අපට මතක නැතිවට මහ සයුරුවල ඇති වතුර ප්‍රමාණය පරදවා කඳුළු එන්න අඬපු ජීවිත කථාවක් අපට තියෙනවා. මහ සයුරුවල ඇති ජල ප්‍රමාණ පරදවා ලේ එනකම් බෙලිකැපුම්වලින් මැරුණු ජීවිත කතාවක් අපට තියෙනවා. එතරම් දුර ගෙවාගෙන ආව අති බිහිසුණු ඒ දීර්ඝ සංසාර ගමනේ අපි කරපු මහා පිනක් නිසා මේ ජීවිතයේදි කතා කරන්න පුළුවන් හැකියාව ඇතිව, වචන කියන්න පුළුවන් හැකියාව ඇතිව අපි ඉපදුණා. ඒක අපි ම අපිට කරගත්තු යහපතක්. ඒ විදිහට වචන කියන්න, කතා කරන්න පුළුවන් හැමෝම එක් එක් විදිහට තමාගේ අදහස් කියනවා. ඒ වගේම පටන් ගත්තු කෙළවරක් දකින්න නැතිව, නිමාවෙන කෙළවරක් දකින්න නැතිව අපි ආපු බිහිසුණු සංසාර ගමනේ කතා කරන්න පුළුවන් වුණු ජීවිතවල අප්‍රමාණ අදහස් දක්වමින් වචන කතා කරලා තියෙනවා. එතකොට ඒ සියලු වචනවලින් අපේ ජීවිතේට අත්වුණු ඉරණම අපි දැක්කේ නෑ. ඒ මොකද එතරම් දියුණු කළ හිතක් අපිට තිබුණේ නැති නිසා, තවමත් නැති නිසා… නමුත්, යම් දවසක අපට ඒ අපි භාවිත කරපු වචන නිසා අපේ ජීවිතයට ඇති වුණ බලපෑම, සංසාර ගමනේ අපට උරුම වුණ දේ දකින්න පුළුවන් වුණා නම් ඒ දවසට අනිවාර්යයෙන්ම අපි පසුතැවෙනවා, ‘ඇයි මං මෙහෙම වචන කීවේ?’ කියලා. ‘අපරාදෙ, මට එහෙම නොකියා ඉවසන් ඉන්නයි තිබුණේ.’ කියලා. මොකද, ඒ වචන නිසා අපි නිරයේ නිරි සතුන් අතර, ප්‍රේත ලෝකේ ප්‍රේතයන් අතර, අසුර ලෝකේ අසුරයන් අතර, තිරිසන් ලෝකේ තිරිසන් සතුන් අතර වගේම මේ මිනිස් ලෝකෙත් ඉපදිලා අප්‍රමාණ දුක් විඳලා තියෙනවා. ඉදිරියටත් එවන් දුක් විඳින්න නියම වෙලා තියෙනවා.
ඒ වගේම අපි අත්දකිනවා ඉපදුණු හැමෝටම කතා කරන්න බෑ. එතකොට ඒ මිනිසුන්, සත්වයන් අව්වෙන් වැස්සෙන් පීඩා විඳිද්දී, ලෙඩක් දුකක් හැදුණාම තමන්ට දැනෙන අපහසුතාව කියාගත නොහැකිව අප්‍රමාණ පීඩා විඳිමින් ඉන්නවා. නමුත් ඒ දුක කතා කරන්න පුළුවන් අයට නෑ. කතා කරන්න, වචන කියන්න පුළුවන් හැමෝටම තමන්ගේ දුක, සතුට අනිත් අය සමඟ බෙදාගන්න පුළුවන්.
ඒ විදිහට තමන්ගේ දුක සතුට බෙදාගන්න, තමන්‍ට උපකාරය පිණිස වචන කියනවා වගේ අනිත් අයට පිහිට පිළිසරණ පිණිසත් අපේ වචන භාවිත කරන්න පුළුවන්. නුවණ තියෙන කෙනා දක්ෂ වෙනවා තමන්ට කතා කරන්න පුළුවන් විදිහට ඉපදෙන්න ලැබුණු මේ වෙලාවේ අනිත් අයට යහපත, සැනසිල්ල, සෙතසුව පිණිස ම තමන්ගේ වචන භාවිත කරන්න. මොකද ඒ, ඒ නුවණ තියෙන ප්‍රඥාවන්ත කෙනා දන්නවා ඉමක්කොණක් නැති සංසාර ගමනේ ඉතාමත් කලාතුරකින් තමයි කතා කරන්න පුළුවන් විදිහට අපි ඉපදෙන්නෙ කියලා. ඒ නිසා එයා දක්ෂ වෙනවා තමන් කියන වචන හොඳින් සිතා මතා සොයා බලා තමන්ට වගේම අනිත් අයටත් යහපත පිණිස ම ප්‍රකාශ කරන්න. එයා ඒ විදිහට වචනයෙන් පින් රැස් කරගන්න දක්ෂ වෙනවා.
හැබැයි කාටහරි ඒ විදිහට නුවණ නැතිනම් එයාට කතා කරන්න වචන උපදින්නේ තමන් වගේම අනුන්ටත් අයහපත පිණිසමයි.
තුන්ලොව දිනූ මුනිඳු දේශනා කොට වදාළා මේ විදියට කියන වචන ක්‍රම පහකින් අසන්ට ලැබෙනවා කියලා.
1 කලටත්, අකලටත් අසන්න ලැබෙනවා.
2 සත්‍ය වචනයෙනුත්, අසත්‍ය වචනයෙනුත් අසන්න ලැබෙනවා.
3 මොළොක් වචනයෙනුත්, දරුණු වචනයෙනුත් අසන්න ලැබෙනවා.
4 යහපත ඇතිකරන වචනයෙනුත්, අයහපත ඇතිකරන වචනයෙනුත් අසන්න ලැබෙනවා.
5 මෙත් සිතින් යුතු වචනත්, ද්වේෂ සහගත වචනත් අසන්න ලැබෙනවා.
(කකචූපම සූත්‍රය – ම. නි. 1)
එතකොට කවුරු හරි අකලට වචන කියනවා නම් කියන්නේ…, ඒ වගේම අශෝභනයෙන්, දරුණු වචනයෙන්, අයහපත ඇති කරවන වචනයෙන්, ද්වේෂ සහගත වචන කියන්නෙ අනිත් අයව හෙළා දකින්න. අනිත් අයට අපහසුතාවය ඇතිකරන්න, පීඩාවට පත් කරන්න. එතකොට ඒ කෙනා ඒ විදිහට වචන කියද්දි තව කෙනෙක් හෝ පිරිසක් ඉන්නවා ඒ කෙනා පතුරුවන, වපුරන, බෙදන වචන තමන්ගේ ම කියලා බදාගෙන වචන කියලා පව් රැස් කරගන්න. සමහරවිට ඒ කියන්නේ කවුරු හරි කරන දෙයක් බලාන ඉන්න බැරිකමට නරක දේ කියලා හොඳ දෙයක් අරගෙන, හොඳ දේ කියලා නරක දෙයක් අරගෙන. සමහරු කියනවා “ඉවසලා ඉවසලා බැරිම තැන තමයි කීවේ.” කියලා. නමුත් ඒක නිදහසට හේතුවක් නොවෙයි. ඉවසල ඉවසල බැරි ම තැන තමයි ඉවසිය යුතු ම තැන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය කරන කෙනා හික්මෙන්න ඕන ආකාරය. ඒ තමා, “‘මගේ සිත වෙනස් කරගන්නෙ නෑ. මං පාපී වචන කියන්නෙ නෑ. හිතානුකම්පී ව ඉන්නවා. ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා. ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා. ඒ වගේම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයටම වෛර නැති, තරහ නැති, විපුල වූ, අප්‍රමාණ පළල් සිතකින් යුතු ව මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා.’ කියා පින්වත් මහණෙනි, ඔබ හික්මෙන්න ඕන ඔය විදියටයි.”
(කකචූපම සූත්‍රය – ම. නි. 1)
නමුත් කවුරුහරි ඒ විදිහට ඉවසන්නෙ නැතිව අනිත් අයට වචන කියනවා නම් ඒ අය පිළිබඳව අපකීර්තියක් ම යි පැතිරෙන්නේ. ඒ කෙනා කොයි තරම් දක්ෂ වුණත්, ලස්සන වුණත්, මිල මුදල් තිබුණත් නුවණ තිබෙන සත්පුරුෂ අය ඒ අයට ප්‍රශංසා කරන්නෙ නෑ. සමහර විට ඒ වචන කියන කාලෙට සමාජය තුළ ඒ වචන රැව් පිළිරැව් දෙන්න පුළුවන්. ඒ වචන අහන අයට හිතෙන්න පුළුවන් ‘ඒක තමයි ඇත්ත’ කියලා. සමහරු සැක කරන්නත් පුළුවන්. නමුත් ඒ වචන කියන කාලෙට ඉස්මතු වුණාට, ටික කාලයයි. මවාපාන අයට හැමදාම ඒක කරන්න බෑ. මේ කාලය ඉක්මනින්ම ගෙවෙනවා. තප්පර, විනාඩි, පැය, දින ගණන් ගෙවෙද්දි, රෑ දවල් ගෙවෙද්දි සත්‍යය ඉස්මතු වෙනවා. අවැඩ පිණිස, අහිත පිණිස වචන කියපු අයට අකුසල් රාශියක් එකතු වෙනවා. හැබැයි ඔය විදිහට වචන කියන්න කලින් බොහෝ කාලයක් ඇසුරු කරලා හොඳට හොයා බැලුවා නම් මහ අකුසල් කන්දකින් මිදෙන්න පුළුවන්කමක් ලැබෙනවා. නමුත් කවුරු හරි හොයන්නෙ බලන්නෙ නැතුව වචන කීවොත් ඒ අයගේ ජීවිතවලින් අසූචිවලටත් වැඩි ගඳක් ම යි දසත පැතිරෙන්නෙ.
නමුත් අපි ආදර ගෞරවයෙන් සරණ ගිය, තුන්ලොවම එකලු කල මිණි පහන වුණ, තුන්ලොවෙහි එක ම ඇස වුණ, තුන්ලොවටම සැනසිල්ල උදාකර දුන් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වචනවලින් කවදාවත් ම අනිත් අයට නපුරක් කරන්නැතිව, පීඩාවක් ඇති කරන්නැතිව යහපත විතරක් ම ජීවිත කාලෙටම කරන්න පුළුවන් බව ආදර්ශයෙන් ම පෙන්වා වදාළා. අපේ ශාස්තෘන් වහන්සේගේ අවසන් ජීවිතය පුරාමත්, සසර ගමනේ ජීවිත පුරාමත් තිබුණේ අනිත් අයට උපකාරෙට කීව වචන, අනිත් අයගේ දුක නිවන්න කීව වචන, අනිත් අයගේ ප්‍රශ්න විසඳන්න කීව වචන, අනික් කෙනෙකුගේ වරදක් නම් ඒ වරදින් නැඟී සිටීම පිණිස – යහපත පිණිස කීව වචන, අනික් අයගේ දුක සතුට බෙදාගන්න කීව වචන, අසරණ වුණු වෙලාවට පිහිට වෙන්න කීව වචන, යථාර්ථය අවබෝධ කරවීම පිණිස කීව වචන, මෛත්‍රියෙන් පිරුණු වචන, කරුණාවෙන් ඉතිරුණු වචන, මුදිතාවෙන් පවසපු වචන, උපේක්ෂාවෙන් දරාගත්තු වචන, නිවුණු වචන, සංසිඳීම ඇති කරවපු වචන, සතුට සැනසිල්ල උදාකරපු වචන, හැම වචනයක් ම කීවේ හොඳට හොයලා බලල හිතලමතල වගකීමෙන් ම යි. කැළඹීම ඇති කරවන වචන, ඇවිස්සීම ඇති කරවන වචන, සසර ගමන දික්ගස්සන අයහපත් වචන කවදාවත් කීවේ නෑ.
නමුත් මේ කාලය වනවිට ගොඩක් දේවල් වෙනස් වෙලා. සමහරු මේ විදිහට වචන කියන්න වසර ගණන් සැලසුම් හදනවා. නැති වැරදි හොය හොයා සැලසුම් හදනවා. ද්වේෂ සහගත අවස්ථා නිර්මාණය කර කර සැලසුම් හදනවා. බොහෝවිට බොහෝ පුද්ගලයන් ඒ විදිහට ක්‍රියා කරන්නෙ, හැසිරෙන්නෙ වචන කියන්නේ තමන්ට ඒ කෙනාගෙන් අවැඩක් වුණේ, අයහපතක් ම යි වුණේ කියලා වැරදි වැටහීම නිසා. එහෙම නැත්නම් කැපී පෙනීමේ අවශ්‍යතාවයට. එහෙම නැත්තම් ප්‍රධානත්වය, නායකත්වය ලබා ගැනීම පිණිස. මේ කුමන ආකාරයට, කුමක් නිසා හෝ කාට හෝ අයහපත් වචන කියන කෙනාට නිරයේ නිරි සතුන් අතර ඉපදිලා, පෙරේත ලෝකේ පෙරේතයන් අතර, අසුර ලෝකේ අසුරයන් අතර, තිරිසන් අපායේ තිරිසනුන් අතර වගේ ම මිනිස් ලෝකේ ඉපදුණත් දුක් විඳින්න වෙනවමයි.
මේ විදියට සැලසුම් සහගතව හෝ එවෙලාවට හෝ වචන කියන්නෙත් බොහෝවිට තමන්ට උපකාර කරපු අයට ම යි. තමන්ගේ ජීවිතයට ශක්තිය වුණු අයට ම යි. තමන්ගේ ජීවිතයට පදනම හදලා දීලා හෙවණැල්ල වුණු අයට ම යි. තමන්ගේ ජීවිතයට යන්න පාර කියා දුන්න අයට ම යි. තමන්ගේ හුස්ම පොද වුණු අයට ම යි. තමන්ට දුකක් කරදරයක් වුණාම පිහිටට හිටපු, පිහිටට ඉන්න අයට ම යි. තමන්ට දුකක් කරදරයක් වුණාම පිහිටට හිටපු, පිහිටට ඉන්න අයට ම යි. අපේ සසර ගමන අපට මතක නැති වුණාට මතක තියන කාලෙ දිහා ආපසු හැරිලා බැලුවොත්, සිහිනුවණින් යුතුව විමසීම කළොත් වැටහේවි, පෙනී යාවි ඒ අය කොයි තරම් නම් අපට උපකාර වෙලා ද කියලා, පිහිට වෙලා ද කියලා. ඒ අය ඒ ඒ කාලෙට මුණනොගැසුනා නම් අපේ ජීවිත කථාව ගොඩක් වෙනස් වෙනවා. අද අපට තියෙන මේ හයිය, ශක්තිය නැතිව යනවා, අද අපි මේ තරම්ම සවිමත් ව ඉන්නෙ අපි වචන කියන අයගෙන් ම ලැබුණු උපකාර නිසා.
දෙමව්පියෝ දරුවන්ට වචන කියන්නෙ, ගුරුවරු සිසු දරුවන්ට වචන කියන්නේ යහපත පිණිස ම යි. ඒ වෙලාවේ සිහිනුවණ, අත්දැකීම් අඩු නිසා හෝ නැති නිසා ඒ කාරණා අපට නොවැටහුණාට අපි මෙත් සිතින් හැම දෙයක්ම දරාගන්න දක්ෂ වෙන්න ඕන. අපට ඒවා වැටහෙන්නෙ ඒ අත්දැකීම් අපි ලබනකොටයි… ඒ නිසා එවන් අවස්ථා එද්දි දුර්ලභව ලැබුණු කථා කරන්න පුළුවන්කමෙන් නොමනා වචන කියන්නෙ නැතිව නිහඬව ඉන්න ඕන.
ඒ නිසා තුන්ලොව ම දිනූ මුනිඳු මඟ හික්මෙන අපි හැමදෙනාටම, අපේ කතා කරන්න පුළුවන් හැකියාව, අපේ වචන හැමදෙනාටම යහපත පිණිස භාවිත කරන්නත් – ඒ වගේ ම අන් අයගේ වචන ඉවසන්නත් වාසනාව උදාවේවා!
තමේව වාචං භාසෙය්‍ය යායත්‌තානං න තාපයේ
පරේ ච න විහිංසෙය්‍ය සා වේ වාචා සුභාසිතා
“යම් වචනයකින් තමා තුළ තැවීමක් නොගන්නේ නම්, අන්‍යයෝ ද පීඩාවට පත්නොවෙත් නම්, ඒ වචනය ම කිව යුත්තේය. ඒකාන්තයෙන් ම එය සුභාෂිත වචනයකි.
පියවාචමේව භාසෙය්‍ය යා වාචා පටිනන්‌දිතා
යං අනාදාය පාපානි පරේසං භාසතේ පියං
යළි යළි සතුට දනවන යම් වචනයක් ඇද්ද, කිව යුත්තේ ඒ ප්‍රිය වචනය ම ය. අන්‍යයන් පවසන නපුරු බස් සිතට නොගෙන ප්‍රිය වූ වචන ම කිව යුත්තේය.
සච්‌චං වේ අමතා වාචා ඒස ධම්මෝ සනන්‌තනෝ
සච්‌චේ අත්‌ථේ ච ධම්මේ ච ආහු සන්‌තෝ පතිට්‌ඨිතා
සත්‍යය යනු ඒකාන්තයෙන් ම අමෘත වචනයකි. මෙය සදාතනික ධර්මයකි. සත්පුරුෂයෝ සත්‍යයෙහි ද අර්ථෙයහි ද ධර්මයෙහි ද පිහිටා සිටිති යි කියත්.
යං බුද්ධෝ භාසතේ වාචං ඛේමං නිබ්‌බානපත්‌තියා
දුක්‌ඛස්‌සන්‌තකිරියාය සා වේ වාචානමුත්‌තමාති
බුදුරජාණන් වහන්සේ නිවනට පැමිණීම පිණිස, සසර දුක් නිමා කිරීම පිණිස යම් නිර්භය වචනයක් වදාරන සේක් ද, ලොව ඇති වචන අතුරින් ඒ බුද්ධ වචනය ඒකාන්තයෙන් ම උතුම් ය.”
(සුභාෂිත සූත්‍රය – සං. නි. 1)
Recent Comments