මේ ලෝකේ ගොඩක් මිනිස්සු උපදිනවා. අපිට අහන්න ලැබෙනවා දිනෙන් දින දරුවන් මේ ලොව විශාල වශයෙන් උපදිනවා කියලා. මේ උපදින හැම දෙනාම ඉපදුණා, වයසින් මෝරලා ගියා, රැකියාවක් කළා, විවාහ වුණා, දරුමල්ලෝ හැදුවා, වයසට ගියා, අවසානයේ මැරිලා ගියා. සමහර අය ඉපදුණ ගමන් ම මැරිලා යනවා. තරුණ වියේ දී මැරෙනවා. කොහොම වුණත් මෙතෙක් ලොව ඉපදුණ අයට ඔය දේවල්මයි සිදු වුණේ.
අනාගතයේ උපදින අය ඉන් මිදේවි ද… නෑ. හැමදෙනාටම එකම විදිහට මෙලොව හැර දාලා යන්න වෙනවා. ඒ අතරම අපට අහන්න ලැබෙනවා පින්වන්ත අයත් මේ ලෝකයේ උපදිනවා කියලා. සක්විති රජවරුන් උපදිනවා. ධාර්මික ව සතර මහා දිවයින ම ජය ගෙන ඉතා හොඳින් පාලනය කරනවා. අවසානයේ ඔවුනුත් මිය යනවානේ. ඒ සියලු දෙනා මිය යන්නේ ජීවිතයේ සැබෑ අර්ථය වටහාගෙන ද? නෑ… එසේ නොවෙයි. අන්න ඒකයි වෙනස.
මේ මිනිසුන් අතරම ඉපදිලා, හැදිලා වැඩිලා මේ ජීවිතයේ සැබෑ අරුත වටහාගෙන යමෙක් සදාතනික අනිත්‍ය ධර්මයට මුහුණ දෙනවා ද අප මේ විඳිනා දුකින් එතෙර වුණා ද සසර සැඩ පහර තරණය කළා ද පෙර කී අයගේ මරණය යි, මේ උත්තමයාගේ මරණය යි අතර වෙනසක් තියෙනව ද? ඔව්…! සැබෑ වෙනසක් තියෙනවා. ඒ කාගේ උපතක් ද? කාගේ ජීවිත පැවැත්ම ද? කාගේ මරණය ද? ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත, ජීවන පැවැත්ම, පිරිනිවීම. ඒ උත්තමයාගේ උපත හරිම අසිරිමත්, බොහෝ දෙනාට යහපත උදාකරන්නක්.
“පින්වත් මහණෙනි, මේ ලෝකයේ උපදින එකම එක පුද්ගලයෙක් ඉන්නවා, බොහෝ ජනයාට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, හිතසුව පිණිස, සැපය පිණිස ම යි උපදින්නේ. ඒ එකම එක පුද්ගලයා වනාහි කවරහු ද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. පින්වත් මහණෙනි, මොහු වනාහි බොහෝ ජනයා හට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ම, හිතසුව පිණිස ම උපදින එක ම පුද්ගලයා ය.”
එසේ නම් මේ ලෝකෙ දෙව්මිනිසුන්ට හිතසුව පිණිසයි, සැපය පිණිසයි තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වන්නේ. එය ඒකාන්ත සත්‍යයක්. ඒ ඇයි? බුදුරජාණන් වහන්සේ සරණ ගිය අය සුගති සැප සලසා ගත්තා. සසරින් එතෙර වන මාර්ගය අවබෝධ කළා. සසරෙන් නිදහස් වුණා. අතීතයේ සිටි බුද්ධිමත් දෙව් මිනිසුන් තථාගතයන් වහන්සේ නිසා එතරම් රැකවරණයක් සලසා ගත්තා. වර්තමානයේ ජීවත් වන අපටත් ඒ රැකවරණය සලසා ගන්න බැරි ද? අපටත් ඒ සඳහා උපරිම අවස්ථාව තියෙනවා. කොහොමද අප රැකවරණය සලසා ගන්නේ? එයට උවමනා කරන්නේ තෙරුවන කෙරෙහි පැහැදීම ඇති කරගෙන සරණ යාමයි. ශ්‍රද්ධාව උපදවා ගැනීම යි. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමට. එසේ පැහැදීම ඇති කර ගන්න නම් අපි උතුම් සූත්‍ර දේශනා ආදිය නිතර නිතර ශ්‍රවණය කරලා භාග්‍යවතුන් වහන්සේ ලෝකයාට දේශනා කොට වදාළේ කුමක් ද කියලා හොඳින් අසා දැනගන්නට වෙනවා. ඒ වගේ ම ඒ උතුමන් වහන්සේගේ ජීවිත පැවැත්ම ගැන හොඳ හැටි දැනගෙන අපට පැහැදීම ඇති කර ගන්න පුළුවන්.
අපගේ ශාස්තෘන් වහන්සේගේ ජීවිතය හරිම සුන්දරයි. අන් අයට වඩා විශේෂයි. ශ්‍රේෂ්ඨයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සීලය, සමාධිය, ප්‍රඥාව, ඉවසීම, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ජීවන පැවැත්ම කාටවත් සමාන කරන්න බෑ. ඒ නිසයි ‘අසම’ කියලා හඳුන්වන්නේ. එසේ වුවත් ඒ ගුණකඳ තවත් එවැනි බුදු කෙනෙකුට ම සමාන වනවා. ‘අසමසම’ කියන්නේ ඒ නිසයි.
බුදුරජාණන් වහන්සේ අන් අයගේ රැකවරණය පතන කෙනෙක් නොවෙයි.
“මොග්ගල්ලානයෙනි, මම වනාහී පිරිසිදු සිල් ඇති වූයේ ම පිරිසිදු සිල් ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ සීලය පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. ශ්‍රාවකයෝ සීලයෙන් මාව ආරක්ෂා නොකරති. මම ද ශ්‍රාවකයන්ගෙන් සීලයෙහිලා රැකවරණ නොපතමි.
මොග්ගල්ලානයෙනි, මම වනාහී පිරිසිදු ජීවිකාව ඇති වූයේ ම පිරිසිදු ජීවිකාව ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ ජීවිකාව පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. ශ්‍රාවකයෝ ජීවිකාවෙන් මාව ආරක්ෂා නොකරති. මමද ශ්‍රාවකයන් ගෙන් ජීවිකාවෙහිලා රැකවරණ නොපතමි.
මොග්ගල්ලානයෙනි, මම වනාහී පිරිසිදු ධර්ම දේශනාව ඇති වූයේ ම පිරිසිදු ධර්ම දේශනාව ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ ධර්ම දේශනාව පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. ශ්‍රාවකයෝ ධර්ම දේශනාවෙන් මාව ආරක්ෂා නොකරති. මම ද ශ්‍රාවකයන්ගෙන් ධර්ම දේශනාවෙහිලා රැකවරණ නොපතමි.
මොග්ගල්ලානයෙනි, මම වනාහී පිරිසිදු කථා ව්‍යවහාරය ඇති වූයේ ම පිරිසිදු කථා ව්‍යවහාරය ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ කථා ව්‍යවහාරය පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. ශ්‍රාවකයෝ කථා ව්‍යවහාරයෙන් මාව ආරක්ෂා නොකරති. මම ද ශ්‍රාවකයන්ගෙන් කථා ව්යවහාරයෙහිලා රැකවරණ නොපතමි.
මොග්ගල්ලානයෙනි, මම වනාහී පිරිසිදු ඥාන දර්ශනය ඇති වූයේ ම පිරිසිදු ඥාන දර්ශනය ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ ඥාන දර්ශනය පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. ශ්‍රාවකයෝ ඥාන දර්ශනයෙන් මාව ආරක්ෂා නොකරති. මම ද ශ්‍රාවකයන්ගෙන් ඥාන දර්ශනයෙහිලා රැකවරණ නොපතමි.”
(කකුධ සූත්‍රය – අං. නි. 03)
මේ බුදු වදන තුළින් අපට ඒ ගැන හොඳට පැහැදිලි වෙනවා. ඒ විතරක් නොවෙයි, බුදුරජාණන් වහන්සේගේ ජීවිත පැවැත්ම තුළ අන් අයට හංගන්න දෙයක් නෑ. හොර බොරු වංචා නෑ. උන්වහන්සේ පරම පිවිතුරු ජීවිකාවකින් යුක්ත යි.
“පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ නොරැක්ක යුතු කරුණු හතර මොනවා ද?
1. මහණෙනි, තථාගතයාණෝ පාරිශුද්ධ වූ කාය සමාචාර ඇත්තාහු ය. ‘මාගේ මේ කාය දුෂ්චරිතය අන්‍යයෙකු නොදනීවා’ යි යම් කාය දුෂ්චරිතයක් තථාගතයෝ රකිත් නම්, තථාගතයන්ගේ එබඳු වූ කාය දුෂ්චරිතයක් නැත්තේ ය.
2. මහණෙනි, තථාගතයාණෝ පාරිශුද්ධ වූ වචී සමාචාර ඇත්තාහු ය. ‘මාගේ මේ වචී දුෂ්චරිතය අන්‍යයෙකු නොදනීවා’ යි යම් වචී දුෂ්චරිතයක් තථාගතයෝ රකිත් නම්, තථාගතයන්ගේ එබඳු වූ වචී දුෂ්චරිතයක් නැත්තේ ය.
3. මහණෙනි, තථාගතයාණෝ පාරිශුද්ධ වූ මනෝ සමාචාර ඇත්තාහු ය. ‘මාගේ මේ මනෝ දුෂ්චරිතය අන්‍යයෙකු නොදනීවා’ යි යම් මනෝ දුෂ්චරිතයක් තථාගතයෝ රකිත් නම්, තථාගතයන්ගේ එබඳු වූ මනෝ දුෂ්චරිතයක් නැත්තේ ය.
4. මහණෙනි, තථාගතයාණෝ පාරිශුද්ධ වූ ජීවිකාව ඇත්තාහු ය.
‘මාගේ මේ මිථ්‍යා ජීවිකාව අන්‍යයෙකු නොදනීවා’ යි යම් මිථ්‍යා ජීවිකාවක් තථාගතයෝ රකිත් නම්, තථාගතයන්ගේ එබඳු වූ මිථ්‍යා ජීවිකාවක් නැත්තේ ය.”
මේ විදියටත් අපගේ භාග්‍යවතුන් වහන්සේ තාරකා මැද පුරසඳ මෙන් බබළන සේක. ඒ විතරකුත් නොවෙයි, භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ දොස් ලබන්නේ ද නොවෙයි. චෝදනා ලබන්නේ ද නොවෙයි. “මහණෙනි, තථාගතයන් දොස් නොලබන කරුණු තුන මොනවාද?
1. මහණෙනි, තථාගතයාණෝ ස්වක්ඛාත ධර්මය ඇත්තාහු ය. එහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි කිසිවෙක් වේවා ඒකාන්ත කොට කරුණු සහිත ව මට චෝදනා කරන්නේ නම්, ‘මෙසේ ත් ඔබ ස්වාක්ඛාත ධර්මය ඇත්තාහු නොවෙති’ යි. මහණෙනි, එබඳු නිමිත්තක් වත් මම නොදකිමි. මහණෙනි, මම එබඳු නිමිත්තක් වත් නොදකින්නෙම්, ක්ෂේමයට පැමිණියෙම්, නිර්භයට පැමිණියෙම්, විශාරදභාවයට පැමිණියෙම් වාසය කරමි.
2. මහණෙනි, යම් අයුරකින් මාගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරත් නම්, මා විසින් ශ්‍රාවකයන් හට එබඳු නිර්වාණගාමිනී ප්‍රතිපදාව යහපත් ලෙස පණවන ලද්දේ ය. එහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි කිසිවෙක් වේවා ඒකාන්ත කොට කරුණු සහිත ව මට චෝදනා කරන්නේ නම්, ‘මෙසේ ත් යම් අයුරකින් තථාගත ශ්‍රාවකයෝ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරත් නම්, ඔබ විසින් ශ්‍රාවකයන් හට එබඳු නිර්වාණගාමිනී ප්‍රතිපදාව යහපත් ලෙස නොපණවන ලද්දේ’ යි. මහණෙනි, එබඳු නිමිත්තක් වත් මම නොදකිමි. මහණෙනි, මම එබඳු නිමිත්තක් වත් නොදකින්නෙම්, ක්ෂේමයට පැමිණියෙම්, නිර්භයට පැමිණියෙම්, විශාරදභාවයට පැමිණියෙම් වාසය කරමි.
3. මහණෙනි, නොයෙක් සිය ගණන් මාගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරති. එහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි කිසිවෙක් වේවා ඒකාන්ත කොට කරුණු සහිත ව මට චෝදනා කරන්නේ නම්, ‘මෙසේ ත් නොයෙක් සිය ගණන් ඔබගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය නොකරති’ යි. මහණෙනි, එබඳු නිමිත්තක් වත් මම නොදකිමි. මහණෙනි, මම එබඳු නිමිත්තක් වත් නොදකින්නෙම්, ක්ෂේමයට පැමිණියෙම්, නිර්භයට පැමිණියෙම්, විශාරදභාවයට පැමිණියෙම් වාසය කරමි.
මේ කරුණු තුනෙන් තථාගතයෝ දොස් නොලබති.
(අරක්ඛෙය්‍ය සූත්‍රය – අං. නි. 04)
ඉහත කරුණු දෙස අපි හොඳට බලනකොට පැහැදිලි වෙන්නේ අපගේ ශාස්තෘන් වහන්සේගේ අපරිමිත ගුණස්කන්ධයයි. මේ වගේ කරුණු අහලා මතකයේ තියා ගන්න ඕන. ඊට පස්සේ ඒ ඒ අවස්ථාවන්හි දී මෙනෙහි කරලා අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ගැන හිත පහදවාගන්න ඕන, ‘අපි උත්තරීතර ශාස්තෘන් වහන්සේනමක් සරණ යන්න තරම් වාසනාවන්ත වුණා’ කියලා.
ඒ විතරක් ද… මේ ලෝකේ අපි හරි කැමතියි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට. අපට තැනක්, හොඳ නමක්, වැදගත්කමක් අපි නිතර කැමති වෙනවා. හැබැයි අප සරණ ගිය, තිලොව ම අගරජු වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල අත්හැරියා. හරියට අලුයම හෙළුෑ කෙළ පිඬක් සේ බැහැර කළා. ලාභ සත්කාරවලට වසඟ වුණේ නෑ. ඇළුනේ නෑ. හුදෙකලා ව දිවි ගෙවුවා. හරියට මහ ඇත් රජෙක් වගේ. කේශර සිංහ රජෙක් වගේ. හුදෙකලාව ම වර්ණනා කළා.
බෝසතාණන් වහන්සේ සම්බුදු නොවී සිටිය දී, සම්බුද්ධත්වයට ප්‍රථම සිහින පහක් දැක්කා. ඒවායින් එකක් වුණේ බෝසතාණන් වහන්සේ මහා විශාල අසූචි කන්දක් මත සක්මන් කරනවා, හැබැයි ඒ අසූචි මහ බෝසතාණන්ගේ පාදයන්හි ගැටෙන්නෙ නෑ. ඒ හීන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා.
“මහණෙනි, තථාගතයන් වහන්සේට සිවුපස පහසුව ඉතා හොඳින් ලැබුණා. ඒ වුණත් ඒ කිසි ලාභයකට සිතේ ඇල්මක් හටගත්තේ නෑ. සිත බැස ගත්තේ නෑ. එයින් නිදහස් වූ සිතින් තමයි වාසය කරන්නේ.” බලන්න කොයිතරම් අසිරිමත් ද? භාග්‍යවතුන් වහන්සේට ජේතවන අසපුවේ අනේපිඬු සිටුතුමා සුවඳ සඳුන්වලින් ඉතා ලස්සන කුටියක් හදලා දුන්නා. එහි භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කළා. ඒ වගේ ම තමයි මහ වනයක ගස් සෙවණේත් උන්වහන්සේ වැඩ හිටියා. පිදුරු කුටි, මැටි කුටි සියල්ලේ ම වැඩ හිටියා. ඒ සියලු තැන්හි ශාස්තෘන් වහන්සේ සම සිතිනුයි වැඩ සිටියේ. හුදෙකලාව ම යි අගය කළේ.
අත්හැරීමෙන් ලැබෙන, හුදෙකලාවෙන් ලැබෙන, සම්බෝධි සුවයෙන් ලැබෙන උතුම් සැපය බුදුරජාණන් වහන්සේ අගය කළා.
“නාගිතයෙනි, පිරිවර හා සමඟ මම එක් නොවෙම්වා. පිරිවර ද මා සමඟ එක් නොවේවා. නාගිතයෙනි, මම යම් නෙක්ඛම්ම සැපයක්, හුදෙකලා විවේකයෙන් ලබන සැපයක්, සංසිඳීමෙන් ලබන සැපයක්, සම්බෝධි සැපයක් කැමැති සේ ලබන්නෙම් ද බොහෝ සෙයින් ලබන්නෙම් ද එසේ මා ලබන නෙක්ඛම්ම සුවය, පවිවේක සුවය, උපසම සුවය, සම්බෝධි සුවය යම් කෙනෙකුට සුව සේ නොලැබෙන්නේ නම්, නිදුකින් නොලැබෙන්නේ නම්, බොහෝ සෙයින් නොලැබෙන්නේ නම් ඔහු ඒ අසූචි සැපය, නින්දා සැපය, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් ලැබෙන සැපය පිළිගන්නේ ය.”
(නාගිත සූත්‍රය – අං. නි. 04)
මෙන්න මේ ආකාර වූ ජීවන පැවැත්මක් තමයි අප සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේට තිබුණේ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම්කිසි කෙනෙක් පැහැදුණොත් ඔහු අග්‍ර උතුමන්ට පැහැදුණා වෙනවා.
“යේ, භික්ඛවේ, බුද්ධේ පසන්නා, අග්ගේ තේ පසන්නා. අග්ගේ ඛෝ පන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති.”
“මහණෙනි, යමෙක් බුදුරජුන් කෙරෙහි සිත පහදවා ගත්තාහු ද, ඔවුන් පැහැදුණේ අග්‍ර වූ ස්ථානයෙහි ය. අග්‍ර ස්ථානයෙහි පැහැදුනවුන්ගේ විපාකය ද අග්‍ර වන්නේ ය.”
අන්න ඒ නිසයි අග්‍ර සැප ලබාදෙන, අග්‍ර පිනක් රැස්වෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්රද්ධාවට එන්න කියන්නෙ. ‘අචල’ කියන්නේ කාටවත් සොලවන්න බැරි දෙයක් කියන එක. දෙවියෙකුට, බ්රහ්මයෙකුට, ලොව කිසිවෙකුට ඒ ශ්‍රද්ධා සිතට හානි කරන්න බෑ. කොයි විදිහට ඇති කර ගන්නා වූ ශ්‍රද්ධාව ද? බුදුරජාණන් වහන්සේගේ ගුණ අවබෝධයෙන් යුතුව හඳුනාගෙන ඇතිකර ගන්නා පැහැදීම. අපිට මේ ලැබිල තියෙන්නේ අතිශය දුර්ලභ අවස්ථාවක්. ඒ තමයි, අපට දුර්ලභ මිනිසත් බව ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ යන්නත් උන්වහන්සේ ලෝ සතුන් කෙරෙහි අනුකම්පාවෙන් වදාළ ධර්මය පුරුදු කරන්නත් අවස්ථාව තියෙනවා. මේක ඉතා දුර්ලභ මොහොතක්. ඒ නිසා කලණමිතුරු ඇසුරේ හිඳිමින් ඉතා හොඳින් ධර්මය අහලා, අප සරණ ගිය තුන් ලොවට අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර ගනිමු. ඒ ශ්‍රේෂ්ඨ දම් රජුන් ගැන සිත පහදවා ගනිමු. දිවි පුදා සරණ යමු. මේ සරණට පුළුවන් අප ව සසර දුකින් නිදහස් කරවන්නට. එය කළ හැකි අන්
සරණක් මේ තුන්ලෝකයේම ඇත්තේ නෑ.
“ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං සරණමුත්තමං
ඒතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති”
“ඔය තිසරණය තමයි එකම ආරක්ෂාව. ඔය තිසරණය ම තමයි උතුම් ම සරණ. ඔය තිසරණයට පැමිණුනා ම යි සියලු දුකෙන් නිදහස් වෙන්නේ.”
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments