දස දහසක් සක්වළ ලෝ ධා ඒකාලෝක කරමින්, මේ මහා භද්‍ර කල්පයේ සතරවැනි වරට උතුම් සම්බුද්ධත්වයට පත්ව සමස්ත මානව වර්ගයාගේ හිතසුව සලසාලූ මහා කාරුණිකයාණන් වහන්සේගේ උපත සිදු වූ ව්‍යවහාර වර්ෂ පූර්ව හයවැනි සියවස වූ කලී එබඳු උත්තම මානව රත්නයක පහළ වීම සොබා දහම විසින් නියත වශයෙන්ම අපේක්ෂා කළ කාලවකවානුවක් වූයේ ය. එය සමස්ත ලෝකයේම බුද්ධි ප්‍රබෝධයක් ඇති වූ සමයක් විය. භෞතික වූත්, ආධ්‍යාත්මික වූත් පරිසරය විකසිතව දිලුණේ දෙව් මිනිසුන් ඇතුළු සමස්ත සත්ව වර්ගයාටම විමුක්තිය සලසාදෙන නර ශ්‍රේෂ්ඨයාණන් කෙනෙකු පිළිගැනීමට ය. එය බුද්ධ කෝලාහලයක් වශයෙන් එවක හඳුන්වා දී තිබුණි. නිම්හිම් නොදක්නා අනාදිමත් සසරේ රක්නට යෙදුණු, වඩනට යෙදුණු, පුරනට යෙදුණු සීලාදී ගුණ බිඳු බෙලෙන් පින්සර දිවි උල්පත් බිහිවීමට සුදුසු කාලය එළඹී තිබිණ.

මුළු මහත් සක්වළ සිසාරා පැතිර ගිය එම බුද්ධ කෝලාහලය සැල වූ තුසිත දෙව් පුත්හු සන්තුසිත මහ බෝසත් දෙව් රජුන් වෙත එළඹ “නිදුකාණන් වහන්ස! මහා වීරයාණන් වහන්ස, සියලු දෙව් මිනිසුන් ඇතුළු ලෝක සත්වයන් සසරින් එතෙර කරවනු සඳහා මනුලොවට වැඩමවීමට මේ ඔබ වහන්සේට කාලය යි.” යනුවෙන් සැල කළහ.

අනවරාග්‍ර සසරේ සැරිසැරූ පෙරුම් දම් පුරමින් පැමිණි ගමනේ අවසන් මිනිස් භවය අත්පත් කොටගෙන තුන්ලෝවාසීන් වෙත භව ගමනේ විමුක්තිය සලසා දෙනු පිණිස උපත ලැබිය යුතු දේශය විමසා බැලූ බෝසතාණන් වහන්සේට පෙනී ගියේ පෙර බුදුවරයන් වහන්සේලා පහළ වූ ජම්බුද්වීපයේ මධ්‍ය මණ්ඩලය ඒ සඳහා ලොවැති සුදුසුම පරිසරය පවත්නා බව ය. අතිශයින්ම පවිත්‍ර වූ ද රමණීය වූ ද ආර්යාවර්තයේ සොබාවික වටපිටාව සියලු සත්ව වර්ගයාගේම හිත සුව පිණිසම පැවතියේ ය; කලට වැසි වටුයේ ය; තුරුලිය වන පෙත් මල් ඵල බරින් වැසී පැවතිණ. ඒ බව අනාවරණය කරන තතු හා වැනුම් තත්කාලීන උපනිෂද් ග්‍රන්ථ හා වේද ග්‍රන්ථයන්හි ද සම්බුද්ධකාලීන යුගයේ වනඋයන්හි බවුන් වැඩූ තෙර තෙරණියන්ගේ උදාන ගාථාවල ද ඇතුළත් වෙයි. සිදුහත් බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට විමුක්තිය සොයා වන පෙත් මං ඔස්සේ වඩින අතරතුර උන්වහන්සේගේ මුවින් නිකුත් වදන්වලින් ද ඒ බව පසක් වෙයි:

“මගධ ජනපදයෙහි පිළිවෙළින් සැරිසරා යන අතරතුර උරුවේලාවෙහි සේනානි ගම්පියස වෙත පැමිණියෙමි. එහි සිත් අලවන භූමි භාගය ද මනරම් වන ලැහැබ ද සුදු වැලිතලා පිසගෙන නිවීහැනහිල්ලේ ගලා බස්නා මහා තොටුපළින් හෙබි නේරංජරා නදිය ද හාත්පස ගොදුරු ගම්මාන ද වෙයි. පධන් වීර්යය වඩනු කැමති කුල පුත්‍රයෙකුට ඒ සඳහා සුදුසුම පරිසරය එහි පවත්නේ ය.”

එසේ වූ රමණීය වන අරණේ ආස්වාදය විඳිමින් ආධ්‍යාත්ම විමුක්තිය සාක්ෂාත් කොට ගෙන පන්සාලිස් වසක් මුළුල්ලේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මය, දිවමන් බුදුරදුන් ලෙසින් දැනුදු බබළමින් පවතියි. එනමුදු ඒ දේශනාවන්ට පිටුදුන් පාරිසරික වාතාවරණයට සරිලන බිම්කඩක් දඹදිව තබා ලොව කොතැනකවත් අද දක්නට නැත. බුදු වදනකට සවන් දීමට හිතකර වාතාවරණයක් වත්මන් යුගයේ සොයා ගත හැක්කේ අපමණ හිරිහැර බාධක මධ්‍යයේ ය.

පසුගිය සමයේ දිනෙන් දින අපට අසන්නට ලැබුණු ලොව නොයෙක් රටවල සිදු වුණ ස්වාභාවික විපත්, දිය ගැලුම්, ගිනිකඳු පිපිරුම්, භූ කම්පන, ගිලා බැසීම් ආදියෙන් කැළඹී ගිය වාතාවරණය මැද අප දේශය සුරක්ෂිතව පැවතුණේ බුදු දහමේ සොඳුරු ආස්වාදය එහි නිබඳ පැවති හෙයිනි. එහෙත් පසුගිය දශක තුනක හතරක කාලය තුළ අප දේශය ද එම විපත්වලට කෙමෙන් ගොදුරු වූයේ පාලකයන් ද ඇතුළුව ඇතැම් ජන කොටස් පරිසරය වනසමින් අධාර්මික වත් පිළිවෙත් අනුගමනය කරන්ට පෙළඹීමත් – බුදු දහමට පිටුපා මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන් හා ආගම් අදහන්ටත් නැඹුරු වීමේ විපාක වශයෙනි.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරට රාජකීයයන් ලවා සපථ කරවන ලද වන සම්පත, ජල සම්පත, වැව් තාවුලු වැඩි දියුණු කරනු – රකිනු වෙනුවට ඒවා වනසමින් ලැගුම්හල්, මත්පැන්හල්, ආදිය තනමින් කරන ලද පාරිසරික විලෝපනය දහම් දිවයිනක් වශයෙන් සැලකූ දේශයකට තරම් වන්නේ ද? එහි විපාක වශයෙන් ස්වභාවික පරිසරය දූෂිත විය. අලි ඇතුන්, රිළවුන්, වඳුරන්, මොණරුන් ආදී වන සතුන්ට යන එන මං නැති විය. පරිසරය කැළඹී අකල් වැසි ඇද හැලී ගංවතුර හා නායයෑම් විපත් එන්ට එන්ටම වැඩි වන්ට පටන් ගැනිණ.

පසුගිය සමයේ ගිනිකඳු පිපිරුම්, සමුදුර ඉපිලුම්, භූ කම්පන ආදී ලොව නොයෙක් රටවලට බලපෑ උපද්‍රවවලින් කම්පනයට පත්ව සිටි ලක්වැසියන් වන අපට ද ඒ විපත් බිහිසුණු ලෙස බලපවත්වන්ට පටන් ගැනුණු බව පෙනී ගියේ දහනව වසරකට පෙර දෙසැම්බර් පසළොස්වක පොහෝ දින මහ මුහුද ගොඩගලා මිනිස් ජීවිත හතළිස් දහසක පමණ ප්‍රමාණයක් වැනසී යාමෙන් පසුව ය. මුහුදුබඩ ප්‍රදේශවල ගෙවල් දොරවල් ගස් ගල් පර්වත හා යකඩ රේල්පීලි උගුලුවාගෙන දුම්රිය මැදිරි පෙරළාගෙන ගොස් සමහර ගොඩනැගිලි තිබූ තැන ඒවා සොයා ගැනීමට නොහැකි වූ ඒ මහා විපතේ දී වුව විහාරස්ථානයන්හි, මංමාවත් අද්දර හා ගෙදරදොර තැන්පත් කොට තිබුණ කිසිදු සම්බුද්ධ ප්‍රතිමාවක් තිබූ තැනින් නොසැලී පැවතුණේ බුදුරජාණන් වහන්සේගේ මෙත්, කරුණා, මුදිතා මහිමය අප පුණ්‍යභූමිය තුළ බලපවත්නා බව අවබෝධ කොට දෙනු පිණිස ය.

එම යථාර්ථය අවබෝධ කොට ගැනීමට නූතන යුගයේ රට කරවන ඇත්තන් ඇතුළු බහුතර ජනකාය අපොහොසත් වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. සොලී, පල්ලව, කාලිංග ආදී මිථ්‍යාදෘෂ්ටික දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් සහ ඉන් අනතුරුව ලක්දිවට කඩා වැදුණු බටහිර අධිරාජ්‍යවාදී මංකොල්ලකරුවන්ගෙන් අවුරුදු එක්දහස් පන්සියයක පමණ කාලයක් පීඩා විඳි සිංහල ජාතියත් – සම්බුද්ධ ශාසනයත් මේ තරමටවත් ඉතිරිව පවත්නේ සම්බුදු දහමේ බලමහිමය හා ආනුභාවය තවමත් සිංහල දේශයේ බලපවත්නා නිසා ය. මානව වර්ගයාගේ ප්‍රඥාව මුහුකුරා ගිය දෙදහස් හයසිය වසරකට පෙර අතීතයේ දී මෙන්, බොහෝ ජනයාගේ සිහිනුවණ විකල්ව පවත්නා වර්තමානයේ යම් සත්පුරුෂ ජනකායක් වෙසෙත් නම් ඔවුන්ට ද කළ හැකිව ඇත්තේ සත්පුරුෂ අධිෂ්ඨානයක් පමණි. එය මෙසේ ය:

“නිදුකාණන් වහන්ස! මේ විපත් පත් යුගයට ඔබ වහන්සේගේ මහා කරුණාවේ පිහිට හැර අන් කවර නම් පිහිටක් ද…! හාත්පස බලපවත්නා නාග විස හා රාග-කෝප-තාප ගිනි පිසදා නිවා දමනු හැක්කේ දයා දියෙන් මානව සිත් තෙමා සනහාලූ ඔබවහන්සේගේ දහමට ම පමණි. අමා දහම් වදහළ නිදුකාණන් වහන්ස, අප චිත්ත සන්තානයන්හි වැඩ හිඳින සේක්වා! අපි ඒ දහම් රසයෙන් නිවී සැනසෙනු කැමැත්තෙමු.”

නිදුකාණනේ

වඩිනු මැන නිදුකාණනේ
යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ

සිතෙන් සිතක රඳනා කෝප ගිනි
උනුන් දවාලන අයුරු දකින්නට
මුවින් මුවග ගලනා නාග විස
උනුන් නසාලන අසිරි බලන්නට

යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ

නෙතින් නෙතක ගැටෙනා රාග සිත
ලෙවන් වෙතින් පිසදා හරින්නට
බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි
දයා දියෙන් සනහා නිවන්නට

කාලයයි නිදුකාණනේ – දීපයයි නිදුකාණනේ
දේශයයි නිදුකාණනේ – වඩිනු මැන නිදුකාණනේ

රාගය, ද්වේෂය, මෝහය වූ කලී මිනිසාගේ ආධ්‍යාත්ම බාහිර දිවි පෙවෙත වනසා දමන අග්නි ජාලා හා විෂ ධූමයක් වැන්න. මවුපිය සෙනෙහස හා උවටැන, දාරක ප්‍රේමය, අඹුසැමි සබඳතා, බඹසර වත ආදී යහගුණ දහම්, බුදු දහමට නැඹුරු නොවුණ සිත්සතන් තුළින් බැහැරව ගොස් ඇත.

සිඟිති දරුවන් කුරිරු වධබන්ධනවලට හසුකොට මරා දමන අවස්ථා, හදාවඩා ඇතිදැඩි කළ වියපත් දෙමවුපියන් මහමඟට ඇද දමන අවස්ථා, පවුල් වියවුල් පසුගිය කාලය මුළුල්ලේම අසන්ට ලැබිණ. මුළු සමාජයම මෘග සංඥාවෙන් ඇවිළ ගොස් ඇතුවා සේ ය.

“සිතෙන් සිතක රඳනා කෝප ගිනි
උනුන් දවාලන අයුරු බලන්නට
මුවින් මුවග ගලනා නාග විස
උනුන් නසාලන අසිරි බලන්නට
වඩිනු මැන නිදුකාණනේ”

බහ තෝරන දරුවාගේ සිට වියපත් තලතුනා වැඩිහිටියා දක්වා රාගයෙන් මුසපත් කරවන විද්‍යුත් සන්නිවේදන – ඇමතුම් උපකරණයන්ට සමාජය වහවැටීමේ ප්‍රවණතාව එන්ට එන්ටම වැඩිවෙමින් පවතී. එවන් රාග සිත් ලෙවන් වෙතින් පිසදා හැර දයා දියෙන් සිත් සතන් නිවාලන, නිරතුරුව බුදු වදන රඳන, ඊට කීකරුව, හැසිරෙන පරිසරයක් – ආශ්‍රමයක් කරා වහ වහා ජන සමාජය යොමු කළ යුත්තේ ය. දහම් දියෙන් සිත් සතන් නිවා සනහන්නට මේ එයට කාලයයි. ඉන් බැහැර අන් මගක් අප දේශයට නොමැත්තේ ය.

“කාලයයි නිදුකාණනේ – දීපයයි නිදුකාණනේ
දේශයයි නිදුකාණනේ – වඩිනු මැන නිදුකාණනේ”

කුළුණුබර තුති පිදුම කුමාරදාස සපුතන්ත්‍රි, සුනිල් එදිරිසිංහ, රෝහණ වීරසිංහ තුන් විශාරද සත්පුරුෂ ඇසුර වෙත ය.

දයාපාල ජයනෙත්ති.