highlights of the week
Home » NEW ARTICLES » පිට්ඨ ධීතලිකා ප්‍රේත වස්තුව

පිට්ඨ ධීතලිකා ප්‍රේත වස්තුව

සුවිශේෂී අවස්ථාවන් මුල් කර ගනිමින් දන් පැන් පූජා කිරීම අපගේ සංස්කෘතියෙහි දක්නට හැකි සුලබ දසුනකි. පුද්ගලයෙකු මිය ගිය අවස්ථාවක දී, ජන්ම දින සැමරීම් වශයෙන්, වෙසක්, පොසොන් ආදී බෞද්ධ උත්සව අවස්ථාවන් මුල් කරගෙන බොහෝ විට දන් පැන් පූජා කරන අයුරු දක්නට හැකියි.

පුද්ගලයෙකු මිය යාමෙන් අනතුරුව හත් දවසේ, තුන් මාසයේ, දානමය පින්කම් බොහෝ විට සෑම බෞද්ධ නිවසක ම සිදුකෙරෙයි. බොහෝ විට මෙම පින්කම් චාරිත්‍රානුකූලව උත්සවයක ස්වභාවයෙන් පැවැත්වෙන අතර නිසි පරිදි දානමය පින්කම සිදුකර මියගිය ඤාතීන්ට පින් අනුමෝදන් කරවීමේ උනන්දුවක් නොමැත. මෑත කාලයේ සිට මෙම ඤාතීන් උදෙසා පැවැත්වෙන පින්කම් මත්පැන් පානයන්ගෙන් යුතු සතුටු සාදයන් බවට පත් වීම නම් ශෝචනීය කරුණකි. භික්ෂූන් වහන්සේ ධර්ම දේශනාව පවත්වන අවස්ථාවේ දී නිවසින් පිටත රැඳී සිටිමින් අල්ලාප සල්ලාපයෙන්, හිස් කථාවෙන් ගත කරන පිරිස් හේතුවෙන් නිසි පරිදි ධර්ම ශ්‍රවණය කිරීමට නිවැසියන් හට නො හැකි වෙයි. බොහෝ විට නිවසින් පිටත එක ම කාලගෝට්ටියකි. ධර්ම ශ්‍රවණයට බාධා කරමින් ඔවුන් අකුසල් රැස්කර ගනිති. මියගිය ඥාතීන් බොහෝ විට අනුමෝදන් වන්නේ තම ඥාතීන් විසින් රැස්කරනු ලබන පින් බලය යි. මෙවන් නොසන්සුන් පරිසරයක දී එම අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී යයි.

දානයක් දීමේ දී පිරිස් එක්රැස් කර ගනිමින් අප නමින් අනන්ත සංසාරයේ මියගිය හිත මිතුරන්, ඤාතීන් උදෙසා ද පින් අනුමෝදන් කළ හැකි නම් එය බොහෝ වටිනා පුණ්‍ය කර්මයකි. පින් අනුමෝදන් වීමට ඔවුනට හැකියාව ලැබුණොත් ඔවුන් දුගති ස්ථානවල රැඳී සිටී නම් එයින් නිදහස් ව සුවපත් භාවය ලැබීමට එය හේතු වාසනාවක් ම වේවි!

දානයක් සත්පුරුෂ දානයක් වීමට සම්පූර්ණ විය යුතු කරුණු පහක් පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ.

1. නිසි පරිදි සකසා දානය පූජා කිරීම
2. ගෞරව සම්ප්‍රයුක්ත ව දානය පූජා කිරීම
3. තම අතින් ම දන් පැන් පූජා කිරීම
4. අහක නො දමන දෙයක් දන් දීම
5. කර්ම – කර්ම ඵල විශ්වාසයෙන් යුක්ත ව දන් දීම
මෙම කරුණු සම්පූර්ණ වීමෙන් දානය සත්පුරුෂ දානයක් වෙයි.

මහා සාරිපුත්ත, මොග්ගල්ලාන ආදී නික්ලේශී රහතන් වහන්සේලා අනුගමනය කරමින් ශාසන ප්‍රතිපදාවේ යෙදෙන මහා සංඝරත්නය උදෙසා මෙම දන් පැන් පිදීම දුර්ලභ භාග්‍යයක් ලෙස සළකා සිත පහදවා ගැනීම දානය මහත්ඵල මහානිශංස වීමට හේතු වාසනා වේ.

ගෘහවාසීව සිට මියගිය සතුන් උදෙසා දන් පැන් පූජා කිරීම් ද ඉතා කලාතුරකින් අප සමාජයේ දක්නට ලැබෙන්නකි. ජීවිත කාලය පුරා ම නිවැසියන් උදෙසා තම ජීවිතයෙන් සේවය කළ ගවයන් ආදී සත්වයන් උදෙසා ද අලි ඇතුන්, සුනඛයන්, පක්ෂීන් ආදී සතුනට පින්පෙත් අනුමෝදන් කීරීම් ද සුලබ වශයෙන් නො වුණත් සානුකම්පී හදවත් ඇති, කළගුණයන් දක්නා මිනිසුන් අතින් සිදුවන අයුරු දක්නට හැකියි.

ජීවයක් සහිත සත්වයන් මිය යාම අරමුණු කර දන් පින් දීම සිදු වූවත් ජීවයක් රහිත වස්තුවක් අරමුණු කර ගනිමින් එවන් ක්‍රියාවන් සිදුවීම අසා නුපුරුදු කරුණක් වන්නට පුළුවන. පිටිවලින් සාදන ලද රූපයක් අරමුණු කර ගනිමින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා මාස දෙකක කාලයක් පුරා දන් පැන් පූජා කළ පුවතක් මෙම පිට්ඨ ධීතලිකා ප්‍රේත වස්තුවෙන් විස්තර වෙයි. එම දානමය පුණ්‍යකර්මයේ ආනිශංසයන් ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ අයුරු මෙම කථාවෙන් විස්තර වෙයි.

දේවාතිදේව වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සමයෙහි අනේපිඬු සිටුතුමාගේ දානයක් අරමුණු කර ගනිමින් මෙම පිට්ඨ ධීතලිකා ප්‍රේත වස්තුව දේශනා කළ සේක.
අනේපිඬු මහ සිටුවරයාගේ මිණිපිරියක් වූ ළදැරියක් හට ඇගේ කිරි මව විසින් පිටියෙන් සාදන ලද රූපයක් දී “මේ නුඹේ දුව ය, මෙය රැගෙන සෙල්ලම් කරන්න.” යි කීවා ය. ඇය පිටිවලින් තැනූ රූපය තමාග් දුව යැයි සිතාගත්තා ය. පිටිවලින් තැනූ දුවත් සමඟින් ඈ සෙල්ලම් කරමින් පසු වූවා ය. පසුව දිනක් ඈ සෙල්ලම් කරමින් සිටින අතර පිටිවලින් තැනූ රූපය බිම වැටී බිඳුනේ ය. එයින් ශෝකයට පත් වූ ඇය “මාගේ දුව මළා ය” යි කියමින් හඬන්නට වූවා ය. නොනවත්වා හඬන ළදැරිය නිවසේ කිසිවෙකුටත් සනසාලීමට නො හැකි විය.

එදින සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුවරයාගේ නිවසෙහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩ සිටි සේක. සිටුවරයා ද බුදුරජාණන් වහන්සේ සමීපයෙහි විය. දරුවා සනසාලිය නො හැකි තැන කිරි මව ඇය රැගෙන සිටාණන් සමීපයට ගියා ය. සිටුතුමා හඬමින් සිටි ළදැරිය දැක ඇය කුමක් නිසා මෙසේ හඬන්නේදැයි විමසා සිටි අතර කිරි මව එපවත් සිටාණන් වෙත දැන්වූවා ය.

සිටුතුමා දරුවා තමා සමීපයට ගෙන “නුඹේ දුව සඳහා දානයක් දෙමු” යි කියා ශාස්තෘන් වහන්සේ හමුවේ මෙසේ පවසා සිටියේ ය.

“ස්වාමීනි, මාගේ මිණිපිරියගේ දියණිය වූ පිට්ඨ ධීතලිකා (පිටිවලින් තැනූ දියණිය) උදෙසා දානයක් දීමට කැමැත්තෙමි. එහෙයින් මගේ ආරාධනය පිළිගෙන හෙට දින පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමඟින් වඩිනු මැනවි.”

භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් ඇරයුම පිළිගත් සේක. පසුදින බුදුරජාණන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමඟින් සිටාණන්ගේ නිවසට වැඩම කොට දන් වළඳා අනුමෝදන් බණ දේශනා කළ සේක.

“මසුරුකම් නොමැති, ලෝභය ආදී සිතේ හටගන්නා කෙලෙස් සහිත තත්ත්වයන් දුරු කරන දනට කැමති පුද්ගලයින් විවිධ අවස්ථාවන් මුල් කර ගනිමින් දන් දෙති. ඔවුහු මිය ගිය තම දෙමාපිය, ඥාති හිත මිත්‍රාදීන්, ගෙවතුවලට අධිගෘහිත දෙවි දේවතාවුන් උදෙසා ද ලෝක පාලක වෛශ්‍රවණ, ධතරට්ඨ, විරූඪ, විරූපාක්‍ෂ යන නම්වලින් යුත් බොහෝ යසස් ඇති සතරවරම් දෙව්රජවරුන් උදෙසා ද දන් දෙන්නෝ ය.

එම සතරවරම් දෙව් මහ රජවරුන් සහ අනෙකුත් ප්‍රේත කොට්ඨාස උදෙසා දෙන පින් දීම් කිසිවක් නිෂ්ඵල වන්නේ නැත. දන් දෙන්නාට දානයේ විපාක හිමිව පවතියි. යම් කෙනෙක් තම මියගිය ඥාතීන් සිහිපත් කර නිතර හඬත් ද ශෝකයෙන් පසුවෙයි ද විලාප නගමින් සිටියි ද එය නිෂ්ඵල ක්‍රියාවකි. එයින් තමා ම දුක් වනු මිස ප්‍රේතයන් හට කිසිදු ප්‍රයෝජනයක් නොමැති ය. එම නිසා කඳුළු සැලීම ද සිත් තැවුලින් සිටීම ද නො කළ යුතු ය. හැඬීම, ශෝකයෙන් සිටීම, විලාප කීම යන සියලු දේ මිය ගිය පුද්ගලයා හට කිසිවිටෙකත් උපහාරයක් පිණිස නො පවතියි.

ආර්ය මහා සංඝරත්නය උදෙසා පූජාකර ගත් මෙම දානය ඉතා හොඳින් පිහිටියි. ප්‍රේතයන් හට මේ දාන විපාකය බොහෝ කාලයක් හිත සුව පිණිස ම මේ මොහොත තුළ දී ම ලැබෙන බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

යම් අවස්ථාවක දී ප්‍රේතයන් උදෙසා දෙන ලද දානය ඔවුන් අනුමෝදන් වන්නේ ද එම මොහොතේ ම ප්‍රේත දුකින් නිදහස් වෙති.” මෙසේ මහජනයා මළගියවුන් උදෙසා දන් දීමේ සිත් අලවා භාග්‍යවතුන් වහන්සේ අසුනෙන් ඉවත්ව වැඩි සේක.

දෙවන දිනයෙහි පටන් සිටුතුමාගේ භාර්යාව හා සෙසු නෑදෑ පිරිස සිටුතුමා අනුගමනය කරමින් මාසයක් පමණ කාලයක් මහ දන් පැවැත්වූහ. එම කාලයේ දී පසේනදී කොසොල් රජතුමා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මාසයක පමණ කාලයක් භික්ෂූන් වහන්සේලා මාගේ නිවසට නො වැඩියේ කුමක් නිසා ද?” යි විමසී ය. ශාස්තෘන් වහන්සේ එයට හේතුව වදාළ සේක. කොසොල් රජතුමා ද එම පුවත අසා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා මහා දන් පැවැත්වී ය. මෙසේ මාස දෙකක කාලයක් පිටි රුව මුල් කොටගෙන බොහෝ දෙනා මහ දන් පැවැත්වූහ.

හර්ෂ නිලංක පෙරේරා
ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය

One comment

  1. sadu sadu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

පිරිහෙන ලොවක නොපිරිහෙන සැබෑ ශ්‍රාවකයෝ

"තාක්ෂණයේ දියුණුවත් සමඟින් මුළු ලෝකය ම එක ම විශ්ව ගම්මානයක් ලෙස කටයුතු කරන යුගයක රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාලය වැනි විවිධ මාධ්‍ය ඔස්සේ දිවා රාත්‍රී ධර්ම ප්‍රචාරය වුව ද ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකාවන් සිටිය ද සැබැවින් ම යථාර්ථය අවබෝධ කර ගැනීමට උත්සාහ දරන්නේ ඉතාමත් අල්ප වූ පිරිසකි. "