සසර ගමන වනාහී ඉතාමත් කටුක, දුක්ඛිත ගමනකි. කඳුළින් ම පිරුණ එකකි. සංසාරයේ ගමන් කරන සත්වයා කොතරම් කටුක දුක් වින්ද ද සියලු දෙනාම පාහේ කැමති වන දේ නම්, සතුටයි. සැනසිල්ලයි. සන්සිඳීමයි. නමුත් කොතරම් ප්‍රාර්ථනා කළ ද බලාපොරොත්තු වුව ද නොලැබෙන්නේත් එය ම යි. එයට හේතුව නම්, ලෝක සත්වයා සතුට සැනසිල්ල හොයන්නේ අනිත්‍ය වී යන රූපය තුළ ය. අනිත්‍ය වූ විඳීම තුළ ය. අනිත්‍ය වූ සංඥාව තුළ ය. අනිත්‍ය වූ සංස්කාර තුළ ය. අනිත්‍ය වූ විඤ්ඤාණය තුළ ය. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ අනිත්‍ය සියල්ල දුකට අයිති බව ය. දුක් සහිත සියලු දේ තම වසඟයේ පැවැත්විය නොහැකි ය. එයින් කවර නම් සැනසිල්ලක් ද?
අප හොයන සතුට, සැනසිල්ල ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය තුළ ය. ඒ සත්‍ය වූ ධර්මය සිහිකරන විට සතුට උපදියි. සිත සන්සිඳෙයි. එවන් සැනසීමක් ධර්මයෙන් හැර අනිත්‍ය වූ ලෝකයේ කොහෙන් නම් ලබන්න ද?
ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ සත්‍යය නම් ඒකාන්ත වූ සත්‍යයකි. ඉපදීම ද දුකකි. ජරාවට පත් වීම ද දුකකි. රෝග පීඩා වැලඳීම ද දුකකි. මරණය ද දුකකි. අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තූන් සමඟ එක් වීම ද දුකකි. ප්‍රිය පුද්ගලයන් හා ප්‍රිය වස්තූන්ගෙන් වෙන් වීම ද දුකකි. සංක්ෂේපයෙන් කීවොත් පංච උපාදානස්කන්ධය ම දුකකි.
මේ ආකාර වූ දුක් විඳින සත්වයන් හට මේ ආකාර වූ කැමැත්තක් උපදියි.
‘ඒකාන්තයෙන් ම ඉපදීම අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද? ජරා දුක අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද?
ලෙඩ දුක් අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද? මරණ දුක… ශෝක දුක… හඬා වැළපීමේ දුක… අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද… කායික දුක්… මානසික දුක්… සුසුම් හෙළීම් අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද?’ එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදාකර ගන්නට නොහැකි දෙයකි.
(මහා සතිපට්ඨාන සූත්‍රය)
රූපය යනු අනාත්ම දෙයකි. වේදනාව යනු අනාත්ම දෙයකි. සඤ්ඤාව යනු අනාත්ම දෙයකි. සංස්කාර යනු අනාත්ම දෙයකි. විඤ්ඤාණය යනු අනාත්ම දෙයකි.
මේ සත්‍ය වූ ධර්මය අවබෝධ කරගත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මේ ලෝකයේ උත්තරීතර සතුට සැනසිල්ල අත්වින්දෝ ය.
තථාගතයන් වහන්සේ හා වාදයට පැමිණි නිගණ්ඨ ශ්‍රාවකයෙකු වූ සච්චක භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසුවේ ය.
“පින්වත් ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නේ කොහොමද? මොන වගේ අනුශාසනාවක් ද බහුලව කරන්නේ?”
“පින්වත් අග්ගිවෙස්සන, මම ශ්‍රාවකයන් ව හික්මවන්නේ මෙහෙමයි. ශ්‍රාවකයන්ට බහුල වශයෙන් අනුශාසනා කරන්නේ මෙහෙමයි. රූපය අනිත්‍යයි… වේදනාව… සඤ්ඤාව… සංස්කාර… විඤ්ඤාණය අනිත්‍යයයි. රූපය අනාත්මයි… වේදනාව… සඤ්ඤාව… සංස්කාර… විඤ්ඤාණය අනාත්මයි කියලා.”
“ගෞතමයන් වහන්ස, මට උපමාවක් මතක් වෙනවා. දැන් ඔය පැළ ලොකු වෙලා ලොකු මහත් වෙන ගස්කොළන් තියෙනවානේ, ඒ ඔක්කොම ගස්කොළන් මේ පොළොව නිසා, පොළොව පිහිට කරගෙන තමයි ඔය උස මහතට හැදෙන්නේ. ඇඟේපතේ හයිය යොදවලා කරන වැඩ තියෙනවා. ඒවා ඔක්කොම කරන්නේ පොළොව නිසා. පොළොවේ පිහිටලා. ඒ වගේ තමයි, මේ පුද්ගලයා රූපය ආත්මය කරගෙනයි ඉන්නේ. රූපයේ පිහිටලයි පින් පවු රැස් කරන්නේ. වේදනාව ආත්මය කරගෙනයි ඉන්නේ… සඤ්ඤාව… සංස්කාර… විඤ්ඤාණය ආත්මය කරගෙනයි ඉන්නේ. විඤ්ඤාණයේ පිහිටලයි පින් පව් රැස් කරන්නේ.”
“පින්වත් අග්ගිවෙස්සන, ඒ කියන්නේ ඔබ මෙහෙම කියනවා කියන එක ද? ‘රූපය මගේ ආත්මයයි… වේදනාව… සඤ්ඤාව… සංස්කාර… විඤ්ඤාණය මගේ ආත්මයයි’ කියල ද?”
“ගෞතමයන් වහන්ස, මම එහෙම තමා කියන්නේ.”
“එහෙනම් පින්වත් අග්ගිවෙස්සන, මම ඔබෙන් ම යි මේ කාරණය අහන්නේ. කැමති විදිහකට උත්තර දෙන්න පුළුවනි. මේ ගැන මොකද හිතන්නේ. ක්ෂත්‍රීය රජවරු ඉන්නවා. ඔටුනු පලඳපු, රාජ්‍යයේ සම්පූර්ණ බලය පාවිච්චි කරන්න පුළුවන්. පසේනදී කොසොල් රජ්ජුරුවෝ වගේ. වේදේහපුත්‍ර අජාසත් මගධ රජ්ජුරුවෝ වගේ. ඉතින් ඒ වගේ රජෙකුට තමන්ගේ රාජ්‍යයේ ඉන්නා රටවැසියන් අතර මැරිය යුත්තන් මරවන්නට, ධනය නැති කළ යුත්තන් දිළිඳු කරවන්නට, රටින් පිටුවහල් කළ යුතු අය පිටුවහල් කරන්න පුළුවන් තරමේ බලයක් පවත්වන්ට පුළුවන් නේද?”
“පින්වත් ගෞතමයන් වහන්ස, ඒක ඇත්ත. එබඳු රජෙකුට තමන්ගේ රාජ්‍යයේ රටවැසියන් අතර මැරවිය යුතු අය මරවන්නට පුළුවනි. ධන හානි කළ යුතු අය දිළිඳු කරවන්නට පුළුවනි. පිටුවහල් කළ යුතු අය පිටුවහල් කරන්නට පුළුවනි. ඒ වගේ ගෞතමයන් වහන්ස, මේ සමූහාණ්ඩු තිබෙන වජ්ජීන්ටත්, මල්ලයන්ටත් ඒ වගේම බලය තිබෙනවා. එහෙම එකේ කොසොල් රජතුමාට වගේ, අජාසත් මගධ රජ්ජුරුවන්ට වගේ රජ කුලයේ ඔටුණු පලන් රජෙකුට කොහොමත් පුළුවන්නේ.”
“අග්ගිවෙස්සන, මේ ගැන මොකද හිතන්නේ… දැන් ඔබ කීවේ රූපය මගේ ආත්මයයි කියලා. ඉතින් මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවායි කියලා ඔබට බලයක් පාවිච්චි කරන්න පුළුවන් ද?”
එතකොට නිගණ්ඨපුත්‍ර සච්චක නිහඬ විය. දෙවෙනි වතාවටත් නිශ්ශබ්ද විය.
ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“අග්ගිවෙස්සන දැන් ඔබ කතා කරන්න ඕනි. නිශ්ශබ්දව ඉන්ට කාලය නෙවෙයි. තථාගතයන් වහන්සේනමක් තුන් වතාවක් ප්‍රශ්න කරද්දී, යමෙක් පිළිතුරු දෙන්නේ නැත්නම් ඔහුගේ හිස හත් කඩකට පැළෙනවා.”
ඒ මොහොතේ වජ්‍රපාණි නම් යක්ෂයා ගින්දර මෙන් බබළන, ගිනිදැල් විහිදෙන අයෝමය යගදාවක් නිගණ්ඨපුත්‍ර සච්චකට උඩින් ඔසවාගෙන අහසේ සිටියේ ය. සච්චක හොඳටම බිය වී ඇඟේ මවිල් කෙළින් විය. අන්තිමේ දී භාග්‍යවතුන් වහන්සේගෙන් ම ආරක්ෂාව, රැකවරණය, සරණ හොයන්නට වූයේ ය.
“රූපය මගේ ආත්මයයි කියලා, රූපය මෙසේ වේවා මාගේ රූපය මෙසේ නොවේවා කියලා රූපය උදෙසා බලයක් පාවිච්චි කරන්න පුළුවන් ද?” යන ප්‍රශ්නයට සච්චකගේ පිළිතුර වූයේ, “ගෞතමයන් වහන්ස එහෙම කරන්න බැහැ.” යන්නයි.
“වේදනාව… සඤ්ඤාව… සංස්කාර… විඤ්ඤාණය මගේ ආත්මයයි කියලා, මගේ විඤ්ඤාණය මෙසේ වේවා, මාගේ විඤ්ඤාණය මෙසේ නොවේවා කියලා ඒ විඤ්ඤාණය උදෙසා තමන්ගේ බලයක් පාවිච්චි කරන්න පුළුවන් ද?”
“ගෞතමයන් වහන්ස, එහෙම කරන්න බෑ.”
භාග්‍යවතුන් වහන්සේ සච්චකගෙන් මෙසේ විමසූ සේක.
“අග්ගිවෙස්සන, මේ ගැන මොකද හිතන්නේ. රූපය නිත්‍ය දෙයක් ද අනිත්‍ය දෙයක් ද?”
“ගෞතමයන් වහන්ස අනිත්‍යයි.”
“යමක් අනිත්‍ය නම් ඒක දුකක් ද? සැපක් ද?”
“ගෞතමයන් වහන්ස, ඒක දුකයි.”
“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයට අයිති නම් ‘මේක මගේ, මේ තමයි මම, මේ තමයි මගේ ආත්මය’ කියලා සලකන්ට සුදුසු ද?”
“ගෞතමයන් වහන්ස, ඒක සුදුසු නැහැ.”
මේ අයුරින් ම වේදනාව… සඤ්ඤාව… සංස්කාර… විඤ්ඤාණය ගැන ද භාග්‍යවතුන් වහන්සේ විමසූ කල්හි සච්චක ඒ උපාදානස්කන්ධයන් ද අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්වභාවයෙන් යුතු බවට පිළිතුරු දුන්නේ ය.
ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.
“අග්ගිවෙස්සන මගේ ශ්‍රාවකයා, යම් කිසි රූපයක් අතීත අනාගත වර්තමානයේ වෙයි ද තමාගේ හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි කියලා ඔය විදියට දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකිනවා… (වේදනාවක්… සඤ්ඤාවක්… සංස්කාරයක්… විඤ්ඤාණයක්… …පෙ…)
පින්වත් අග්ගිවෙස්සන, ඔච්චරකින්ම මගේ ශ්‍රාවකයා බුදුසසුනේ කටයුතු කරන කෙනෙක් වෙනවා. අවවාදය කරන කෙනෙක් වෙනවා. සැකෙන් එතෙර වෙලා, හැම තැනම දුවන්නේ නැතිව, විසාරද බවට පත් වෙලා, බාහිර උපකාර නැතිව බුදුසසුනේ පිහිටලා ඉන්නවා.”
“පින්වත් ගෞතමයන් වහන්ස, එතකොට භික්ෂුව රහතන් වහන්සේනමක් වෙලා ආශ්‍රව නැති කරගෙන ශාසනේ සම්පූර්ණ කරලා කළ යුතු දේ කරලා, කෙලෙස් බර වීසි කරලා, පිළිවෙළින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා, භව බන්ධන නැති කරලා, හොඳ අවබෝධයකින් දුකින් නිදහස් වෙන්නෙ කොහොමද?”
“පින්වත් අග්ගිවෙස්සන, මාගේ ශාසනේ භික්ෂුව යම් කිසි රූපයක්… වේදනාවක්… සඤ්ඤාවක්… සංස්කාරයක්… විඤ්ඤාණයක් අතීත, අනාගත, වර්තමාන වේ ද තමාගේ හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ දුර හෝ ළඟ හෝ යම් විඤ්ඤාණයක් ඇද්ද ඒ හැම විඤ්ඤාණයක් ම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා ඒකට බැඳෙන්නේ නැතිව ඒකෙන් නිදහස් වෙනවා. පින්වත් අග්ගිවෙස්සන ඔච්චරකින්ම ඒ භික්ෂුව රහතන් වහන්සේනමක් වෙනවා. ආශ්‍රව නැති කරලා, නිවන් මඟ සම්පූර්ණ කරගෙන, කළ යුතු දේ කරලා, පිළිවෙළින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා, භව බන්ධන නැති කරගෙන අවබෝධයකින් යුතුව දුකෙන් මිදුන කෙනෙක් බවට පත් වෙනවා.
පින්වත් අග්ගිවෙස්සන, විමුක්ති සිත් ඇති භික්ෂුව අනුත්තරීය කරුණු තුනකින් යුක්තයි. ඒ රහතන් වහන්සේලා දැකීමෙනුත් අනුත්තරයි. ප්‍රතිපත්තියෙනුත් අනුත්තරයි. විමුක්තියෙනුත් අනුත්තරයි.”
එසේනම්,
අතීතයේ විඳි සැප මතුවටත් ලැබේවා කියා කෙසේ නම් ලබන්න ද?
අතීතයේ විඳි දුක මා කරා නොපැමිණේවා කියා කෙසේ නම් ලබන්න ද?
අහිමි වූ සෙනෙහස ලැබේවා කියා පැතුවාට කෙසේ නම් ලබන්න ද? හිමි වූ සෙනෙහස නිතර මා හා රැඳේවා කියා පැතුවාට කෙසේ නම් ලබන්න ද?
රූපය යනු අනාත්ම දෙයකි. වේදනාව යනු අනාත්ම දෙයකි. සඤ්ඤාව යනු අනාත්ම දෙයකි. සංස්කාර යනු අනාත්ම දෙයකි. විඤ්ඤාණය යනු අනාත්ම දෙයකි.
මේ යථාර්ථය සිහි කරන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වෙන්න අපට වාසනාව ලැබේවා!
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments