පින්වත් යොවුන් දූ දරුවනේ,

අපට ඉතාම ආසා හිතුණ කථාවකින් අද ලිපිය ඔයාලට අරගෙන එන්න කල්පනා කළේ. මේ පුවත හිතට තදින් දැනුණ පුවතක්. මේක අන්තර්ගත වෙන්නේ සීහළවත්ථු කියන ග්‍රන්ථයේ. එය කියවද්දී තමයි හිතුණේ ‘පොඩි දේකින් හරි අවංකව පටන් ගත්තොත් පිහිටක් ලැබෙන හැටි අපූරුයිනේ’ කියලා. ඉතින් ඒ නිසාමයි ඔයාලා වෙනුවෙන් අරගෙන එන මේ ලිපියට ‘පොඩි දේකින් හරි අවංකව ම පටන් ගන්න’ කියන මාතෘකාව යෙදුවේ.

වෙනදා වගේම සෙනෙහසින් සිහිපත් කරනවා. මේ ලිපියේ අවසානය තෙක් හොඳ අවධානයෙන් කියවන්න. ‘පොඩි දේකින් හරි අවංකව පටන් ගත්තොත් පිහිටක් ලැබෙන හැටි අපූරුයිනේ’ කියලා ඔයාලටත් අනිවාර්යෙන් හිතේවි!

සුරට්ඨයේ හොරෙක්…

ඔව්! අතීතේ ඒ ජනපදේට කිව්වේ සුරට්ඨ කියලා. ඒක තිබුණේ දඹදිව. ඒ කිව්වේ ඉන්දියාවේ. ඒ කාලේ සුරට්ඨය බොහෝම සමෘද්ධිමත්, සශ්‍රීක ජනපදයක්.

ඔය ජනපදයේ තිබුණා මහානිධි කියලා පර්වතයක්.

ඒ සමීපයේ තිබුණා පොඩි විහාරයක්. එහි වැඩ හිටියා එක් ධුතාංගධාරී භික්ෂුවක්.

උන්වහන්සේ එදත් උදෑසන පිණ්ඩපාතේ වැඩම කළා. ලැබුණු දානය අරගෙන යළි විහාරයට වඩිද්දී ඇඟට දහඩිය දාලා. ඒ නිසා අරගෙන ආපු දානේ පාත්‍රය සංඝාවාසේ මේසයක් මත තියලා දානේ වළඳන්ට පෙර ටිකක් පැන්පහසු වෙලා එන්ට උන්වහන්සේ කුටියට වැඩම කළා.

ඔය සුරට්ඨයේ හිටියා රෑ තිස්සේ ගෙවල් වතු ගානේ ඇවිද ඇවිද හොරකං කරන්ට පුරුදු වුණ හොරෙක්. මොහුට තමන්ගේ කියලා කවුරුත් නෑ. අනාථයෙක්. ඒ හින්දාම ඔය මොනවා මොනවා හරි අතපත ගාගෙන තමයි ජීවත් වුණේ.

බඩගින්න කරපු හරියක්…

එදා ඔය හොරා මුළු රෑ පුරා සොරකමේ ඇවිදලත්, කිසිවක් සොරකම් කරගන්ට බැරි වුණා. අඩුගානේ බඩ පුරෝගන්ට පොඩි දෙයක්වත් හම්බුණේ නෑ. එළි වෙද්දී හොඳටෝම බඩගිනි. අහම්බෙට වගේ මේ හොරා අර විහාරේ පැත්තට ආවා.

බඩගින්නේ හිටපු නිසා දානේ පාත්තරේ තිබුණ ආහාරවල සුවඳ මේ හොරාට තදේට දැනුණා. කවුරුත් පේන්ට නැති නිසා ඩිංගිත්තක් සංඝාවාසෙට ඇතුල් වෙලා පාත්තරේ ඇතුළ බැලුවා. දානේ දැකලා මහා කෑදරකමක් ඇති වුණා. නමුත් තේරුණා ‘මේ නම් එකත් එකටම පිණ්ඩපාතෙන් ලැබුණ තාම වළඳපු නැති දානයක්’ කියලා.

නමුත් භික්ෂුවගේ දානේ නිසා හොරෙන් කන්ට හිතුණේ නෑ. පැත්තකින් වාඩි වෙලා මෙහෙම හිතුවා. ‘මේ භික්ෂුව අද මට නොදී ආහාර අනුභව කළොත් නම්, මම අද රාත්‍රියේ ඇවිත් මුන්වහන්සේගේ පාත්‍ර සිවුරු ඔක්කොම හොරකම් කරගෙන යනවා.’

ඔන්න ටික වෙලාවක් ගතවෙද්දී අර උතුම් භික්ෂූන් වහන්සේ පැන්පහසු වෙලා, චෛත්‍යය රාජයන් වහන්සේත් වැඳලා, දන් වළඳන්ට වැඩම කළා. දන් පාත්තරේ දිහා බලාගෙන පැත්තකින් වාඩිවෙලා ඉන්න හොරාව දැක්කා. අනේ උන්වහන්සේට අනුකම්පා හිතුණා.

“ඈ! පින්වත උදේට මොකුත් කාලා නෑ නේද?” කියලා ඇහුවා. නමුත් මේ හොරා කිසිම උත්තරයක් දුන්නේ නෑ. නමුත් උන්වහන්සේට නිහඬ බවෙන් ම තේරුණා තද බඩගින්නක ඉන්න බව. පාත්තරේ තිබුණ මුළු පිණ්ඩපාතය ම වෙන භාජනේකට දාලා හොරාට මෙහෙම කිව්වා.

“අද මට බඩගින්නක් නෑ! ඔහේ මේක කන්ට. මෙතැන වතුරත් තියෙනවා. වතුරත් අරගන්ට.”

මේ හොරාත් හොඳටෝම බඩගින්නේ හිටපු නිසා මේක හුස්මට දෙකට අනුභව කළා. නමුත් බඩ පිරුණට පස්සේ තමන් ගැනම කලකිරීමක් ඇතිවුණා. ‘ෂකේ! බඩගින්නක් කරපු හරියක්! මේ උත්තමයා ගෙයක් පාසා පිණ්ඩපාතේ ගිහිං ලැබුණ දානේ නොවැ මුළුමනින්ම මට දුන්නේ. එහෙව් උත්තමයෙක්ගේ දෙයක්නෙ මං හොරකං කරන්ට හිතුවේ. මේකට නම් සමාව නොගත්තොත් මං කපෝතියි!’ කියලා හිතුණා.

සමාව ඉල්ලුවා…

ඉතින් මේ හොරා ඇත්තම කිව්වා.

“ස්වාමීනි, මම හොරෙක්. හප්පේ! මං උතුම් ඔබවහන්සේටත් අපරාධයක් කරන්ට සිතුවානේ. මට යාදෙන්නේ නැති වෙයි ස්වාමීනී. අනේ මට එයට සමාවෙන්ට!”

“හරි පින්වත, ඒකට මම සමාව දෙනවා. හැබැයි නුඹ මා කියන දේ කරන්ට ඕන.”

“මොකක්ද ස්වාමීනී, මං කරන්ට ඕන?”

“එහෙනං නුඹ මේ මොහොතේ පටන් පන්සිල් රකින්ට ඕන.”

මේ හොරා දන්නේ නෑ පන්සිල්. ඒ හින්දා ඇහුවා “ස්වාමීනි, පන්සිල් කියන්නේ මොනවාද?”

ඔන්න ඒ භික්ෂුව පන්සිල් පැහැදිලි කළා. “පන්සිල් කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකින්ට ඕන. සොරකමෙන් වළකින්ටත් ඕන. වැරදි කාම සේවනයෙන් වළකින්ටත් ඕන. බොරු කීමෙන් වළකින්ටත් ඕන. මත්ද්‍රව්‍ය මත්වතුර භාවිතයෙන් වළකින්ටත් ඕන.”

මේ හොරා කල්පනා කරලා කිව්වා “අනේ ස්වාමීනි, අවංකව ම මට ඕවා නම් රකින්ට බෑ.”

අර උතුම් භික්ෂුව කිව්වා “බෑ කියලා බෑනේ. සමාව දෙන්න නම් අඩුගානේ එකක් හරි රකින්ට ම ඕන.”

ඉතින් මේ හොරා කල්පනා කරලා කරලා කිව්වා “හරි ස්වාමීනී, එහෙනම් මං අවංකව ම එක සිල් පදයක් රකින්නම්. මං වැරදි කාම සේවනයෙන් වළකින්නම්.”

ඔන්න මේ හොරා අවංකව ම ඒ සිල්පදේ භික්ෂුව හමුවේ සමාදන් වුණා. භික්ෂූන් වහන්සේට වන්දනා කරලා පිටත් වුණා.

හාපෝ බෑ! මං සිල් ගත්තා…

මේ ඉතිං කොහොමත් හොරානේ. ඒ නිසා එදා රෑත් මේ මනුස්සයා හොරකමේ යනවා. යද්දී දැක්කා එක ධනවතෙකුගේ ගෙදර මිදුලේ ඉතා වටිනා ගොන්නු දෙන්නෙක් බැඳලා ඉන්නවා. කල්පනා කළා ‘මුන් දෙන්නාව ලිහාගෙන පන්න ගත්තානං හොඳ ගානකට විකුණ ගත්තෑකි’ කියලා.

ඔන්න රෑ මැදියම වෙනකම්ම බලාගෙන හිටියා. ගෙදර අය පහන් නිවලත් සෑහෙන වෙලාවකට පස්සේ හීන්සීරුවේ ඉඩමට ඇතුල් වුණා. නමුත් ඒ වෙලාවෙත් ඒ ගෙදර මැදි වයසේ ස්වාමි දියණිය තමන්ගේ ස්වාමියා ළඟ ම යහනේ වැතිරී නොනිදා හිටියේ. ඇය ළඟම මනුස්සයා හොඳටෝම නිදි. අවදියෙන් හිටපු ඇයට යන්තං ඇහුණු සද්දයක් නිසා ඇය මිදුල දිහා බැලුවා. බලද්දී මේ හොරාව දැක්කා. ඔහු තරුණයෙක්. රූපෙත් කඩවසම්, හැඩිදැඩියි. ඇයට මොහු ගැන හිත ගියා.

තමන්ගේ ස්වාමියාටත් නොදැනෙන්ට ඇය හෙමිහිට යහනෙන් නැඟිට්ටා. සද්දයක් නැතිව හොරාගෙ ළඟටම ඇවිත් ඔහුගේ අතින් ඇල්ලුවා. වැඩි සද්දයක් නැතිව මෙහෙම ඇහුවා “ඈ කොල්ලෝ, මොහොකට ද උඹ මේ වත්තට පැන්නේ?”

මේ හොරාත් බයෙන් ගැහි ගැහී කිව්වා “හානේ! මං මේ හොරෙක්. මං ආවේ ගේ මිදුලේ ඉන්න ගොන්නු දෙන්නා පන්නාගෙන යන්ටයි.”

“හරි හරී! කලබල නොවී හිටපං! මං කාවවත් අවදි කරන්නේ නෑ. උඹ මං කියන දේ කරන්ට කැමති නම්, මං ගොන්නු විතරක් නෙවේ… වෙනත් වස්තු වුණත් අරගෙන යන්ට දෙනවා.”

“කුමක්ද ඉතින් මා කළ යුත්තේ?”

“අසාපන් කොල්ලෝ මා කියන දේ. කම්සැප පතාගෙන මිනිස්සු යුද්ධත් කරනවා. මහා දරුණු සයුරත් තරණය කරනවා. භයානක හොරු මැදට වුණත් තනියම යනවා. භයානක මහ වනේට වුණත් ඇතුල් වෙනවා. මහා ගිරිදුර්ග පවා තරණය කරනවා. ඉතින් තරුණය උඹේ ඔය කඩවසම්, හැඩිදැඩි ඇඟ දැකපු මගේ හිත ඇවිස්සුණා. උඹේ තරුණ කයෙන් මාව කාමයෙන් සතුටු කරාපන්! හැබැයි උඹ මං කියන දේ කරන්නේ නැතිනම් මං උඹට යහතින් යන්ට තියන්නේ නෑ.”

මේ හොරා හරීම බැගෑපත්ව මෙහෙම කිව්වා. “හානේ! සොඳුරු රූ ඇති තැනැත්තී, මම වැරදි කාම සේවනයෙන් වැළකීමේ සිල් පදේ රකිනවා නොවැ! හාපෝ! මට නම් බෑ! මං සිල් ගත්තා.”

හොරා හොඳයිනේ මේ හෙරට වඩා…

මේ ස්ත්‍රිය යහනෙන් අවදි වෙද්දීම ඒ ගෙදර මනුස්සයාටත් ඒක දැනිල, ඔහුත් ඒ වෙලාවෙම සද්ද නොකර ඈ පස්සෙන් ඇවිත්. මේ වෙනකම් වුණ සියලු දේ ඒ මනුස්සයාත් අහගෙන ඉඳලා. ඔහු එකපාරට අත්පුඩි ගහලා සේවකයන්ව කැඳෙව්වා.

සේවකයෝ හොරාව අල්ලලා තඩිබාන්ට හදද්දී ඔහු සේවකයන්ට මෙහෙම කිව්වා. “ඔය හොරා හොඳයි බොලව්! මේන්න මේ හෙරට වඩා. මේ ගෑනිව මගේ දෑහැට නොපෙනෙන්ට ගහලා පන්නපල්ලා!” ඇයව නෙරපා දැම්මා.

මේ හොරාගෙ කරට අත තියලා මෙහෙම කිව්වා. “පුත්‍රය, උඹ අද පටන් මගේ මිත්‍රයෙක්. මං අදින් පස්සේ උඹ ගැන සලකන්නේ මගේම සහෝදරයෙක් කියලා. මේ නිවසේ දේවල් දැන් උඹට පිට දේවල් නොවේ.”

හොරා කල්පනා කළා මේ වෙච්චි දේ ගැන. ‘අපූරුයි නොවැ! වැරදි කාම සේවනය දුරුකිරීම නිසා මට වෙච්චි යහපතක මහත! මං ගොන්නුත් ලැබුවා. යහපත් සොහොයුරෙකුත් ලැබුවා. කාත් කවුරුවත් නැතුව හිටපු මට මියෙන තුරු රැකවරණෙකුත් ලැබුණා. එක සිල් පදයක් රැකීමෙන් මෙලොවදීම මෙච්චර විපාක ලැබුණා නොවැ! හැම සිල් පදයක් ම රැකගත්තොත් කෙතරම් වටීවි ද?

බඩගින්නේ හිටපු මම උතුම් බුද්ධ ශ්‍රාවකයකු කරා එළඹීම නිසාමයි මට මෙතරම් යහපතක් වුණේ. මෙතරම් කලක් රෞද්‍ර පවිටු සොරෙක්ව හිටපු මට මේ පොඩි වෙලාවක් රැකපු සීලය මෙච්චර පිහිටක් ලබාදුන්නා නම් බොහෝ කලක් උනන්දුවෙන් සිල් රැක්කොත් මොනතරම් යහපතක් සැලසෙනු ඇති ද! ඔව්! සීලයේ වටිනාකම තේරුණු මොහොතේ මම හොඳ දැඩි සිතකින් සිල් පිරීමට උත්සාහ කරන්ට ඕන.’

සසරට භය මා හට සිල් දෙනු මැන…!

ඉතින් එදා රැය ගෙවී උදෑසන වුණ ගමන්ම ඔහු බොහෝම සතුටින් විහාරයට ගියා. අර උතුම් භික්ෂුවට මෙහෙම කිව්වා. “ස්වාමීනී, මට පන්සිල් සමාදන් කරවන්න. මම ජීවිතේ තියෙනකම්ම අවංකව ම සිල්පද රකිනවා. කාමයේ වරදවා නොහැසිරීම කියන සිල්පදේ රැකගත් නිසා ස්වාමීනී, මම මරණයෙන් ගැලවුණා.

ස්වාමීනී, මා අහලා තියෙනවා සිල් නොරකින අය දුගතියේ යනවා කියලා. අනේ මං මෙතුවක් කල් සිල් රැක්කේ නෑනේ ස්වාමීනී. මහාවීරයන් වහන්ස, මාව දුගතියෙන් මුදවනු මැන!

බඩගින්නේ සිටි මට ඔබවහන්සේ ආහාර දුන්නා. ඒ වගේම සසර භයෙන් පෙළුනු මට සිල් දෙනු මැන!”

ඔහුගේ කීම අහලා ඒ උතුම් භික්ෂුව ඔහුට අනුකම්පාවෙන් මෙහෙම කිව්වා. “එසේ නම් පින්වත, මම ඔබට සරණ සීලයත් දෙනවා. පන්සිලුත් සමාදන් කරනවා. ඒවා රැකගෙන දුගති භයෙන් මිදෙන්ට.” ඉතින් ඔහු එහිම හිඳ ඇඳිලි බැඳගෙන සරණ සීලයත්, පන්සිල් පදත් සමාදන් වුණා. සිල් රැකීමෙන් පිරිසිදු වූ ඒ හොරා, පව්මල දුරුකොට ධර්මප්‍රීතිය විඳින උපාසකයෙක් බවට පත් වුණා.

පටන් ගන්න…!

ඉතින් බලන්න! අවංකව ම රකින්ට පටන් ගත්තු එක සිල් පදයක් නිසා ඔහු නොසිතූ යහපතකට පත් වුණ හැටි. පොඩි දේකින් හරි අවංකව පටන් ගත්තොත් පිහිටක් ලැබෙන හැටි අපූරුයි නේද? ඒ නිසා ඔයාලත් පොඩි දේකින් හරි අවංකව ම පටන් ගන්න.

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.