ජීවිතයේ නොයෙක් අවස්ථාවල දී නොයෙක් තෝරාගැනීම් සිදු කරන්නට අප කාටත් සිදු වේ. ඇතැම් විට බාහිර පෙළඹවීම් ඔස්සේ ද ඇතැම් විට ස්වාධීනව ද එකී තෝරාගැනීම් සිදු කෙරෙන අතර ඒවා කෙරෙහි සමාජ ආර්ථික වටපිටාව ද බොහෝසෙයින් බලපානා බවක් පෙනී යයි. කන බොන අඳින පලඳින ආකාරයන්, රැකීරක්ෂා කටයුතු, ආවාහවිවාහයන්, චර්යා රටාවන් ආදී සියල්ල ම එකිනෙකාගේ රුචිඅරුචිකම් සහ බාහිර බලපෑම් යන කාරණාවන්ට අනුව කෙරෙන හැඩගැස්වීම් ය. මේ නිසා ම තෝරාගැනීම්හි විවිධත්වයක් සමාජයේ දක්නට හැකි ය.
කෙනෙකු යම් තෝරාගැනීමක් සිදු කරන්නේ සෑමවිට ම ඒ කෙරෙහි සියයට සියයක විශ්වාසය නොමැතිව වන්නට ද පුළුවන. අවස්ථානුකූල ව ගන්නට තිබෙනා හොඳ ම තීරණය ලෙසින් සලකා බොහෝ තෝරාගැනීම් සිදු කෙරෙන අතර පසුකාලීන ව එකී තෝරාගැනීම තමා සාර්ථකත්වයට පත් කිරීමට හේතු නොවූ බව පෙනී යන අවස්ථා ද එමට ය. ප්‍රකට ව පෙනෙන සත්‍යය නම් අප සිදු කරන බොහෝ තෝරාගැනීම් හුදෙක් යහපත පිණිස ම පවතින ඒවා නොවන බව ය. එසේ වන්නේ ඇයි?
අප වනාහී අඩුපාඩු සහිත වූවන් ය. අප තුළ නොසිඳී පවත්නා කෙලෙස් මුල් ඇත්තේ ය. අප විසින් තෝරාගනු ලබන අය ද අඩුපාඩු සහිත වූවන් ය. කෙලෙස් මුල් ඇත්තවුන් ය. එහෙයින් අප දෙපිරිස ම පරිහරණය කරනු ලබනා දේවල් අපගේ ජීවිතවලට සම්බන්ධ වන්නේ ඒ කෙලෙස් හා මුසු ස්වභාවයට ගැළපීගෙන ය. තෝරාගැනීම් නිසාවෙන් අප ලබන පීඩාවන් අපේ ම චිත්තාකල්පයන්හි විපාකයන් බව අප තේරුම් ගත යුතු ය.
එහෙත්, අප කිසිවෙකු විසින් කිසිදු තෝරාගැනීමකින් පීඩා බලාපොරොත්තු වන්නේ නැත. පීඩා බලාපොරොත්තු නොවන නිසා ම තෝරාගැනීම් ගැන අප සැලකිලිමත් ය. ඒවායේ පෙනුම, හැඩය, වර්ණය, පහස, සුවඳ ආදී කාරණාවන් නොයෙක් මිනුම්දඬු ඔස්සේ මැන බලමින් විමස විමසා තෝරාබේරා ගන්නට අප උත්සාහවත් වන්නේ ඒ නිසා ය. ඒ කවරාකාරයේ තෝරාගැනීමක් වුව ද ඒවා අයත් වන්නේ කාමයන්ට වන නිසාවෙන් කවර කලෙක හෝ කාමයන්ගේ ආදීනව ප්‍රකට වීම වළකාලිය නොහැකි ය. ඒ නිසා, තෝරාගැනීම් සම්බන්ධයෙන් වන අපගේ සැලකිලිමත් භාවය පොදු සමාජ සම්මතයන්ගේම පිළිඹිබුවක් වීමෙන් අපට සැලසෙන විශේෂ වාසියක් නැත.
මේ පොදු ස්වභාවයන් ඉක්මවා යන තෝරාගැනීමක් කරන්නට සිත මෙහෙයවූවෙකු ගැන ලෝක ඉතිහාසයේ ම අසන්නට ලැබෙන්නේ එක් වරෙකි. ඒ වනාහී අප මහා බෝසතාණන් වහන්සේ ආර්ය පර්යේෂණයේ යෙදුණු පුවතයි. තමා ද ඉපදෙන, ජරාවට පත් වන, රෝගී වන, මැරෙන, ශෝක වන, කෙලෙසී යන ස්වභාවයෙන් යුතුව හිඳිමින් නමුදු ඒවායේ ආදීනව තේරුම් ගනිමින් – ඉපදීමක්, ජරාවට පත් වීමක්, රෝගී වීමක්, මිය යාමක්, ශෝක වීමක්, කෙලෙසී යාමක් නැති, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ නිවන සොයා ඒ වීර නරාණන් වහන්සේ වැඩම කළ සේක. ඒ මග පරිපූර්ණ කොටගෙන අමා මහ නිවන සාක්ෂාත් කොට වදාළ සේක. ශ්‍රේෂ්ඨත්වය උදෙසා වූ තෝරාගැනීම යනු ඒ වැඩපිළිවෙළයි.
එසේ ශ්‍රේෂ්ඨත්වයට පත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දියෙහි හටගෙන දියෙහි වැඩී දියෙන් උඩට එසැවී දියෙහි නොගෑවී තිබෙනා මේරූ නෙළුම් පොහොට්ටු බඳු වූ – කෙලෙස් අඩු, ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් තියුණු වූ, යහපත් වූ, පහසුවෙන් අවබෝධ කරවීමේ හැකියාව ඇත්තා වූ, පරලොවටත් වැරදිවලටත් බිය සහිත වූ සත්වයන් ද ලොව සිටිනා අයුරු දැක ‘ලොවේ බුද්ධිමතුන් හට අමා නිවනේ ද්වාරය ඔන්න මං විවෘත කළා. සදහම් අසනු කැමැත්තෝ ශ්‍රද්ධාවට පැමිණෙත්වා!’ යනුවෙන් වදාරමින් දහම් දෙසීමට සිත යොමු කොට වදාළ සේක. ලෝසතගේ ස්වභාවය මැනැවින් දකිමින් ම අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී කෙලෙස් හා මුහු නොවීම පිණිස පවත්නා වැඩපිළිවෙළයි. පීඩාවලින් මිදෙනු කැමැත්තෝ ඒ දහම් මග තුළ පිහිටා සාර දේ සාර ලෙසත් අසාර දේ අසාර ලෙසත් වෙන්කොට ගන්නා සම්මා දිට්ඨියට එළඹෙමින් වීරිය කළ යුත්තෝ ය. ඔවුනගේ මේ තෝරාගැනීම යනු පීඩාවලින් නිදහස් වීම ය.
“සාරඤ්ච සාරතෝ ඤත්වා
අසාරඤ්ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති
සම්මා සංකප්පගෝචරා”
“සම්මා දිට්ඨිය නිසා, සම්මා සංකප්ප ඇතිකර ගන්න උදවිය ඉන්නවා. ඔවුන් සීල, සමාධි, ප්‍රඥා ආදී සාරවත් දේ, සාරවත් දේ හැටියට ම අවබෝධයෙන් දන්නවා. නිස්සාර දේ නිස්සාර දේ හැටියටත් දන්නවා. ඒ නිසා ඔවුන් සාරවත් වූ නිවන අවබෝධ කරගන්නවා.”
(ධම්මපදය – යමක වග්ගය)
Recent Comments