ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවෙනි,

මජ්ක්‍ධිම නිකායේ විතක්ක සණ්ඨාන සූත‍්‍රයේ අකුසල් දුරු කරමින් කුසල් උපදවා ගන්නා උපක‍්‍රම කීපයක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. අකුසලයක් සිතට ආ විට කුසලයක් මෙනෙහි කරමින් අකුසලය දුරු කිරීම එහි පළමු පියවරයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘මහණෙනි, එ් වගේ කුසල් අරමුණක් මෙනෙහි කරද්දීත් කෙනෙකුගේ සිතට පරණ අකුසලය ම මතු වෙවී එන්න පුළුවන්” කියලා. මෙවන් අවස්ථාවකදීත් විමුක්තියක් ආශා කරන, එහෙම නැත්නම් කුසල් වඩන්න ආශා කරන කෙනා සිත වට්ටාගන්නේ නෑ.

සාමාන්‍යයෙන් කෙනෙකුට වෙන්නේ ඔන්න අකුසලයක් හටගන්නවා. එ් වගේ ම එ් අකුසල් ප‍්‍රහාණය කිරීම පිණිස යම්කිසි වීරියකුත් ගන්නවා. එ් වීරිය අසාර්ථක වෙනවා. එතකොට ම එයා මනසින් වැටෙනවා. එයා ‘අනේ මට මේක කර ගන්න බෑ’ කියා වැටෙනවා මිසක් ‘මම මේක කොහොම හරි බේරාගන්නවා’ කියලා සිතේ දැඩි අවශ්‍යතාවයක් පිහිටුවා ගන්නේ නෑ.

එතකොට අපට පේනවා පින් තියෙන කෙනා තමයි මේක කරගන්නේ. මොකද බුද්ධ කාලයේත් සමහර අවස්ථාවල ස්වාමීන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා අවුරුදු විසිපහ තිහ කර්මානුරූපව චිත්ත සමාධියක් නැතුව අඬ අඬා මාර්ගය වඩමින් ඉඳලා තියෙනවා. හැබැයි වැදගත් ම දේ එ් අය අඬ අඬා හරි මාර්ගය වැඩුවා. අත්නොහැර එ් ගමන ගියා. එ් විදියට අත් නොහැර ගියේ පින් බලයෙන්. නැත්නම් සුළු කලෙකින් මේ මාර්ගය අත්හරින අය කොච්චර ද?

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘දැන් ඔන්න මෙයා කුසල් අරමුණු මෙනෙහි කරනවා. නමුත් මේ කුසල් අරමුණ යටකරගෙන අර අකුසල බලවේගය ම සිතේ ඉස්මතු වෙනවා.” එ් කියන්නේ අකුසලය ප‍්‍රහාණය කිරීම පිණිස එ් කුසල අරමුණ ප‍්‍රමාණවත් මදි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එතකොට එ් අකුසල සිතුවිල්ලේ තියෙන භයානක විපාක, ආදීනව මෙනෙහි කරන්න කියලා.

‘මගේ හිතේ පවත්වන මේ ආශාව, එහෙම නැත්නම් ද්වේෂය, එහෙම නැත්නම් මෝහය හොඳ එකක් නො වෙයි. මේක මට බොහෝ කල් දුක් පිණිස හේතුවෙන එකක්. අනතුර පිණිස පවතින එකක්, අන් අයටත් බොහෝ කල් අයහපත පිණිස, දුක් පිණිස පවතින එකක් කියලා මෙනෙහි කරන්නට ඕනි.

බුදුරජාණන් වහන්සේ අපට එය උපමාවකින් මෙලෙස පෙන්වා දෙනවා. ලස්සනට ඉන්න කැමති ගෑනු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් හොඳට නාලා පිරිසිදු වෙලා ඉන්න මොහොතක එයාගේ ඇඟට සර්පකුණක් හරි බලූ කුණක් හරි මළමිනියක් හරි දැම්මොත් එ් කෙනා පිළිකුල උපදවා ගන්නේ යම් සේ ද, ඉක්මනින් එය විසිකොට කුණු ගෑවුනු තැන් සෝදා ගන්නේ යම් සේ ද, අන්න එ් විදිහට අකුසලය දිහා පිළිකුලෙන් ආදීනව දැකිය යුත්තේ.

මේ විදිහට අකුසලයේ ආදීනව මෙනෙහි කරන්න දක්ෂ කෙනාට එ් අකුසලය ප‍්‍රහාණය කර ගැනීමට හැකි වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම් දක්ෂ අයුරින් මේ නිවන් මග අපට පෙන්වා දෙනවා ද කියා.

ඔබත් මේ උපක‍්‍රම හොඳින් ඉගෙන ගෙන පුරුදු කිරීමට උත්සාහ කරන්න. අප සියලූ දෙනාට ද සිතේ උපදින ළාමක අකුසල් දුරු කර ගැනීම පිණිසත්, කුසල් උපදවා සුවසේ දහම් මගේ හැසිරීම පිණිසත් මේ උතුම් අවවාදය උපකාර වේවා!

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

මහාමේඝ 2016 මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

– අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –