‘‘මඟ සිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී” යන පැරණි කියමන නැවතත් අපට සිහිගන්වන සිදුවීම් මාලාවක් දැන් අප ඉදිරියේ දිස් වන්නට පටන් ගෙන ඇත. පසුගිය සති කීපය තුළ මා හා කතා කළ බොහෝ දෙනෙකුගේ වදන්වල ගැබ් වී තිබුණේ මෙම පැරණි කියමනට ගැළපෙන අදහසකි.

ඔවුන් බොහෝ දෙනෙක් ඇසුවේ ‘‘අපට දැන් බියක් සැකක් නො මැති ව කන්නට ඉතිරිව තිබෙන්නේ මොනවා ද?” යන ප‍්‍රශ්නයයි. මෙය සාධාරණ ප‍්‍රශ්නයකි. එසේ ම ‘හරිත විප්ලවය’ නම් වූ ඓතිහාසික ප්‍රෝඩාවේ තවත් මහඟු ඵලයකි. රසායන යෙදවුම් යෙදූ අප කන සහල්වලත්, එළවළුවලත් රසායනික ශේෂයන් නිසා නොයෙකුත් රෝගාබාධවලට ගොදුරු වන බව නවීන යැයි කියාගන්නා විද්‍යාව විසින් ම ඔප්පු කර ඇත. පාන් පිටි ආහාර නිසා දියවැඩියාව, අධික තරබාරුව වැනි ආබාධ ඇති වන බව පෝෂණ විද්‍යාඥයෝ ම කියති.

ඞීසීඞී (DCD) යනු නවසීලන්තයේ තණබිම්වලට යොදන හෝ කිරිවලට ඍජුව ම එක් කරන රසායනික ප‍්‍රතිකාරයකි. සකලවිධ පෝෂණ ගුණයන්ගෙන් යුතු යැයි වාණිජ ව්‍යාපාර විසින් ප‍්‍රචාරණය කරනු ලබන ඇතැම් සමාගම්වල කිරි ආශ‍්‍රිත නිෂ්පාදනවල ඞීසීඞී නමැති අහිතකර රසායනය අඩංගු වී ඇති නිසා ඒවා පරිභෝජනය නො කළ යුතු යයි රජය විසින් ම මෑතක දී නිවේදනය කරන ලදී.

මේ එක් පැත්තක් පමණි. මේ එළදෙනුන්ගේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා දෙනු ලබන හෝමෝන ද අපටත් පරිභෝජනය කිරීමට සිදුව ඇත. දුප්පත් – පොහොසත් භේදයකින් තොරව ලෝකයේ බොහෝ රටවල් කාබනික කිරි සඳහා යොමු වන්නේ මෙහි අහිතකර ප‍්‍රතිවිපාක හඳුනාගෙන ය.

ළදරුවන්ගේ සහ ළමුන්ගේ බුද්ධි වර්ධනයට උපකාර කරන්නේ යයි මහා හඬක් නැංවූ කිරි ආහාර දැන් ඇත්තට ම ළදරුවන්ගේ සහ ළමුන්ගේ මාරයා බවට කරුණු ඔප්පු වෙමින් පවතිනවා නො වේ ද?

මහාමේඝ පසුගිය කලාපයක ලිපියකින් මා ඔබට සඳහන් කරන්නට යෙදුණ කරුණක් යළි අවධාරණය කළ යුතු යයි සිතුවෙමි. එනම් අප අද අනුභව කරන සියලූ ආහාර වස බව ය. මෙම කරුණු දැන් මනාව ඔප්පු වී නැති ද?
අවධාරණය කළ යුතු කරුණක් නම් මේ සියලූ ආහාර වර්ගවල විෂ සහිත බව ස්වභාව ධර්මයාගේ නියමයක් නො ව ස්වභාව ධර්මයට පටහැනිව ලාභාපේක්ෂාවෙන් මඩනා ලද බහුජාතික සමාගම්වල නියමයන් බව ය. මෙම බහුජාතික සමාගම් කෙතරම් බලවත් ද යන්නට උදාහරණ අවශ්‍ය නැත. ඇමරිකාව පාලනය කරන්නේ එම සමාගම් විසිනි. නවසීලන්තය පාලනය කරන්නේ එම සමාගම් විසිනි. ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටවල් පර්යේෂණාගාර ලෙස යොදා ගන්නේ ද එකී මාෆියාවේ ම තවත් පියවරක් වශයෙනි.

ආහාර වශයෙන් වෙළඳ පොළේ ඇති දෑවල ආරක්ෂිත බව පිළිබඳ ව ඔබට විශ්වාසයක් ඇති කර ගත හැකි ද? කිසි සේත් නැත. පහත සඳහන් සාකච්ඡාවල උද්ධෘතය ඔබට යම් අදහසක් ඇති කර දෙනවා ඇත.

නවසීලන්ත කිරි ආහාර නිපදවන සමාගම්වල ඒකාබද්ධ සම්මේලනයක් ඇත. එහි සභාපතිත්වය දරන්නේ ද මෑත දී ලොව පුරා මහත් ආන්දෝලනයට තුඩු දුන් නවසීලන්ත කිරිපිටි සමාගම ය. පසුගිය දා පවත්වන ලද එහි රැස්වීමක දී එක් සාමාජිකයකු එහි සභාපති වන අදාළ සමාගමේ එවකට සිටි අධ්‍යක්ෂවරයාට ප‍්‍රසිද්ධියේ ම චෝදනා කළේ කරුණු දැන දැනම ඞීසීඞී අඩංගු කිරි ආහාර වෙළඳපළට නිකුත් කළේ ඇයි ද? යනුවෙනි. ඔහු පිළිතුරු දී ගත නො හැකි ව නිෂ්ශබ්දව සිටිද්දී එම සාමාජිකයා කීවේ අපට දැන් අපගේ සම්මේලනය පිළිබඳ ව තිබූ විශ්වාසය නැතිව ගොස් ඇති බව ය. (Dominion Post  – 2013/02/02 නවසීලන්ත පුවත්පතකි)
අනෙකුත් නවසීලන්ත කිරි ආහාර සමාගම්වලට ද විශ්වාසය තැබිය නො හැකි සමාගමක් කෙරෙහි සයුරින් ද ගව් ගණනක් එපිට සිටිනා අපට විශ්වාසය තැබිය හැකි ද?

මෙම තොරතුරු ඔබට ඉදිරිපත් කිරීමෙන් අප උත්සාහ කරන්නේ කිරි පරිභෝජනය නො කරන ලෙසට ඔබව පෙළඹවීමට හෝ බිය වැද්දවීමට නො වේ. අපට අවශ්‍ය පෝෂණය ලබා ගැනීමට එළකිරි ඉතා අනගි ආහාරයකි. ඒ පිළිබඳ ව අපට කිසිදු ගැටලූවක් නො මැත. එහෙත් එළකිරි වශයෙන් ඔබට ලැබෙන්නේ විශ්වාසදායක නිෂ්පාදනයක් ද යන්න ගැන ඔබ දැනුවත් වී සිටිය යුතු යැයි සිතමි. බහුජාතික සමාගම්වලට ඔබගේ පෝෂණ මට්ටම නැංවීමට කිසිදු කැක්කුමක් නැත. මෙය නිත්‍ය වශයෙන් ම ප්‍රෝඩාවකි…. මාෆියාවකි. ඔවුන්ගේ ඒකායන පරමාර්ථය ඔබට කුමන වස විසක් හෝ ගිල්වා තම මඩිය තර කර ගැනීම පමණි.

නවීන විද්‍යාවේ නාමයෙන් නවීන යයි කියා ගන්නා තාක්ෂණය යොදමින් තම ලාභය උපරිම කර ගැනීමට යොදන කූට උපක‍්‍රම නවීන විද්‍යාවේ පිහිටෙන් ම එළිදරව් වන අන්දම කර්ම ඵලවල ස්වභාවය පෙන්නුම් කිරීමක් බඳු ය.

අපට මතුවී ඇති එක් ප‍්‍රධාන ගැටලූවක් නම් අප දැන් ආහාර වශයෙන් ගත යුත්තේ කුමක් ද? කියා ය. වෙළඳ දැන්වීම්වල කියැවෙන මනස්ගාතවලින් ඔබගේ ඔළුව ඔවුනට වුවමනා තරමට අවුල් කර ඇති හෙයින් අපට සිදුව ඇත්තේ ඔවුන්ගේ අනුකම්පාව යටතේ ලැබෙන තොරතුරුවල පිහිට පැතීමට බව පෙනේ. මේ කිරිපිටිවල විෂ සහිත බව මුලින් ම දැනගන්නේ ද ඔවුන් ය. ඒවා මිනිස් සිරුරට එතරම් විෂ නො මැති බව කියන්නේ ද ඔවුන් ය. ඞීසීඞී නිපදවන සමාගම් ඒවා නිපදවීම නවතා දැමීමට කටයුතු කළේ වුව ද කිරිපිටි නිපදවන සමාගම් තාමත් කියන්නේ ඞීසීඞී සම්බන්ධව ජාත්‍යන්තර ප‍්‍රමිතියක් නො මැති හෙයින් එහි විෂ සහිත බව ඔප්පු කර නො මැති බව ය.

මහාමේඝ 2013 නිකිණි කලාපයේ, ‘වස විස පිරි රට රොඩු කිරි වෙනුවට – රසගුණ පිරි අපේ ම රටේ එළකිරි බොමු’ යන මැයෙන් පළවූ ලිපිය කියවා මේ ප‍්‍රශ්නයේ දී වඩාත් කථා බහට ලක් වූ නවසීලන්ත සමාගමක ශ්‍රී ලංකා ආයතනයේ විධායක අංශයේ ඉහළ පෙළේ නිලධාරිනියක දිගින් දිගට ම අප වෙත පදනම් විරහිත කරුණු දක්වමින් එම ලිපිය විවේචනය කිරීමට උත්සාහ දරන ලදී. ඔවුනගේ නිවැරදි භාවය තහවුරු කිරීමට නානා විධ පුහු තර්ක ඉදිරිපත් කරමින් ලාංකේය ජනතාව එළකිරි භාවිතයට යොමු කරලීම යෝග්‍ය නො වන බව පෙන්වීමට ගෙනහැර දැක්වූ කරුණු අතිශය හාස්‍යජනක මෙන් ම නින්දා සහගත බව නො කියා ම බැරි ය. නවසීලන්ත මව් ආයතනය විසින් ම ඔවුනගේ කිරිපිටිවල ඞීසීඞී ඇති බව පවසද්දී, සියලූ පිළිගත් රසායනාගාර පරීක්‍ෂණයන් තුළින් එය තව දුරටත් තහවුරු වෙද්දී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිනිය විසින් ඒ සියල්ල ප‍්‍රතික්ෂේප කළා ය. මෙම ආයතනයන් සිය වෙළඳ දැන්වීම් තුළින් ලොවට පෙන්වන කරුණාවේ සහ මානවහිතවාදී භාවයේ තරම සහ ඉන් බොහෝ දුර වූ යථාර්ථයෙන් බිඳකි ඒ.

වෙළඳ දැන්වීම්වල ඔබට කියන තොරතුරු ඔබ කොතරම් නො මඟ යවා තිබේ දැයි විමසා බලන්න. මෙම ප‍්‍රස්තුතයට ඍජු ව ම අදාළ හෙයින් එක් මිථ්‍යාවක් පමණක් ඔබේ අවධානයට යොමු කරමි.

ඔබට ස්වාභාවික ආහාරවලින් ලබා ගත හැකි කැල්සියම් පිළිබඳ ව කිසිදු ප‍්‍රචාරක ආයතනයක් දැනුවත් කරන්නේ නැත. රූපවාහිනී දැන්වීම්වල ඔබට කියා ඇති අන්දමට ‘කිරි කැල්සියම්’ නො තිබූයේ නම් ඔබට පුදුමාකාර අවධානම්වලට මුහුණ දීමට සිදුවේ. ළමයාගේ අධ්‍යාපනය බාල වේ. ඔබේ අස්ථි දිරා යයි. ඔස්ටියෝපොරෝසිස් වැළඳීම සිකුරු ය. ජනප‍්‍රිය නළු නිළියන්, කී‍්‍රඩකයන් යොදා ගෙන මෙම පණිවුඩය ඔබට කා වද්දා ඇත. එමනිසා කැල්සියම් බහුල යයි ඔබට කියනු ලබන එම නිෂ්පාදනය ම මිලදී ගැනීිමට ඔබව පොළඹවයි. අල්ලසට යටවූ ඇතැම් වෛද්‍යවරු ද මෙම කැල්සියම් බහුල කිරි පානයට ඔබව පොළඹවති… ප‍්‍රවේශමෙන්!

ඔබේ අස්ථිවලට කැල්සියම් අවශ්‍ය බවට විවාදයක් නැත. එහෙත් ඔබ වැඩි ප‍්‍රමාණයක් කිරි පානය කරන්නේ නම් ඔබ කරන්නේ ඔබේ අස්ථිවල දැනටමත් ඇති කැල්සියම් ඉවතට ඇද දැමීම බව ඔබ දන්නවා ද?

ඔබ සිරුර තුළට ඇතුළු වන කැල්සියම් ගබඩා වන්නේ ඔබේ අස්ථිවල ය. මෙම කැල්සියම් අපගේ රුධිර ප‍්‍රවාහයට මුදා හැරෙන අතර ඒවා වකුගඩු හරහා සිරුරෙන් බැහැර වේ. ලූණු වැඩිපුර සිරුරට ඇතුළු වූවහොත් මෙම ක‍්‍රියාවලිය වේගවත් වන අතර වැඩි ප‍්‍රමාණයක් කැල්සියම් රුධිරයට එක්ව වකුගඩු හරහා සිරුරෙන් පිට වේ. අස්ථි දුර්වල වීම ඇරඹේ.

මෙයට සමාන ක‍්‍රියාවක් ඔබ සිරුරට ඇතුළු කර ගන්නා සත්ව ප්‍රෝටීන නිසා ද සිදු වේ. සත්ව ප්‍රෝටීන ඔබට ලැබෙන්නේ මාලූ, මස් බිත්තර සහ කිරි නිෂ්පාදනවලිනි.

කැල්සියම් වැඩි ප‍්‍රමාණයක් කිරිවල අඩංගු බවට සැකයක් නැත. එහෙත් එමඟින් ඔබේ සිරුරට කැල්සියම් පමණක් නො ව සත්ව ප්‍රෝටීන ද බහුල වශයෙන් ලැබේ. සත්ව ප්‍රෝටීන ශරීරයට අවශෝෂණය කර ගැනීමේ ක‍්‍රියාවලියෙන් සිදුවන දෙයක් නම් ශරීරයේ ආම්ලික බව ඉහළ යාම ය.

අප සිරුර තුළට දමන සියලූ දෙය ම ජීර්ණය වී අප තුළ ඇති ආම්ලික/ක්ෂාරීය සමතුලිත බව වෙනස් කරනු ලබයි. ස්වභාව ධර්මයේ නියමයනට අනුව අප සිරුර එම අසමතුලිතතාව යළි සමතුලිත කිරීමට උත්සාහ කරයි. කිරි ආහාරවල ඇති ආම්ලික බව නිසා ඇති වූ අසමතුලිත බව යථා තත්ත්වයට පත් කිරීම සඳහා අප සිරුර එහි අස්ථිවල ඇති කැල්සියම් මුදා හරී. එමඟින් යළි ආම්ලික/ක්ෂාරීය සමතුලිත බව ඇති කරනු ලබයි. කැල්සියම් ආම්ලික බවට ප‍්‍රතික‍්‍රියා කරන්නකි.

සිතා බලන්න…. වෙළඳ දැන්වීම්වලට අනුව ඔබ ඔබේ දරුවාට දිනකට විශාල කිරි වීදුරු ප‍්‍රමාණයක් සිරුරට එක් කරනවා නො වේ ද? එසේ ඇතුළු කරන කිරි ආහාරවල ඇති ආම්ලික බවට එරෙහිව සටන් කිරීම සඳහා සිරුර තම කැල්සියම් සංචිත එළියට අදී. කිරි වීදුරුවක කැල්සියම් මිලි ග‍්‍රෑම් 300ක් ඇතත්, අවසාන ශුද්ධ ප‍්‍රතිඵලය වන්නේ ඔබේ අස්ථිවල කැල්සියම් ඌනතාවකි. (Save Our Bones – The world’s largest natural osteoporosis community)

American Journal of Epidemiology. Vol. 139. සඟරාව විසින් වර්ෂ 1994 තරම් ඈත දී කරන ලද අධ්‍යයනයක දී පෙනී ගිය කරුණක් වන්නේ බහුල වශයෙන් කිරි පරිභෝජනය නිසා වයස්ගත වූ පසු අස්ථිවල දිරා යාමට ඉඩ බහුල බව ය. ලොව වඩාත් ම කිරි පරිභෝජනය කරන රටවල් නම් ඇමරිකාව, ස්වීඩනය සහ බි‍්‍රතාන්‍යය වැනි රටවල් ය. ඔස්ටියෝපොරෝසිස් රෝගය පැතිර පවත්නේ කිරි බහුල වශයෙන් පරිභෝජනය කරන මෙම රටවල ය.

අඩු වශයෙන් කිරි පරිභෝජනය කරන රටවල ඔස්ටියෝපොරෝසිස් නැත්තට ම නැති තත්ත්වයක් දැකිය හැකි බව Journal of the American Medical Association –  – 2013 සැප්තැම්බර් මස පළ වූ ලිපියකින් පෙන්වා දෙයි. උදාහරණ වශයෙන් දක්වන්නේ අප‍්‍රිකාව සහ ආසියාවේ ජපානය වැනි රටවල් ය.

සියලූ ම විද්‍යාත්මක අධ්‍යයනවලින් ලැබී ඇති නිගමනයන් වන්නේ, කිරි ආහාර පරිභෝජනය නිසා ඔබගේ අස්ථිවල ශක්තිය වැඩිවීමට හේතුකාරක යයි කීමට කිසිදු සාක්ෂියක් නො මැති බව ය. කෙටියෙන් සඳහන් කරනවා නම් කිරි කැල්සියම් ඔස්ටියෝපොරෝසිස්වලට ප‍්‍රතිකර්මයක් බවට ඔප්පු වී නැත.

ඔස්ටියෝපොරෝසිස් රෝගය සම්බන්ධව දිගු කලක සිට පර්යේෂණ කරන ඉහත සඳහන් කළ ආයතන නිර්දේශ කරන්නේ ශරීරයේ කැල්සියම් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ස්වාභාවික ආහාරවලට යොමු වීම වඩාත් උචිත බව ය. එනම් කොළ වර්ග, මාශ භෝග, එළවළු සහ පලතුරු ය. (Harvard’s School of Public Health)

මෙම ලිපියෙහි පරමාර්ථය වන්නේ ඔබ කිරි පානයෙන් වළක්වාලීම නො වේ. කිරි කැල්සියම්වලට පමණක් ඔබව බේරා ගැනීමට හැකි යයි ඔබට දිනපතා කිරි වීදුරු තුනක් වත් පොවා මඩි තර කර ගන්නා ප‍්‍රචාරකයන්ගේ මිථ්‍යාව පැහැදිලි කර දීමට ය. ආහාර පිළිබඳ ව වෙළඳ දැන්වීම්වලින් ඔබ ව මුළා කරන බවට උදාහරණ දීමට ය.

දේශීය ආහාර නැවත පරිභෝජනයට

කැල්සියම් පමණක් ගැන සිතා ඔබ කිරි ආහාරවලට පෙළඹී සිටිනවා ද? කැල්සියම් ලබා ගැනීමට කෙතරම් දේශීය ආහාර අප රට තුළ තිබෙනවා ද? බහුල වශයෙන් ඔබට ලබා ගත හැකි වර්ග කීපයක් පමණක් සඳහන් කරමි.

මුරුංගාවල කිරිවල මෙන් 4 ගුණයක් කැල්සියම් අඩංගු බව කලින් කලාපයක ලිපියක සඳහන් කළෙමි. එමෙන් ම අනෙකුත් පළාවර්ගවල (කූර පළා, සාරණ, කතුරුමුරුංගා ආදිය) සහ වගා නො කළ එළවළු වර්ගවල (වගාවක් ලෙස නඩත්තු නො කෙරෙන, අප අවට පරිසරයෙන් සොයා ගත හැකි ව තිබූ නොයෙක් බටු වර්ග, කරවිල වර්ග, කැකිරි වර්ග වැනි එළවළුවල) අපගේ දෛනික කැල්සියම් අවශ්‍යතාව සපයා ගැනීමට තරම් පෝෂණය ඇත. කොළ වර්ණය සහිත සියලූ ආහාරවල කැල්සියම් බහුල ව ඇත.

බෝංචි වැනි සියලූ මාශ භෝගවල කැල්සියම් බහුල ය. තල, කුරහන්, මෙනේරි වැනි දේශීය ධාන්‍යවල බහුලව කැල්සියම් අඩංගු ය.

පලතුරු සහ එළවළු

සෑම පලතුරු සහ එළවළුවක ම කැල්සියම් යම් ප‍්‍රමාණයක් අඩංගු ය. නිවිති සහ රුබාබ්වල බහුල වශයෙන් කැල්සියම් අඩංගු ය.

ඉඳින් මඳක් සිතා බලන්න. ‘මඟ සිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී’ යන කතාව අදාළ වන්නේ නො දැන ගමනක් යතොත් නො වේ ද? අපට දැන් කන්නට ඉතිරිව ඇත්තේ කුමක් දැයි වික්ෂිප්තව සිටින ඔබට සිතීමට ඉඩක් ඉතිරි කොට නවතිමි.

දේශීය ආහාර පරිභෝජනය තුළින් ඔබට නිරෝගී දිවියක් ගත කිරීමේ වාසනාව උදා වේවා!

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස්
අපට SMS කරන්න
071 018 94 30

හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. ඒ. ජේ. කහඳව

හැපි ග‍්‍රීන්ස් සංවිධානය
057 – 3570333
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව,
කුඹල්වෙල, ඇල්ල.