(ශ්‍රද්ධා රූපවාහිනියේ බියකරුය මේ සසර චිත්‍රපටය නැරඹීමෙන් දුසිරිතෙන් වැලකුණු තවත් එක් පාසල් සිසුවියක් පිළිබඳ සත්‍ය කතා පුවතකි)

මම මගේ කාමරයේ කිසියම් වැඩක නිරත වී සිටියෙමි. මාගේ නැගණියගේ කෑ ගැසීම මා එතරම් ගණනකට නො ගත්තේ ඇය සෑම දවසක ම පාසල අවසන් ව නිවසට පැමිණෙන්නේ පාසලේ කුමන හෝ සිදුවීමක් ද සමඟ බව මා දැන සිටි හෙයිනි. නමුත් එදින ඇයගේ දෑස් දීප්තිමත් ව තිබෙනු මම දුටුවෙමි. “අක්කේ ඔයා කිව්වා හරි. ඒක මහමෙව්නාවේ වැඩක් තමයි….” ඇය එසේ කී විගස මා හට කුමක් වූවේ දැයි සිතා ගත නො හැකි විය. මා තුළ හට ගත් ඉමහත් ප්‍රීතිය නිසා ම මාගේ දෑත් එක් වීමෙන් පසු මා හට කියවුණේ එක් වචනයක් පමණි. එනම් “නමෝ බුද්ධාය” යනුවෙනි.

ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඉදිරිපත් කරන ‘බියකරු ය මේ සසර’ ත්‍රිමාණ චිත්‍රපටය, බලංගොඩ මහමෙව්නාව අසපුවේ මැදිහත් වීමෙන් නවනගර ශ්‍රවණාගාර භූමියේ දී දවස් තුනක් මුළුල්ලේ ප්‍රදර්ශනය කරන්නට යෙදුනි. බියකරු මේ සසරින් සියලු දෙනා ම මුදවා ගන්නට ගත් මෙම වීර්යය අපතේ නොගියා යැයි මට දැනුණේ දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ අදහස් විමසීමත් සමඟ ය. මා මේ පැවසීමට යන කථා පුවත විටෙක ඔබේ ජීවිතයේ ම කොටසක් වන්නට ඇති. ජීවිතයට කිසි ම වටිනාකමක් නො දී ජීවිතය අකාලයේ ගෙවා දමමින් සිටි ඇය පැයකින් පසු ව තම ජීවිතය පිළිබඳ ව සිහිනුවණින් දැකීමට පටන් ගැනීම කෙතරම් විස්මිත වූවක් ද?

එදා සැප්තැම්බර් මස 14 වන දින, මාගේ නැගණිය පැවසූ එම වචන ඇසුණු මා ඉන් පසු ව සිදු කළේ මාගේ සියලු යහළු යෙහෙළියන් හා අසල්වැසියන් සියලු දෙනාට මේ පිළිබඳ ව පවසා සිටීම යි. නමුත් ඒ අතරවාරයේ මා හට මතක් වූ එක් යෙහෙළියක් විය. ඇය ධාර්මික කටයුතු කෙරෙහි එතරම් කැමැත්තක් නො දක්වයි. නමුත් චිත්‍රපට නැරඹීමට ඉමහත් ඇල්මක් දක්වයි. මම ඇයට ද දුරකථන ඇමතුමක් දුන්නෙමි.

“හලෝ මාෂා, පොඩි වැඩකට කථා කළේ…”

“කියන්න අයේෂා, මොකක්ද?”

“අපි ෆිල්ම් එකක් බලන්න යමු ද?”

“පුදුමයිනේ… ඔයාට එහෙම දෙයක් හිතුණ ද? මට හිතාගන්නවත් බෑ. මොකක්ද බලන්නේ… මායා ද? මෝටර් බයිසිකල් ද? නැති නම් දෙමළ හරි ඉංග්‍රීසි හරි ෆිල්ම් එකක් ද?”

“එහෙම දෙයක් නෙවෙයි. නවනගරෙ තියෙන බියකරු ය මේ සසර ෆිල්ම් එක…”

මම මුවට ආ සිනහවක් සමඟ ඇයට පැවසුවෙමි.

“ඒ මොකක්ද ඒ? රොමැන්ටික් එකක් ද?”

“ඔව් ඔව් 3ෘ එකක්… නොමිලේ පෙන්වන්නේ. එනව ද? මම ඔයාවත් එක්ක යන්න ඉන්නේ.”

“හා හා… මම එන්නම්. කීයට ද තියෙන්නේ?”

“10.30, 12.30, 2.30 තියෙනවා. අපි 10.30ට යමු.”

“ආ හරි. එහෙනම් මම තියනවා. බුදු සරණයි!” කියමින් ඇය ඇයගේ දුරකථනය විසන්ධි කළා ය.

මා පෙරවරු 10 වන විට රත්නපුර බස් නැවතුම්පළ වෙත ගියේ ඇය එතැනට එන බව කියූ බැවිනි. මම පෙරවරු 11 වන තෙක් ම බස් නැවතුම්පළ අසල ඇය එන තෙක් බලා සිටියෙමි. නමුත් ඇය නො පැමිණි නිසා මම ඇයට නැවතත් දුරකථන ඇමතුමක් දුන්නෙමි.

“ඔයා එන්නෙ නැද්ද? මම දැන් පැයක් වෙනවා මෙතනට ඇවිල්ලා.”

“අනේ අයේෂා, ඔයා තවම ඔතන ද? මම හිතුවේ මම නැති නිසා ඔයා ගිහින් ඇති කියලා. අනේ මට බෑ අයේෂා. මට කම්මැලියි ඔය වගේ ෆිල්ම් බලන්න. ඒක අනික පැයයිලු තියෙන්නේ. ඔයා යන්න.”

“මාෂා, මම ගෙදරින් කියලා ආවේ ඔයා එක්ක යනවා කියලා. ඉතින් මම යන්න ඕනි ඔයා එක්ක. අනික මම ඔයාගෙ අම්මට කෝල් කළා. ඇන්ටි කිව්වා ඔයා ව එක්ක යන්න කියලා. මාෂා, මම කවදාවත් ඔයාට පොරොන්දු වුණ දෙයක් නො කර ඉඳලා තියෙනවා ද? ඒත් ඔයා එහෙම කරනවා නේ ද?”

“ආ හරි… ඔව් මම දන්නවා. ඔයා එහෙම කරලා නෑ කියලා. ඒත් අයේෂා, මම එන්න තව පරක්කු වෙයි. ඔයාට තව ගොඩක් වෙලා ඔතන ඉන්න වෙයි. තාත්තට වැඩ වගයක් තියෙනවලු. මට එයා එක්ක තමයි එන්න වෙන්නේ. ඔයා යන්න.”

“කමක් නෑ. මම ඉන්නම්. ගෙදරින් දන්න නිසා ප්‍රශ්නයක් නෑ. ඔයා එන්න.”

ඒ ලෙසට මම ඇයට පැවසුවේ මා නැති නම් ඇය කිසිවිටෙකත් එහි නො එන බව දන්නා බැවිනි.

“අනේ මන්දා… ඔයා හරි පරාර්ථකාමී වැඩනෙ කරන්නේ. එහෙනම් ඉන්නකෝ. මම එන්නම්.”

ඇය පැවසුවේ සමච්චලයට මෙනි.

“හ්ම්… නෑ. මම හරි ආත්මාර්ථකාමියි. ඒක නිසයි මම ඔයාට එන්න කියන්නේ. මොකද පින විශ්වාස කරන කෙනා දන්නවා මේ වගේ යහපත් වැඩකින් තමන්ට ලැබෙන ආනිශංස. ඒකයි.”

ඇය සිනාසී දුරකථනය විසන්ධි කළා ය.

ඉන් පසු ඇයත්, මමත් 2.30 චිත්‍රපටය නැරඹීමට ගියෙමු. අපි දෙදෙනා ම එකිනෙකාට ආසන්න ව අසුන් ගත්තෙමු.

පැයක් පමණ මුළුල්ලේ තිබුණු චිත්‍රපටය අවසන් වූ පසුව මම ඇයට “යමු” යැයි පවසා ඇයගේ එක් අතකින් අල්ලාගෙන ශ්‍රවණාගාරයෙන් එළියට පැමිණියෙමි. එය නැරඹීමට ආ සෙනඟ අතරින් මම ඇය ව අත්නොහැර ඉදිරියට ගමන් කළෙමි.

“ඒක ගොඩක් ලස්සනයි. අපේ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා. එහෙම නේ ද?” යනුවෙන් පැවසූ මම ඇයගේ මුහුණ දෙස බැලුවේ ඒ මොහොතේ දී ය. මා ළඟ තිබූ ප්‍රසන්න ගතිය අතුරුදන් වී ගියේ ඇයගේ මුහුණ දැකගැනීමෙන් පසුව ය. ඇයගේ රත් පැහැ ගැන්වුණ දෑස සමඟ ම තිබුණු කඳුළු පිරි මුහුණින් ඇය මා දෙස බැලුවේ බැගෑපත් වන පරිද්දෙනි. ඇයගේ නොපැහැදිලි වචන මගේ හදවත කම්පා කරවන්නට විය.

“අනේ අයේෂා, මමත් අපායේ යාවි ද?”

“මොකක්? මොනව ද ඔයා මේ කියන්නේ? ඔයා වැරැද්දක් කරලා නෑනේ මාෂා. අනික අපි ඕවා බලලා අපේ වැරදි හදාගන්න ඕනේ. ඔයා ඔහොම හිතන්න එපා. බැරිවෙලාවත් ඔයා මෙතන මැරුණොත් සමහරවිට වැරදි නො කරත් එහෙට යන්න වෙයි. මතකයිනේ ධර්මාශෝක රජතුමාට වුණ දේ. කොච්චර පින් වැඩ කළා ද? ඒත් අන්තිමට වුණේ භූත පිඹුරෙක් වෙන්න. ඒ නිසා අපේ හිත ම යි හදාගන්න ඕනේ. හිත පින් සිතුවිලිවලින් පුරවගන්න ඕනේ. මෙලෝ වැඩකට නැති නළු නිළියන්ගෙන් නෙවෙයි. ඒක කියලා දෙන්න තමයි මම ඔයා ව එක්කරන් එන්න මෙච්චර ට්‍රයි කළේ. දැන් යමු. එන්න.”

“බෑ බෑ… අයේෂා මට බෑ. එක දෙයක් හින්දා මම ගොඩාක් පව් පුරෝගෙන තියෙනවා. මතක ද ඔයාට එක දවසක් මම අපේ මිස්ට ඇද කළා. එයා ගොඩක් හොඳ දේවල්නේ කළේ. ඒත් මිස් යන්නේ අමුතු විදියට. මම ඒක දිහා බලලා මිස්ට ඇද කළා. ඔයා එදා මාත් එක්ක කිව්වේ අපිට වඩා සිල්වත් මිනිස්සුන්ට ගරහන්නවත්, බොරු කියන්නවත් එපා කියලා. අනික මේ කථාව බලන්න. මේ කථාවේ අම්මා එයාගේ ජේන් නැතිව කොච්චර අඬනව ද? ඒත් මම මගේ අම්මටයි, තාත්තටයි කොච්චර බොරු කියලා තියෙනවා ද? මම ඔයාටත් ගොඩාක් බොරු කියලා තියෙනවා.” ඇය නැවතත් හඬන්නට පටන් ගත්තා ය.

“මම ගොඩාක් හොඳ කෙනෙක් තමයි. ඒත්….”

ඇය ඇයගේ ජීවිතයේ අතීතය ආවර්ජනය කළා ය.

“අයේෂා, ඔයා දන්නවානේ මම මගේ යාළුවන්ට, ඒ වගේ ම හිඟන්නන්ට, ඒ වගේ ම කවුරු මොනවා ඉල්ලුවත් මං ළඟ තියෙනවා නම් ඒ දේවල් මම දෙනවා. ඒත් තමන් හිතන දේ දන්නේ තමන් විතරයිනේ. මං ළඟ හැම තිස්සේ ම තියෙන්නේ පව්කාර සිතුවිලි.”

“ඇයි එහෙම කියන්නේ? ඔයා කාව හරි මරන්න හැදුව ද?”

මා හට ඇය කෙරෙහි අනුකම්පාවක් ඇති විණි. මං මෙසේ පැවසුවේ ඉන් පසුවයි.

“ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. මම ඔයාට උදව් කරන්නම්.”

ඇය යළිත් ඇයගේ කටහඬ අවදි කළා ය.

“මම අද ඔයාට කිව්වෙ බොරු අයේෂා. අද තාත්තට 10.30ට ඇති වැඩක් තිබුණෙ නෑ. එයා උදෙන් ම කොළඹ ගියා. ඔයා දන්නවානේ අම්මත් 6.30 වෙද්දි ගෙදරින් යනවා. අයියත් නෑනේ. එයා කැම්පස්. මම තනියෙන් ඉන්නේ. මම දන්නවා ඔයා ඉන්නෙත් තනියෙන්. මතක ද? ඔයා මට කථා කරනවා ඔයාගෙ ගෙදර එන්න කියලා. මම එහෙ එන්නෙත් නෑ. ඔයාට අපේ ගෙදර එන්න කියන්නෙත් නෑ. ඒකට හේතුවක් තියෙනවා. මම කරන්නේ ගෙදර ඉඳන් බ්ලූ ෆිල්ම් බලන එක.

මුළු දවස ම කාලා දානවා. මෙලෝ වැඩක් කරන්නෙ නෑ. අම්ම ව මං ගොඩක් රවට්ටනවා. දන්නවා ද? මම හැමදා ම උදේ 5.30ට නැගිටිනවා. නැගිටලා මුහුණ එහෙම හෝදලා 6 වෙද්දි කන්න පටන් ගන්නවා. අම්මා පව්. එයා හිතන්නෙ මම උදෙන් ම නැගිටලා මුළු දවස ම පාඩම් කරන්න හදනවා කියලා. එයා මගෙ ඔළුව අතගාලා කියනවා හොඳට පාඩම් කරන්න, ඔයා ආස කරන දෙයක් හවසට ගේනවා කියලා. ඒත් මම මොකක්ද දන්නව ද කරන්නේ? 6.30 වෙද්දි අම්ම යනකල් ඉඳලා ලැප් එක තියාගෙන අර වගේ දේවල් බල බල සතුටු වෙනවා. මම දවල්ට කන්නෙත් නෑ. වතුර උගුරක්වත් බොන්නේ නෑ. ඒ තරමට ම ආසයි. අම්මා ඉක්මනට ගෙදර ආවොත් මම එයාට හිතින් කොච්චර බැණලා ඇද්ද? ඒ වගේ ම කොච්චර බොරු කියනවා ද? අරක පාඩම් කළා. මේක පාඩම් කළා කියලා. මං මුළු දවස ම ඒවා හිත හිත තමයි ඉන්නේ. නිදාගන්නකොටත් ඒවමයි මතක් වෙන්නේ. උදේට නැගිටින්නෙත් ඒවා බලන්න ඕනි කියලා හිතලා. ඉතින් ඔයා කියනවා වගේ මම මැරුණොත් මට මොකද වෙන්නේ කියලා හිතාගන්න පුළුවන් ද? ඇත්තටම අයේෂා මං මහ මෝඩ කෙල්ලෙක්. අනේ මං කරපු හොඳ වැඩක් කියලා මතක් කරන්න තියෙන්නේ කාට හරි දෙයක් දුන්න දෙයක් ගැන විතරමයි. මතකද අපි රුවන්වැලි සෑයේ ගියා. ඔයා වඳින්න එන්න කියලා කිව්ව ම මම අව්ව සැරයි, කකුල් පිච්චෙනවා කියලා කියලා නිකං හිටියා.

ඔයා බණකට, දානයට උදව් කරන්න එන්න කිව්ව ම මං කියන්නේ වැඩකාරකමට කාව හරි අරගෙන ඕක ඉවර කරන්න කියලා. මං කවදාකවත් පන්සිල් ගන්නෙ නෑ. මේ ආත්මෙ කෙල්ලෙක් වුණ එක එක අතකට හොඳයි. මං මෙච්චර කල් නොදැනුවත් ව හරි රැකලා තියෙන්නේ අන්තිම සිල්පදය විතරයි. ඔයාට මතක ද මම ස්වාමීන් වහන්සේලාට කොච්චර එක එක දේවල් කියනවා ද? අනිත්‍ය ගැන කොහොමද හිතන්නේ, ඒක මහා විකාර වැඩක්. මොනවා කරන්නත් ඉපදෙන්න ඕනි කියලනේ මම හිතුවේ. ඒත් මට තේරුම් ගන්න බැරි වුණා. අපි හැමෝම සසරින් එතෙර වුණේ නැත්නම් පහළට යන්න වෙනවා කියලා. මට හරි බයයි අයේෂා. මොකද මං කරන්නේ?”

ඇයගේ දීර්ඝ විස්තරය ඇසීමෙන් පසු මට හැඟුණේ ඇයගේ පින ඉස්මතු කර ගැනීමට මෙය හොඳ ම වෙලාව බවයි. ඉන් පසු මම මා දන්නා පරිදි ඇයට කුසලය පෙන්වා දුනිමි .

ඉන් පසු ව මමත්, ඇයත් ඇයගේ නිවසට ගියෙමු. ඇය ළඟ තිබූ සියලු චැබ, ක්‍ෘ ආදියත්, ඇයගේ පරිගනකයේ තිබුණු සියලු ම අසභ්‍ය දෑත් මා විසින් ඉවත් කරනු ලැබුවේ නැවතත් ඇයට නැරඹීමට නො හැකි වන පරිදි ය.

පසු කළෙක ඇය ඇගේ ක්චඑදච එකද ඉවත් කළාය.

දින දෙකකට පසු ඇය මා හට දුරකථන ඇමතුමක් දුන්නා ය.

“අයේෂා, මම මාෂා. ඔයා කියන විදිහට මම මේ දවස් ටිකේ පන්සිල් ගත්තා. අර ස්වාමීන් වහන්සේලාට පින් සිද්ධ වෙනවා නේ ද? ආ….. තව එකක්. මම මගේ ටච් ෆෝන් එක අයින් කළා. ඒක අම්මට දුන්නා. නැත්නම් ඔයා කිව්ව දේ වුණොත් කියලා බය හිතුණා. මම අම්මගෙ නිකම් ෆෝන් එක ගත්තා. දන්නව ද දැන් මට සතුටුයි. මං දැන් අම්මට හොර කරන්නෙ නෑනෙ කියලා හිතලා සතුටු වෙනවා. මම දැන් පාඩම් කරනවා. මේ දැනුත් පාඩම් කර කර හිටියේ. පොඩි කම්මැලිකමක් ආව නිසයි ඔයාට ගත්තේ. ඔයා දැන් මගෙන් ඊසද පාඩම්වලින් ඕනි ප්‍රශ්නයක් අහන්න. අනේ අයේෂා… මං ඔයාට පස්සෙ කථා කරන්නම්. අම්මා මට කථා කරනවා. බුදු සරණයි!”

මා තුළ හටගත් පුදුමය නිසා ම මා හට කියවුණේ හා යන්න පමණකි. දුරකථනය විසන්ධි කළ මා මගේ සතුටු කඳුළින් පිරි දෙනෙත යොමු කළේ පසෙක ඇති බුදු පිළිමය දෙසට ය.

“බුදුරජාණන් වහන්ස, මා හොඳ කල්‍යාණ මිත්‍රයෙකු වුණා” යන්නෙන් මගේ හදවතට ආ චේතනාව මා තුළ හට ගත්තේ උඩඟුකම නිසා නම් නො වේ. විනාඩි 45 ක චිත්‍රපටයක් නිසා කෙනෙකුගේ ජීවිතය පරිවර්තනය වූ ආකාරය පුදුම සහගතය.

විටෙක සමහර මිනිසුන් යහපත් දේ කර වැරදිකාරයන් සේ පෙනී සිටී. තවත් මිනිසුන් නොහොබිනා දේ සිදු කර තමන් විශිෂ්ටයෙකු ලෙස පෙනී සිටියි. නමුත් ඔවුන් දෙපාර්ශවයේ ම සත්‍යය දන්නා වූ එක් අයෙකු සිටියි. ඒ ඔවුන්ගේ හදවතයි. මා හට එක් යෙහෙළියකට හෝ කල්‍යාණමිත්‍රයෙකු වීමට හැකි වූයේ මා සමඟ ද කල්‍යාණමිත්‍රයන් සිටි නිසා යැයි මම විශ්වාස කරමි. සෑම කෙනෙකු හට ම හොඳ ම මිතුරා විය හැකි නමුත් කල්‍යාණමිත්‍රයෙකු වීම එතරම් ලෙහෙසි පහසු නැත. මේ නිසා සියලු දෙනා හට කලණමිතුරෙකු වීමට අපි සැවොම අදිටන් කර ගනිමු.

තෙරුවන් සරණයි!