දුක් විඳින්න, පීඩා විඳින්න කවුරුත්ම කැමති නෑ. හැමෝම කැමති කුමක් හෝ දෙයකින් ආශ්වාදයක් ලබන්න. සතුටු වෙන්න. අපි කැමති, ලස්සන රූපයක් දැක්කොත් ආය ආයමත් ඒ ලස්සන රූපය දකින්න අපි වෙහෙසෙනවා. ඒ විදියමයි ප්‍රියමනාප මිහිරි කටහඬක් ඇහුණොත්, සුවඳක් දැනුණොත්, රසයක් පහසක් ලැබුවොත් ඒ දේවල් ආය ආයම ලබන්න වෙහෙසෙනවා.
සමහරු කැමතියි එක එක ඇඳුම්වලට. ඇති වීමක් නෑ. ආයෙ ආයෙමත් ඇඳුම් ගන්න හිතෙනවා. ඒ වගේ සෙරෙප්පුවලට, ආභරණවලට, ෆෝන්වලට, වාහනවලට, ඉඩම්වලට, සින්දු අහන්න, ෆිල්ම් බලන්න, එක එක උත්සවවලට යන්න, එක එක කෑම ජාති කන්න, තනතුරු තානාන්තර දරන්න… මේ ආදි විවිධ ආශාවන් ඇති අය ඉන්නවා. තව සමහරු විනෝද ගමන් යන්න, නොයෙකුත් ස්ථාන නරඹන්න යන්න කැමතියි. තමන් වටේ ඉන්න අයගෙන් ඊට අනුබලයක් නැත්තම් ඒ අයට නොදන්වා හොරෙන් හෝ තමන්ගේ අවශ්‍යතාව ඉටුකර ගන්න වෙහෙසෙනවා. තනියම කරගන්න බැරිනම් අනිත් අයට දැනගන්න තියන්න එපා කියලා තව කාව හරි හෝ පිරිසක් හෝ ඒ සඳහා එකතු කරගන්නවා. ඒ තමන් වටේ ඉන්න අය එකතුකරන් කරන්න අපහසු යැයි සිතන නිසා…
එතකොට මේ හැමදෙයක්ම කරන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස නම් වූ ආයතන හය පිනවන්න.
ආශ්වාදය ලබන්න. එතකොට ඒ කැමති දේ ලබාගන්න ආයෙ ආයෙමත් කැපවෙනවා. වෙහෙසෙනවා. ඇත්තටම ඒක වැරදි නෑ. අපි සතුටින් ඉන්න ඕන හැමදාම. නමුත් අපි මේ සතුට, ආශ්වාදය විඳින්න ඕන සිහිනුවණ නැති කරගෙන නෙමෙයි. රාග, ද්වේෂ, මෝහවලින් නිදහස් නොවුණ අපි මැරෙනවා කියන එක, මැරිලා ආය තැනක උපදිනවා කියන එක අමතක නොකර තමයි මේ සතුට, ආශ්වාදය විඳින්න ඕන. මේ ආයතන හය සතුටු කරවන්න, ආශ්වාදය විඳින්න අපි කරන දේවල් සතර අපාය මහගෙදර කරගෙන නම් කරන්නේ ඒ ලබන සතුටේ, ආශ්වාදයේ වටිනාකමක් තියේ ද? එහෙනම් ඒ කෙනා මේ ජීවිතයේ අසාර්ථක කෙනෙක්. හැබැයි මේ සතුට, ආශ්වාදය විඳින ගමන් ඒ යන ගමනේ, ක්‍රියාවේ ආදීනවය දකින්න දක්ෂ වුණා නම්… හැමදෙනාටම යහපතක් සිදු වේවි.
මේ තුන්ලොවට ම එකම හිරු මඬල වූ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා පුද්ගලයෙකුට අවස්ථා අටක් ම තියෙන්නෙ අපිව මේ සියලු දුකින් එතෙර කරවන නිවන් මඟේ හැසිරෙන්න නුසුදුසු අවස්ථා ලෙස. බුදුරජාණන් වහන්සේනමක් පහළවෙලා කෙලෙස් සංසිඳුවන, පිරිනිවනට හේතුවන, සත්‍යාවබෝධය ඇති කරවන මේ ධර්මය දේශනා කරන කල්හි පුද්ගලයෙකු නිරයේ, තිරිසන් යෝනියේ, ප්‍රේත ලෝකයේ, දීර්ඝ ආයුෂ ඇති දෙව්ලොවවල, සිව්වණක් පිරිස දක්නට නැති ඈත ප්‍රත්‍යන්ත ජනපදවල ඉපදිලා නම් ඉන්නේ ඒ හැම අවස්ථාවක්ම නිවන් මඟේ හැසිරෙන්න නුසුදුසු අවස්ථා ලෙස දේශනාකොට වදාළා. ඒ වගේම පුද්ගලයෙකු මිථ්‍යාදෘෂ්ටික නම්, ප්‍රඥාවෙන් තොර නම්, සම්බුදු කෙනෙකුන් නැති කල්හි ඉපදිලා නම් ඒ සියලු අවස්ථා නිවන් මඟේ හැසිරෙන්න නුසුදුසු අවස්ථා ලෙස දේශනා කොට වදාළා. (අක්ඛණ සූත්‍රය)
ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා;
“භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ
දුල්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මිං
දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ
දුල්ලභා සද්ධාසම්පත්ති
දුල්ලභා පබ්බජ්ජා
දුල්ලභං සද්ධම්මස්සවනං”
“මහණෙනි, අප්‍රමාදී ව කටයුතු කරවු. ලෝකයෙහි බුද්ධෝත්පාදයන් දුර්ලභ ය. මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබීම දුර්ලභ ය. ශ්‍රද්ධා සම්පත්තිය දුර්ලභ ය. පැවිදි බව දුර්ලභ ය. ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.” (බ්‍රාහ්මණ සංයුත්තය අට්ඨ කථා) මේ විදියට මේ දුර්ලභ කාරණා සියල්ල මුණගැසුන වෙලාවෙ කවුරුහරි අප්‍රමාදී වෙලා මේ නිවන් මඟේ හැසිරෙන්නේ නැතිව ආයතන හයෙන් ආශ්වාදය ම පත පතා, ආශ්වාදය ම විඳ විඳ ඉන්නවා නම්… ඒ වගේ ම ඒ කරා යන ගමනේ දී තමන්ගෙන් දෙමව්පියන්ට, නෑදෑ හිතවතුන්ට තමන්ගෙන් වෙන්න ඕන යුතුකම්, වගකීම් මඟහරිනවා නම් හෝ මඟහැරෙනවා නම්… ඒ නිසා ම ඒ අයත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා නම්… ඒ විඳින ආශ්වාදයේ වටිනාකම කුමක් ද? මේ විදියට බොහෝ අයට තමන්ගේ භූමිකාවට අදාළ (දෙමව්පියන්, දරුවෝ, ස්වාමිපුරුෂයා, බිරිඳ…) වගකීම්, යුතුකම් මතකෙට නැඟෙද්දී, කාලය බොහෝ ගත වෙලා. ආපසු හැරෙන්න බැරි තරමට බොහෝ දේ සිදු වෙලා. ජීවිතේට කඳුළක්, පසුතැවීමක් ඉතිරි වෙලා. මේ ආයතන හය ම තෘප්තිමත් කරන්න, ආශ්වාදය ලබන්න අනුගමනය කළ වැඩපිළිවෙළේ අයාලේ ගිය ජීවිතේ කෙලෙස් වැගිරිලා, රාග, ද්වේෂ, මෝහ වැඩි වෙලා, අසාර්ථක වෙලා. දුර්ලභව ලද සියලු කාරණා කල්ප ගණනකට අහිමි වෙලා සතර අපාය ම උරුම වෙලා.
දුතිය සමුද්ද සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා,
“සමුද්දෝ සමුද්දෝති භික්ඛවේ, අස්සුතවා පුථුජ්ජනෝ භාසති. නේසෝ භික්ඛවේ, අරියස්ස විනයේ සමුද්දෝ. මහා ඒසෝ භික්ඛවේ, උදකරාසි මහා උදකණ්ණවෝ. සන්ති භික්ඛවේ, චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අයං වුච්චති භික්ඛවේ, අරියස්ස විනයේ සමුද්දෝ.
පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා ‘මහා සයුර, මහා සයුර’ කියලා කියනවා. නමුත් පින්වත් මහණෙනි, ආර්ය විනයෙහි ‘මහා සයුර’ කියලා කියන්නේ ඒකට නොවෙයි. ඒක පින්වත් මහණෙනි, මහා වතුර ගොඩක් විතරයි. මහා ජල කඳක් විතරයි, පින්වත් මහණෙනි, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා රූප තියෙනවා. ආර්ය විනයෙහි ‘මහා සයුර’ කියන්නේ මෙයටයි.”
ඒ විදිහටම තමා කනෙන් දැන ගත යුතු වූ ශබ්ද, නාසයෙන් දැන ගත යුතු වූ ගන්ධ, දිවෙන් දැන ගත යුතු වූ රස, කයෙන් දැන ගත යුතු වූ පහස, මනසින් දැනගත යුතු වූ අරමුණු.
ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ බාළිසිකෝපම සූත්‍රයේ දී වදාළා, “භික්ෂුවක් මේ ආයතන හය ඔස්සේ මේ දේවල් පිළිගන්නවා නම්, ගුණ කියනවා නම් ඒ මාරයාගේ බිලී කොක්ක ගිලපු භික්ෂුව දුකට වැටිලා, විපතට වැටිලා පවිටු මාරයාට කැමති දෙයක් කළ හැකි වෙනවා.” යනුවෙන්.
එතකොට පුද්ගලයෙක් තමන් කැමති දේ ලබන්න, ආශ්වාදය පිණිස එකම දේ ආය ආය ලබන්න යද්දි ඒ කෙනා රාග, ද්වේෂ, මෝහවලට යට වෙනවා ම යි. එතකොට ඒ කෙනාට අහිමි වන්නේ දුර්ලභව ලබන කාරණා. භාග්‍යවතුන් වහන්සේ ඛීරරුක්ඛෝපම සූත්‍රයේ දී වදාළා ඒක හරියට ඇහැටු/ නුග/ පුළිල/ දිඹුල් ආදි ළපටි හෝ වැඩුණු ගසකට තියුණු කෙටේරියකින් ගසේ කවර තැනකට කෙටුවත් කිරි වැක්කෙරෙනවා වාගේ රාග, ද්වේෂ, මෝහ දුරු නොකරපු හිත ඔහු ඉදිරියට ස්වල්ප වූ නමුත් රූපයක්, ශබ්දයක්, ගඳ සුවඳක්, රසයක්, පහසක්, අරමුණක් ආවොත් යටවෙනවා ම යි යනුවෙන්.
ඒ වගේ ම, “මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ගැන නිමිති සටහනක්වත් ගන්න එක හොඳ නෑ. ඊට වඩා ගිනිදැල් විහිදෙන, ගිනියම් වූ යකඩ ආයුධයකින්, යකඩ හුලකින්, තියුණු නියනකින්, තියුණු දැලිපිහියකින්, තියුණු සැතකින් මේ ඇස, කන, නාසය, දිව, කය, මනස නම් ආයතන හය අතුල්ලන එක වඩා වටිනවා.” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ ආදිත්තපරියාය සූත්‍රයේ දී දේශනා කොට වදාළා. ඒ ආශ්වාදයට ගිජු වුණ විඤ්ඤාණයක් තියෙද්දී ඒ කෙනා මැරුණොත් තිරිසන් යෝනියේ හරි, නිරයේ හරි එයාගේ උපත සිදුවන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.
නමුත් පුද්ගලයෙක් මේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන මේ ආයතන හය සතුටු කරවීම පිණිස, ආශ්වාදය පිණිස එකම දේ ආය ආය ලබන්න වෙහෙසෙන එකෙන් බැහැර වුණා නම් ඒ කෙනා මාරයාගේ බිලීකොක්කෙන් නිදහස් වුණා වෙනවා. වේළුණු, කොළ හැළුණු ඇහැටු / නුග / පුළිල / දිඹුල් ආදි ගසකට කෙටුව විට කිරි වැක්කෙරෙන්නේ නෑ වගේ ඒ පුද්ගලයාත්, රාග, ද්වේෂ, මෝහ අරමුණුවලින් සදහටම නිදහස් වුණා වෙනවා. දුර්ලභ කාරණා සියල්ල මුණගැසුන වෙලාවෙ අප්‍රමාදී ව සිටිමින් ඒ පුද්ගලයාගේ ජීවිතයට සියලු යහපත සලසාගත්තා වෙනවා.
රෑට දකින හීන උදේ වෙද්දී බොඳ වෙලා. ඒ වගෙයි මේ ආයතන හය සතුටු කරවන්න, ආශ්වාදය ලබන්න ආය ආයමත් එකම දේ සොයාගෙන යන අයගේ ජීවිත කථාව. සැපපහසුව පිණිස ඉගෙන ගන්න, රැකීරක්ෂා කරන්න වෙහෙසෙන ගමන් ලද දෙයින් සතුටු වෙන්න දක්ෂ වෙන්න පුළුවන් වුණා නම්, තමන් නිසා අනිත් අය අපහසුතාවයට පීඩාවට පත් වෙන එක වළක්වන්න පුළුවන් වුණා නම් ඒ ජීවිතේ හිස් නෑ. ඒ ජීවිතේට වටිනාකමක් තියෙනවා. මේ ඉමක් කොණක් නැති තමන්ගෙ සංසාර ගමන සැපවත් කරගන්න, කෙටි කරගන්නත් ඒක උපකාරයක් වෙනවා. ඒ නිසා අපි ලැබෙන දෙයින් සතුටු වෙමු. ඇස, කන, නාසය, දිව, කය, මනස යන මේ ආයතන හයෙන් ආශ්වාදය ලබන්න, එකම දේ ආය ආය ලබන්න වෙහෙසන ශ්‍රමය, කාලය, ධනය වෙනත් යහපත් දෙයකට යොමු කරමු. වෙන කාට හරි ඇඳුමක් අරන් දෙන්න, කන්න දෙයක් දෙන්න, තමන්ගේ පවුලේ හෝ ගමේ පොදු කටයුතුවලට උදව් කරන්න, ගිලන් උපස්ථාන කරන්න, බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන කරන්න… මේ ආදී බොහෝ යහපත් දේ සඳහා අපි හොයන ධනයෙන්, අපේ ශ්‍රමයෙන්, කාලයෙන් කොටසක් වෙන් කරමු.
ඒ විදියට තමන් හිතන විදිය වෙනස් කරගත්තොත් ඒ කෙනා තමන්ටත් උපකාර වෙලා. අනිත් අයටත් උපකාර වෙලා.
අතිශයින් ම දුර්ලභව ලැබුණ මනුස්ස ජීවිතයේ දුර්ලභ කාරණා සියල්ල මුණගැසුන වෙලාවේ අප්‍රමාදයට උපකාර වෙන විදියේ දෙයක් තමන්ගේ ජීවිතයට සිදු කරගෙන…
“අප්පමාදෝ අමත පදං – පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්තී – යේ පමත්තා යථා මතා”
“අප්‍රමාදී ව සීල, සමාධි, ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නේ ආයෙ ආයෙමත් මරණය විතරයි. අප්‍රමාදී ව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළකඳන් වගේ තමයි.”
(ධම්මපදය – අප්පමාද වර්ගය)
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments