වරල් ගසමින් ගැඹුරු දියෙහි පිහිනමින් හිඳ, ගල් බොරළු කටු අකුල් මැද්දේ බඩ ගාමින් හිඳ, සෙම් සොටු මල මුත්‍රාදිය ආහාර කොට ගනිමින් හිඳ, පිපාසයට පැන් වශයෙන් ලෝදිය ගිලිමින් හිඳ, පෙර පිනක් ඉස්මතුව සොඳුරු මව් කුසකට පැමිණිය ද එහි නව මසක් වැඩී ඉනික්බිතිව මිනිස් ලොව ආලෝකය දකින්නට, විඳින්නට නැති වීම කෙතරම් නම් අවාසනාවක් ද?

බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායෙහි මහා තණ්හාසංඛය සූත්‍රයේ දී දරු උපතකට හේතු වන කරුණු 3ක් දක්වා ඇත.

1. මව්පිය දෙදෙනාගේ කායික එක්වීම.
2. මව ඍතු වන තැනැත්තියක වීම.
3. ගන්ධබ්බයෙකුගේ පැමිණීම.

මෙම කාරණා සම්පූර්ණ නොවීම හේතුවෙන් දරු සම්පත් නොමැතිව තැවුලට පත් වන මව්පියන් කොතෙක් ද? එසේ වුව ද දරුවකු මව් කුස පිළිසිඳ ගත් පසු එම දරුවාට මේ පෘථිවිය හරහා හමා යන වායු ධාරාව ආශ්වාස කරන්නට ඇති ඉඩකඩ මව්කුස දී ම නැති කර දමන මව්වරුන් කොතෙක් ද? මෙය වර්තමානයේ ප්‍රචලිත ව ඇත්තේ ගබ්සාව ලෙස ය. අසම්මත ගැබ් ගැනීම් මෙන්ම ආර්ථික අපහසුතාවයන්ට ලක් වීම, අඩු පරතරයකින් යුක්තව දරුවන් සිටින අවස්ථාවල ද, දරුවන් තිදෙනෙකුට වඩා වැඩි වීමද, ඇතැම් කාන්තාවන්ගේ රැකියාවේ අර්බුදකාරී තත්වයන් නිසාද, ඇතැම් රෝගී තත්වයන් නිසාද, දරුවන් බිහි කිරීමට ඇති අකමැත්ත මුල්කරගෙනද, ඇතැම් අඹු සැමියන් දරුවෙකු ලබා ගැනීමට අපේක්ෂාවක් නොමැතිව සිටියදී දරුවකු පිළිසිඳ ගන්නා අවස්ථාවල ද, එම දරුවා මෙලොවට බිහි වීමට ප්‍රථම මව්කුසේදීම දරුවා විනාශ කරදැමීමට ඔවුන් තීරණය කරති.

ගබ්සාව සිදු කිරීම පමණක් නොව, එයට අනුබල දීම පවා අකුසල කර්මයක් බව වදාළ භාග්‍යවතුන් වහන්සේ විනය පිටකයෙහි පාරාජිකා පාළිය තුළ දී ගබ්සාවට අනුබල දීම භික්ෂුත්වය අහිමි වන බරපතළ වරදක් බව ද පෙන්වා වදාළ සේක.

බෝධිරාජ කුමරුන් හට තිසරණය උරුම වූයේ තමන් මව්කුසෙහි සිටිය දී ම ය. සිංහල මව්වරුනගේ කුසට වැද ගන්නට පින් ලද දරුවන්ට කිසිසේත් ම මව්කුස සොහොන් ගෙයක් නො විය යුත්තේ ම ය. අපගේ දරුවන්ට උරුම විය යුත්තේ සම්බුදු සමිඳුන්ගේ ද්‍රෝණයක් ධාතු තැන්පත් ස්වර්ණමාලී මහා සෑයෙහි රැකවරණය යි… ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ රැකවරණය යි.. දන්ත ධාතුන් වහන්සේලාගේ රැකවරණය යි.

අපේ සිංහල මව්වරු ඉපදී තුන් මසක් ගෙවෙද්දී අපේ දරුවන් බ්‍රහ්මචාරී සීලයෙන් උතුම් කොට සලකන පත්තිනි මෑණියන් හට තම දරුවන් භාර කරති. එයින් අපේක්ෂා කරනුයේ දරුවාට උතුම් වූ ආරක්ෂාවකි. නමුදු තිසරණයෙහි හා සිල් පදවල තම දරුවන් සමාදන් කරවන්නට දෙමාපියන් අසමත් වීම බොහෝ දුරට ගබ්සාවට හේතුවක් වී ඇත.

දියණියක් වැඩිවියට පත්වීමෙන් ඇය සමාජය විසින් හඳුනාගන්නේ මාතෘත්වයට සුදුසුකම් ලබන තැනැත්තියක ලෙසයි. නමුදු සදාචාර ධර්මයන්ගේ සුන්නද්දූලි වීමත් සමඟ වර්තමානයට ඉතිරි වී ඇති ගුණධර්මයන්ගේ නෂ්ටාවශේෂ අප දියණියන්ගේ මාතෘත්වයට ඇති හැකියාව ව්‍යසයනයක් බවට පත් කර ඇත.

සිල්පද තුළ නොහික්මෙන, බහුල වශයෙන් කාමයට ගිජු වූ ලෝකය තුළ උත්තම වූ මව් පදවිය ඉක්මවා නව යොවුන් වියේදී ම දරුවන් පිළිසිඳ ගන්නා ප්‍රවණතාවයක් අද දක්නට ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් ය අප සමාජය තුළ ගබ්සාව ඉතා වේගයෙන් පැතිර ගොස් තිබෙන්නේ. අසම්මත ගැබ් ගැනීම හමුවේ දරුවා මෙලොවට බිහි වීමට ප්‍රථම කුසෙහි දී ම දරුවා විනාශ කර දැමීමට දෙවරක් නො සිතා ම එම ළාබාල මව්වරු තීරණය කරනුයේ අද ගබ්සාව සිදු කිරීම මේ සමාජයේ එතරම් ම පහසු කටයුත්තක් නිසාවෙනි.

නීත්‍යානුකූල නොවන ගබ්සා මධ්‍යස්ථාන ලංකාවේ බොහෝ ස්ථානවල අද වන විට ස්ථාපිතව ඇත. මෙසේ ගබ්සාව සිදු කරන අවස්ථාවේ දී එම මව ඉතාමත් මාරාන්තික වේදනාවට ලක් වන අතර දරුවා ද ඉතාමත් වේදනාවට පත්ව මරණයට පත් වේ.

දීර්ඝකාලීනව ගබ්සාව තම රැකියාව වශයෙන් කරමින් සිටි වෛද්‍යවරයෙකු දිනක් නවීන තාක්ෂණය භාවිතයෙන් ගබ්සාවක් සිදු කරන අයුරු තිරයක් මගින් නිරීක්ෂණය කිරීමට තීරණය කළේ ය. මෙය ඔහු ගබ්සාව තිරයක් මගින් දකින ප්‍රථම අවස්ථාව විය. මෙහි දී ඔහුට දක්නට ලැබුණු දෙයින් ඔහු ඉතාමත් සංවේගයට පත් වූයේ ය. දරුවා විනාශ කිරීම සඳහා යම් උපකරණයක් මවගේ කුසට ඇතුළු‍ කිරීමට සූදානම් වද්දී ම දරුවා කුස තුළ සිට ඉහළට එසවී, අත පය හකුලා දඟලමින් ඉන් මිදීමට උත්සාහ ගන්නා බවක් දක්නට ලැබිණි. එම දසුනින් සසලව ගිය ඔහු එම වෘත්තියෙහි යළි කිසි දිනක නො යෙදෙන්නට තීරණය කළේ ය. නමුත් ඒ වන විටත් ඔහු අතින් මිය ගිය මිනිස් දරුවන් සංඛ්‍යාව අති විශාල ය.

ගබ්සාව ස්වභාවික ගබ්සාව සහ ප්‍රේරිත ගබ්සාව ලෙස කොටස් දෙකකින් ය හඳුනාගෙන ඇත්තේ. ස්වභාවිකව ගබ්සා කෙරෙහි පෙර කළ කර්මයන්ගේ ස්වභාවය, මවගේ ශරීර සෞඛ්‍ය වැනි හේතු බල පෑ හැකි ය. නමුත් ප්‍රේරිත ගබ්සාව සිදු වන්නේ බාහිර පුද්ගලයෙකුගේ බලපෑම මත ය. මෙය වැකුම් නල මගින් ඇද ගැනීමේ ක්‍රමය, කැපීමේ ක්‍රමය, ශල්‍ය ක්‍රමය, ලවණ ක්‍රමය ආදී වශයෙන් ක්‍රම කිහිපයකට සිදු කෙරේ.

මෙම සෑම අයුරකින් ම දරුවා මරණයට පත් වන්නේ ඉතාමත් වේදනාවක් විඳීමෙන් අනතුරුව ය. විශේෂයෙන් කැපීමේ ක්‍රමයේ දී මවගේ ගැබ් ගෙල තුළින් ආයුධයක් ඇතුළු කර කුඩා කළලය කෑලිවලට කැපීමක් ය සිදු කෙරෙනුයේ. මෙසේ වේදනාවෙන් මිය යන දරුවා ද්වේෂය සිතෙහි දරාගෙන මරණයට පත් වීම හේතුවෙන් නැවත මව් කුසකට ය පැමිණීම සිදු වන්නේ යයි සිතිය හැකි ද? කිසිසේත් ම එය සිදු නො විය හැක්කක් ම ය. බොහෝ විට එම දරුවාගේ ඊළඟ උපත, සතර අපාය ම වනු ඇත. එසේ ම එම ගබ්සාව සිදු කරන තැනැත්තියගේ සහ එයට සම්බන්ධ වන වෛද්‍යවරුන්ගේ ඉරණම කුමක් විය හැකි ද? ඔවුන්ට කල්ප ගණනකට මනුලොව උපත අහිමි වනු ඇත. එසේ ම මිය යන දරුවා සහ ඔවුන් අතර සසරගත වෛරයක් හට ගන්නේ ය. එම සසරගත වන ගැටළුවෙන් කවදා නම් මිදෙන්නට ඔවුන්ට හැකි වේ ද?

යම් අයුරකින් මෙවන් ගබ්සාවක් යම් කෙනෙක් අතින් සිදු වී ඇත්නම් ඔවුන් කළ යුතු වන්නේ ඒ ගැන සිත සිතා පසුතැවීම නොව අප්‍රමාදීව ධර්මයේ හැසිරී අඩු ගණනේ සෝතාපන්න බවට හෝ පත්වීම ය.

මහ මුහුදේ ජීවත්වන එක් ඇසක් පෙනෙන කැස්බෑවෙක් අහස දකිනු රිසියෙන් වසර 100කට වරක් දිය මතුපිටට පැමිණේ. ඔහුගේ පෙනෙන එක ම එක ඇසත්, විය ගසෙහි එක ම එක සිදුරත් එක් තැනකට එක්ව ඔහු කවදා නම් අහස දකීවි ද..? නමුත් එය ඉතා ඉක්මනින් වුවද සිදු විය හැකි බව පවසා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ එක්වරක් සතර අපායට වැටුනු පුද්ගලයෙක් නැවතත් මිනිස් මව් කුසකට පැමිණීම එයටත් වඩා අතිශයින් ම දුර්ලභ බව ය.

මව්කුස පිළිසිඳ ගන්නා දරුවා අඩුපාඩු සහිත දරුවෙකු බව බිහිවීමට පෙර දැන ගන්නා විට බොහෝ මව්වරු එම දරුවා කුස තුළ දී ම විනාශ කිරීමට කටයුතු කරති. නමුත් එයින් තමන්ට විශාල ප්‍රාණඝාත අකුසලයක් සිදු වන බව සිහිපත් වේ නම්, මෙසේ ආබාධ සහිත දරුවන් ලබනුයේ පෙර ජීවිතවල දී තමා ද තම කුස පිළිසිඳගෙන සිටින එම දරුවා ද එක්ව සිදුකරන ලද පාප කර්මයක විපාකයක් ලෙස බව දැන සිටියා නම් කිසිවිටෙකත් එම දරුවා කුස තුළ දී ම වේදනාත්මක මරණයකට පත් නො කරනු ඇත.

ඒ වෙනුවට එම දරුවා කෙරෙහි අපමණ මෙත් සිතින් යුතුව මෙලොවට බිහි කර, සතර බ්‍රහ්ම විහරණයෙන් යුතුව ඇති දැඩි කර, පෝෂණය කර, තමන්ගේ ජීවිතයට පින් රැස් කර ගැනීමට ඇති අවස්ථාව අත් නො හැර රැක ගත හැකි ය. එයින් සාමාන්‍ය පුද්ගලයෙකු ලබන සතුට සැනසීම ඉක්මවා ගිය සතුටක් ලැබීමට මවක් කැමති විය යුත්තේ ම ය.

දරුවෙක් මව්කුස පිළිසිඳ ගත් පසු එම දරුවා ස්වර්ණමාලී මහා සෑයට පූජා කර අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජස සිහි කරමින් ආරක්ෂා කොට ලොවට බිහි කරන්නට හැකි මව්වරුන් රටට, දැයට හෙට දවසේ හෝ බිහි විය යුතුය යන්න අපගේ පැතුම විය යුතු ය. මන්ද යත්, අප නව මසක් කුසෙහි දරා සිට බිහි කරනුයේ මගඵල ලැබීමට පුණ්‍ය ශක්තිය ඇති හෝ රට දැය ආරක්ෂා කොට මනුෂ්‍ය වර්ගයා හට මහඟු සේවයක් සැලසිය හැකි හෝ ධාර්මික රාජ්‍ය පාලකයෙකු හෝ බවට පත්වීමට හෝ පුණ්‍ය බලය ඇතිව මෙලොවට පිළිපන් කෙනෙක් වන්නට තවමත් ඉඩ ඇති හෙයිනි. එනිසා තම කුස පිළිසිඳ ගන්නා දරුවන් මෙත් සිතින් රැකගැනීම යනු මව් පදවිය ලබන සෑම මවක් විසින් ම සිදුකරනා මහත් වූ පුණ්‍ය කර්මයකි. මේ ගෞතම බුද්ධ රාජ්‍යය යි. එම රාජ්‍යය උදෙසා සුපින්බර රජ කුමරුන් කුමරියන් බිහි කරන්නට හැම මව්වරුන් ගැබ රජ මැදුරක් ම වේවා…!

සටහන – තේජා දිල්රුක්ෂි දයාරත්න