම් අද විෂ කැවී අවසන් ය. එ් වනාහී, යුග යුග ගණනින් ඉපැරණි දැහැමි හෙළ ගොවිතැනට පහර දෙමින් දශක පහකට අධික කාලයක් මුළුල්ලේ හෙළ ගොවිබිම් ආක‍්‍රමණය කළා වූ හරිත විප්ලවයේ කඳුළු කතාවයි.

එ් කඳුළු අතරේ දියව යන්නේ රටට බත සරි කළ අහිංසක මිනිසුන්ගේ ජීවිත වීම කවර නම් සරදමක් ද? පොළොවේ වසන්නා වූ අපා දෙපා සිවුපා බුහුපා සතුන් හට කිසිදු ජීවිත හානියක් සිදු වීම වළක්වන්නට වස විෂක් තබා උණු පැන් බිඳක්වත් බිමට නො හෙළුෑ එ් දැහැමි පරපුරේ ගොවිබිමට වස මුසු කළෝ කවුරුන් ද? පොළොවට ම මුසුව ඉපැයූ, රන්වනින් පීදුන රන් කරලින් තැනූ බතට වස මුසු කළෝ කවුරුන් ද? ගොවිතැන ජීවිකාවක් නොව භාවනාවක් කරගත් ජාතියකට අද සිදුව ඇත්තේ කුමක්ද?

වස මුසු වුණු බත් පතේ කතාව

හෙළ ගොවිබිම්වලට වස විෂ මුසු වූයේ අද ඊයෙක පටන් වුව ද හෙළ ගොවි වංශකතාව ඇරඹෙන්නේ අද ඊයෙක නො වේ. මහාවංශ කතුවරයා පෙන්වා දෙන ආකාරයට නම් ආර්යයන් ලක්දිව ජනාවාස පිහිටුවා ගත් කාලයේ පටන් ම ගොවිතැන මෙබිම දක්නට ලැබී ඇත. ඉතිහාසයේ අරුණෝදයේ දී ම අපට මුණ ගැසෙන පණ්ඩුකාභය රජ දවස පවා වැව් බැඳ කුඹුරු සකසා ගොවිතැන් බත් කළ දිවි පෙවතක් අප සතු විය.

ගොවිතැන ජීවනෝපාය කර ගත් හෙළයන්ට පොළොවට විෂ කවා හෝ අස්වැන්න වැඩි කරගන්නටත්, වස විෂ යොදා සතුන් මරා දමමින් හෝ වැඩි ආදායම් උපදවන්නටත් සිත් පහළ කෙරුණේ යටත් විජිතකරණයේ අග භාගයේ දී ය. එ් තාක් ගොවිතැනේ දී පවත්වාගෙන ආ දැහැමි සංවරය එයින් බිඳ වැටිණි. එසේ දහමින් උපදවා ගත් ජීවිත සංවරය බිඳ වැටීමේ ඛේදනීය ප‍්‍රතිඵල අපට ලැබෙන්නේ කලක පටන් ය. ක‍්‍රමිකව සිදු වූ පාරිසරික විපර්යාසයන් නිසාවෙන් ක‍්‍රමිකව හිස ඔසවා අද වන විට අස්සක් මුල්ලක් නෑර ගොවිබිම් ආක‍්‍රමණය කර තිබෙන මාරාන්තික වකුගඩු රෝගය වනාහී කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයේ සෘජු ඵලයක් බව අපේ විද්වතුන් පෙන්වා දෙන විට එය පිළිගන්නට තරම් බහුතරය නිහතමානී වූයේ ද නැත. එපමණට ම රසායනික ද්‍රව්‍යය භාවිතයත්, කෘෂිකර්මයත් බැඳී ගොසිනි. පෙර කලෙක දහමත්, කෘෂිකර්මයත් බැඳී ගිය අයුරෙන් ම අද රසායනත්, ගොවිතැනත් එක්ව ගොසිනි.

ගොවිතැන උදෙසා පසට මුසු කරන විෂ රසායන ම බත්පතටත්, දිය දෝතටත් මුසු වී අපට පෙරලා ලැබෙන බව දෑ හිතකාමී විද්වත් පිරිස් පෙන්වා දුන්නේ මීට වසර හතරකට පමණ පෙර ය. එවිට ඔවුන් කෙරේ ද ඔවුන්ට උපකාර කළ ශාසන හිතකාමී සම්‍ය දෘෂ්ටික දෙවි දේවතාවුන් කෙරේ ද උපහාස, අපහාස එල්ල කළවුන් අද ලෝක සෞඛ්‍ය සංවිධානය ද එය ම කියන විට නෑසූ කන්ව බලා සිටී. අපට වැරදුන තැන මෙතැන ය. බටහිරින් එන සියල්ල හොඳ යැයි පිළිගන්නට මැලි නො වන අපි අපේ දැනුම කිසි විටෙකත් එක එල්ලේ පිළිගන්නේ නැත. එහි කුරිරු ප‍්‍රතිඵලය වී තිබෙන්නේ වසර කිහිපයකට පෙර පටන් භාවිතයෙන් ඉවත් කළ යුතු යැයි නියෝග පැනවිය හැකිව තිබූ කෘෂි රසායන බොහෝමයක් අද දක්වා ම භාවිතයේ තිබීම ය. අවාසනාව නම් එ් අතරේ ඇති ඇතැම් රසායන එ්වා නිපැදවූ හා භාවිතය අත්‍යවශ්‍ය යැයි තීරණය කෙරූ ඇතැම් රටවල් විසින් ම භාවිතයෙන් ඉවත් කර තිබිය දී පවා අප අදටත් අධික වශයෙන් එ්වා භාවිත කිරීම යි.

පාරම්පරික ව අප ලද කෘෂි විද්‍යා ඥනය තුළ කටයුතු කිරීමට තරම් අප ශක්තිමත් නො වූවා පමණක් නොව දැනුදු අපේ දැනුම නිවැරදි යැයි පිළිගන්නට තරම් අප නිහතමානී වී ද නැත. මේ මාරාන්තික රෝග උවදුර හා කෘෂිරසායනයන්හි ඇති සහසම්බන්ධය තේරුම් ගැනීමට අප තව කොතරම් ජීවිත ප‍්‍රමාණයකින් වන්දි ගෙවිය යුතු ද? ඔවුන්ගේ දහදියෙන් අපේ බත්පත සරි කළ අහිංසක ගොවි රජවරුන් වෙනුවෙන් අපේ හදවත්හි සුදු කොඩි එසැවෙන්නේ කවදා ද? මාරාන්තික වකුගඩු රෝගය විෂ කෘෂි රසායන හරහා අපේ ශරීරයට වින කරන තුරු ම අප නිශ්ශබ්ද ව සිටිය යුතු ද?

කළ හැකි දේත්, කළ යුතු දේත් අද ම කරමු.

මේ මාරාන්තික උවදුර හමුවේ අප නො පැකිලව කටයුතු කළ යුතුව තිබෙන අංශ කිහිපයක් ම ඇත. වර්තමානයේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින ප‍්‍රදේශවල ජනී ජනයා මුහුණ දෙන ප‍්‍රබල ම ගැටලූව නම් පිරිසිදු පානීය ජලය සපයා ගැනීමයි. ජල පෝෂක ප‍්‍රදේශ ද රසායනයන්ගෙන් දූෂිතව ඇති නිසා ප‍්‍රදේශයේ ඇති ජල මූලාශ‍්‍ර ගැන විශ්වාස කළ නො හැකි ය.

එසේ වුව ද ඔවුන් වෙනුවෙන් පිවිතුරු පැන් බිඳක් දන් දෙන්නට මනුෂ්‍යත්වයේ දෑත් එක් කරන්නට අපට බැරිකමක් නැත. පිවිතුරු පැන් බිඳක් ඔවුන් වෙනුවෙන් දන් දී ජීවිතය දන් දෙන්නට මේ අපට කාලයයි….! ‘ශ‍්‍රද්ධා පිවිතුරු පැන් පූජා’ ව්‍යාපෘතිය ඇරඹුණේ ද මේ වෙනුවෙනි. අනුන්ගේ දුකට තෙත් වන නෙත් ඇති කරුණා සිතැත්තනි, මුළු මහත් ජාතියේ සාගිනි නිවූ එ් ගොවි බිම් මනුෂ්‍යත්වයේ සිසිල් දියවරින් සුවපත් කරන්නට ඔබට ද මේ හා රොද බැඳ ගත හැකි ය.

දෑ හිතකාමී මනුෂ්‍යන්ගේ එකමුතුවෙන් රටේ ගොවිබිම් කෘෂි රසායනයන්ගෙන් නිදහස් කරගැනීමට බලමුළු බිහි කිරීම ද කාලීන අවශ්‍යතාවයකි. අස්වැන්නේ ලාභයට වඩා, දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයේ ලාභය අගය කොට සලකන්නවුන් කළ යුත්තේ එයයි. කෘෂි රසායන භාවිතය අතින් ලොව පළමු තැනට පත්වන්නට අපට සිදු විය හැකි ඉදිරි වසර කිහිපය තුළ එය සම්පූර්ණයෙන් ම ආපසු හරවන්නට උපරිම ජවයෙන් අප කටයුතු කළ යුතු ව තිබේ. නො එසේ නම් හෙට දිනයේ වකුගඩු මරණය මට ද ඔබට ද ළං වන බව නිසැක ය.

අනෙක් කාරණය නම් නව නිපැයුම්කරුවන්ගේ කුසලතාවයන් මනා කොට භාවිතයේ යෙදවීමයි. අප සේ ම වකුගඩු උවදුරෙන් බැට කන බංග්ලාදේශයේ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ උපාධිධාරිනියක් විසින් ජල පිරිපහදුව පිණිස අති සාර්ථක ක‍්‍රමවේදයක් සොයාගත් ආකාරය ගැන පසුගිය දා වාර්තා විය. ප‍්‍රංශ විද්‍යාඥයෙකු විසින් කාර්මික අපජලය පිරිපහදු කිරීම පිණිස නිපදවූ ෆිල්ටරයකට දේශීය ව සුලබව මුණ ගැසෙන පොල් ලෙලි හා දහයියා භාවිත කිරීමෙන් ආසනික් මිශ‍්‍රිත ජලය සම්පූර්ණයෙන් ම ආසනික්වලින් වෙන් කර ගැනීමට ඇයට හැකි විය. මෙවැනි ක‍්‍රමවේදයන් අප රටට ද වැඩි වියදමකින් තොරව, පහසුවෙන් හඳුන්වා දිය හැකි ය. එසේත් නැති නම් අපට ස්වාධීනව එවැනි නව නිර්මාණයක් බිහි කරන්නට හැකි ය. වුවමනා වන්නේ මේ ඛේදනීය කතා පුවතට සංවේදී වීමත්, එයට පිළියමක් යෙදීම මනුෂ්‍යත්වයේ වගකීමක් ලෙසින් දැකීමත් පමණි.

එ් ගිලන්ව සිටින්නේ ඔබේ කුසගිනි නිවන්නට බත ඉපදවූ පරපුරයි…. එ් අසරණව සිටින්නේ සාගින්නෙන් ඔබව අසරණ නො කළ පරපුරයි…. ඔවුනගේ දහදියෙන් පණ නැගූ අපේ ලේ නහර සිසාරා මේ පණිවිඩය ගලා යා යුතු ය. ඔවුන් වෙනුවෙන් උපරිමය කරන්නට අපි ලෙයින් බැඳී සිටින්නෙමු. එ් වගකීම් ඉටු කිරීම මීටත් වඩා අත්‍යවශ්‍ය වන කාලයක් යළි එළඹෙන්නේ නැත. මේ වනාහී අපේ ඉදිරිපත් වීම තීරණාත්මක සාධකයක් ව ඇති කාලයයි. එය කළ යුත්තේ හෙට නො වේ, අද ය; අද ම ය….

අප දිනූ ලක් මවත්, සියලූ ලක් දූ පුතුනුත් සුරකිනු වස් මේ මනුෂ්‍යත්වයේ පණිවිඩය දනන් තුඩ තුඩ රැව්දේවා!!!

සටහන
භාරත සූරියබණ්ඩාර