පරපාමුල්ලේ මධ්‍යම පාන්තික නිවසක දුරකථනය නාද විය. වෙලාව උදෑසන හය හමාර වූ අතර ඒ වන විට නිවස තුළ වූයේ බලවත් කලබලකාරී බවකි. මුළුතැන්ගෙයින් නැඟුන කරවල බැදුමක සුවඳ නිවස පුරා පැතිරී ගිය මුත් වෙනදාට ඒ සුවඳට ආශා කළ නිවැසියන්ට මෙවේලෙහි එයින් ඇති කළේ කරදරයක් වැනි හැඟීමකි. නිවසේ සිටි මහලු කාන්තාව හැර අනෙක් සියලු දෙනාගේම සිහි පැවතියේ තමන් සහභාගී වීමට සූදානම් වෙන මංගල සාදය පිළිබඳව වීම ඒ සඳහා බල පෑ එක ම හේතුව විය.
තුන්වන වරටත් නාද වූ පසුව නිවසේ නෝනා මහත්මිය වූ මනෝහාරී පැමිණ රිසීවරය ගෙන තම කනට ළං කර ගත්තා ය. එහා කෙළවරින් ගලා ආ කටහඬ තුළ කිසියම් ආවේගකාරී බවක් ගැබ්ව තිබුණි.
“මේ හරිනැද්ද හලෝ, අපි දැන් ගොඩාක් වෙලාවක ඉඳල ලෑස්ති වෙලයි ඉන්නේ. සාරංගගෙන් මට බැණුම් අපි වෙනම ගියා නම් ඉවරයි කියල…”
“හරි හරි අපි ඉක්මනට එනවා.” මනෝහාරී කීවේ ඇත්ත ම නොවේ.
ශරීර සුවතා ව්‍යායාම පිණිස පාන්දරින් නිවසින් පිටව ගිය පැටී වීරමන්; මනෝහාරීගේ ස්වාමියා නිවසට ඇතුල්ව නාන කාමරයට රිංගා ගත්තේ ය.
“ඉක්මන් කරපන් මිනිහො. මොන මඟුලෙ යන්න හැදුවත් තමුසෙ හැමදාම පරක්කු වෙනව.”
මනෝහාරීගේ හඬ පැටී වීරමන්ට ඇසුණේ නැතත් දුරකථනයේ එහා කෙළවරට එය ඇසුණි.
“හරි හරි. ගෙදර මරාගන්නෙ නැතුව ඉක්මනට එනවා. අපි ඉන්නම්…” එහා කෙළවරින් ආයෙම කටහඬ ගලා ආයේ එලෙසිනි.
“අම්ම?” කටහඬ ආයෙම නැගුණි.
“අම්ම… අම්ම මේ පන්සලේ මුර දානෙ බදාගෙන එන්න බැරිලු.” මනෝහාරී කීවේ කෝපයෙනි. පියගැටපෙළ බසිමින් සිටි මාලන් නතර වී මවගේ මුව දෙස බැලුවේ උපහාසයෙනි. මනෝහාරී ඔහුට එරෙව්වා ය. ප්‍රතිචාරයක් එක්වරම නොදැක්වූ මාලන් ගරාදි වැට උඩ හිඳගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණේ ය.
“මැරෙන්න ද හදන්නෙ?” මනෝහාරී ඇසුවේ පෙරට වඩා කෝපයෙනි.
“අර මිනිස්සු තරහ වෙයිනෙ. අනික අපට කියල මහ ගොඩක් නෑදෑයො ඉන්නව කියල ද. අම්මව මැරිච්චදාක උනත් මුර කරන්න ඉන්නෙ බාප්පලගෙ දරුවො ටික විතරයි.” ආයෙම එහා කෙළවරින් කියවිණි. මනෝහාරී කථා කළේ කෝපය තරමක් සංසිඳවාගෙන ය.
“මං කිව්ව චූටි. දන්න දවසෙ ඉඳල ම දානෙ දෙනව නේද. මේ මාසෙට විතරක් කාට හරි දීල මඟුල් ගෙදර යමු කියල.
කොහෙද ගත් කටට ම බෑ කිව්ව.” පැටී වීරමන් කාමරයෙන් එළියට ආවේ කුලියට ගත් කෝට් එක අඳින්න උත්සාහ කරමිනි. දෙතුන් වතාවක් ම උත්සාහ කළත් ඔහු අසාර්ථක විය. මනෝහාරී රිසිවරය තබා ස්වාමියාට කෝට් එක ඇඳ ගන්නට උදව් කළා ය.
“අම්මට කියල එන්න.” පැටී වීරමන් බිරිඳට කීවේ කලිසමේ බඳපටිය නැවත වරක් තද කරමිනි. මනෝහාරී මුළුතැන් ගෙය දෙසට ගියේ කැමැත්තකින් නොවේ.
“අන්න චූටිත් අම්මට බණිනවා.” දානයට හාල් ළිප තබමින් සිටි මැහැල්ල හැරී නොබලා ම, “මට…? ඒ මක්කටැයි?” කියා ඇසුවා ය.
“දානයක් බදාගෙන මඟුල් ගෙදර යන්නෙ නෑ කියල. අම්ම ඉතිං හැමදාමත් තාත්තගෙ පැත්තෙ ඔක්කොමලව කපල දාලමනෙ වැඩ කළේ.” මනෝහාරී කීවේ ඇනුම් පදයකි. ළිපේ ගිනි නොදැල්වූ මැහැල්ල, “ඇත්ත. ඔය පව්කාරයොත් එක්ක මට කොහොමත් ගනුදෙනුවක් එපා.” යි කීවා ය. මනෝහාරීගෙ නම් කෝපය ඇවිළිණි.
“තාත්තගෙ පැත්තෙ එවුන් පව්කාරයො. අම්මලගෙ එවුන් මහලොකු සුදනො කියල ද කියන්නෙ. ලොකු මාම බේබද්ද. පොඩිමාම වලා. ඇටකිච්චගෙ ඉඳලම සූදූ ගහනවා.”
“මට කාගෙන්වත් වැඩක් නැහැ. මට වැදගත් මං ගැන විතරයි. මම මං ගැන බලා ගන්නවා. එච්චරයි.” කියූ මැහැල්ල අනතුරුව මනෝහාරීගේ හිස සිට පාදාන්තය දක්වා විමසුම් බැල්මක් හෙළුවා ය.
“මොකද නිකං අමුතු විදිහට බලන්නෙ?” මනෝහාරී ඇසුවේ කලබල වෙමිනි.
“කාගෙද සාරිය? කනකර ආභරණ?” මැහැල්ල ඇසුවේ සංයමයෙනි.
“සරෝජනීගෙ.” මනෝහාරී පිළිතුරු දුන්නේ කැමැත්තකින් නොවේ. මැහැල්ල තුළ උපන්නේ සංවේගයකි. මනෝහාරීට ද එය තේරුණි.
“අනුන්ගෙන් ඉල්ලගෙන අඳින්නේ ඇයි තමන්ට තියෙන ඒව හොඳ මදි ද?”
“හොඳ මදි නිසා නේන්නම් ඉල්ල ගත්තෙ. මට බෑ අනික් එවුන් ඉස්සරහ සවුත්තු වෙන්න.” මනෝහාරී කීවේ කේන්තියෙනි.
ජනේල කවුළුවෙන් සීතල සුළඟක් හමාවිත් මුළුතැන්ගෙය පිරුණි. මැහැල්ල තරමක් දැල්වෙන ළිපට ළංව මනෝහාරී දෙස අනුකම්පාවෙන් යුතුව බැලුවා ය.
“ලොකු දුවේ… තමන්ට තියෙන එකක් ඇඳගෙන ගියා නම් අඩු තරමට නිදහසේ අඩිය තියල ඇවිදින්නවත්, වාඩි වෙන්නවත් පුළුවන්. අනුන්ගෙ රෙදි ආයිත්තම් ඇඳගෙන ගියාම ඉතිං ඒව පරිස්සම් කරනව මිසක වෙන වැඩක් නැහැ. ඕක මට තේරුනේ කාලෙකට කලින් කියවපු කවියකින්…
මොණර පිල් ඇඳන්
මඟුල් ගෙදරට එන කිකිළියන්
පරෙස්සමට පා තබන අන්දම…”
මනෝහාරී තුළ ඉපදී තිබූ කෝපය තීව්‍ර විය.
“අම්ම මතක තියා ගන්න මං මේ දුක් විඳින්නෙ අම්ම නිසා කියල.” ඈ කීවේ අඩි පොළවේ හප්පමිනි. මැහැල්ල මොහොතකට තිගැස්සුණි.
“මං නිසා…?” මැහැල්ල ඇසුවේ කලබලයෙනි.
“අම්ම නිසා තමයි. සිරිමෙවන් කුකුළු ෆාම්කාරය කියල මට ඒ මිනිහ එක්ක යන්න නොදී හිටියා. මං සිරිමෙවන් බැන්ද නම් අද රැජිනක්. එහෙම උනා නම් මං අද මේ ගමන යන්නෙ කුලී වෑන් එකක නෙවෙයි. වී එයිට් එකක.” යි කියූ මනෝහාරී මුළුතැන්ගෙයින් පිට වූවා ය.
මැහැල්ල සිතේ වෙනසක් ඇති කර නොගෙන ළිපේ ගින්දර මඳක් අඩු කළා ය. මඳ වේලාවකට පසු පෙරදා හැන්දෑවේ කුලියට ගෙනා වාහනය කෙඳිරි ගාමින් නිවසින් ඈතට ඇදී යන හඬ ඇයට ඇසුණි.
හෝරාවෙන් හෝරාව ගතව යයි. මැහැල්ල තුළ වූයේ සිත පුරා පැතිරී ගිය පළල් සතුටකි. මුර දානය නොවරදවා දීමෙන් උපන් ප්‍රීතිය ඇගේ සිරුර පුරා පැතිර ගොස් නිරාමිස සැපයකින් ඈ සැනසෙමින් සිටියා ය. ඈ නිවසේ වූ පටු කොරිඩෝව දිගේ සක්මන් කරන්නට වූවා ය. කුලී වාහනයකින් මඟුල් ගෙදර ගිය පිරිස එන ගමනේ දී ම වාහනය හිමිකරුට භාරදී ගෙදර ආවේ පා ගමනෙනි. වෙහෙසකර බවක් මිස යන විට තිබූ සතුට, උනන්දුව කිසිවෙකු තුළත් නොවුණි. මෙවෙලෙහි මැහැල්ල සිටියේ සැප පුටුවක දිගෑදීගෙන ය. පිරිස දුටු විට ඈ හිඳින ඉරියව්වට පැමිණ, “මොකද නිකං හුළං බැහැල වගෙයි?” කියා ඇසුවා ය. පැටී වීරමන් සහ දරුවන් දෙදෙනා ගෙතුළට ගිය අතර මනෝහාරී පුටුවක් ඇදගෙන මැහැල්ලට සමීප කොට හිඳ ගත්තා ය.
“වැඩක් නෑ අම්මෙ ශෝභනේ විතරයි. කෑම මෙලෝ රහක් නැහැ. කිසිදේක කිසි පිළිවෙළක් නැහැ. පැටී මමත් එක්ක දිගට ම බැණ බැණ ආවෙ බොන්න දුන්නෙ බාල අරක්කු කියල.”
“එච්චර ද…” මැහැල්ල ඇසුවේ උපේක්ෂාවෙනි.
“හැබැයි ඉතිං මට නම් මාර තැන. සමහරු සාරිය අතගානවා. සමහරු මාලෙ ගාණ අහනවා. මනමාලිට වඩා ගෑනු උනන්දු වුණේ මං ගැන.” මනෝහාරී කීවේ උපන් ආඩම්බරයෙනි. මැහැල්ල කිසිවක් නොකියා කල්පනා කරන්නට වූවා ය. මනෝහාරී තුළ ඒ ගැන උපන්නේ නොපහන් බවකි.
“දානෙ දුන්න ද? අන්න චූටිගෙනුත් අහගන්න වෙයි මඟුල් ගෙදර නොගිය එකට. අම්ම විතරමයි අඩු.” මැහැල්ල එවරත් කථා නොකළා ය. මනෝහාරී තුළ කෝපය දැල්විනි.
“හොඳට කාල බීල ඉන්නත් අම්මලට පින නැහැ.” ඈ ආයෙම කීවා ය.
“ඇයි උඹ ම නේද දැන් කිව්වෙ කෑම මෙලෝ රහක් නෑ කියල?” මැහැල්ල ඇසුවේ තරමක් පුදුමයෙනි. සරදම්කාරී හැඟීමෙනි.
“කිව්ව නම් තමයි. ඒ උනාට…” මනෝහාරී කියන්නට හැදූ දේ ගිලගත්තා ය.
“ඔය ඇඳුම් ආයිත්තම් පරෙස්සම් ඇති තැනකින් තියපන්… නාගනිං. කේන්තිය නිවෙයි.” මැහැල්ල කීවේ සංයමයෙනි.
“අරන් තියන්න නෙවෙයි අද ම ගිහින් දෙන්න ඕන. සාරිය හෝදන්නෙ නැතුව අද ම ගෙනත් දෙන්න කියලයි දුන්නෙ. මේක මේ හෝද හෝද පට්ටගහන ජාතියෙ එකක් නෙවෙයි.” කියූ මනෝහාරී නැඟී සිටියේ ද පෙර වූ ආඩම්බරකාරී හැඟීමෙනි. මැහැල්ල ඇගේ අතකින් අල්ලාගෙන, “මං උඹට එක දෙයක් කියන්නම් තේරුම් ගන්න උත්සාහ කරපං.” කියා කීවා ය.
“මොකක්ද?” මනෝහාරී ඇසුවේ මැහැල්ලගේ අත ගසා දමමිනි.
“අනුන්ගෙ ඇඳුම් ආභරණ ඉල්ලගෙන ඒව තමන්ගෙ වගේ ඇඳ පැලඳගෙන මඟුල් ගෙදරක ගිහින් ඇවිත් ආපහු ඒව අයිතිකාරයට ම දීල හිස් අතින් ගෙදර එනව වගේ තමයි දුවේ පෙර පිනකින් මනුස්ස ලෝකෙට ඇවිත් ඒ පින උජාරුවෙන් භුක්ති විඳල ආයෙම අලුත් පිනක් කරගන්නෙ නැතුව මැරිල පරලෝකෙට හිස් අතින් යාමත්…”
– නිමි. –
චන්දන එස්. කුමාර
Recent Comments