රූපලාවන්‍ය සත්කාරයක් වෙනුවෙන් භාවිත කළ ඖෂධ නිසා ඇති වූ ආසාත්මිකතාවයකින් වෛද්‍යවරියක මරණයට පත් වූයේ පසු ගිය නිකිණි මාසයේ ය. එ් මරණයත් සමඟ ම රට පුරා පවතින රූපලාවන්‍යාගාරවල සිදු කරන ප‍්‍රතිකාර පිළිබඳ පුළුල් කතිකාවතක් ඇති විය. භාවිතයේ පවත්නා රූපලාවන්‍ය ක‍්‍රමවේදයන් කොතෙක් දුරට සෞඛ්‍යාරක්ෂිත ද යන්න පිළිබඳ ජනතා අවධානය යොමු කරවීමේ අවශ්‍යතාවය මේ හරහා ගම්‍ය විය.
රූපය ඔප් නංවා ගැනීමට වෙහෙසීම ජීවිතයේ අනිවාර්ය අංගයක් කොට ගත් මිනිසුන් නූතනයේ සේ ම පුරාතනයේ ද විසූහ. දුටුවන් මන බඳිනා රූපකායක උරුමකරුවෙකු වීම හැම කෙනෙකුට ම පි‍්‍රය වූ දෙයකි. ස්වකීය රූපකාය යම් යම් හේතූන් මත පිරිහෙන කල්හි එකී පිරිහීම සඟවාලන්නට බොහෝ පිළියම් යොදන්නේ එනිසා ය. එහෙත් රූපය යනු දිරා වැනසී යාම ම උරුම කර ගත්තකි. අප කැමති වුව ද අකැමැති වුව ද රූපය නැසී යන්නේ ම ය.

එසේ නම්, කළ යුතුව ඇත්තේ රූපය පවත්වා ගැනිමට වෙහෙසීම නොව රූපයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම ය. සුවඳ වත්සුණුවලින් සරසා කොතරම් හැඩ කළ ද සොඳුරු සිනිඳු සළුපිළීයෙන් සංග‍්‍රහ කළ ද මේ කයේ ඇති පිළිකුල් සහගත ස්වභාවයන් වෙනස් වන්නේ නැත. දහදිය දමන, තෙල් ඕජස් දරන, කුණුවලින් වැසී යන, නිතර අපවිත‍්‍ර වන, දුගඳ හමන ස්වභාවයෙන් යුතු කය නිත්‍ය වූ, සැප වූ, සුගන්ධනීය දෙයක් ලෙසින් පවත්වා ගන්නට උත්සාහ දැරීම නිරර්ථක දෙයකි. එ් ඵල රහිත ප‍්‍රයත්නයේ යෙදෙනු වෙනුවට යථාවබෝධය උපදවා ගන්නට අප වෙහෙසෙන්නේ නම් කයේ දිරීම්, වැනසීම් අබිමුව අකම්පිත වන, නො දිරන, නො නැසෙන සුන්දර සිතක් උපදවා ගත හැකි ය.

මනා කොට ලස්සන කර ගත යුත්තේ ද නො පිරිහෙන ලෙස පවත්වා ගත යුත්තේ ද කෙලෙස් කහටින් කිලිටි වන සිත මිස ජරාවෙන්, ව්‍යාධියෙන් පීඩා විඳීම උරුම කරගත් කය නො වේ. එසේ කියා කයේ පිරිසිදු බව හෝ ප‍්‍රියමනාප බව හෝ කෙරෙහි සැලකිලිමත් නො විය යුතු ය කියා සිතිය යුතු නැත. අප විසින් කරන සැලකිලි සත්කාර මධ්‍යයේ වුව ද රූපය දුක් සහගත අනිත්‍ය ස්වභාවයට ගොදුරු වන ආකාරය අප අවබෝධ කර ගත යුතු ය.

පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං,
ආතුරං බහුසංකප්පං යස්ස නත්ථි ධුවං ඨිති.

‘‘හොඳ හැටියට ඇට නහර ගළපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ
ඇත්ත දිහා බලන්න. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක්
නැති දෙයක්. නමුත් අඥාන ජනයා බහුලව සිතන්නෙ ම මේ ශරීරය ගැන ම යි.”

පස්ස චිත්තකතං රූපං මණිනා කුණ්ඩලේන ච,
අට්ඨිත්තචේන ඕනද්ධං සහ වත්ථේහි සෝභති.

‘‘මුතු මැණික් ආභරණවලින් සරසලා තිබුණත් මේ ශරීරයේ සත්‍ය
තත්ත්වය ම යි බලන්ට ඕන. හමකින් ඔතා තිබෙන මේ ඇට ගොඩ ලස්සනට පේන්නෙ ඇඳුම නිසා.”

අඤ්ජනීව නවා චිත්තා පූතිකායෝ අලංකතෝ
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.

‘‘මේ කුණු ශරීරය කොයි තරම් ලස්සනට සරසලා අලංකාර කරලා
අලූත් භාජනයක් වගේ තැබුවත් මෝඩ ජනතාවගේ මෝහයට විතරයි එ්ක
ගැළපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට එ්කෙන් ඵලක් නෑ.”

(රට්ඨපාල සූත‍්‍රය – ම. නි.)

මේ සත්‍ය අප අවබෝධ කරගත යුතු ය. උදම් අනන්නට හෝ ආවඩන්නට සුදුසු වූ ප‍්‍රශංසනීය අංගයක් කයේ නැත. කයේ ඇති ඇත්ත ස්වභාවය ගැන සිහිය පවත්වා ගනිමින් සියලූ රූපයන්ගෙන් නිදහස් වන්නට

සියල්ලන්ට ම භාග්‍යය උදා වේවා!!!