ජනවාරියේ අවසානය සහ පෙබරවාරියේ ආරම්භය ශී‍්‍ර ලාංකේය සෞඛ්‍ය සේවාවට මහත් කැළලක් එක් කළ ඛේදනීය කාල සීමාවක් ම විය.

නීති පීඨයේ ඉගෙනුම ලබමින් සිටින අචලා ප‍්‍රියදර්ශනීට සිය වම් අත අහිමි වූයේ මේ නින්දිත කාල පරාසයේ ඇරඹුම සනිටුහන් කරවමිනි. නිවසේ දී වූ අනතුරකින් පසු අතේ අස්ථි බිඳීමකට ලක් වූ අචලා ඇතුළත් කෙරුණේ රජයේ රෝහලකට ය. අදාළ ප‍්‍රතිකර්ම ඇයට නිසි පරිදි සිදු කෙරිණි. නිසි පරිදි සිදු නො කෙරුණේ රෝගියා ගැන කළ යුතු වූ පසු විපරමයි. එකී දුර්වලකමේ ප‍්‍රතිඵලයක් ලෙස අචලාට අත අහිමි විය. ඒ පළමුවෙනි ඛේදවාචකයයි.

දෙවැන්න බුද්ධිනී කෞශල්‍යයා දියණියගේ අවාසනාවන්ත මරණයයි. පෞද්ගලික රෝහලක දී සිදුකරන ලද MRI ස්කෑන් පරීක්ෂණයක් අතරතුර ඇති වූ යාන්ත‍්‍රික දෝෂයකට පසු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බුද්ධිනී මිය ගියා ය. ඔක්සිජන් සැපයුම අඩාලව ගිය යන්ත‍්‍රය තුළ සිර වී සිටි බුද්ධිනී ඉක්මනින් එළියට ගැනීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය එතැන නො සිටි බව පසු ව වාර්තා විය.

තවත් එක් ප‍්‍රසිද්ධ රජයේ රෝහලක දී වෛද්‍යවරයෙකු අතින් හෙද සිසුවියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් වූ පුවතක් අනතුරුව වාර්තා විය. ඒ තුන්වන ඛේදවාචකයයි.

අචලාගේ අත අහිමි වීම ගැන ඇතැම් වෛද්‍යවරුන් පවසා සිටියේ ඕනෑම විටෙක මෙවන් අත්වැරදීම් විය හැකි බව ය. රජයේ රෝහලක් තුළ, රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු යටතේ සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ කිසිදු වගකීමක් සෞඛ්‍ය බලධාරීන් හෝ අමාත්‍යංශය වෙත නො මැති බව ද බලධර මුවින් ම නිර්ලජ්ජිත ලෙස ප‍්‍රකාශ වී තිබිණි.
බුද්ධිනීගේ ජීවිතය අහිමි වීම ගැන කිසිදු පරීක්ෂණයක් කිරීමට පළමුව රෝහලේ පාලනාධිකාරය පැවසුවේ රෝහලට එහි කිසිදු වගකීමක් නො මැති බව ය.
හෙද සිසුවියගේ සිදුවීමේ දී අදාළ රෝහල් වෛද්‍යවරුන් සිදු කළේ එවැන්නක් සිදු නො වූ බවත්, ඒ පුවත බරපතළ අපහාසයක් බවත් පවසා වැඩ වර්ජනය කිරීම ය.

අනේ අනිච්චං…!!!

අපේ රටට මේ සිදුව ඇත්තේ කුමක් ද?

අපි කවදත් වෙදැදුරන් හට දෙවිවරුන් යැයි සලකා කටයුතු කරන්නෙමු. එසේ කරන්නේ මව් කුසත්, කනත්තත් අතර ගෙවීයන ජීවිතය තුළ ඔවුන් අප වෙනුවෙන් සිදු කරන මෙහෙවර සුළුපටු නො වන නිසා ය.

රෝගියෙකුගේ ජීවිතය පිළිබඳ සමස්ත වගකීම ඔවුනට පැවරීම හැර අන් අයට කරන්නට දෙයක් නැත. එසේ තිබිය දී මෙවන් ඛේදවාචකයන් සිදුවන විට සහ ඒවායේ වගකීම භාර ගන්නට අයෙක් නො මැති විට, ‘වැටත්, නියරත් ගොයම කා නම් – කාට පවසම් කෙතේ හානිය?’ කියනවා විනා අන් කවරක් කරන්න ද?

සෞඛ්‍ය සේවාවන් තුළ අත්වැරදීම්, කටවැරදීම් තිබිය නො හැකි ය. එසේ වුව හොත් වැරදෙන්නේ කෙනෙකුගේ සමස්ත ජීවිතයයි. දුර්ලභව ලද මනුෂ්‍ය ජීවිතයක් හා කෙරෙන එකී ගනුදෙනුව ඉතා ප‍්‍රවේශමෙන්, සිහිකල්පනාවෙන් කළ යුතු සත්කාරයකි. බහුතර ජීවක පිරිසක් මේ වෘත්තීමය හර පද්ධතිය වටහාගෙන ක‍්‍රියා කළ ද සුළුතරයකගේ නො සැලකිලිමත් ක‍්‍රියා පිළිවෙල එකී කිරි කළයට ගොම බිංදුවක් එක්කොට අවසන් ය. එවන් නිග‍්‍රහයකට මෙම උතුම් වෘත්තිය පත් නො කරවීම, හුදෙක් රාජකාරියක් හෝ වගකීමක් පමණක් නො ව යුතුකමක් ද වන්නේ ය.

එනිසා, ජීවක පරපුරට පණ දෙන මිනිසුනි, බුද්ධෝපස්ථානය හා සම වූ ගිලානෝපස්ථානය නිසි පරිදි සිදු කිරීමට ම සිහිනුවණ උපදවා ගනිත්වා! එය ඔබව සුගතියට යොමු කරවන බව නිසැක ය.