මිරිසවැටි මහාවිහාර පූජාවෙන් පසු අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ පරම්පරාවෙන් ඉතා ප්‍රසිද්ධව අසන්නට ලැබුණු කතාවක් ගැන සිත යොමු කළා. ඒ තමයි, “මහා පින් ඇති, ප්‍රඥාවෙන් යුක්තව ම තීරණය ගන්නා, ලංකාදීපය තුනුරුවන් කෙරෙහි පැහැදවූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මාගේ මුත්තණුවන් කෙනෙකු වන දෙවනපෑතිස් මහරජ්ජුරුවන්ට මෙහෙම කියලා තියෙනවාලු. ‘මහරජ්ජුරුවෙනි, ඔබගේ මුනුබුරෙකු වන දුටුගැමුණු නමැති මහා පින්වත් රජ්ජුරුවෝ අනාගතයෙහි ඉතා මනරම් වූ ස්වර්ණමාලී නම් මහා ස්ථූපයක් එක්සිය විසි රියනක් උසට කරවනවා. ඒ වගේම නොයෙක් රන් රුවන්වලින් අලංකාර කරපු ලෝවා මහා ප්‍රාසාදය නමින් මහල් නවයක් උසට පොහොය ගෙයකුත් කරවනවා’ කියලා.”
එම කරුණ සඳහන්වන රන්පත් ඉරුවක් තියෙනවා කියලා දැනගත් දුටුගැමුණු මහරජතුමා ඒ ගැන සොයා බලවද්දී රාජ මාළිගයේ ම කරඬුවක තිබිලා ඒ අනාගත වාක්‍යය සඳහන් රන්පත් ඉරුව ලැබුණා. එහි තිබුණේ අවුරුදු එකසිය හතළිහක් ඉක්මගිය පසු අනාගතයේ කාවන්තිස්ස රජුගේ පුත්‍රයා වන දුටුගැමුණු නමැති රජ්ජුරුවෝ ලෝවාමහාපාය ආදිය මේ මේ ආකාරයෙන් කරවනවා කියලයි. එම විස්තරය අසා සතුටට පත්වූ දුටුගැමුණු රජ්ජුරුවෝ උදන් අනලා අත් පොළසන් දුන්නා.
පසුවදා උදෑසන ම මහමෙව්නා උයනට ගිහින් භික්ෂු සංඝයා වහන්සේව රැස් කරවා මෙය පැවසුවා. “ස්වාමීනී, මං ඔබවහන්සේලාට දෙව් විමනක් හා සමාන වූ ප්‍රාසාදයක් කරවන්නම්. ඒ සඳහා භික්ෂූන් වහන්සේලාව දිව්‍ය විමානයකට යවලා එහි සැලැස්මක් මට ලබා දුන මැනව” කියලා. එතකොට භික්ෂූන් වහන්සේලා ඉර්ධිමත් රහතන් වහන්සේලා අට නමක් දෙව්ලොව පිටත් කෙරෙව්වා.
අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් බුද්ධත්වය ලැබූ කාශ්‍යප නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි අශෝක නම් බ්‍රාහ්මණයෙක් සිටියා. ඔහු තෙරුවන් කෙරෙහි පැහැදිලා සංඝයා උදෙසා දාන වේල් අටක් පූජා කරන්ට භාරගත්තා. ඔහු තමන්ගේ නිවසට ඇවිත් භරණී නමැති දාසියට තමන් සංඝයා උදෙසා පූජා කරන්ට භාරගත් සලාක දාන අට නොනවත්වා දෙන්ට කියා පැවරුවා. එතකොට භරණී දාසිය දිවි ඇති තාක් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව මනාකොට සකසා දන් දීලා මිනිස් ලොවින් චුතවෙලා අහසේ පිහිටි ඉතාම ලස්සන සුන්දර විමානයක උපන්නා. හැම තිස්සේ ම ඈව පිරිවරාගෙන දහසක් අප්සරාවන් සිටියා.
ඇගේ රුවන් ප්‍රාසාදය දොළොස් යොදුනක් උසයි. වට ප්‍රමාණය යොදුන් හතළිස් අටක්. මහල් නවයකින් යුක්තයි. කූටාගාර හෙවත් උස් මුදුන් වහලවල් දහසකින් යුක්තයි. කාමර දහසකින් යුක්තයි. දුටු දුටුවන්ගේ සිත් සතුටු කරවනවා. සතර පැත්තෙන් ඇතුල් වෙන්ට දොරටු තියෙනවා. දහස් ගණන් සංඛ පේළියෙන් යුක්තයි. සුදුසු තැන්වලින් බලන්ට පුළුවන් ජනේලවලින් යුක්තයි. කිකිණි දැලින් සරසපු වේදිකාවෙන් යුක්තයි. ඒ ප්‍රසාදය මැද්දේ ඉතා සුන්දර වූ අම්බලට්ඨිකා නමැති ප්‍රාසාදයක් තිබුණා. ඒ ප්‍රාසාදය වටේ සුළඟින් ලෙලදෙන ධජයන් ලස්සනට පේන්ට තිබුණා.
තව්තිසා දෙව්ලොව බලා වඩිමින් සිටිය ඒ රහතන් වහන්සේලා අට නමට භරණියගේ මහා දිව්‍ය ප්‍රාසාදය ම යි ලස්සන ප්‍රාසාදයකට දකින්ට ලැබුනේ. උන්වහන්සේලා රෙදි කඩක රතු පැහැ වර්ණයෙන් ඒ ප්‍රාසාදයේ සැලැස්ම ලියවා ගත්තා. තව්තිසා වඩින ගමන නවත්වල එතැනින් හැරී වැඩම කරලා භරණීගේ දෙව්විමන පිළිබඳ සටහන සංඝයාට පෙන්නුවා. සංඝයා ඒ රෙදිපට දුටුගැමුණු රජ්ජුරුවන් ළඟට අරගෙන වැඩියා. එය දැක සතුටට පත් රජ්ජුරුවෝ උතුම් තිස්සාරාමයට ඇවිත් ඒ සිතියමේ සටහන් වන ආකාරයට උතුම් ලෝවාමහාප්රාසාදය කෙරෙව්වා.
ලෝවාමහපහයේ කටයුතු ආරම්භ කරද්දී එතැන කලින් තිබුනු දිරාගිය පහය ඉවත් කෙරෙව්වා. ත්‍යාගවත් වූ රජ්ජුරුවෝ සතර දොරටුවේ රන් කහවණු අටලක්ෂය බැගින් තැබ්බෙව්වා. එහි දොරටුවක් පාසා රෙදි පිළි පොදි දහස් ගණන් තැබ්බෙව්වා. උක්හකුරු, තල්තෙල්, සූකිරි, මී පැණි පුරවපු නොයෙක් හැළි තැබ්බෙව්වා. වැටුපක් නොගෙන මෙහි කටයුතු නොකළ යුතුයි කියලා එහි කළ සෑම කටයුත්තක ම වටිනාකම නියම කරලා ඒවාට අවශ්‍ය වැටුප් ලබා දුන්නා.
ප්‍රාසාදයේ එක් එක් පැත්තෙන් රියන් දහස බැගින් දිග තිබුණා. උසිනුත් රියන් දහසක් තිබුන ඒ ප්‍රාසාදයේ සතර පැත්තකින් දොරවල් තිබුණා. ඒ ශ්‍රේෂ්ඨ වූ මහා ප්‍රාසාදය මහල් නවයකින් යුක්ත වුනා. එක් එක් මහල කූටාගාරයන් සියයකින් සමන්විත වුනා. ඒ හැම කූටාගාරයක් ම රිදියෙන් කැටයම් කරලා තිබුණා. අලංකාර රතුගලින් කළ වේදිකාවත් නානා රන් රුවන් කැටයෙමින් විචිත්‍රවත් කරලා තිබුණා. ඒ කූටාගාරයන් නොයෙක් රන් රුවනින් කැටයම් කළ නෙළුම් මලින් සරසලා තිබුණා. අලංකාර රිදී කිකිණි දැල්වලින් ඒ වටේ ආවරණය කරල තිබුණා. ඒ ප්‍රාසාදයේ ඉතා හොඳින් සකස් කළ කාමර දහසක් තිබුණා. නොයෙක් රුවන්වලින් කැටයම් කළ අලංකාර සී මැදුරු කවුළුවලින් සරසලා තිබුණා.
වෛශ්‍රවණ දිව්‍ය රාජයාට නාරිවාහනයක් තියෙන බව අසා රජ්ජුරුවෝ ප්‍රාසාදය මැද්දේ කරවපු රතන මණ්ඩපයක එබඳු වූ නාරිවාහනයක් කෙරෙව්වා. ඒ මණ්ඩපයේ රනින් කැටයම් කළ කණුවල සිංහ ව්‍යාඝ්‍රාදී රූපත් දිව්‍ය රූපත් කැටයම් කරවා තිබුණා. මණ්ඩපය හාත්පස වටේ ම මුතු දැල්වලින් වට කොට තිබුණා. එහි රතු ගලින් කළ වේදිකාත් කලින් කියපු විදිහට ම අලංකාර විදිහට කැටයම් කරවා තිබුණා.
සත් රුවන්වලින් කළ නොයෙක් කැටයමින් විචිත්‍ර වූ ඒ මණ්ඩපයේ පසෙකින් පළිඟු ගල් ඇතිරූ බිමේ ඉතා සිත්කළු ආකාරයට ඇත් දත් කැටයමින් නිම කළ ආසනයක් තිබුණා. ඇත් දළින් කැටයම් කළ ආසනයට පිටුපසින් රනින් නිමකළ හිරු මඬලකුයි රිදියෙන් නිමකළ සඳ මඬලකුයි මුතුවලින් කළ තාරුකා පන්තියකුත් තිබුණා. ඒ ඒ තැන ගැලපෙන ආකාරයට නොයෙක් රුවනින් කළ පියුම් තිබුණා. රනින් කළ ලියවැල් අතරේ ජාතක කතා කැටයම් කරලා තිබුණා.
ඒ පළඟෙහි අති මනහර අයුරින් ඉතා වටිනා පලස් අතුරලා තිබුණා. එහි ඇත් දළින් කැටයම් කළ මිටකින් යුක්ත විජිනිපත ඉතා අලංකාර වුනා. ඒ පළිඟු ඇතිරූ බිමෙහි පා තැබීමට පබුළුවලින් කළ පාදුකාවක් සකසා තිබුණා. ඒ පළඟට උඩින් කැටයම් කළ රිදී මිටකින් යුතු සුදු ඡත්රයක් ඔසවා තිබුණා. ඒ සුදු සේසත වටේට අෂ්ට මංගල ලක්ෂණ සටහන් කළ සත්රුවනින් කළ කැටයම් තිබුණා. ඒ වගේ මුතු මැණික් කැටයම් අතර සියුම් ලෙස සිව්පාවුන් කැටයම් කර තිබුණා.
සේසතේ කෙළවරින් රිදියෙන් කළ සීනු වටේට ම එල්ලා තිබුණා. ප්‍රාසාදය, ඡත්රය, ආසනය, මණ්ඩපය යන මේවා ඉතාමත් වටිනා වස්තුවලින් කැටයම් කරලා අනර්ඝ විදිහට තිබුණා. සුදුසු ආකාරයට මාහැඟි ඇඳ පුටු ආදියත් එහි තැන්පත් කර තිබුණා. ඒ වගේ ම ඉතා වටිනා බුමුතුරුණු පලස් ආදිය අතුරලා තිබුණා.
ඒ ප්‍රාසාදයෙහි පා ධෝවනය කරන ජලය ඉතා අලංකාර රන් සැළියක පුරවා තිබුණා. පැන් ගැනීමට රනින් ම කළ මිට ගැසූ හැන්දක් තිබුණා. ප්‍රාසාදයෙහි තිබුනු අනිත් බඩුබාහිරාදිය ගැන කතා කරන්ට දෙයක් තියේවිද! සතර පැත්තෙන් දොරටු සතරකින් යුක්තව අලංකාර ප්රාකාරයකින් වටවෙලා තිබුණා. ලෝවා මහා ප්‍රාසාදය තව්තිසා දෙව්ලොව සුධර්මා නමැති දිව්‍ය සභා මණ්ඩපය වගේ ඉතා අලංකාරව තිබුණා.
ඒ ප්‍රාසාදය වසා තිබුනේ තඹයෙන් හා ලෝහයෙන් කළ උළුවලිනුයි. ඒ නිසයි එයට ලෝවාමහාපාය යන නම ලැබුනේ.
ලෝවාමහා ප්‍රාසාදයේ වැඩ අවසන් කරලා දුටුගැමුණු රජ්ජුරුවෝ සංඝයා වහන්සේව රැස් කෙරෙව්වා. මිරිසවැටිය විහාර පූජෝත්සවයට වගේ ම සංඝයා රැස්වුනා. මගඵල නොලැබූ පුහුදුන් භික්ෂූන් වහන්සේලා පළමු මහලේ වැඩ සිටියා. දෙවන මහලෙහි ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේලා වැඩ සිටියා. සෝවාන් ආදී මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලා පිළිවෙළින් තුන්වෙනි මහලෙත්, සතරවෙනි මහලෙත්, පස්වෙනි මහලෙත් වැඩ සිටියා. එතැනින් උඩ තිබූ මහල් සතරේ රහතන් වහන්සේලා වැඩ සිටියා.
ලෝවාමහාප්රාසාදය සංඝයාට අත පැන් වත් කොට පූජා කළා. මිරිසවැටිය පූජාවේදී වගේ ම රජ්ජුරුවෝ සත් දවසක් මහා දන් දුන්නා. මහාත්යාගී කෙනෙකුන් වූ අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවන් විසින් ලෝවාමහාප්රාසාදය වෙනුවෙන් පූජා කරන ලද ධනයේදී මහා අනර්ඝ වස්තු පිළිබඳ වටිනාකම ගණන් නොගෙන, වියදම රන් කහවණු තිස් කෝටියක් වුනා.
සොඳුරු ප්‍රඥා ඇති සත්පුරුෂයෝ සාර රහිත වූ ධනයෙන් දානය නමැති පුණ්යසාරය රැස් කරගන්නවා. තමා ළඟ ඇති ධනය කෙරෙහි සිතේ තිබෙන ආලය අත්හැර ඔවුන් සත්වයන්ගේ පරම යහපතට හේතු වන අයුරින් මේ විදිහට මහා දන් පවත්වනවා.
උපුටා ගැනීම – මහාවංශය – 27 පරිච්ඡේදය
සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
Recent Comments