සල්ලි බාගෙ නැති උදවියට හිතෙනවා, ‘අතමිට සරු වුණා නම් මීට වඩා නිදහසේ, සන්තෝෂයෙන් ඉන්නට තිබුණා නෙව’ කියලා… පුදුමේ කියන්නේ, මිල මුදල් යහමින් තියෙන – දේපළ වස්තුව ඉඩකඩම් යාන වාහන පිරිවරාගෙන මහේශාක්‍ය ජීවිත ගෙවන අයටත් හිතෙනවා, ‘මේ ජීවිතේ කිසි නිදහසක්, සන්තෝෂයක් නෑ නෙව’ කියලා…

නැති අයට නම් තිබුණා නම් හොඳයි කියලා හිතෙන එක පුදුමයක් නො වුණට ඇති අයට ඒ ඇති දේවලිනුත් බලාපොරොත්තු වුණ නිදහස, සන්තෝෂය ලැබෙන්නේ නෑ කියන එක නම් ටිකක් පුදුම හිතෙන කථාවක්. නමුත්, ඇත්තටම එහෙම වෙනවා.

බොහෝ කාලයකට පෙර දඹදිව සිටු මැදුරක උපන්නා පුතෙක්. ඒ පුතා ලොකු මහත් වෙද්දි සිටුතුමාත්, සිටු දේවියත් තමන් සතු වුණු සියලු සැප සම්පත්වලින් මේ සිටු කුමාරයාට බොහෝ ම සැපවත් ජීවිතයක් ගත කරන්න ඉඩ සලසා දුන්නා. උණුසුම් කාලයට උණුසුමින් පීඩා නොවිඳීම පිණිස විශේෂ ආකාරයකට නිර්මාණය කළ අති සුන්දර මාලිගාවක් ඔහු වෙනුවෙන් වෙන් කෙරුණා. සීත කාලයට සීතලෙන් පීඩා නොවිඳීම පිණිස වෙනස් ම ආකාරයකට නිර්මාණය කළ තවත් මාලිගයක් ඔහු වෙනුවෙන් වෙන් වුණා. සෞම්‍ය කාලයේ දී සුවපහසුවෙන් ජීවත් වන්නට තවත් මනරම් මාලිගයක් ඔහු වෙනුවෙන් ම ඉදි වී තිබුණා. දැසි දැස්සන් ආවතේව පිණිස මේ සිටු කුමාරයාට පිරිවර ලෙස සැදී පැහැදී සිටියා. ඒත්… ඔහුටත් දවසක සිතුණා, ‘කිසි සැනසීමක් නෑ නෙව… කිසි පහසුවක් නෑ නෙව… හරී පීඩාවයි නෙව…’ කියලා…

සැප සම්පත් පිරුණු සිටු මාලිගය ඔහුට එපා වුණා. මහ රාත්‍රියේ තනිව ම බැස්සා සිටු මැදුරෙන් එළියට. හිස හැරුණු දිශාවට ගමන් කළා. ඒ දවසේ… ඒ මොහොතෙ… මේ සිටු කුමාරයාට ඉදි වී තිබුණු ආකාරයට ම සීත, උණුසුම්, සෞම්‍ය කාලවල දී වෙන් වෙන් ව වාසය පිණිස මනෝරම්‍ය මාලිගා තුනක් උරුම වී තිබුණ, රජකම් කරන්නට රාජධානියක් උරුම වී තිබුණ, ඒ රාජධානියෙන් නොනැවතී නිසැකව ම බොහෝ දැහැමි ව සිව්දිශා පාලනය සක්විති රජෙකු බවට පත් වෙනවා කියා අනාවැකි පළ කෙරී තිබුණ, එහෙත් ඒ සියල්ල අත්හැර දමා නිදහස සොයා ගිය රාජ කුමාරයෙක් ස්වකීය අභිප්‍රාය මස්තකප්‍රාප්ත කරවාගෙන මේ සිටු කුමරු පැමිණෙන මාවතේ ම ගසක් යට වාඩි වී සිටියා…

ඔබ මේ පුවත අසා තිබෙනවා. එදා සිටු සම්පත්වල කිසි සැනසීමක් – කිසි පහසුවක් නැහැ කියා, ජීවිතයේ තිබෙන්නේ මහා පීඩාවක් ය කියා සිත සිතා, එය ම නො දැනී ම වාගේ වචනයට නගා කියමින් යස කුල පුත්‍රයා මාර්ගයේ ඇවිදගෙන යද්දී රාජ සම්පත්තියෙන් නිදහස් වුණු, දේව බ්‍රහ්ම මිනිස් සම්පත්තීන්ගෙන් ද නිදහස් වුණු උතුම් වූ නිවන් සැපය සුවසේ වළඳමින් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ රුක් මුලක වැඩ සිටියා. “මේ ජීවිතේ මහා පීඩාවක් නෙව, මේ ජීවිතේ මහා වෙහෙසක් නෙව.” කිය කියා ඇවිදගෙන ආ යස කුල පුතුට “මේ ජීවිතේ නම් කිසි ම පීඩාවක් නැහැ. මේ ජීවිතේ නම් කිසි ම වෙහෙසක් නැහැ.” කියන සොඳුරු භාෂිතය සවනට වැකුණා. හඬ නැගුනු දෙසට ඔහු නෙත් යොමු කළා. අභිරූපී ශ්‍රමණයෙක් තේජස්වී විලාසයෙන් රුක් මුලක වැඩ සිටිනවා. යස කුල පුතුගේ ගමනත්, කියවිල්ලත්, සිතුවිල්ලත් නතර වුණා…

සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුනු ඔහු පීඩාවක් නැති – වෙහෙසක් නැති ඒ ජීවිතයට මුල් වූ කරුණු දැන ගැනීමේ අභිලාෂය පෙරදැරි ව බලා සිටියා. සෑසි මුනි සිහනදින් අමෘතය සවනට ස්පර්ශ වද්දී ඔහුගේ සිත සතර අපා දුකින් නිදහස් වුණා. ඒ විතරක් නෙවෙයි, ඔහුට යළි සිටු මැදුරට යන්න සිතක් පහළ වූයේත් නැහැ. දැන් සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සිටින්නේ සෝවාන් මග ඵලලාභී ශ්‍රාවකයෙක්…

යස කුල පුතුගේ සිටු මාලිගයේ උදෑසන මහා කලබලයක්. සියලු සැප සම්පත් පිරිවරා ශ්‍රී විභූතියෙන් වෙලී ගත් සිටු පුත්‍රයා මැදුරේ කොතැනකවත් නැහැ. පිය සිටුතුමා පුතුගේ පා ලකුණු ඔස්සේ ඉදිරියට ගමන් කළා. රුක් සෙවණක වැඩ සිටි අභිරූපී ශ්‍රමණයාණන් වහන්සේ ඉදිරියේ නතර වුණු ඔහු තරුණ පුතෙකු දුටුවා ද කියන පැනය ඒ මහා ශ්‍රමණයාණන් වහන්සේගෙන් විමසා සිටියා. ඔහුට පිළිතුරක් ලැබුණා. ඒ පිළිතුරෙන් සිටුතුමා සතර අපායේ දොරටු යළි කිසි කලෙක නොඇරෙන්නට ම වසා දමද්දී සම්බුදුරජුන්ගේ ඍද්ධි බල මහිමයෙන් පියතුමාගේ බැල්මට හසු නො වී එතැන ම පසෙකින් සිටි යස කුල පුත්‍රයා සිටු සම්පත්තියෙනුත්, දිව්‍ය බ්‍රහ්ම මිනිස් සම්පත්තීන්ගෙනුත් සදහට ම නිදහස් වෙමින් නිවන් සැපත ස්පර්ශ කළා…!

සම්බුදුරජාණන් වහන්සේ ඍද්ධිය අත්හරිනු ලැබුවා. සිටුතුමාට පුතු ව දැන් පෙනෙනවා. ඔහු දන්නේ නැහැ ඒ පුතු දැන් සියලු කෙලෙස් ගැටවලින් නිදහස් වුණු රහතන් වහන්සේනමක් බව…

යස රහතන් වහන්සේ පැවිද්ද පිණිස තමන් වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ කළා. “හා හා…! එහෙම කොහොම ද? අච්චර මාලිගා හැදුවේ නුඹටයි පුතේ. අපගේ සියලු සැප සම්පත් උරුම නුඹටයි පුතේ… කෙළ ගණන් ධනයත් තිබෙන එකේ ඒ සැප සම්පත් භුක්ති විඳ විඳ පින් කර ගත්තොත් මදැයි පුතේ…” කියලා සිටුතුමා කිව්වේ නැහැ. සසරේ මේරූ පින් තිබුණු ඒ තාත්තා ඒ වන විටත් පිනෙහි අග්‍ර ඵල නෙළාගෙන අරහත්වය සාක්ෂාත් කොට සසරෙන් නිදහස් ව හුන් පුතුට කසාවත දරන්නට ආශීර්වාද කළා…

ඒ යුගයේ ම…. තවත් පුතෙක් හිටියා. වයස අවුරුදු හතයි. තාත්තා නැහැ, හිටියේ බාප්පා… සසරේ මේරූ ස්වභාවයෙන් හෙවත් පුණ්‍ය සම්පත්තියෙන් නම් මේ පුතු අම්මාටත්, බාප්පාටත් වඩා වැඩිමහල්ලෙක්. තමන්ගේ නොවන මේ දරුවා ගැන නොරිස්සුමෙන් සිටි බාප්පා එක දවසක් ඒ පුතුට දඬුවම් පිණිස ඔහු ව අමු සොහොනට ගෙන ගොස් මළමිනියකට තබා ගැට ගසා නික්ම ගියා… ඔබ මේ පුවතත් අසා තිබෙනවා. ඒ දරුවාගේ නම සෝපාක…

අමු සොහොනේ කුණු වෙවී දුගඳ හමන මළමිනී මැද්දෙ… එවැනි ම මළමිනියකට තබා ගැට ගැසී… මළකුණු බුදින්නට පැමිණි හිවල් කැණහිලුන්ගේ කටුක, බිහිසුණු මොර ගෑම් – පොර බැඳීම් මැද්දෙ… සීත අඳුරු රැයක… සත් හැවිරිදි කුඩා දරුවෙක්….! හිතා ගන්නවත් පුළුවනි ද අපට? “අම්මා… අම්මා…” කියා කෙඳිරි ගාන්නට හැර වෙන කිසි ම දෙයක් කරන්නට ශක්තියක් ඒ පුතුට තිබුණේ නැහැ. මැදියම් රැය ගෙවී ගියා. කෝටියක් මව්වරුන්ගේ ද කෝටියක් පියවරුන්ගේ ද කරුණාව එක මිටක් කළ ද අලගු තබන්නටවත් නො හැකි මහා කාරුණික හද මඬලක් දරා වැඩ සිටි සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් යුතුව ලොව දෙස බලා වදාළා. ඒ මහා කාරුණික අභිනීල සම්බුදු නේත්‍ර යුග්මයට මිනිස් ලොව සත් හැවිරිදි වූ මේ සාංසාරික වැඩිමහල්ලා අමු සොහොනක මළමිනියකට ගැට ගැසී සිටින ආකාරය පෙනී ගියා…

සම්බුදුරජාණන් වහන්සේ අමු සොහොන වෙතට ආලෝක ධාරාවක් යොමු කොට ගාථාවක් දේශනා කළා. ගාථාව ශ්‍රවණය වී අවසන් වන විට ඒ දරුවා මළමිනියට බැඳි රැහැනින් පමණක් නො වෙයි, සතර අපායෙනුත් නිදහස් වුණා. බුද්ධානුභාවයෙන් විහාරයට කැඳවුණු ඒ පුංචි පුතු පැවිදි බවට පත් කෙරුණා. දැන් ඔහු බාප්පාගෙනුත් නිදහස්.

සෝපාක ස්වාමීන් වහන්සේගේ අම්මා උදෑසන ම පුතු සොයමින් හඬ හඬා ඇවිද යනවා. ඇයත් සම්බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. සම්බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කරද්දී ඒ ධර්මය ඇසූ ඇය සතර අපායෙන් නිදහස් වුණා. සම්බුදු ඍද්ධි බලයෙන් මවගේ ඇසට නො පෙනී ඒ සමීපයේ ම වැඩ සිටි, සසරේ මෝරා ගිය පිනැති- නැණැති මේ පුංචි සෝපාක ස්වාමීන් වහන්සේ මවට දෙසූ ඒ දහම් අසා දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය සියලු සම්පත්තීන්ගෙන් නිදහස් ව නිවන් සැපත ස්පර්ශ කළා. රහතන් වහන්සේනමක් බවට පත් වුණා…

ඒ උතුම් රහතන් වහන්සේලා ස්පර්ශ කළ උතුම් ධර්මය ම යි අපත් මේ අසන්නේ… අප ‘නිදහස’ ගැන කථා කරන තරම් උන්වහන්සේලා නිදහස ගැන කථා කළේ නැහැ. උන්වහන්සේලාගේ නිදහස වචනයේ සීමාවලින් වෙන් වූ යථාර්ථයක් වෙලයි තිබුණේ. ඒත්… අපේ නිදහස වචනය තුළ ම සීමා වෙලා.

යටත් විජිතභාවයෙන් අප නිදහස්… තිස් වසරක ත්‍රස්තවාදයෙන් අප නිදහස්… ඒ හැර… අපට ‘නිදහස්’ කියා කියන්නට මොනව ද තිබෙන්නේ?

ගෙදර fදාර හතර මායිමට අපි හිර වෙලා… අඹු දරුවන්ට, නෑදෑ හිතමිතුරන්ට අප හිර වෙලා… රැකී රක්ෂාවලට, වැඩ කටයුතුවලට අප හිර වෙලා… රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට – අරමුණුවලට අප හිර වෙලා… මේ බාහිර ආයතන හමුවේ සිහි මුළා වෙලා, ප්‍රිය නිමිති මෙනෙහි කරමින්, අයෝනිසෝ මනසිකාරයේ යෙදීම නිසා උපදින්නා වූ රාග ද්වේෂ මෝහයන්ටත් අපි හිර වෙලා… සතර අපාය මහගෙදර වගේ දැනෙන තැනින්වත් අපි නිදහස් නෑ. එහෙව් එකේ මේ ගේ fදාර ඉඩකඩම් දේපළ යාන වාහන අඹු දරුවන්ගෙන්, මිනිස් සම්පත්තීන්ගෙන් කොහොම නිදහස් වෙන්න ද? දිව්‍ය, බ්‍රහ්ම සම්පත්තීන් කොහොම අබිබවා යන්න ද? “නිදහස්, නිදහස්, නිදහස්” කියලා අවුරුද්දක් පාසා හඬ නැගුවට අපි කිසිසේත් ම නිදහස් වූවන් නො වෙයි…

සැබෑ නිදහස පිණිස මේ ලෝකයේ අග පැමිණි උතුමන්ට උපකාර කොට තිබෙන්නේ සසරේ මේරූ ස්වභාවය විසින්. ඒ මේරූ, පරිණත බව ඇති වන්නේ උපාධිවලින්, මිල මුදලින්, රූපයෙන්, කටහඬින්, පිළිගැනීමෙන් නො වෙයි; රැස් කර ගත් පින් බලයෙන්…

අප උපන්නේ සාංසාරික ව පුණ්‍ය සම්පතින් මෝරා ගියවුන් බවට පත් වීම පිණිස බොහෝ පුණ්‍ය සංස්කාරයනුත්, ආනෙඤ්ජාභි සංස්කාරයනුත් රැස් කළ හැකි අසිරිමත් බුද්ධ රාජ්‍යයක. ධර්මස්වාමී වූ ඒ විමුක්තිධජධරයාණන් වහන්සේගේ සම්බුද්ධ රාජ්‍යයේ දී ම සතර අපායෙනුත් නිදහස් වෙලා, දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය සම්පත්තීන්ගෙනුත් නිදහස් වෙලා, නිවන් සැපත ම ස්පර්ශ කිරීම ඉලක්කය කරගෙන ප්‍රතිපදාවේ යෙදුණහොත් ඒ ව්‍යායාමය කිසි විටක අපතේ යන්නේ නම් නැහැ… හරියට කළොත්… දින හතකුත් ඇති…!

නිවන් සැපය උදා කරලන පිය උරුමය වූ සතර සතිපට්ඨානය තුළ සියල්ලෝ සැබෑ නිදහස කරා පිය නගත්වා!

සටහන – උදුලා පද්මාවතී