highlights of the week
Home » NEW ARTICLES » තිස්ස සන්නාලියාගේ දිව්‍ය විමානය

තිස්ස සන්නාලියාගේ දිව්‍ය විමානය

අතීතයේ ලංකාවේ අනුරාධපුරයේ ඇඳුම් මැසීමෙන් ජීවිකාව කර ගත් සන්නාලියෙක් හිටියා. මෙයාට කවුරුත් කථා කළේ තිස්ස යන නමින්. මේ සන්නාලියා ගොඩාක් ශ්‍රද්ධාවන්ත කෙනෙක් වගේ ම තෙරුවන් සරණේ පිහිටා නිත්‍ය සීලය වශයෙන් කඩ නො කොට පන්සිල් රකින කෙනෙක්. ඉතින් මේ සන්නාලියා බොහෝම කෘතගුණ දන්න සත්පුරුෂයෙක්. තම ශරීරය පවා කොටස් දෙකකට වෙන්කරගෙනයි සිටියේ… අඩක් මට – අඩක් මගේ මවුපියන්ට… ඒ කියන්නේ ශ්‍රමයෙන් උපයන දෙයින් අඩක් මවුපියන් පෝෂණය කිරීමටයි… ඒ වාගේ ම මෙතුමා මෙහෙම හිතාගෙනයි ඇඳුම් මැසීමේ කටයුත්ත කළේ…

‘උදේ පටන් මධ්‍යාහ්නය දක්වා මා උපයන යමක් ඇත්නම් ඒ සියල්ල භික්ෂු සංඝයා සඳහායි… දහවල සිට සවස් වන තුරු ලැබෙන දේ පමණයි මටත්, මවුපියන් පෝෂණයටත්.’

ඉතින් මේ සන්නාලියා දිනපතා ම දන් දීමට නම් අමතක කළේ නෑ… සමහර වෙලාවට සියනම ඉක්මවා දන් දෙනවා, සිවුරු ආදියත් දන් දෙනවා.

දවසක් මේ තිස්සගේ දෙමව්පියෝ ඔහුට කිව්වා විවාහයක් කරලා දෙන්නම් කියලා. එතකොට තිස්සගේ වැඩ කටයුතු බොහෝ පහසු වෙන බවත් කිව්වා. බිරිඳගේ උපකාරය ලැබෙන නිසා. එතකොට තිස්ස මෙහෙම පිළිතුරු දුන්නා.

“බිරිඳක් කියන්නේ ධාර්මික ව ජීවත් වෙන කෙනෙකුට කරදරයක්. මගේ සිත දන් දීමේත්, සිල් රැකීමේත් ඇලිලා තියෙන්නේ. මට විවාහයක් කර ගන්න කැමැත්තක් නැහැ.

ස්ත්‍රියක් කියන්නේ හුලක් වගේ, ඇලෙන ලාටුවක් වගේ, ශරීරයේ රිදුම් දෙන ගෙඩියක් වගේ… නුවණැති කෙනා මේ අන්තරායකර වූ කාන්තාවන්ගෙන් ඈත් වෙනවා, දුරු කරනවා. ස්ත්‍රීන් මිනිසුන් ව මෝඩයින් බවට පත් කරනවා. ඔවුන් නිසා ඉගෙන ගත්ත දේ නැති වෙනවා… සීලය නැසෙනවා… ලැජ්ජා බය නැති වෙනවා. ධර්මයේ පිහිටන්න බැරි වෙනවා. ධ්‍යාන ලැබ අහසින් ගමන් කළ උත්තමයන් පවා ස්ත්‍රිය නිසා ඒ සියල්ල නැති කරගෙන තිබෙනවා.”

තිස්ස තවත් කරුණු දෙමව්පියන්ට පහදා දුන්නා මේ ආකාරයෙන්…

“කාමයන්හි ආදීනව දකින කෙනා ජීවත් වෙන්න කැමැත්තෙන් දරුණු විෂක් දුරු කරනවා වගේ කාමයන්ගෙන් වෙන් වෙනවා.

ඇඳුම් පැලඳුම්, ආහාර පානවලින් ද ස්ත්‍රිය පහසුවෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඔවුන් ව පෝෂණය කිරීම අසීරුයි… ඉතින් මට බිරිඳක් හිටියොත් දරුවෝ ලැබෙනවා. අඹු දරුවන් නිසා ප්‍රමාද වෙන අයට කුසල් ධර්ම කරන්න වෙලාවක් නැහැ. ඉතින් කුසල ධර්ම අතහැරලා කාම සම්පත් වෙනුවෙන් කාලය වැය කළොත් ඒ මෝඩ තැනැත්තාට පස්සේ පසුතැවෙන්න වෙනවා.”

මේ කරුණු ඇහුවාට පස්සේ තිස්සගේ මව්පියන් මුකුත් කිව්වේ නැහැ. තිස්ස සතුටින් බ්‍රහ්මචාරී ජිවිතයක් ගත කළා. මේ සිල්වත් තිස්සගේ කීර්තිය අනුරාධපුරයේ පැතිර ගියේ මෙහෙමයි…

“අනුරාධපුරයේ තිස්ස ශ්‍රේෂ්ඨ සිල්වතෙක්… ඔහු ශරීරය දෙකට බෙදාගෙන මව්පියන් පුදන කෙනෙක්…”

ඒ කාලයේ රහතන් වහන්සේලා තුසිත දෙව්ලොවට වැඩම කළ විට අනර්ඝ, සුන්දර දිව්‍ය විමාන දෙකක් මැවිලා තියෙනවා දැකලා දෙවියන්ගෙන් විමසුවා මේ කා සඳහා ද කියලා.

දෙවියන් පිළිතුරු දුන්නා මේ විමාන දෙක සද්ධාතිස්ස රජු සඳහාත්, තිස්ස සන්නාලියා සඳහාත් මැවී තියෙන බව. ඒ රහතන් වහන්සේලා අනුරාධපුරයට වැඩම කළ විට මේ කාරණාව මිනිස්සුන්ට කිව්වා. මිනිසුන් රජතුමාට දැන්වූවා මෙහෙම දිව්‍ය විමාන දෙකක් රජතුමාටත්, තිස්ස සන්නාලියාටත් මැවී තියෙනවා කියලා රහතන් වහන්සේලා කියූ බව.

එවිට රජතුමා තිස්ස සන්නාලියා කැඳවලා “ඔබ මෙසේ පින් කරනව ද… සිල් රකිනවා ද?” කියලා විමසුවා.

“එසේ ය දේවයන් වහන්ස…” කියලා තිස්ස පිළිතුරු දුන්නා.

එතකොට රජතුමා පින් කොටසක් තිස්සගෙන් ඉල්ලුවා.

එවිට තිස්ස කිව්වා ඔහු රජතුමාටත්, අනෙක් හැම සත්වයෙක්ටමත් පින් දෙනවා කියලා.

රජතුමා සතුටු වෙලා ඔහුට හැම උපකරණයක් ම තියෙන ගේකුත්, වස්ත්‍ර පනස් හතර දහසකුත්, ගමකුත් දුන්නා රජ මාලිගාව ළඟින් ම. තිස්ස සන්නාලියා මහා ධනවතෙක් වුණා. ඊට පසුව ඉඳලා භික්ෂූන් වහන්සේලාට සිවුරුවලින් අඩු පාඩුවක් වුණේ නෑ. තිස්ස වෙනදාටත් වඩා සිවුපසය පුජා කරලා පින් රැස්කර ගත්තා.

ටිකෙන් ටික තිස්සගේ මරණ කාලය ළං වුණා. ඔහු මරණය ඉදිරියේ සිටිය දී මොනවද කියූ නිසා මිනිස්සු කිව්වේ තිස්ස සන්නාලියා උමතුවෙන් දොඩවනවා කියල යි.

එතකොට මොහු කිව්වා…

“මම උමතුවෙන් දොඩවනවා නෙවෙයි, දේවතාවන් ඇවිල්ලා ඉක්මනට දෙව්ලොවට එන්න කියලා අඬගහනවා… ඒ නිසා මම ඔවුන්ට කිව්වා බණ අසා අවසන් වෙන තුරු ඉන්න කියලා.”

ඔහු කෙරූ පින් අනිත් පිරිසට මෙසේ පෙන්වා දුන්නා.

“මම තාම්‍රපර්ණි දේශයේ කොතරම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා ද ඒ සියලු දෙනා වහන්සේට ම තුන් වරක් සිවුරු පූජා කළා. පහන් දහසක් බැගින් දහස් වරක් දැල්වූවා. ධර්ම දේශනා දහසක් කෙරෙව්වා. මී පැණි, ගිතෙල්, තල තෙල්, පැණි හා බෙහෙත් වර්ග නොයෙක් විට පූජා කළා. මෙතරම් පින් කරපු මම මොකට උමතුවෙන් දොඩවන්න ද?”

ඔහු මිනිසුන්ට මෙසේ ද කිව්වා.

“බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නයන් සම්බන්ධ විවිධ පින්කම් කළා. විවිධාකාර පින්කම් බොහොමයක් කරලා සතුටින් සැනසීමෙන් ඉන්න මට කිසිම බයක් තැතිගැනීමක් නැහැ.”

මෙසේ ඔහු සිංහනාද කළා.

දිව්‍ය ලෝකවලින් ඔහු ව කැඳවාගෙන යන්න පැමිණි දිව්‍ය රථ ඔහු ඉදිරියේ ඔහු එනතුරු සිටියා. පින්වත් තිස්ස තෝරා ගත්තේ රහතුන් වසන නගරයක් වැනි වූ, නිතර ධර්ම කථා පැවැත්වෙන තුසිත දෙව්ලොවයි. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේත් වැඩ සිටින නිසා බොහෝ පින් රැස් කළ තිස්ස සන්නාලියා තුසිත දෙව්ලොවෙන් පැමිණි දිව්‍ය රථයේ නැගලා අහසින් පිටත් වුණා.

මේ ආකාරයෙන් යම් කෙනෙක් අකුසල් දුරු කරලා හැම මොහොතේ ම කුසල් කරනවා නම් මෙලොව ද අප්‍රමාණ සැප ලබා මරණින් මතු සුගති සැප ලබා ගත හැකි බව අපිට පෙනෙනවා. ඉතින්, දානයෙහි යෙදෙමින්, සීලය වඩමින් දහම් දැනුම දියුණුකර ගන්නා සත්පුරුෂයාට දෙලොව ම සතුටින් සැනසීමෙන් ජිවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ සීහලවත්ථු කථාවත් ආදර්ශයට අරගෙන අපේ ජිවිත සුවපත් කර ගනිමු.

ශාරදා වික්‍රමනායක

Leave a Reply

Your email address will not be published.

x

Check Also

අරහං ය මගේ බුදු – පියාණන් වහන්සේ

සුගත වූ බුදුරජුන් ලොවේ නිකෙලෙස් උතුමෙකි, උන්වහන්සේ ව රාගයෙන් බැඳ දැමිය නො හැකි ය