රටක රාජ්‍යත්වය යනු ඒ රටෙහි පවතින සියලු‍ බලමුළුවල කේන්ද්‍රස්ථානයයි. ඒ රාජ්‍යත්වයෙන් යම් සම්මා දිට්ඨියක් පිදුම් ලබන්නේ නම් එය මුළු මහත් සත්ව වර්ගයාට ම යහපත සාදන්නකි. එසේම යම් මිථ්‍යා දෘෂ්ටියක් ඒ රාජ්‍යත්වයෙන් පිදුම් ලබන්නේ නම් ඒ මුළු මහත් සත්ව වර්ගයා හට ම අයහපත, දුර්භාග්‍යය ඇති කරවන කරුණකි. බුදු සසුනේ උණුසුම ලැබීමට, ඒ බුදු සසුනේ පිහිට ලබා සසරින් එතෙර වූ උතුමන් ඇසුරු කිරීමට තරම් අතිශයින් භාග්‍යසම්පන්න වූ ලක්රජය කරවූ අතීත රජවරු ඒ ඇසුරෙන් රැස් කරන ලද අතිමහත් පුණ්‍යස්කන්ධය පිළිබඳ හෙළිදරව් කරනා ලිපිපෙළේ සිවුවැනි දිගහැරුමයි මේ!

රටක රජතුමා, රටේ පැවැත්ම කෙරෙහි කෙතරම් බලපෑමක් සිදු කරනවා ද යන කාරණාව පැහැදිලි කරන ඉතා රසවත් සිදුවීමක් අපේ ඉපැරණි ග්‍රන්ථයක් වන සීහල වත්ථු නම් ග්‍රන්ථයේ සඳහන් වේ. මේ සිදුවීම සිදුවන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයට පසු නමුදු ගෞතම බුද්ධ ශාසනය උදා වීමට පෙර ය. එකල දඹදිව රාජ්‍යය කළේ අතිදේව නම් රජ කෙනෙකි. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් කුමරු රාජ්‍යත්වයට පත් වූ අතර ඒ රජතුමා දැහැමි නමුත් භවභෝග සම්පත්වලින් අඩු වූ කෙනෙකු විය. එහෙයින් හෙතෙම අන් අයගේ දේට ආශා කළ ලෝභී තැනැත්තෙක් විය. දිනක් භාණ්ඩාගාරය හැර බැලූ රජතුමා එය හිස්ව ඇති බව දුටුවේ ය. පසුදින අමාත්‍ය මණ්ඩලය රැස් කළ රජතුමා තම භාණ්ඩාගාරය හිස්ව ඇති බව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළේ ය. එවිට එක් අමාත්‍යවරයෙක් පැවසුවේ, භාණ්ඩාගාරයේ තත්ත්වය එසේ වුවද රටේ ජනතාව හට භවභෝග සම්පත් යහමින් ඇති බැවින් කහවණු පිරවූ මලු‍ තම නිවෙස් ඉදිරියෙන් තබා රජතුමාට ධනය ලබා දෙන ලෙස, රාජ ආඥාවක් නිකුත් කළ යුතු බවයි. එසේ අධාර්මිකව ධනය ලබා ගැනීමට විරුද්ධ වූ රජතුමා පැවසුවේ, භාණ්ඩාගාරයට ධනය සෙවිය යුත්තේ යම් ධාර්මික පිළිවෙළකින් බවයි. මේ පිළිබඳ යම් තීරණයක් ගැනීම පිණිස එම අමාත්‍යවරයා සමඟ ම ජනපද චාරිකාවේ යාමට රජතුමා තීරණය කළේ ය.

පසුදින පාන්දරින් ම මගියන් දෙදෙනෙකු ලෙස වෙස්වලා ගත් රජතුමාත්, එම අමාත්‍යවරයාත් ජනපද චාරිකාවෙහි පිටත් වූහ. ක්‍රමයෙන් දිවා කාලය එළඹෙත්ම රජතුමාටත්, එම අමාත්‍යවරයාටත් කුසගිනි දැනෙන්නට විය. ඒ මොහොතේ ඒ අසල තිබූ දුගී පැල්පතක මැහැල්ලක් සිටිනු රජතුමාත්, අමාත්‍යවරයාත් දුටුවෝ ය. එම මැහැල්ල ඇමතූ රජතුමා පැවසූයේ, තමන් දෙදෙනාට බොහෝ කුසගිනි ඇති බවත් කෑමට යමක් ඉල්ලාගත හැකි ද යන්නත් ය. එයට එකඟ වූ මැහැල්ල රජතුමාත්, අමාත්‍යවරයාත් තම නිවස තුළට කැඳවූවා ය. ඉන්පසු ඈ විචාළේ ආහාර ගැනීමට ඔවුන් කැමති උක් පැණි සමඟ ද? නැතහොත් දී කිරි සමඟ ද? එසේත් නැතහොත් ගිතෙල් සමඟ ද? යන්නයි. මගීන් ලෙස වෙස්වලා ගත් මේ දෙදෙනා උක් පැණි සමග ආහාර ගැනීමට කැමැත්ත පළ කළහ. ඒ මොහොතේ එම මැහැල්ල මිදුලට බැස උක් පඳුරකින්, උක්පුරුක් දෙකක් කපාගෙන ආවා ය. ඉන්පසු ඈ එම උක් පුරුකක් දෑතින් අල්ලා මිරිකූ නමුත් එයින් උක් යුෂ වෑස්සුනේ නැති අතර ඒවා වියළී ගිය රොඩු මිටක් මෙන් විය. මේ සිදුවීම දෙස බලා සිටි රජතුමාත්, අමාත්‍යවරයාත් විස්මයට පත් වී මැහැල්ල අමතා විමසූයේ උක් ගසෙන් එසේ පැණි වෑස්සෙන්නේ නැති බවට හේතුව කුමක්ද යන්නයි. එවිට මැහැල්ල පැවසූයේ පෙර දවස නම් එසේ උක් පුරුකක් අල්ලා මිරිකන විට නැළි දෙකක් පමණ පැණි වෑස්සෙන බවත්, දැන් එසේ නොවීමට හේතුව රටේ රජතුමාගේ අධාර්මික පාලනය බවත් ය. මේ කරුණ අසා විස්මයට පත් රජතුමා උක්වලින් යුෂ නොලැබීමත්, රජුගේ රාජ්‍ය පාලනයත් අතර ඇති සම්බන්ධතාවය කුමක්දැයි පහදා දෙන ලෙස ඉල්ලා සිටියේ ය. ඒ අවස්ථාවේ දී එම කරුණ රජතුමාට පහදා දෙමින්, පොළොවෙහි සාරයක් නොමැතිව, ගස් ගල්වල පවා සාරවත් බවක් නොමැති වී ඇත්තේ රටේ රජතුමා ලෝභී, අන් අයගේ දෑට ආසා ඇති කෙනෙක් නිසා බව ඒ මහලු‍ ස්ත්‍රිය පවසා සිටියා ය. මෙහිදී තවදුරටත් විස්මයට පත් රජතුමා පෘථිවියත්, ගහකොළත්, රට වැසියනුත්, රජතුමාත් අතර ඇති සම්බන්ධය කෙසේ එකක් දැයි විමසා සිටියේ ය. එහිදී ඈ පැවසූ කරුණු මෙසේ ය.

“‍අධාර්මික රජතෙමේ නපුරු ය, එසේම චණ්ඩ ය. ඒ රජ නිසා ලෝකය විනාශ වී යන්නේ ය. රජු අධාර්මික වූ විට වර්ෂාව ද විෂම වේ. එවිට ඇල්වී, මුං, මෑ ආදී වගාවන් පිරිහෙයි. හොඳ අස්වැන්නක් නොලැබෙයි. එසේම මිහිරි රස, කුළු රස, තිත්ත රස, කසට රස හා ලු‍ණු රස යන මේවා නීරස බවට පත් වෙයි.

පෘථිවි ඕජාවත්, අල හා ගෙඩි වර්ගවල ඕජා ගුණයත් අතුරුදහන් වෙයි. එමතුද නොව රටේ රජතුමා අධාර්මික වූ කල රට වැසියන් අතර හොරකම්, මැරකම්, කපටිකම්, වංචා, දූෂණ, පරදාර සේවනය යනාදී පව්කම් ඉහළ යයි. කිරි ලබාදෙන ගව දෙනුන්ගේ කිරි ප්‍රමාණය අඩුවෙයි. වෙසෙසින්ම ඒ රටේ වාසය කරන ශ්‍රමණබ්‍රාහ්මණ සහ අන්‍ය දෘෂ්ටිකයින්ගේ එම සීල තේජස පිරිහී සීලාදී ගුණධර්ම ක්‍රමයෙන් අතුරුදන් වී යයි. එසේම ඒ රජ ඇසුරු කරන පිරිස ද සතර සංග්‍රහ වස්තුවලින් පවා පිරිහීමෙන් පිරිහීමට යයි. ගෙඩි හට ගන්වන්නා වූ පුෂ්ප ආදියේ අඩු වීම නිසා අස්වැන්න ද පහළ යයි.”

ඉන්පසු ඒ මහලු‍ තැනැත්තිය රජතුමා ධාර්මික වූ විට ඒ රටට බලපානා අයුරු ද මැනවින් පැහැදිලි කර දුන්නා ය. “රජු ධාර්මික වත් ම ඒ රජුගේ යටත් වැසි සත්වයෝ ද ගහකොළ සතා සීපාවන් පවා වහා දියුණුවට පැමිණෙයි. කල්වැසි සමවැසි වසී. සමවැසි වසින විට ඇල්වී, මුං, මෑ ආදී බෝග වර්ග සෑම තැන්හිම සමසේ වැඩෙයි. මිහිරි රස, කුළු රස, තිත්ත රස, ලු‍ණු රස හා කසට රස යන රස වර්ග ස්වකීය රසයෙන් ආඪ්‍ය වෙයි. හොරකම් මැරකම් වංචා දූෂණ මෙන්ම පරදාර සේවනය ආදී නොයෙකුත් පව්කම් ක්‍රමයෙන් වියැකී යයි. එමතුද නොව ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ හා අනෙකුත් දෘෂ්ටිධාරීන්ගේ සීල තේජස ප්‍රබල වන අතර ගුණධර්ම මෝරා යයි. එසේම කිරි දෙනුන්ගේ කිරි අස්වැන්න ඉහළ යන අතර පල හටගන්නා වූ පුෂ්ප ගහන වීම නිසා සරු අස්වැන්නක් ලැබෙයි.” තම ලෝභී සිතත්, අන් සතු වස්තවට ආසා කිරීමේ දුර්ගුණයත් හේතුවෙන් ඇතිව ඇති පරිහානිය පිළිබඳව සංවේගයට පත් රජු මසුරු මල දුරු කළ සිතින් යුතුව වඩාත් දැහැමිව රාජ්‍ය කිරීමට අදිටන් කර ගත්තේය.

එසේ නම් රාජ්‍යත්වය යනු රටවැසියාගේ සිතුම් පැතුම් ඇවතුම් පැවතුම්වලට පවා බලපාන අතිශයින් ම තීරණාත්මක සාධකයක් බව නොකිව මනා ය. එසේ නම් රටක රජෙකු යනු සැහැල්ලු‍වෙන් ගත යුතු තනතුරක් නොවේ. ඔහු හට අති මහත් වූ වගකීම්, යුතුකම් සමුදායක් ඇති බව මෙම කතාවෙන් පවා අපට මැනවින් තේරුම් ගත හැකි වෙයි. ධාර්මිකව රට කරවූවෝ දෙව්ලොව යත්. අධාර්මිකව රට කරවූවෝ නිරයෙහි වැටෙත්.

රටක රජ කෙනෙකුගේ පාලන තන්ත්‍රය, ඒ රටෙහි අන් හැමදේටම බලපාන ආකාරය මනාව විස්තර කෙරෙන බුද්ධ දේශනාවක් අංගුත්තර නිකායෙහි සඳහන් වේ. එනම් අධම්මික සූත්‍රයයි. එහිදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ රජු අධාර්මික වන කල්හි රජුට අනුව කටයුතු කරන ප්‍රධාන වූ බ්‍රාහ්මණ, ගෘහපති, වෛශ්‍ය ආදී මහේශාක්‍ය පිරිස ද අධාර්මික වන බවයි. එයින් පසුව සාමාන්‍ය ජනතාව ද ඒ අයට අනුවම අධාර්මික වන බවත්, ඒ හේතුවෙන් හිරු සඳු දෙක විෂමාකාරයෙන් පායනා බවත් ය. හිරු සඳු දෙක විෂමාකාරයෙන් පායන විට ඒ හේතුවෙන් දිවා රාත්‍රී කාලය ද විෂමාකාර වන බව ය. දිවා රාත්‍රී කාලයන් විෂමාකාර වනවිට ඒ හේතුවෙන් ඍතු භේදය ද විෂමාකාරී වන බවයි. ඍතු භේදය විෂමාකාරී වීමෙන් සුළං හැමීම ද විෂමාකාර වන බවයි. සුළං හැමීම විෂම ආකාර වන විට එයින් දෙවිවරු කිපෙන අතර එම නිසා නිසි කල්හි වැසි නොවසින බවයි. කල් වැසි නොවසින කල අස්වැන්න ද විෂමාකාරයෙන් පැසෙන අතර ඒවා අනුභව කරන සත්වයින් අල්පායුෂ ඇති, දුර්වර්ණ වූ සිරුරැති, බොහෝ රෝගාබාධ ඇතියවුන් වන බවයි. එසේ නම් මේ කියන සාධක වර්තමානයේ අප හොඳින් ම අත්දකිනා කරුණු නොවේද? ඒ කරුණුවලට මූල බීජය වන්නේ අධාර්මික රාජ්‍ය පාලනය බව මෙයින් අපට මැනවින් වටහා ගත හැකිවේ.

අතීතයේ අප රට පාලනය කළ බොහෝ රජවරු ජනතාවගේ අභිවෘද්ධිය, දියුණුව ම පැතූහ. එයට උදාහරණයක් නම් උපතිස්ස නම් උතුම් රජතුමා ය. ඒ රජතුමා දිනක් රාත්‍රියේ සිරියහන් ගබඩාවේ සැතපී සිටින විට වැස්සක් ඇද හැළෙන්නට විය. ඒ මොහොතේ වහලේ වූ සිදුරකින් දිය වෑස්සී සිරියහන් ගබඩාව තෙත් විය. විස්මය දනවන කරුණ නම්, ඒ රජතුමා රාත්‍රිය ගෙවී යන තෙක්, රජවාසලේ කිසිවෙකු නින්දෙන් අවදි නොකොට, නිදි වර්ජිතව සිට ඇත්තේ නින්ද කඩවීමෙන් ඒ අය දුකට පත් වේ යැයි සිතා ය. එවැනි සියුම් කරුණක දී පවා රටවැසියන් කෙරෙහි කරුණාවෙන් තෙත් වූ සිත් ඇති රජ කෙනෙක් අන් කරුණුවල දී තම රටත්, රටවැසියනුත් සම්බන්ධයෙන් කෙතරම් දයානුකම්පිත හදවත් දරන්නට ඇත්ද?

ඉතිහාසගත අපගේ වංශකතාවන්, ලක්දිව පුරා විසිරී පැතිරී ඇති ඉපැරණි නටඹුන්, වැව්, දාගැබ්, වෙහෙර විහාර, කෙත්වතු ආදිය, අප රට පාලනය කළ ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ සත්පුරුෂ භාවයට දිවමන් සාක්ෂි සපයයි. එම වංශකථාත්, සෙල්ලිපි හා නටඹුන් ඔස්සේ යමින්, ලක්දිව රජ කළ ඒ දැහැමි රජවරු බුදු සසුන උදෙසා කළ ශාසනික සේවාවන්, රැස්කළ පින් මෙම ලිපි මාලාව ඔස්සේ ඔබට පිළිවෙළින් ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. සත්‍ය වශයෙන් ම අතීතයේ සිදුවූ මේ පුණ්‍ය කටයුතු පිළිබඳ ව දැනගැනීම බාල තරුණ වැඩිහිටි කා හටත් බොහෝ උපකාරී වනවා නොඅනුමාන ය.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
සාකච්ඡා කළේ – උත්පලා ගුණතිලක