පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක්තරා අවස්ථාවක යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂු, භික්ෂුණී කියන උභතෝ සංඝයාට ම මහා දානයක් පූජා කරනවා. ඊටත් වඩා වටිනවා කියලා දේශනා කළා පන්සිල් රැකීම. එ් පන්සිල් රැකීමටත් වඩා වටිනා දෙයක් තියෙනවා කියලා දේශනා කළා. එ් තමයි ඇස්පිල්ලන් ගහන මොහොතක් හරි, හෙළන මොහොතක් හරි අනිත්‍ය සඤ්ඤාව වැඩීම. එතකොට තේරෙනව ද ජීවිතයකට භාවනා වශයෙන් ඇතිවෙන උපකාරය? අපට පේන්නේ නෑ මේවා කොච්චර අපේ ජීවිතවලට පිහිට වන දේවල් ද කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම දැක්කා එ් මහා දානය දීම සුළු දෙයක් හැටියට. එ් නිසා උන්වහන්සේ ඊට වඩා වටිනා දෙයක් ලෙස දේශනා කළා පන්සිල් රැකීම. ඊටත් වඩා වටින දෙයක් ලෙස දේශනා කළා අනිත්‍ය ස්වභාවය හඳුනාගෙන අනිත්‍ය සඤ්ඤාව වැඞීම.

එහෙනම් අපට පේනවා මානසිකව මොන තරම් දේවල් කරන්න පුළුවන් ද කියලා…? අපේ ජීවිතයේ අපි කාලය ගෙව්වේ මේවාට නෙවෙයිනේ. අපි කාලය ගෙව්වේ බාහිර ලෝකයේ හිස් දේවල්, විසිතුරු දේවල් පස්සේ දුව දුවානේ. එ්වා ඔක්කෝම නිකම් ම නිකන් සිහිනයක් වගේ. ගෙවිල යන සිහිනයකින් දැකපු දෙයක් වගේ අතීතයට ම එක්වෙන දේවල් විතරයි. එ් කිසි දේකින් අපි මානසිකව කිසිම දියුණුවක් කරා යන්නේ නෑ. එ්වා ඔක්කෝම හරියට අපි වාහනේක නැගල පාරේ යද්දී පාර දෙපැත්තේ තියෙන දේවල් අපට පාස්වෙලා යනවා වගේ අතීතයට එකතු වෙලා යනවා. ඔය විනෝද වෙන දේවල් ඔක්කෝම නිකම් ම නිකන් පාස්වෙලා යනවා. එ්වා ඔක්කෝම අතීතයට යනවා. ඊට පස්සේ හීනයක් විතරයි, කාලයක් යනකොට මතක නැතිවෙනවා. නමුත් භාවනා වශයෙන් මානසිකව දියුණු කරන එක එහෙම මතක නැතිව යන්නේ නෑ. එ් මොකද එහෙම මතක නැතිව යන්නේ නැත්තේ? එතැන තියෙනවා සම්මා සති. අතන තියෙන සතිය මොකක්ද? මිච්ඡා සති. මිච්ඡා සතිය මතක තියෙන්නේ නෑ. එ්ක මතක තියෙනවා, වැරදුනොත් මතක හිටිනවා. එ් කර්ම විපාක දෙන්නයි එ් මතක හිටින්නේ. සම්මා සතිය පිහිටනවා සතිපට්ඨානය පුරුදු කරන හිතේ. සම්මා දිට්ඨිය ඇතිවෙනවා. සම්මා සංකල්ප ඇතිවෙනවා. මේවා ඔක්කෝම අපේ හිතේ මුල් බැසගත්තහම එ් ධර්මය අපේ හිතේ පිහිටනවා මිසක් එ්ක අමතක වෙන්නේ නෑ. එ්ක හැම තිස්සේ ම තමා ළඟ තියෙන දෙයක් බවට පත් වෙනවා. මෙන්න මේ කාරණයට දියුණු කරගන්න වුවමනා දෙයක් තමයි, සමාධිය.

සමාධිය දියුණු කරගන්න තියෙන ප‍්‍රධාන ම සුදුසුකම තමයි නිතර නිතර අභ්‍යාසයක යෙදීම. අපි නිතර අභ්‍යාසයක යෙදෙන්නේ නෑ. අපි ඔන්න භාවනා කරනවා පැයක්. සුමානයක් කරනවා. නමුත් අපි හිතන ජාතියේ සමාධියක් නෑ. ඔන්න මග ඇරෙනවා. අන්න එ්කෙන් තමයි එ් දේ සිද්ධ වෙන්නේ. එ්වාගේ මග ඇරෙන්න නො දී අපට ජීවිතේ තියෙන එකම විසඳුම හැටියට සලකලා නිතර නිතර අපේ ජීවිතයට පුරුදු කරන්න ඕන. ඉතා ම වාසිදායක, ඉතා ම උපකාර වන, පිහිට පිණිස පවතින එකක් තමයි සමාධිය ඇතිකර ගැනීම. ඉතින් එ් සමාධිය ඇති කරගැනීමට නම් එ් සමාධියට වුවමනා කරන විදිහට අපි භාවනාව හොඳට පුරුදු කරගන්න ඕන.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා! හැම දෙනාටම තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!